අපේ ළමා කාලය ලස්සන කරපු ටයිටස් තොටවත්ත මාමාගේ හොඳම කාටූන් 4

 

ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී

ලංකාවේ එතෙක් මෙතෙක් ජනප්රියම කාටූනයක් වන පිස්සු පූසා එකේ පූස් ලොක්කගෙ ජනප්රියම කියමනක් තමයි ඕක. මේ කියවන පූසට එන්නෙ ටයිටස් තොටවත්ත මහත්මයගෙන්. ටයිටස් තොටවත්තයන් මේ දර්ශනය ඉහලින්ම පිළිපැද්ද කෙනෙක්.

ටයිටස් තොටවත්තයන්, එහෙමත් නැත්නම් අපි කවුරුත් ආදරයෙන් හඳුන්වන ටයි මාමා කියන්නෙ අපේ ළමා ලෝකයේ වීරයෙක්. ඔහු තිරයෙන් පිටුපස ඉඳලා අපේ ලෝකෙ හැඩ කරපු වීර චරිතයක් කියල වැඩියෙන්ම දැනෙන්න ගත්තෙ අපි තරුණ වියට පා තබනවාත් එක්කමයි.

thotawaththa - 00

හරසුන් නිර්මාණ බොහොමයක් දකින්න ලැබෙන වර්තමානයේ වගේ නොවෙයි, ඒ කාලෙ තෝරා බේරාගත් හොඳ නිර්මාණ අපිට සමීප කරන්න උත්සහ කරපු ටයි මාමා අතින් වුනේ කියන්න බැරි තරම් සේවයක්. විදෙස් නිර්මාණවල රසයද නොනසා අපේ කමද ඒ නිර්මාණ වලට කාවද්දමින් අපේ ලෝකය ආක්‍රමණය කරන්න ටයි මාමාගේ හඬ කැවීම් නිර්මාණ වලට පුලුවන් උනා.

අපේ සුන්දර ළමා මතක බොහොමයක් අපිට උරුම කර දුන්න ටයි මාමාට උපහාරයක් වශයෙන් අපි මේ ගෙන එන්නේ ටයි මාමාගේ වඩාත්ම ජනප්‍රිය කාටූන් ගැන විස්තරයක්. අපි ආසාවෙන් බලපු මේ කාටූන් ගැන ඔබ වැඩිපුර නොදත් දේවලුත් දැන්ගන්න ලැබෙයි ලිපිය කියෙවුවාම.

 

1. දොස්තර හොඳ හිත – සත්තුන්ට හිත ඇති දිය රකුස්ලාට බය නැති, නැවේ වෙසෙන දොස්තර

Source - fakebands.com, toonarific.com
Source – fakebands.com, toonarific.com

“මුහුද මගේ ගොඩබිමයි නැව මගේ නිවසට සමයි”

අපි කාටත් කටපාඩම් මේ දොස්තර හොඳ හිත තේමාගීතය රචනා කරල තියෙන්නෙ නැසීගිය ප්රේමකීර්ති අල්විස් මහතා විසිනුයි. ගැමුණු විජේසූරිය මහතා තමයි ගායනය කරල තියෙන්නෙ.

Doctor Dolittle කියන ඉංග්‍රීසි කාටූන් මාලාව තමයි මේ විදිහට දොස්තර හොඳහිත නමින් ශ්‍රී ලංකාවෙ විකාශය කරනු ලැබුවෙ. දොස්තර හොඳ හිතට සත්තුත් එක්ක කතා කරන්න සුවිශේෂී හැකියවක් තියනවා. ඒ රහස දැනගන්න උත්සාහ කරන මුහුදු කොල්ලකරුවන් පිරිසකුත්, දොස්තර හොඳ හිතගෙන් උදවු ලබන අසරණ සත්තුත් අපිට මේ කතාව පුරාවට හමුවෙනවා.

දොස්තර හොඳ හිත කාටූන් එකේ චරිත වලට නියම නම් ටිකක් තමයි දීල තිබ්බෙ. දියරකුස්,චව් චව්, ලා තණකොල පෙත්තාස් වගේ ලංකාවෙ අපිට හුරු නම් නිසා මේ කාටූන් බලද්දි විදේශීය නිර්මාණයක් බලන බවක් අපිට කොහොමටවත් හිතුනේ නෑ.

බෑයි කියල බෑ, දේසේ හැටියට වාසේ, ඔං රීං කට්ටු කට්ටු වගේ ගීත රැසක්ම තිබුණ මේ කාටූනයේ.  ලා තණකොළ පෙත්තාස්ල ගායනා කරන මේ සින්දු අර්ථ රසයෙනුත් හරිම පරිපූර්ණයි.

දුෂ්ටයන්ගෙ පැත්තේ සාමාජිකයෙක් උණත්, කොයි වෙලෙත් “ඕක හරියන්නෙ නෑ” කියන චව් චව්ත් දොස්තර හොඳහිත එකේ අපේ ප්‍රියතම චරිතයක් උනා.

 

 

2. ගලිවර්ගේ සුවිසැරිය- ලිලිපුට්ටො කුරුමිටිටො සමග ගලිවරුයි වයිටයි

Source - animatedviews.com, zserials.tv, pangolinbasement.blogspot.com, youtube.com
Source – animatedviews.com, zserials.tv, pangolinbasement.blogspot.com, youtube.com

අපේ තාත්තට රහස් සිතියමක් හම්බවුණා

ගලිවර් කාටූනය හැමදාම පටන්ගන්නෙ සමන් අතාවුදහෙට්ටි මහත්මය කියන මේ වචන පේළියකිනි. ඒ කාලෙ ඒ හැඳින්වීම අපිට කටපාඩම්. පසු කාලීනව කොයි තරම් කලාවට සම්බන්ධ දේවල් වල නිරත උනත් සමන් අතාවුදහෙට්ටි කිවුවම අදටත් අංක එකට මතක් වෙන්නෙ ගලිවර්ගෙ හඬ තමයි.

