Friendzoned! මං එයාට බොක්කෙන් ලව් වුනාට එයාට මං යාලුවා විතරද?

 

බොහොම වෙලාවට ඇහැට කණට පේන දැරිවියක් ගැන ‘පිළිබඳ හිතක්’ පහළ වෙලා, පොඩ්ඩක් දැන අඳුන ගෙන, ෆ්ලර්ටින්ග් කියලා ෆැන්සි විදියට පැණි පාර දාලා, වැඩේ ගොඩ කියලා හිතුවත් වැඩේ අල වෙන අවස්ථා අනන්තයි. ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි “අපි හොඳ යාළුවෝ වගේ ඉමු” කියලා අහගන්න වෙන එක. ඊටත් වඩා නරක දේ තමයි “මම පතන්නේ ඔයා වගේ හොඳ කෙනෙක් මට ලැබෙන්න කියලයි” වගේ ඩයලොග් එකක් හිත ගිය කෙල්ලගෙන් අහගන්න ලැබෙන එක. ගැහැණු බාසාවෙන් තේරෙන බාසාවට පරිවර්තනය කළොත් ඔය කියන්නේ “ඔයා එක්ක ලව් කරන්න මම කැමති නෑ, ඒ නිසා ඕන නං තව එක යාළුවෙක් වගේ ලිමිට් එකේ හිටපන්” කියන එක තමයි.

හැබැයි මේ කථාව හැම තැනටම අදාළ වෙන්නේත් නැහැ. බොහෝම විටදී ඔබේ හිත ගිය දැරිවියගේ හිත ඔබට නොයන්නේ එක්කෝ ඔබට වඩා සිරා ඩයල් එකක් (ඔව්! ඔබට වඩා ලොකු මාළුවන් මුහුදේ සිටී) හින්දා හිත මෙව්වා වෙලා තියෙන නිසා වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් දැරිවිගේ හිත ගන්න ප්‍රොසෙස් එකේ ඔබම වැරදියට තියපු අඩියක් දෙකක් නිසා වෙන්න පුලුවන්. දැන් මේ උපකල්පනයන් කෙරෙන්නේ ඔබ සහ ඇය ගැලපෙනවා කියන කාරණයත්, දැරිවි ඔබව “දරුවන්ගේ තාත්තා” කරගන්න අකැමැති වුනත් අත අරින්නත් ලෝබ කමෙන් ඉන්නවා කියන කාරණයත් සත්‍ය වේ කියන තර්කයේ ඉඳලයි. අන්න එහෙමනම් “ෆ්‍රෙන්ඩ් සෝන්” එකට වැටෙනවා වගේ නස්පැත්තියක් නොවෙන්න මොනවද කරන්න ඕන?

 

1. හරිම ස්වීට්, හරිම නයිස්, හරිම ෂෝක් සුදු අය්යා නොවෙන්න
Source - youtube.com
Source – youtube.com

කොල්ලෝ ඕනෑවටත් වඩා ස්වීට් වෙන්න, නයිස් වෙන්න යන එක ෆ්‍රෙන්ඩ් සෝන් එකේ හිරවෙන්න තියෙන ලේසිම විදියක්. ෆේස්බුක් එකේ දාන දාන හැම පින්තූරෙටම “යූ ආ වෙරි ප්‍රිටි මෙයා” කියලා කමෙන්ට් කරන එකේ ඉඳලා, ප්‍රායෝගිකව කෙල්ල වෙනුවෙන් පාපිස්සක් වෙන්න යන එක දක්වා මේ “ෂෝක් අය්යා” රඟ දෙනවා. ඊට පස්සේ ඒ තරමට නයිස් වෙන එකේ හිලව්වට කෙල්ලගේ අත ඉල්ලන්න යනකොට වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

මෙතැනදී සිහියේ තියාගන්න ඕන එකම දේ තමයි ඇගේ හැඟීම් වැදගත් වගේම ඔබේ හැඟීම්ද වැදගත් කියන එක. එහෙම නැතුව “ඔයා මට ආදරේ නොකරට කමක්  නෑ රත්තරන්, මම ඔයා ගාව කල්පයක් වුනත් ඉන්නවා” වගේ හින්දි ‍ෆිල්ම් ඩයලොග් කෑලි දෙනකොට වෙන දේ තමයි, සැබවින්ම ඔබේ හැඟීම් වැදගත් නොවෙන බවට ඔබ අවිඥාණිකව ප්‍රකාශ කර සිටීම. ඔයාලත් ඒ නිසා පාපිස්සක් වෙන්න යන්න එපා. හොඳ මිනිහෙක් වීම සහ ෂෝක් අය්යා වීම දෙකක්.

