ට්‍රිප් ගියහම ඉස්නැක් එහෙකට ඉස්සර ඉඳන් අනිවා ඉස්ටොප් කරන ඉස්පොට් 7ක්

 

විනෝද චාරිකා යන බොහෝමයක් දෙනා ඒ අතරමග තමන් තෝරාගත්ත කඩවලට යන්න පුරුදු වෙලා ඉන්නව. ඒ වගේම බොහෝමයක් දෙනා නිතරයෙන් තෝරාගත්තු තැනුත් තියෙනවා. මේ කතාවෙන්නෙ ට්‍රිප් යනකොට අපේ අය අනිවා වාහනේ නවත්තල යන කෑම කඩ ටිකක් ගැනයි. මේ තැන්වල නවත්තන්නෙ නැතුව ට්‍රිප් යැවෙන්නෙ නැහැ වගේම මේ තැන්වල තියෙන පහසුව සහ හුරුපුරුදු බව වෙනිං තැනකින් ගන්නත් බැහැ.
 

1. මෝනිස් – මග්ගොන
Source – youtube.com
Source – youtube.com

කතරගම පැත්තට යන මනුස්සයෙක් මෝනිස් එකේ නැවැත්තුවෙ නැහැ කියන්නෙ ලෝක පුදුමයක්. ඒකෙ කෑමවල රස වගේම තැනකට යනකොට ගෙනියන්නත් ට්‍රිප් එකක් ගිහින් එනකොට ඔෆිස් එකකට යද්දි වුනත් අරගෙන යන්න දේවල් මෝනිස් එකේ තියෙනවා. මෝනිස් එකේ බිත්තර හොදියි ඉඳි ආප්පයිවල රහට ගහන්න රහක් නෑ වගේම, මෝනිස් එකෙන් අරං එන සවුබොරෝ වගේම තවත් පොඩි පොඩි කෑම ජාතිවල වෙනස තවත් කඩවලට කොපි කරන්න බෑ කියල නං ෂුවර්. අයියල මල්ලිලගෙ කඩ තුනක් තිබුනත් අන්තිමට දාපු කඩේ සුනාමියෙන් පස්සෙ දකින්න වුනේ නැහැ. හැබැයි රහ නං කියල වැඩක් නැහැ. මෝනිස් එකේ තමයි ලෝකප්‍රසිද්ද සිකියුරිටි අංකලුත් ඉන්නෙ.

 

 

2. ජිනදාස – අඹේපුස්ස
Source – google.com
Source – google.com

නුවර පැත්තට යන අය අනිවා තේ බොන්න නවත්තන තැනක් විදියට අඹේපුස්සෙ ජිනදාස එක නම් කරන්න පුළුවන්. ජිනදාසගේ තලගුලි නිසා ප්‍රසිද්ධ වෙච්ච මේ කඩේ අවට තවත් මේ වගේ නම්වලින් කඩ ගොඩක් තිබුනත් ඔරිජිනල් නම් ජිනදාසගේ තලගුලි විත්තිය කාවුරුත් දන්නවා. ෂෝට්ඊට්ස් ජාති එහෙම දැවිල්ලට කාලා සීනියි ඉඟුරුයි හොඳට තියෙන තේකක් කට පිච්චෙන්න බොන්න නං ජිනදාස කියන්නෙ මරු ප්ලේස් එකක්. තළගුලි ගන්නව වමෙ ඒගොල්ල විකුණන සීනි තවරපු පැනි පෙති ගන්නත් අමතක කරන්න එපා.

 

3. සහන – ගාල්ල
Source – sahanagalle.com
Source – sahanagalle.com

ඉස්සෙල්ල කියපු කඩ දෙකම ප්‍රසිද්ද වෙන්නෙ තේ කඩ විදියට වුනාට ගාල්ලෙ සහන එකනං ප්‍රධාන ආහාරවේල් වලටත් එක විදියටම ජනප්‍රියයි. කටට රහට කෑම ටිකක් කන්න වගේම නිදහසේ ටිකක් වෙලා ඉන්නත් සහන එක ප්‍රසිද්ධයි. රසම රස බේකරි නිෂ්පාදන වගේම පොඩ්ඩන්ට සෙල්ලං කරන්නත් ඉඩක් තියෙන නිසා සහන එක සෙනගෙන් පිරිලා. ඒ පිටිපස්සෙන් තියෙන ලස්සන ගාලු මුහුදු වෙරල නිසා කෑමට එතන වාහනය නවත්වන බොහෝදෙනෙක් මුහුදටත් නොබැහැ ඉන්නෙ නැහැ.

 

4. කඩුගන්නාව
Source – google.com
Source – google.com

නුවර යන කවුරු වුනත් කඩුගන්නාවෙ කඩ සෙට් එක ගාව නවත්තනව. එතන ඒ ඒ වෙලාවට තියෙන හැලප පාරක් එක්ක කහට එකක් ගහන්නත්, බෙලිමල් වීදුරුවක් බොන්නත්, එතනට පෙනෙන මනරම් පරිසරය නරඹන්නත් කඩුගන්නාව ගල විදපු තැන අවට උවමනා තරම් වාහන අපිට දකින්න පුළුවන්.

 

5. ගිමන්හල – දඹුල්ල
Source – tripadvisor.com
Source – tripadvisor.com

අනුරාධපුර පැත්තට යන අය දඹුල්ලෙ ගිමන්හලේ ගොඩක් වෙලාවට නවත්තනව. දඹුල්ලට කඩ ගොඩක් තියෙන නිසා හැම කඩේටම වගේ එක ගානකට සෙනග හිටියත් ගිමන්හල ගැන මිනිස්සුන්ගෙ තියෙන විශ්වාසය හොඳයි. ඒ වගේම පෙර පැවති තත්ත්වයම තවම පවත්වා ගන්නත් ගිමන්හල කණ්ඩායම සමත් වෙලා තිබීමම ඔවුන්ට තවමත් හොඳ පාරිභෝගිකයන් පිරිසක් සිටීමට හේතුවක්.

 

6. රොලංකා බොජුන්හල – මීගමුව කොච්චිකඩේ
Source – google.com
Source – google.com

මේ පැත්තෙ යන කට්ටිය අනිවා වාහන නවත්තන තැනක් විදියට රොලංකා එක හඳුන්වන්න පුළුවන්. පරිප්පුයි පොල්සම්බෝලයි එක්ක රසට හැපෙන උඩින් ක්‍රස්ටි මැදින් මොයිස්ට් පරාටා පාර දාන්න වගේම, නෙළුං කොලේ රසරම රස බත් එරකක් කන්නත් රොලංකා කියන්නෙ කියාපු තැනක්.

 

7. මැංගෝ මැංගෝ – අනුරාධපුර
Source – google.com
Source – google.com

මෙතන නං ඉතිං බඩ පිරෙන්න කන අයට කියාපු තැන. නැති දෙයක් නැහැ. නියම ස්පයිසි කොත්තුවක් වගේම, තෝසෙ හෝ වෙනත් ඉන්දියන් ඩයට් එකක් දාන්නත් මෙතන මරු. ඒ වගේම එතන බේකරි අයිටම්ස් ටිකත් ලංකාවටම ප්‍රසිද්ධයි. ගොඩක් දවස්වලට ගල්කටස් වගේ හැපෙන පාන් කෑලි කාපු අපිට දිව්‍යමය රසක් දෙන්න එතනට පුළුවන්. ඒ නිසා එතනට නවත්තන වාහන ගනනත් දිනෙන් දින වැඩි වෙනවා වගේම, ඔබේ වාහනයත් එතන නවත්තන්න අමතක කරන්නෙපා!