මතකද 96 අවුරුද්දේ මාර්තු 17 වැනිදා? ඒ දවස වෙද්දි යම්තම් හෝ දැනුම් තේරුම් ඇති වයසක හිටපු කිසිම කෙනෙක්ට ඒ මොහොත අමතක වෙන්න බෑ. ක්‍රිකට් ලොව පතාක යෝධයන්ව දණ ගස්වමින් අපේ පුංචි රටේ ක්‍රිකට් වීරයො ටික ලබාගත්ත ඒ ජයග්‍රහණය ගැන ක්‍රිකට් ලෝකය විතරක් නෙමෙයි මුලු මහත් ක්‍රීඩා ලෝකයමත් අදටත් කතා වෙනව.
මේ වෙද්දි ඒ සුවිශේෂි දවස උදාවෙලා අවුරුදු 21කුත් ගෙවෙන්නට ආසන්නයි. ඉතින් එවන් මොහොතක අපි ඔබේ මතකය නැවත ගෙනයන්නයි හදන්නෙ 96 ලෝක ක්‍රිකට් කුසලානය දෙසට.
අපි මේ ගෙන එන 96 ලෝක කුසලානය සම්බන්ධ සිදුවීම් සහ වාර්තා සමහරක් ගැන අනිවා ඔබ දැනගෙන ඉඳල නැතිව ඇති.
1996ට පෙර පවත්වපු ලෝක කුසලාන තරඟාවලි වලදී තමන්ගෙ රටේදි පවත්වපු තරඟාවලියක් ජයගන්න කිසිම රටක් සමත් වෙලා තිබුණෙ නෑ. මුලින්ම මේ හපන්කම දක්වන්න සමත්වන කණ්ඩායම වෙන්නෙ අපේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයට මුහුණ දෙන්න යද්දි වට්මෝර් සහ අරවින්ද මුලින් පන්දුවට පහර දෙමුයි කියල යෝජනා කර තිබෙනවා. මොකද ඒ වෙද්ද තිබ්බ හැම ලෝක කුසලාන අවසාන තරඟයකම ජයග්‍රහණය ලබල තියෙන්නෙ මුලින් පන්දුවට පහරදුන්න කණ්ඩායමයි.
කොහොම උනත් අපේ කණ්ඩායම තරඟාවලිය පුරාවට පසුපසින් හඹාගොස් ජයග්‍රහණය කල නිසා අවසන් තරඟයෙත් දෙවනුවට පන්දුවට පහර දෙන්න තමයි අවසානයේදී තීරණය කර තිබෙන්නෙ.
ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබාගත් ලකුණු 241 හඹාගොස් ජයග්‍රහණය කිරීමත් සමග ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට ලකුණු හඹාගොස් අවසන් තරඟයක් ජයගත් කණ්ඩායම හැටියටත් අපේ කණ්ඩායම ඉතිහාසගත වනවා.
96 ලෝක කුසලානය ගැන පළවෙන හොඳ මත වගේම නරක මතත් තිබෙනවා. සමහරු කියනවා ඕස්ට්‍රේලියාව, බටහිර කොදෙවුවන් ආපු නැති නිසා අපි දින්න කියල (ඒකට නම් ෆයිනල් එකේදි උත්තර දුන්නනෙ නේද?)
තවත් ජනප්‍රිය මතයක් තමයි වාසනාවට අපේ කට්ටිය තාවකාලික ෆෝම් එකකට ඇවිත් තිබුණ නිසා දිනපු තරඟාවලියක් කියල. හැබැයි මේ කතා කියන කවුරුත් නොදන්න කාරණයක් තමයි 96 ලෝක කුසලානය සඳහා සැලැස්ම අවුරුදු දෙකක් තිස්සේ ක්‍රියාත්මක වුවක් බව.
