මේ ලෝප්‍රකට සම්මානනීය පුද්ගලයො ලංකාවෙ ඉපදුණු අය බව ඔබ දැන සිටියාද?

 

අද අපේ ලයිස්තුව සමන්විත වෙන්නෙ සුවිශේෂී විදේශිකයො 13 දෙනෙකුගෙන්. මේ අය හැමෝම සිනමාව, ක්‍රීඩාව, සාහිත්‍ය සහ දේශපාලනය වැනි ක්ෂේත්‍රවල කැපී පෙනෙන සේවයක් ඉටුකරල ලෝකයේ නමක් දිනාගත් අය. හැබැයි මේ ජනප්‍රිය පුද්ගලයො 13 දෙනාගෙ ඊටත් එහා ගිය තවත් විශේෂත්වයක් ලාංකික අපට තියනව. ඒ තමයි මේ අය හැමෝම අපේ ලංකාවෙ උපත ලබපු පුද්ගලයො වීම!

 

1. M.G.R.  – එම්.ජී. රාමචන්ද්‍රන් – සිනමා නලු

දකුණු ඉන්දීය සිනමා තරු කියන්නෙ ලංකාවත් එක්ක එතරම් හිත හොඳකින් පසුවන පිරිසක් නෙමෙයි කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. කාලෙන් කාලෙට අපිට එරෙහිව විවිධාකාර උද්ඝෝෂණ, උපවාස, විරෝධතා තිබ්බත්, මේ අයගෙ සුපිරිම නලුවා M.G. රාමචන්ද්‍රන් ඉපදිලා තියෙන්නෙ අපේ රටේ මහනුවර ප්‍රදේශයේදීයි. ඒ 1917 ජනවාරි 17 වැනිදාවක.

පසුකාලයක දමිල සිනමාවෙන් බිහිවුණ සුපිරිම නලුවෙක් ලෙසින් සම්මානයට පාත්‍ර වෙන්නටද, කැපීපෙනෙන දේශපාලන චරිතයක් වන්නටද M.G.R.ට හැකිවනවා. ලංකාවත් එක්ක බද්ධ වෛරයෙන් පසුවන මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ලංකාවෙ ඉපදුණු M.G.R.ගේ පැරණි පෙම්වතියක් වී සිටීමද තරමක හාස්‍යජනක කාරණයක්.

 

2. අර්ජුන් කුමාරස්වාමි – ජනප්‍රිය ගායක

අපේ තරුණ තරුණියන් නම් Arjun ව නොදැන ඉන්න හේතුවක් නෑ. එහෙම දැනන් හිටියත් මේ ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ගායන ශිල්පියා ලංකාවේ උපත ලැබුවෙක් බව ඔබ දැන සිටියාද? ශ්‍රී ලාංකික දමිල සම්භවයක් ඇති අර්ජුන් 1990 සැප්තැම්බර් 23 වනදා කොළඹදී තමයි උපත ලබලා තිබෙන්නෙ. අර්ජුන් ගායකයෙක්ට අමතරව ගීත රචකයෙක් සහ රංගන ශිල්පියෙක්ද වනවා.

Youtube ඔස්සේ හොයල බැලුවොත් අර්ජුන්ගෙ ලස්සන නිර්මාණ රැසක්ම රසවිඳීමේ හැකියාව ඔයාලටත් ලැබේවි. ඒ අතරින් “Why This Kolaveri Di Remix” එක විශේෂයි.

 

3. චමත් පලිහපිටිය – හිටපු Facebook උපසභාපති/ Social+Capital ආයතනයේ නිර්මාතෘ
Source – bizjournals.com

Source – bizjournals.com

චමත් පලිහපිටිය ගැන ලංකාවෙ අපිට යාන්තමින් හරි අහන්න ලැබුණෙ පසුගිය දවස්වල කරළියට පැමිණි ගූගල් ලූන් ව්‍යාපෘතියත් එක්කයි. අපිට හුරුපුරුදු නමක් නොවුනට අධි තාක්ෂණික ලෝකයේ ඉහලින්ම කතාවෙන නමක් තමයි මේ චමත් පලිහපිටිය කියන්නෙ.