 

2. මගේ හිත ලස්සනයි රත්තරං
Source -fotolia.com
Source -fotolia.com

ඕනෑම වෙලාවක ගෑණු ළමයෙක්ගෙන් පත්තරේට සම්මුඛ සාකච්ඡාවක් ගත්තොත් කියයි “මට පිට ලස්සන වැඩක් නැහැ, හිත ලස්සන නම් ඒ ඇති” කියලා. හැබැයි එහෙම ගෑණු ළමයෙක්ගෙන් ඇත්තටම යාළු වෙන්න අහනකොට ඈ ඔබේ හිත කෑලි කඩලා පහළ දොළට දැම්මත් පුදුම වෙන්න එපා. බොහොම වෙලාවට ඔබේ හොඳ ගතිගුණ නිසා අයින් කරන්න ලෝබ වුනත්, තමන්ගේම කරගන්න එහෙමට වුවමනාවක් නැති වෙලාවක වෙන්නේ ඔබව “හොඳ යාළුවෙක්” කරගන්න එක තමයි.

මෙතැනදී අපිට තිත්ත ඇත්තකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි බාහිර පෙනුමත් වැදගත් වෙනවා කියන එක. පටලවා ගන්න එපා. ඔබ උස නැති කෙනෙක් නම් ඔබට කෙල්ලගේ හිතට හරියන්න උස යන්න අවශ්‍ය නැහැ. ඔබ කළු මනුස්සයෙක් නම්, කෙල්ලගේ හිත ගන්න සුදු වෙන්න යන්න ඕන නැහැ.ඒත් ඔබ ඕනෑවට වඩා මහතද? හෙට ඉඳන්ම ව්‍යායාම කරන්න. අපිළිවෙලද? පිරිසිදු කම ගැන උනන්දු වෙන්න, අඳින පළඳින විදිය ගැන උනන්දු වෙන්න, කථා බහ කරන විදිය ගැන උනන්දු වෙන්න. කොටින්ම කියනවා නම් සිත් ගන්නා සුළු පෞරුෂයක් සහ ප්‍රියමනාප බාහිර පෙනුමක් ඇති කරගන්න. කරලා බලන්න වෙනස.

 

3. ආදරේ සඳ එළිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි
Source - quotesgram.com
Source – quotesgram.com

කොල්ලෝ හිර වෙන අන්ත දෙකක් තමයි, එක්කෝ කෙල්ලෙක්ට හිත ගියපු තැන ඉඳන් “බොනෝබෝ” වඳුරෙක්ටත් වඩා කාමෝද්දීපනයෙන් පසුවීම. එහෙමත් නැතිනම් සිල් ගත්තු හඳ වාගේ විරාගික වීම. යතාර්ථයේදී රොමාන්තික සම්බන්ධතාවයකට භෞතික ආකර්ෂණය අවශ්‍ය වෙනවා. ඒ භෞතික ආකර්ෂණය දු‍ටු මනතින් හට නොගන්නවා නම්, ඒක ක්‍රමයෙන් වර්ධනය වෙන්නට ඉඩ දිය යුතු වෙනවා. ඔය කිව්ව භෞතික ආකර්ෂණය නැති නම් ඔබව ෆ්‍රෙන්ඩ් සෝන් එකට වැටීම සක්කරයගේ පුතාටවත් නවත්තන්න බැහැ. මෙතැනදී ඒ ආකර්ෂණය ඇති කර ගන්න හැකිවෙන්නේ ඩබල් මීනින්ග් කථා කීමෙන් නෙවෙයි. මිතුරෙකු ලෙසින් නොව සහකරුවෙකු ලෙසින් හැසිරීමෙන්. උදාහරණයක් ලෙසින් දක්වනවා නම් “මචන්” ලෙවල් එකෙන් ගමන ආරම්භ කිරීමට වඩා, පැහැදිලිවම ඔබට ඇය කෙරෙහි ආකර්ෂණයක් පවතින බව පෙන්වා දීම වැදගත්. ඔබ ඇයත් එක්ක සම්බන්ධතාවය යම් දුරකට වර්ධනය කර ගත් පසුව ඇයගේ අතින් අල්ලන්න බය නොවෙන්න. හැබැයි මේ අන්තයෙන් මිදිලා අනෙක් අන්තයට නොවැටෙන්නත් වග බලා ගැනීම යහපත්.