වට්මෝර්, ඇලෙක්ස් කොන්ටූරි වගේ විශේෂඥයින්ගෙ සේවය ලබාගෙන. 20 දෙනෙකුගෙන් යුතු සංචිතයක් වසර එකහමාරක් දෙකක් මුලුල්ලේ අත්හදා බලල තමයි මේ අවසන් කණ්ඩායම බිහි වන්නෙ. ඉතින් ඒ අය උපරිම දස්කම් දැක්වීම පුදුමයට කරුණක් නොවෙයි.
මාවන් අතපත්තු කියන්නෙ ලංකාවෙන් බිහිවූ විශිෂ්ටම පිතිකරුවෙක්. වැඩි දෙනෙක් දන්නෙ නැති උනාට මාවන් අතපත්තු 1996 ලෝක කුසලාන සංචිතයේ හිටපු ක්‍රීඩකයෙක්. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට එකම තරඟයක්වත් ක්‍රීඩා කරන්නනම් මාවන්ට ලැබෙන්නෙ නෑ.
පකිස්ථානයේදී පැවති ලෝක කුසලාන අවසාන තරඟයට කලින් දවසේ අරවින්දව පුදුමයට පත් කරමින් අමුත්තන් දෙදෙනෙක් ඔහුගේ කාමරයට ඇතුල් වෙනව. ඉන් එක් අයෙක් වන්නෙ අරවින්දගේ පියායි. අනිත් පුද්ගලයා වන්නේ අරවින්ද ඉගෙනුම ලැබූ පාසලේ ගුරුවරයෙක්.
“රටට කීර්තියක් ලබා දෙන්න තියන මේ අවස්තාවට උපරිමයෙන් ක්‍රීඩා කරන්න. ආයෙත් ඔයා ගහන ෆයිනල් බලන්න අපි ජීවත්ව හිඳීද දන්නෙ නෑ.”
තම පියාගේ සහ තමා ඉතා ගරු කරන මේ ගුරුතුමාගේ කතාව අරවින්දගේ හිතේ ඉතා ගැඹුරින් සටහන්ව තිබෙනවා. ලෝක කුසලාන අවසන් තරඟයේදී අරවින්ද සුවිශේෂී ඉනිම ක්‍රීඩා කලේ මේ වදන් ඔහුගේ හිතේ තබාගෙන බව අරවින්ද පවසනවා.
ලෝක කුසලානෙ කළමනාකරු හැටියට කටයුතු කළ දුලිප් මෙන්ඩිස් මහත්මය අපේ අය බැට් කරද්දි ක්‍රීඩාගාරෙ බලන් ඉන්න අපේ අනිත් ක්‍රීඩකයන්ට මරු නීතියක් පනවල තියනවා.
ඒ තමයි. “විකට් එකක් යනකම් ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටල යන්න තහනම්” කියන එක. නැගිටීම කෙසේ වෙතත් හෙල්ලුනත් බැනුම් අහන්න වෙනවලු.
දුලිප් මෙන්ඩිස් එහෙම කරල තියෙන්නෙ අපේ කට්ටිය එහෙ මෙහෙ යන්නෙ නැතිව පුටුවල වාඩිවෙලා මැච් එක බලද්දි පිතිකරනයේ යෙදෙන පිතිකරුවො දෙන්න හොඳින් ලකුණු ගහනවා කියන විශ්වාසය ඇතුව බවයි පැවසෙන්නේ.
එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරඟයේදී කණ්ඩායම් දෙක පෙළගැසීමේ වෙලාවෙදි ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් ප්‍රමාද වී තිබෙනවා. ප්‍රමාද වී එතැනට පැමිණෙන ශ්‍රී ලාංකික පුහුණු කරු වට්මෝර්ට එවක එංගලන්ත කළමනාකරු ව සිටි රේ ඉලිංග්වර්ත්ගෙන ලැබිල තියෙන්නෙ කුණුහරුප බැනුම් වරුසාවක්.
