17 වාසනාව 92 අවාසනාව ඇතුලු ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මැච් ගැන ඔබ දැනගතයුතුම දේවල්

 

අද හරිම වාසනාවන්ත දවසක්…

පිට පිට තරඟාවලි පැරදිලා පැරදිලා ක්‍රිකට් එපා වෙච්ච සමහරක් උදවිය මැච් දවසකට TV එකවත් දාන්නෙ නැතිව හිටපු කාලයක් තමයි අපි පහුකරගෙන ආවෙ. එහෙම උදවියගෙ ඇස් ආපහු TV එක දිහාවට හැරෙව්වෙ කුසල් මෙන්ඩිස්. “අන්න අපේ කොල්ලෙක් අල්ලගෙන ගහනවා” කියල කටින් කට පැතිරෙන්න ගත්තා. කට්ටිය ආපහු TV රේඩියෝ ඔන් කරගත්තා. අපේ අලුත් කොල්ලා සඳකැන් මැජික් බෝල දාල කැන්ගරුවන්ව හිරකරද්දි ඉතිරි වැඩ ටික ලේසියෙන්ම ඉවර කරන්න අපේ සදාකාලික තරුණ ක්‍රීඩකයා හේරත් මාමාට මහ වැඩක් උනේ නෑ.

ඔව්. අපි දින්නා!

ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වලම අවස්ථාවක ඉදිරිපත් කරපු බැලූ බැල්මට දුර්වලම කණ්ඩායමක් එක්කයි මේ හපන්කම් කරන්නෙ.

කවදත් අපිත් එක්ක එතරම් හොඳ ආශ්‍රයක් නොතිබිච්ච කැන්ගරුවන් අපිට දණගහන්න හැකි වුන මේ දවසෙ සිහි කරමුද මේ ඔසී-ලන්කන් ක්‍රිකට් ඉතිහාසය පිලිබඳ අපූරු කරුණු කිහිපයක්?

 

1. 17 වාසනාව
Source – gg2.net
Source – gg2.net

17 ඉලක්කම ඕස්ට්‍රේලියාවත් එක්ක අපිට වාසනාව ගෙන දෙන අංකයක් වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ටෙස්ට් තරඟවලදී. 1982දී ඕස්ට්‍රේලියාව එක්ක පලමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කරපු අපිට ඒ අයව ටෙස්ට් තරඟයකින් සහ තරඟාවලියකින් පරද්දන්න හම්බුවෙන්නෙ හරියටම අවුරුදු 17කට පස්සෙයි. ඒ කිවුවෙ 1999 දී සනත් ජයසූරිය නායකයෙක් හැටියට ක්‍රීඩා කරපු පළමු ටෙස්ට් තරඟයෙදි.

දැන් ආයෙත් අවුරුදු 17කට පස්සෙ අපි ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරඟයකින් පරද්දන්න සමත් වෙලා තියනවා. මේ තරඟය ජයගැනීමත් සමග දෙවැනි තරඟාවලියත් ජයගන්න සමත් උනා. ලේසි නෑ නේද අංක 17?

 

2. 1992 අවාසනාව
Source – bd24report.com
Source – bd24report.com

දවස් 4ක්ම තරඟයේ ඉදිරියෙන් ඉඳල, 5 වැනි දවසේ තේ පානය වෙනකොටත් ඉදිරියෙන් හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම හැමෝවම අන්දමන්ද කරමින් ඇදගෙන වැටුනු ඒ මැච් එක සජීවීව බලපු අය ඉන්නවද? අරවින්ද වැරදි පහරකට නොයන්න සමහරවිට ඒ මැච් එක අපි දිනන්නත් තිබ්බ. එහෙනම් ඒ තමයි අපි ඔස්ට්‍රේලියාවට ගහන පළවෙනි වතාව.

ලකුණු 181ක් එළවගෙන ගිය අපි 127ට විකට් දෙකක් විතරක් දැවී ජය පෙනි පෙනී හිටියෙ. ගුරුසිංහ නොදැවී තරඟය අවසන් කරද්දි අනිත් අන්තෙ ක්‍රීඩකයො සියල්ල දැවිලා ගියෙ ඇසිපිය ගහන වේගෙන්. ඒ වෙද්දි කවුරුත් අහලවත් තිබුණෙ නැති ශේන් වෝන් අන්තිම විකට් තුන අරගෙන ලකුණු දාසයක් මෙහයින් අපේ අයව නැවැත්තුවෙ උනේ මොකක්ද කියල අපිට හිතාගන්නවත් ඉඩ ඉතුරු නොකර. අදටත් පරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මතකෙ ඒ පරාජය හොල්මන් කරනව.