ලිලිපුට්ටො නම් කුරුමිට්ටො වර්ගයක් ඉන්න දූපතකට ගසාගෙන එන ගලිවර්ටත් වයිටටත් අපූරු අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනව. ඒ මදිවට ගලිවර්ල හිටපු නැවේ නපුරු කපිතානුත් මෙයාලගෙ පස්සෙමයි.

The Adventures of Gulliver නම් විදෙස් කාටූනය තමයි ගලිවර්ගේ සුවිසැරිය නමින් ටයි මාමාගෙ රසවත් හඬකැවීම්වලට හැරවිලා අපි වෙත ආවෙ. කොහොම උනත් හරි අවසානයක් නැතිව මේ කාටූනය නතර වූ බව තමයි මතකයේ තිබෙන්නෙ. අපේ හිතවතුන් කාට හරි මතකද ගලිවර්ට අවසානයේදි තාත්තව මුණගැහෙනවද කියල?

 

 

3. පිස්සු පූසා- කලොත් කපටි කමක්, පූසා පිස්සු පොරක්

Source - hanna-barbera.wikia.com
Source – hanna-barbera.wikia.com

ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී

පිස්සු පූසා කාටූන් මාලාව 1960 දශකයේ ඇමරිකාවේ ප්රදර්ශණය වූ Top Cat  කියන ඉංග්රීසි කාටූන් මාලාවේ සිංහල හඬකැවීමක්

සූට් බූට් දිග කළිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්කියල මේ කාටූනය පටන්ගන්න ගීතය ලියල තියෙන්නෙත් ටයිටස් තොටවත්ත මහත්මයම තමයි. දොස්තර හොඳහිත එකේ වගේම මේකෙත් ගීත ගායනය ගැමුණු විජේසූරිය මහතාගෙයි.

කාටද මතක මේකෙ ඉන්න පූසො සෙට් එකේම නම්?

මාලු කට්ටා, උපාසකකියමු බලන්න අනිත් ටික?

පිස්සු පූසා ලංකාවෙ හොඳටම හිට් වෙච්ච නියම චරිතයක්. බළල් ගැන්සියක් එක්ක එහෙ මෙහ රවුම් ගගහ කපටි වැඩ කරන අතරේ, නගරයේ සාජන්ට් මහත්තයගෙ කනිනුත් රිංගන්න තරම් පූසා දක්ෂයි. දවස්වල පූස් ලොක්කත් පොලිස් රාළහාමිත් එක්ක පැය භාගයක් ගෙවිල ගියේ දැනෙන්නෙවත් නැතිව.

මේකෙ පිස්සු පූසා චරිතයට හඬ කැවූ පරාක්රම පෙරේරා මහතා ගැනත් සඳහනක් නොකරම බෑ. පිස්සු පූසා ඥාව්වා විතරක් නෙමෙයි ටයි මාමගේ අනෙකුත් කාටූන් චරිත වන දොස්තර හොඳහිත, චව් චවු වගේ එවටත් රසවත් විදිහට හඬ කවලා තිබෙන්නෙ එතුමා තමයි.

අදට උනත් පිස්සු පූසා ආපහු පෙන්නුවොත් ආයෙ දෙකක් නෑ බලන එක බලනවාමයි!

 

 

 

4. හා හා හරි හාවා – කටකාර නුවණක්කාර හාවා

Source - pinterest.com, cartoonbucket.com, characters.wikia.com
Source – pinterest.com, cartoonbucket.com, characters.wikia.com

“හා හා හරි හාවා කැලේ මැදින් ආවා”

හා හා හරි හාවා එකම කාටූනය අපි විසි තිස් වතාවක් විතර බලල ඇති. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති හාස්‍ය රසයෙන් පිරි කාටූනයක්.  සෙනසුරාදා ඉරිදා ආයුබොවන් වැඩසටහන් වලදි මේක නැවත විකාශය වෙද්දිත් පොඩිත්තො හැටියට නොඉවසිල්ලෙන් බලන් හිටියා හා හරි හාවා පෙන්නනතුරු.

කැරට් අල කමින් දියුණු නුවනින් යුතුව ඉන්න හා පැංචව අල්ලගන්න විවිධ අය දාන උප්පරවැට්ටිත්, හා පැංචා ඒවගෙන් ගැලවෙන විදිහත් පුංචි අපේ හිත් සතුටින් පුරවන්න සමත් උනා.

ලෝ ප්‍රකට Bugs Bunny  නම් කාටූන් පෙළ තමයි ටයි මාමා හා හා හරි හාවා නමින් අපිට ගෙනාවෙ. මේ ගීතය ගයන්නේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියයි. මේ ගීතය ගයන විට ඇය පාසැල් සිසුවියක් බවත් පැවසෙනවා. මේ හා හා හරි හාවා ගීතය කුමාරතුංග මුනිදාසයන්ගේ හාවාගේ වග නම් කවි පෙළකින් උපුටා ගන්නා ලද්දක් බවත් සඳහන් කළ යුතුයි.