එංගලන්තය සමග පැවතුන අවසන් පූර්ව තරඟයේදි ඕවර 15ක් යනකම් නොදැවී හිටියොත් සනත් ජයසූරියට මරු තෑග්ගක් දෙන්න සිදත් වෙත්තමුනි පොරොන්දු වෙලා තිබෙනවා. ඒ තෑග්ග තමයි සනත්ගේ හිත ගිය අත් ඔරලෝසුවක්.
එංගලන්තය එක්ක පිතිකරණයේ යෙදෙන්න ගිහින් සනත් පන්දු 44ක් තුළදී වේගවත් ලකුණු 82ක් ලබාගන්නව. කොහොම උනත් 13 වැනි පන්දු ඕවරයේදී සනත් අවාසනාවන්ත ලෙස ස්ටම්ප් වීමකට ලක්වෙලා දැවී යනව.
ක්‍රීඩාගාරයට නැවත එන සනත් ඕවර 15ක් කඩුල්ලේ රැඳීඉන්න බැරීවීම ගැන කනස්සලු ස්වභාවයකින් ඉන්නව දකින සිදත් වෙත්තමුනි පසුව ඔහුට ඒ ඔරලෝසුව රැගෙන තෑගි දී තිබෙනවා.
1996 ඉන්දියාවත් එක්ක පැවැත්වුනු අර්ධ අවසන් තරඟය ඉතාම ආන්දෝලනාත්මක සිදුවීම් වලින් පිරි තරඟයක්. ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට තරඟයක් අවසන් නොකොට එක් කණ්ඩායමකට දිනුම දුන් අවස්ථාව හැටියට මේ තරඟය ඉතිහාසගත වනවා.
ඉන්දීය කණ්ඩායමේ නියත පරාජය දැක කළහකාරී ලෙස හැසිරෙන ප්‍රේක්ෂකයින් ක්‍රීඩකයින් වෙත බෝතල් ගල්මුල් එල්ල කරමින් ප්රේක්ෂකාගාර ගිනි තබනවා. මේ ගිනි තබමින් ප්රචණ්ඩව හැසිරෙන ප්‍රේක්ෂකයින් මැද එක් සැබෑ ඉන්දීය ක්‍රිකට් ලෝලියෙක් පමණක් නිහඬවම බැනරයක් ඔසවාගෙන සිටිනවා. තමන්ගේ කණ්ඩායමේ පරාජයෙන් හඬාවැටෙන සිතින් යුතුව වුවත් ඔහු ඉහලට ඔසවාගෙන සිටි බැනරයේ සටහන් වන්නේ මේ වචන පෙළයි.
“We are Sorry, Congratulations Sri Lanka“
අර්ජුන රණතුංග කියන්නෙ ලංකාවෙන් බිහිවූ උපක්‍රමශීලීම නායකයෙක්. ඔහුගේ මේ ගති ස්වභාවය ක්‍රිකට් පිටිය තුළ විතරක් නොවෙයි ඉන් පිටතටත් විහිදෙනවා.
ලෝක කුසලාන අවසන් තරඟයට කලින් දින පවත්වන ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් අර්ජුන ඕස්ට්‍රේලියානුවන්ගේ ඔලු අවුල් කරන ප්‍රකාශ දෙකක් කරනව.
ඉන් එකක් තමයි ලෝක පූජිත දඟපන්දු යවන්නකු වන ශේන් වෝන් එච්චර හොඳ පන්දු යවන්නකු නොවෙයි කියන එක. අනිත් ප්‍රකාශය තමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෝ සහෝදරවරු කියන්නෙ ඕනෑවට වඩා වර්ණනාවට ලක්වූ සාමාන්‍ය පිතිකරුවන් දෙන්නෙක් කියන එක.
අර්ජුනගෙ මේ ප්‍රකාශ ඕස්ට්‍රේලියානු කඳවුර තුළ ගින්නක් වගේ පැතිරෙමින් ඔවුන්ව මානසිකව දුර්වලකරන්නට සමත්ව තිබෙනවා.
