සතුටින් පිරි අතීතය මතකයට කැඳවන සුන්දර සිංහල චිත්‍රකතා 8ක්. ඔබේ ඇසට කඳුලක් ගෙනේවිද?

 

ඉස්සර අපිට අන්තර්ජාලය, ෆේස්බුක් කියන දේ ගැන අහලා වත් නැති කාලෙක තමයි චිත්‍රකතා පත්තර අපේ අතට පත් වෙන්නේ. ඒ කාලේ අපේ ජීවිතේ හරි නිස්කලංකයි. අපි හැම සතියකම බලාගෙන හිටියේ සිත්තර, සත්සිරි, දසුන, මධුර, හිතවත වගේ සුන්දර කතා රැගත් චිත්‍රකතා පත්තරවල අලුත්ම කලාපය පත්තර කඩවල් වලට එතතුරු. ඒ වගේම ඒ පත්තර ආ සැණින් උණුකැවුම් වගේ විකිණී ගියා. සුන්දර කතා ගොඩක් ඉතා කුඩා මිලකට රසවිඳින්න ඉඩ ලබා දුන්නු මේ චිත්‍රකතා අපේ සුන්දර අතීතය තවත් සුන්දර කළා කිව්වොත් වැරදි නැහැ.

ඔබත් චිත්‍රකතා රසිකයෙක් නම් මේ අපුරු කතන්දර ඔබට තවමත් අනිවා මතක ඇති.

 

1. ගජමෑන් – කැමිලස් පෙරේරා
Source - gog.cn, island.lk
Source – gog.cn, island.lk

අතීතයේ සත්සිරි පත්තරයේ මැද පිටුවේ විහිලු ස්ට්‍රිප් එක කියවන්න අපි බදාදා වෙනකල් මඟ බලා හිටියෙ අපේ ආදරණීය කාටුන් චරිතය ගජමෑන් නිසායි. මගොඩිස් තුමා, ඩොල්පිනා එක්ක එකතු වෙලා කාලීන ගැටලු දෙස උපහාසයෙන් බලපු විදිය තවමත් මතකයි.

කැමිලස් පබ්ලිකේෂන් ආයතනයේ හිමිකරු වන කැමිලස් පෙරේරා මහතා තමා මේ අපුරු චරිතයේ හිමිකරුවා වන්නේ. කැමිලස් චරිතය ජනප්‍රියත්වයෙන් ඉහලටම ආ කාලයකට “කැමිලස් ගේ ගජමෑන් සමඟ සමයං” නමින් විකට චිත්‍රකතා පත්‍රයක් එලිය දක්වන්නටත් ඔවුන් කටයුතු කරා.

 

2. ඉතින් ඊට පස්සේ – බලන්ගොඩ සරත්මධු
Source - facebook.com/balangoda.sarathmadhu, gossipceylon.org
Source – facebook.com/balangoda.sarathmadhu, gossipceylon.org

70 දශකයේ මැද භාගයේ සිත්තර පත්තරයේ “දේදුණු සහ කැලුම් ගේ ආදර කතාව” ලෙස චිත්‍රකතා රසිකයින් අතර ප්‍රසිද්ධ වුනු මේ අපුරු චිත්‍රකතාව ඇන්දේ බලන්ගොඩ සරත්මධු මහත්මයා විසින්. එකල චිත්‍රකතා රසිකයින්ගේ සිහින කුමරා වූ කැලුම් ගේ රූපය එකල තරුණ වියේ සිටි සරත්මධු මහතාගේ රූපයට බෙහෙවින් සමානකම් දක්වන බව දන්නේ බොහොම ටික දෙනයි.

Source - slcomics.wordpress.com
Source – slcomics.wordpress.com

තරුණයින් අතර ජනප්‍රිය වුණු යුනිකෝ චිත්‍රකතාවත් මෙතුමාගේම නිර්මාණයක් වන අතර ඉතින් ඊට පස්සේ චිත්‍රකතාවට ලැදි සරත්මධු මහතාව Facebook හරහාත් සම්බන්ධ කරගන්න පුළුවන්

 

3. මගේ රන් මැණික – සුසිල් ප්‍රේමරත්න
Source - dailynews.lk, slcomics.wordpress.com
Source – dailynews.lk, slcomics.wordpress.com

මගේ රන් මැණික කියන්නේ සුසිල් ප්‍රේමරත්න මහත්මා විසින් නිර්මාණය කරන්නට යෙදුන ලස්සනම කතාවක්. මැණිකක් සම්බන්ධ විදේශයක සිදු වූ කතන්දරයක් ලෙස විකාශනය වෙන මේ කතාව, එකල සත්සිරි පත්තරයට ආදරය කල චිත්‍රකතා ලෝලීන් බොහෝ ආසා කල කතන්දරයක්.

ඔබට සුසිල් ප්‍රේමරත්න මහතාව මතක නැතිනම් “රූ රැසේ අඳිනා ලෙසේ” කියන මේ සින්දුව බලන්න. මෙහි චිත්‍රයක් අඳිමින් ගීතය ගායනා කරන්නේ සුසිල් ප්‍රේමරත්න මහතායි.