 

4. නොදැක ඉන්න බෑ මටනම්
Source - bobbyvibes.blogspot.com
Source – bobbyvibes.blogspot.com

ඕනෑවට වඩා හැඟීම් ඉල්ලන්න යෑමවගේමහැඟීම් ප්‍රකාශ කරන්න බය වීමත් “අපි හොඳ යාළුවෝ වෙමු” තැනට යන්න නොවරදින ටිකට් දෙකක්.

සාමාන්‍යයෙන් ඔබට ගැහැණු ළමයෙක් සම්බන්ධයෙන් සැබෑ ආකර්ෂණයක් තිබෙන විටදී ඒ බව පැහැදිලිවම ප්‍රකාශ කිරීමට යෑම අභියෝගයක්. ඊට වඩා යාළුවාගේ වේශයෙන් ඈට ලං වීම වඩාත් පහසු නිසා බොහෝමයක් දෙනෙක් ‍තෝරගන්නේ ඒ ලෙහෙසි, හැඟීම් සම්බන්ධයෙන් අඩු අවදානමක් ඇති පාර. ඒත් ඔබ හැබෑ හැඟීම් ප්‍රකාශ කරන්න ධෛර්යය ඇතිකරගන්න මොහොත වෙනකොට නැව ගිහින් වෙන වරායක නවත්තලා වෙන්න පුලුවන්.

අනෙක් කාරණාව ඕනෑවට වඩා, ඒ කියන්නේ අපේක්ෂා භංගත්වයට ලං වුණු මානසිකත්වයකින් යුක්තව හැඟීම් ප්‍රකාශ කර සිටීම සහ ඒ හැඟීම් වලට ප්‍රතිචාර ඉල්ලා සිටීම. ඔබත් මේ “ඩෙස්පරේට්” ආකාරයේ කෙනෙක් නම්, ඔබ යාළුවා කියන තැනින් නතර කර තියන්න ගැහැණු ළමයා ප්‍රවේසම් වෙන්න පුලුවන්.

 

5. රතු කරලද නිල් කරලද, යථාර්ථයද මායාවද?
Source - youtube.com
Source – youtube.com

අවසානයටම කියන්නවා නම්, හැබෑවට මුහුණ දෙන්න. ඇය ඔබ එක්ක ප්‍රේම සම්බන්ධයකට යෑමට අකැමැති නම්, ඒ බව ඇය පැහැදිලිවම ප්‍රකාශ කරනවා නම් ඒක පිළිගන්න. ඇයට අවංකවම ඔබව මිතුරෙක් විදියට තියාගන්න වුවමනා නම්, ඔබටත් ඒක අපහසු නැතිව දරාගන්න පුලුවනි නම් ඒකත් පිළිගන්න. හැබැයි එකක්, ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ඉඳන් ඈ ගැන රහසින් හිත හිත, ඈ කැමති අනෙක් පිරිමින්ට ඉරිසියා කර කර විඳවන්න යන්න එපා. ඔබව අමතක කරලා දාලා, ඈට හිත් අමාරු ඇති වෙන හැම වෙලාවකම කඳුලු පිහිදාන්න යන්නත් එපා. ඔබට ගැලපෙන වෙනත් සම්බන්ධතාවයක් ගැන හිත යොමු කරන්න. ඇයට ඔබව අවශ්‍ය මිතුරෙක් විදියට පමණක් නම්, ඒ සීමාව ඇයත් වටහාගත යුතුයි. ඔබත් වටහාගත යුතුයි. අන්න එතකොට ඔබට වෙනත් හැබෑ ප්‍රේමයක් සොයාගන්නත්, ඇයව හැබෑ මිතුරියක් විදියට ආශ්‍රය කරන්නත් හැකි වේවි.

 
Cover Image Source – youtube.com