ලංකාවෙ උපත ලබල තියන චමත් වයස අවුරුදු 6දී කැනඩාවට සංක්‍රමණය වී තිබෙනවා. වැඩිදුර අධ්‍යාපනයෙන් අණතුරුව ලෝ ප්‍රකට AOL ආයතනයේ සේවය කරන චමත් පසුව අලුතින් ආරම්භ කරන ලද Facebook ආයතනයට සම්බන්ධ වී තිබෙනවා. ෆේස්බුක් භාවිත කරන්නන් වර්ධනය කිරීමේ කාර්යයට අතගසන චමත් පලිහපිටිය පසු කලෙක එම ආයතනයේ උප සභාපතිධූරයක්ද දරමින් Facebook ආයතනයේ ඉහලම පුද්ගලයෙක් බවට පත්වෙනවා.

2011 වසරේදී අරඹන ලද Social+Capital ආයතනයේ නිර්මාතෘවරයා සහ සභාපතිවරයා වශයෙන් චමත් මේවන විට සේවය කරනවා.

 

4. ඩැව් වට්මෝ – ක්‍රිකට් පුහුණුකරු
Source – deccanchronicle.com

Source – deccanchronicle.com

ඩැව් වට්මෝර්ව නම් නොදන්නෙ කවුද නේද? ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයටද සුවිසල් සේවයක් කල වට්මෝර් මහතා උපත ලබන්නෙ 1954 මාර්තු 16දා කොළඹදීයි. කුඩා කාලයේ කොළඹ රාජකීය විදුහලෙනුත් අධ්‍යාපනය ලබන ඒ මහතාගේ පවුලේ උදවිය 1962 වර්ෂයේදි තමයි ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා තිබෙන්නෙ.

ඕස්ට්‍රේලියාවට ගොස් වසර 34කට පස්සේ තමන් ඉපදුණු රට ලෝක සිතියමේ සටහන් කෙරෙන සිදුවීමකට දායක වෙමින් අපේ රටින් පුදන ඉහලම කීර්ති නාමයකින් පිදුම් ලබන්නත් එතුමා සමත් වෙනවා.

 

5. පූජා උමාශංකර් – රංගන ශිල්පිණී

පූජා උමාශංකර් අපේ රටේ ප්‍රේක්ෂකයන් අතරේ කොතරම් ජනප්‍රියද කියනවානම් වර්තමාන සිංහල සිනමාවෙ ජනප්‍රියම නිළිය කිවුවටත් වරදක් නැති තරම්. 1981 ජුනි 25 වැනිදා කොළඹදී උපත ලබන පූජාගේ මව සිංහල කාන්තාවක්. පූජා පෙරපාසල් අධ්‍යාපනය ලබා ඇත්තේත් ශ්‍රී ලංකාවේදීයි.

වන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයෙන් සිංහල සිනමාවට ගොඩවදින ඇයගේ “පත්තිනි”  චිත්‍රපටයත් මේ දිනවල තිරගත වනවා.

 

6. ඇල්බට් මෝසස් – හොලිවුඩ් නලු

තවුසන්ඩ් ඇපොලොජීස්!!!

ඔබ 80, 90 දශක වල රූපවාහිනී ප්‍රේක්ෂකයෙක්නම් ඉහත කියමනත් එක්ක ඔබේ මතකයට එන විශේෂිත චරිතයක් තියනවා. ඒ තමයි එකල සුප්‍රකට “Mind Your Language” ටෙලි මාලාවේ රන්ජීට් සිං. රන්ජීට් සිංගේ චරිතයට පණපෙවූ ඇල්බට් මෝසස් කියන්නෙත් ලංකාවෙ උපත ලද පුද්ගලයෙක්. 1937 දෙසැම්බර් 19 වැනිදා තමයි ඇල්බට් මෝසස් උපත ලබා තිබෙන්නෙ.

Mind your language කථා මාලාවට අමතරව ජේම්ස් බොන්ඩ් වැනි ජනප්‍රිය විදෙස් චිත්‍රපටවලටද ඔහු රංගනයෙන් දායක වෙන්න සමත් වෙලා තිබෙනවා.