 

3. 192 අවාසනාව

1992 තරඟය අපිට අවාසනාව ගෙනෙද්දි ලකුණු 192ක් ගැන අවාසනාවන්ත මතකයකුත් අපිට තියනවා. 2007 ඕස්ට්‍රේලියාව එක්ක තිබ්බ දෙවැනි ටෙස්ට් මැච් එක අපි පරදින්නෙ ලකුණු 96කින්. ලකුණු 96කින් පැරදුනාට මේක හිතනවට වඩා තරඟකාරීව පැවැත්වූ තරඟයක්. ඒකට හේතුව තමයි සංගක්කාර ඒකෙ ගහපු ඉනිම. මේ ඉනිම නිසා ඕස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ඒ අයට හිතවත් රූඩි කෝට්සන් විනිසුරුත් කොච්චර බය උනාද කියනවනම් අන්තිමේදි හිස් ආවරණයේ වදින පන්දුවකට තමයි සංගා දැවී ගිය ලෙස තීරණය කරන්නෙ. දැවී යන විට සංගාගේ ලකුණු සංඛ්‍යාව 192ක්.

 

4. Hair or No Hair, Murali’s Balls are Fair
Source – youtube.com
Source – youtube.com

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම මතක හිටින ෆෑන් බැනර් එකක සඳහන් උන වාක්‍ය පේළියක් තමයි ඒ. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වෛරයේ ගිනි පුපුරු කොච්චර තිබුණත් ලොකුම ගින්න අවුලවන්න සමත් උනේ මේ බැනරයට පාදක වූ සිදුවීමයි.

1995 මෙල්බෝර්න් හි පැවැත්වූ ටෙස්ට් තරඟයක් අතරතුර ඩැරල් හෙයා විසින් මුරලි පන්දුව දමා ගසන්නෙක් ලෙස නම් කරනු ලබනවා. ඒ සමග ඇරඹුනු සිදුවීම් මාලාව ඒ ටෙස්ට් තරඟයත් සමගම නිමා වෙන්නේ නෑ. පසු කලෙක රොස් ඉමර්සන් වැනි විනිසුරුවන් හරහාද මුරලිට පන්දුවන දමා ගැසීමේ චෝදනාව දමා ගැසීම පිටුපස ඕස්ට්‍රේලියානු හස්තය තිබුණු බවට කවුරුත් විශ්වාස කලා.

ඒ බව තහවුරු කරන්න මූලික වූ තවත් සිදුවීමක් වූයේ හිටපු ඕස්ට්‍රෙලියානු අගමැතිවරයෙක් වන ජෝන් හවඩ් විසින් 2004 වසරේදී මුරලි පන්දුව දමාගසන බවට ප්‍රකාශයක් කිරීමයි. ඩැරල් හෙයාර්ගේ සිදුවීමටත් වඩා ඒ සිදුවීම තමන්ගේ සිත රිදවීමට ලක්කල බව මුරලි පවා පවසා තිබුණා.

 

5. පීඩනය ශක්තියට හරවා ගැනීම හෙවත් 95/96 සොඳුරු දෙවසර
Source – youtube.com
Source – youtube.com

95 දී දමාගැසීමේ චෝදනාවත් සමග ඇතිවූ පීඩනකාරී වාතාවරණය තමන්ගේ ක්‍රීඩාව නගා සිටුවන මහා ශක්තියක් බවට පත්කරගන්න එකල අපේ නායක අර්ජුන සමත් උනා. අර්ජුන තරම් ඕස්ට්‍රේලියානුවන්ගෙ ලේ කෝප කරපු, මනස වට්ටපු වෙනත් ක්‍රීඩකයෙක් ලෝක ක්‍රිකට් ඉතිහාසෙවත් නැතිව ඇති.

95 වෙද්දි සිදුවෙච්ච මේ අකටයුතුකම් සියල්ලට අපේ අය උත්තර දුන්නෙ ක්‍රීඩාපිටිය ඇතුලෙදි. අනපේක්ෂිත විදිහට බෙන්සන් සහ හෙජස් කුසලාන අවසන් තරඟයට සුදුසුකම් ලබමින් ලෝකයේ අවධානය දිනාගන්න අපේ කණ්ඩායම සමත් වෙනවා.බෙන්සන් ඇන්ඩ් හෙජස් උණුසුම යන්නත් කලින් 96 ලෝක කුසලාන අවසන් තරඟයේදි කියලවත් කරගන්න බැරි තරම් අවසානයක් එක්ක ජයගන්න අපේ අය සමත් වෙනවා. ඒ දවස් වල ක්වීන්ගේ “We are the Champions”  ගීතයත් එක්ක පෙන්නපු කන ගාවින් යන හතරේ පාරින් හොල්මන් චෙච්ච ශේන් වෝන්ගෙ මුහුණ අපිට අදටත් අමතක නොවෙන දර්ශනයක්.