අවසාන මහා තරඟයට ක්‍රීඩා කරන අපේ කණ්ඩායමේ මුල් කඩුලු දෙකක් ඉතාම ඉක්මනට දැවිල යනව. ඉන්පසුව පිටියට පිවිසෙන්නේ අරවින්ද සහ ගුරුසිංහයි. අතිරේක ක්‍රීඩකයෙක් වශයෙන් ඒ තරඟයට ක්‍රීඩාකරපු රවීන්ද්‍ර පුෂ්පකුමාරට පැවරිලා තිබෙනවා අනෙත් ක්‍රීඩකයන්ගෙ සහ පුහුණුකරු වට්මෝර්ගෙ පණිවුඩ කීපයක් අරා සහ ගුරා වෙත ගෙනියන්න.
අපි කියනවට වඩා පුෂ්පකුමාරගෙ වචනවලින්ම අහගන්නකො ඒ පණිඩිඩේ ගෙනිච්ච හැටි.
1996 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලංකාවට ඒම ප්‍රතික්ෂේප කරනවා. මේ ගැන මාධ්‍යයට ප්‍රකාශ කරමින් ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ශේන් වෝන් පවසන්නේ ලංකාවේ Shopping කරන අතරතුර තමන්ව බෝම්බයකට අසුවෙන්න ඉඩ තියන නිසා නොඑන බවයි.
ශේන් වෝන්ගේ මේ ප්‍රකාශයට පිළිතුරු සපයමින් එවක මෙරට විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා Shopping කරන එක ගෑනු ගතියක්යැයි පවසනවා. මේ ප්‍රකාශය ඔස්ට්‍රේලියානු මාධ්‍යයත් එරට විදෙස් අමාත්‍යවරයාවත් කෝපයට පත් කරන්න සමත් වනවා. ඔහු දොස් පවරනු පිණිස කදිරගාමර් මහතාට දුරකථනයෙන්ද අමතනවා.
සිද්ධිය සමාදානයට පත් කරන්න කදිරගාමර් අමාත්‍යවරයා සමත් වන අතර තිළිණයක් ලෙසට ඕස්ට්‍රේලියානු විදෙස් ඇමතිට මල්කළඹක්ද යවනු ලබනවා. ඉන්පසුව එතුමා මෙහෙම ප්‍රකාශයක් කරනවා
“මලුත් ඉතින් ගෑනු වගේ අයට තමයි”
ලෝක කුසලානය දිනාගෙන පෙරලා ලංකාවට පැමිණෙන කැප්ටන් කූල් සහ ඔහු පැමිණෙන ගුවන් යානයේ කැප්ටන්(ප්‍රධාන නියමු) තමයි මේ ඡායාරූපයේ සිටින්නෙ.
මේ ඡායාරූපයේ ලෝක කුසලානය අතැතිව සිටින නියමුවාත් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලාංකික නම සටහන් කල තැනැත්තෙක් වග ඔබ නොදන්නවා ඇති.
ඔහු තමයි සුනිල් වෙත්තමුනි. හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනිගේ සහෝදරයෙකු වන සුනිල් ලෝක කුසලානයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු අර්ධ ශතකය රැස්කරගත් ක්‍රීඩකයාද වනවා.
මෑතකදී නිම වෙච්ච 19න් පහල ලෝක කුසලාන තරඟාවලියේදී දෑතින්ම පන්දු යවමින් කුමිඳු මෙන්ඩිස් ක්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගත්තා ඔබට මතක ඇති.
ඊට අවුරුදු විස්සකට කලින් 96 ලෝක කුසලානෙදි මේ දස්කම දක්වන්න හෂාන් තිලකරත්න සමත් උන වග ඔබට සමහරවිට මතක නැතිව ඇති. ලෝක වාර්තා තබමින් කෙන්යාවට එරෙහිව පැවැත්වූ ලෝක කුසලාන තරඟයේදි තමයි හෂාන් මේ අත් දෙකෙන්ම පන්දු යැවීමේ යෙදෙන්නෙ.
අලුත්ම Comments