 

7. බාලු මහේන්ද්‍ර – චිත්‍රපට අධ්‍යක්ෂක

කමල් හසන් සහ ශ්‍රී දේවි රංගනයෙන් එකතු වූ “සද්මා(1983)” චිත්‍රපටය එකළ නැරඹූ අයගෙ නෙත් කඳුළින් බර කරන්න සමත් වූ අතිශය සංවේදී චිත්‍රපටයක්. ශ්‍රී ලංකාවේ රූපවාහිනී චැනල් ඔස්සේද බොහෝ වරක් විකාශය කර ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ බාලු මහේන්ද්‍ර නම් දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරයායි.

1939 වර්ෂයේ මඩකලපුවේදී උපත ලබා ඇති බාලු මහේන්ද්‍ර මඩකලපුවේ මෙතෝදිස්ත සහ ශාන්ත මයිකල් යන විද්‍යාල වලින් මූලික අධ්‍යාපනය ලබා තිබෙනවා. එකල ලංකාවේ රූගත කරන ලද “The Bridge on the River Kwai” චිත්‍රපටයේ රූගත කිරීමක් නරඹන්න ගිහින් තමයි බාලු මහේන්ද්‍රට සිනමාව කෙරෙහි දැඩි ඇල්මක් ඇතිවෙලා තිබෙන්නේ. පසු කලෙක දකුණු ඉන්දීය සිනමාවේ කැපී පෙනෙන අධ්‍යක්ෂකවරෙක් වන්නට බාලු මහේන්ද්‍රට අඩිතාලම වැටිල තිබෙන්නෙ ඒ ලෙසටයි.

 

8. අයේෂා කපූර් – රංගන ශිල්පිණී

2005 අවුරුද්දේ තිරගත කල “Black” හින්දි චිත්‍රපටය ප්‍රේක්ෂක අවධානය දිනාගන්න සමත් වූ සංවේදී කතාවක් රැගත් චිත්‍රපටයක්. අන්ධ සහ බිහිරි බවින් පෙළෙන තරුණියකගේ චරිතය වටා ගෙතී ඇති මේ චිත්‍රපටයේ ඒ තරුණියගේ බාල විය නිරූපණය කරමින් රංගනයට එක්වන්නේ අයේෂා කපූර් නම් තරුණ නිළියක්.

මේ රංගනය උදෙසා හොඳම සහය නිළියට හිමි ෆිල්ම් ෆෙයා, අයිෆා වැනි සම්මාන රැසකින්ද පිදුම් ලබන්නට අයේෂා සමත් වනවා. ඇයත් 1994 වර්ෂයේ ශ්‍රී ලංකාවේදී උපත ලද තැනැත්තියක් ලෙසටයි සඳහන් වෙන්නේ.

 

9. යොලන්ඩ් බවන් – ජෑස් ගායිකාව

යොලන්ඩ් බවන් කියන්නෙ දක්ෂ Jazz ගායන ශිල්පිණියක් වගේම රංගන ශිල්පිනියක්. ඇය 1942 දී ලංකාවෙදි තමයි උපත ලබා තිබෙන්නෙ. කුඩා කාලයේ පටන්ම ඕස්ට්‍රෙලියාව සහ ආසියානු රටවල සංචාරය කරමින් සන්දර්ශන පවත්වන ඇයට පසු කාලෙකදී ලෝ පතල “Lambert, Hendricks & Ross” ජෑස් කණ්ඩායමේද සාමාජිකත්වය හිමිවනවා. ඒ එවනවිට එහි නිත්‍ය සාමාජිකාවක්ව සිටි Annie Rossගේ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

 

10. මයිකල් ඔන්ඩච්චි – සම්මානලාභී කතුවර
Source – play.google.com

Source – play.google.com

මයිකල් ඔන්ඩච්චි කියන්නෙ අපේ රටේ උපත ලැබූ විශිෂ්ටතම ලේඛකයෙක්. ඔහු විසින් රචනා කල “The English Patient කෘතිය 1992 වර්ෂයේ බුකර් සම්මානයෙන් පිදුම් ලබන්නටද, චිත්‍රපටයකට නැගෙන්නටද සමත් වූ විශිෂ්ට කෘතියක්.

මයිකල් ඔන්ඩච්චි 1943 කොළඹදී උපත ලැබූ අයෙක්. 1954 වර්ෂයේදී එංගලන්තයට සංක්‍රමණය වන ඔන්ඩච්චි 1962 දී කැනඩා පුරවැසිභාවය ලබා තිබෙනවා.