 

4. නින්ජා – රෆීක් ඩීන්
Source - slcomics.wordpress.com
Source – slcomics.wordpress.com

විදේශීය චිත්‍රපටි ආදර්ශයට ගනිමින් චිත්‍රකතා නිර්මාණය කල රෆීක් ඩීන් මහත්මාගේ ජනප්‍රියත්වයේ තිබුණු හොඳම කතා වලින් එකක් තමා නින්ජා කතාව. ජනප්‍රියත්වය වැඩි වෙන්න වැඩි වෙන්න නින්ජා 2 සහ 3 ලෙසින් ඈදුතු නිර්මාණ කලත්, පළමු නිර්මාණය තරම් ජනප්‍රිය උනේ නැති බව නම් කියන්නට ඕනේ.

 

5. ගැටයා – සුමතිපාල/ ජෝතිපාල
Source - slcomics.wordpress.com
Source – slcomics.wordpress.com

සත්සිරි පත්තරයේ ගජමෑන් වගේ, සිත්තර පත්තරයට හිටපු හොඳම විකට චරිතය වුනේ ගැටයායි. එහෙත් ගජමෑන් තරමට සාර්ථක ගමනක් යන්නට නොහැකි වුන මේ චරිතය සිත්තර පත්තරයේ අවසානයත් සමඟම නවතා දැමුනා.

 

6. ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් – ගුණපාල ජයලත්
Source - slcomics.wordpress.com, sarasaviya.lk
Source – slcomics.wordpress.com, sarasaviya.lk

ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් කියන්නේ අපේ හිත තදින්ම අල්ල ගත්තු චරිතයක්, අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරන යුක්තිගරුක පොලිස් නිලධාරියෙකුගේ චරිතය ගුණපාල ජයලත් මහතා විසින් ඉතාම සුන්දර ආකාරයට රසිකයින් හමුවේ ගෙන තැබුවා.

ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් කොටස් 104කින් නැවත දැමුණ පසු ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් II ලෙස ගුණපාල ජයලත් නැවතත් කතාව ආරම්භ කරගෙන ඉදිරියට ගෙන ගියා අපට මතකයි.

 

7. කතුරු යකා – ගයෙශාන් ඇල්පිටිය
Source - slcomics.wordpress.com, gayashans.blogspot.com
Source – slcomics.wordpress.com, gayashans.blogspot.com

1991 – 1992 කාලයේ සත්සිරි පත්‍රයට නිර්මාණය කල මේ කතාව රාත්‍රී කාලයේ මිනිසුන්ව කතුරකින් ඇන ඝාතනය කරන අභිරහස් මිනිසෙකු වටායි නිර්මාණය කරලා තියෙන්නේ. වැඩිපුරම හින්දි නළුනිළියන්ගේ හැඩරුව මේ කතා වල චරිතවලට ආරෝපණය කර ඇති බව ඔබට හොඳින් ඒවා දෙස බැලුවහොත් තේරේවි.

මීට අමතරව ඩොන්, රාම්රාජ්, සර්ධා, වීදිය හැර නැත අන් සරණක් වගේ ඇල්පිටිය මහතා විසින් නිර්මාණය කෙරු චිත්‍රකතා අපේ රසිකයින් අතර ජනප්‍රිය උනේ නිතැතින්මයි.

 

8. කුඹි කැලේ – බන්දුල හරිස්චන්ද්‍ර

බන්දුල හරිස්චන්ද්‍ර මහත්මයාව අපට මතක තියෙන්නේ ඔහුගේ අන් අයට වඩා දේශීය උරුවකින් අඳින්නට සමත් වුනු චරිත කතා නිසයි. ඔහුව අනුකරණය කරන්නට හෝ සම කරන්නට සමත් කිසිවෙකු චිත්‍රකතා ක්ෂේත්‍රයේ සිටියේ නැහැ.

කුඩා දරුවෙකු පැහැරගැනීමක් වටා ගෙතුණු මේ අපුරු කතාව, කොටස් 70කින් සමන්විත වුනා. ඔහුගේ මේ අපුරු චිත්‍ර උරුව නිසා ඒ චිත්‍ර වලින් හැඩවුණු, දයාවංශ ජයකොඩි සමාගමෙන් ප්‍රකාශිත පොත් වලට එකල පාසල් සිසුන් වූ අපේ අවධානය යොමු වුනේ නිතැතින්මයි.

 

මේ ලැයිස්තුව මීට වඩා දිගයි. අපි තවත් නිර්මාණ කරුවන් 8 දෙනෙක් සමඟින් අනිවා ළඟදීම හමුවෙමු.

විශේෂ ස්තුතිය: SL Comics සහ සිංහල චිත්‍රකතා ෆේස්බුක් පිටුවට සහ සිංහල චිත්‍රකතා ඇඩ්මින් මහතාට