 

6. ලොකු සීන් සහ ඩැරන් ලීමන්ගේ ලොකු සීන් වාර්තාව

සාමාන්‍ය ව්‍යවහාරයේ එන වචනයකින් කියනවනම් ඕස්ට්‍රේලියාව කියන්නෙ කවදත් අපිට “ලොකු සීන්” දාපු කණ්ඩායමක්. අද මැච් එකෙත් නේදන් ලයන් දිල්රුවන් පෙරේරාට සද්දයක් දැම්මා ඔබ දකින්නත් ඇති.

image02

ක්‍රීඩකයාගේ මානසිකත්වය අඩාල කරල කඩුලු දවාගැනීමෙනුත් එහාට ගිය මේ සමහර තර්ජන ගර්ජන කොච්චරද කියනවනම් ඔස්ට්‍රේලියාවෙ ඩැරන් ලීමන් ඒ අතින් වාර්තා පොතටත් ගිය කෙනෙක්. ඒ 2003 දී ශ්‍රී ලංකාව එක්ක තරඟයකදි කරපු වර්ගවාදී ප්‍රකාශයක් එක්ක ඔහුව තරඟ තහනමකට ලක්වීමත් සමගයි. වර්ගවාදීව හැසිරීම නිසා දඬුවම් ලද පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වෙමිනුයි ඔහු ඒ වාර්තාව තිබ්බෙ.

ඩැරන් ලීමන් 2003දි දඬුවම් ලැබුවට මේ දේවල් වලට අපි මුහුණ පෑවෙ 1980 ගණන්වල ඉඳළමයි. 1989දි අපි ඔස්ට්‍රේලියාවෙ කරපු සංචාරය අතරතුර ඉයන් හීලි විසින් අපේ ක්‍රීඩකයින්ට අශෝබන ලෙස බැනවැදුනු අවස්ථාවක් තරඟය උණුසුම් කරන්න සමත් වෙලා තිබුණා. ඒ වගේම තමයි පසු කාලෙක ග්ලෙන් මැග්‍රාත් විසින් සනත් ජයසූරියට “කලු වඳුරා” කියමින් බැන වැදීම. ඉතාමත් මෑතකදි ග්ලෙන් මැක්ස්වෙල් මහේලට ලොකු සීන් එකක් දාන්න ඇවිත් හොඳට අහගත්තා ඔබට මතක ඇති.

 

7. මුරලිගේ භූමිකාව
Source – heraldsun.com.au
Source – heraldsun.com.au

මුත්තයියා මුරලිදරන් දක්ෂතා අතරට එනකම් ශේන් වෝන්ට වඩා ජගතෙක් නෑ කියල තමයි කැන්ගරුවො හිතන් හිටියෙ. ඒ නිසාම මුරලිට දාන්න පුලුවන් කැපිලි හැම එකක්ම දැම්මා. ඒත් මුරලිව වට්ටන්න බැරි උනා. අවසානයේදී මුරලි වෝන් කුසලානෙදි වෝන්ගෙ පැත්තට උදවු කරන්නටත් මුරලිගේ සහය ගන්න තැනට ඕස්ට්‍රේලියානුවන් වැටුනා. ඒක මුරලිගේ ද්‍රෝහි කමක් හැටියට සමහරු හැඳින්වුවත් එක අතකින් බැලුවම ඒක මුරලිගේ ජයග්‍රහණයක්.

 

8. අවසාන වශයෙන්…
Source – india.com
Source – india.com

අවුරුදු දහයකට සහ තරඟාවලි හතරකට පස්සෙ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ටෙස්ට් ඉතිහාසයේ පළමු වතාවට මුරලි වෝර්න්ව පරද්දුව. මුරලි-වෝන් කුසලානය අපේ! ඕස්ට්‍රේලියානුවන් එක්ක තියන දීර්ඝ අප්‍රසන්න හැඟීම් මුසු වෙච්ච ඉතිහාසෙත් එක්ක මේ ලැබුවේ සුවිශේෂී ජයක්. ඒ වගේම මේ ජය අපේ කණ්ඩායම වැටිල ඉන්න තැනින් යෝධ පිම්මක් ඉහලට පැනීමක් වෙන්නත් පුලුවන්.

ඒ නිසාම අද හරිම වාසනාවන්ත දවසක්…