 

11. පැට්‍රික් මෙන්ඩිස් – මහාචාර්ය
Source – ft.lk

Source – ft.lk

මහාචාර්ය පැට්‍රික් මෙන්ඩිස් අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙක් සහ කතුවරයෙක් වනවා. යුනෙස්කෝ සංවිධානයේ ඇමරිකානු කොමසාරිස්වරයෙකු වශයෙන්ද සේවය කරන ඔහු 1960 වර්ෂයේ අපේ රටේ පොළොන්නරුව ප්‍රදේශයේදී මෙලොව එළිය දුටුවෙක්.

2004 වර්ෂයේදී කියුබාව බලා ගිය අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක සාමාජිකයෙක් වන්නටත් පැට්‍රික් මෙන්ඩිස් මහතාට හැකියාව ලැබී තිබෙනවා.ඔහු කල සේවාව උදෙසා බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සම්මානයෙන්ද පිදුම් ලැබ ඇති ප්‍රැටික් මෙන්ඩිස් මහතා අප රටට මහත් අභිමානයක් ගෙන දෙන පුද්ගලයෙක්.

 

12. රෝස්මරි රොජර්ස් – ලේඛිකාව
Source – gettyimages.com

Source – gettyimages.com

1932 වර්ෂයේදී පානදුරේදි උපත ලබා තිබෙන රෝසමරි රොජර්ස් ප්‍රකට ඇමරිකානු නවකතා ලේඛිකාවක් වනවා. ඈ විසින් ලියූ “Sweet Savage Love“, “Dark Fires” වැනි ආදර නවකතා බොහොමයක්ම උණුකැවුම් මෙන් විකිණෙනන්න සමත්ව තිබෙන අතර එකල මෙරට තරුණ පරපුර අතරත් ඇගේ නවකතා බෙහෙවින් ප්‍රචලිතව තිබූ බව පැවසෙනවා.

මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනයද ලද ඇය මුලින් විවාහ වී තිබෙන්නේද ශ්‍රී ලාංකික රග්බි ක්‍රීඩකයෙකු සමඟයි. එම විවාහය බිඳීයාමෙන් පසු ඇය ලන්ඩනයටත් ඉන්පසු ඇමරිකා එක්සත් ජනපදයටත් සංක්‍රමණය වී තිබෙනවා.

 

13. ශ්‍රී දේවි?

බොලිවුඩයේ නිළි රැජින වෙලා වැජඹුන ශ්‍රීදේවි ලංකාවෙ උපන්නා කියල කිසිම තැනක සඳහන් වෙලා නෑ.  ශ්‍රීදේවිගේ උපන් ස්ථානය හැටියට සඳහන් වන්නේ ඉන්දියාවේ සිවකාසි නම් ප්‍රදේශයක්. ඉතින් ඇයි මේ ලංකාවෙ ඉපදුණු අය අතරේ ශ්‍රී දේවිගෙ නම සඳහන් වෙන්නෙ?

ඒකට හේතුව තමයි ශ්‍රීදේවි “මිස්ටර් ඉන්ඩියා” එහෙම රඟපාල ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙ ඉන්න කාලෙ ලංකාවෙ පැතිරිච්ච කට කතාවක්. ඒ තමයි ඇය ඉපදිලා තියෙන්නෙ අපේ රටේ කියන එක. අදටත් සමහරු ඉන්නවා ශ්‍රී දේවි ලංකාවෙ ඉපදුනා කියල විශ්වාස කරන.

අනිවා අපි ඉතින් හරිහැටි සාක්ෂි නැතිව ඒ වගේ නිගමනයකට එන්නෙ නෑ. ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබුණු  ඒ කතාව නිසා තමයි ශ්‍රීදේවිව අපි මේ ලැයිස්තුවට ඇතුළත් කලේ. ඒ ගැන ඔබ යමක් දන්නවනම් ඔබේ අදහසුත් අපිට එකතු කරන්න ඔබට පුලුවන්.

 

අපිට මගහැරුණු තවත් මේ වගේ ලංකාවෙ ඉපදී ලෝකය ජයගත්ත පුද්ගලයො ඉන්නවනම් ඔයාලට පුලුවන් ඒ ගැනත් කමෙන්ටුවකින් සඳහන් කරන්න.

 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid