Aniwa Reviews – සිංහල සිනමාවේ අනාගතයට වැටෙන මෝටර් බයිසිකල් එළිය දීප්තිමත්ය

 

සැලකිය යුතුයි – චිත්‍රපටයේ ඔබේ රසවින්දනයට බාධා කරන spoilers කිසිවක් මෙහි අන්තර්ගතව නැත 🙂

 

ඉර පායනවා…

දවස උදාවෙල… හෙටක් උදාවෙනවා…

Source - Youtube.com
Source – Youtube.com

සංගීත හඬ මැදින් කොළඹ ජනාකීර්ණ වීදි දිගේ ගිහින් කොත්තු කඩ, තැබෑරුම්, පදික වේදිකාවල් සීග්‍රයෙන් පහු කරගෙන ඇවිත් අපි රාත්‍රී සමාජ ශාලාවක නතර වෙනව. ගිටාර් එක ගහමින් මෙච්චර වෙලා ගැයුණ සින්දුවෙ අයිතිකාරය, ඒ කියන්නෙ අපේ කතානායකය “රංගන“ව අපිට මුණගැහෙන්නෙ එතනදි…

රංගන මියුසික් වලට කැමති, සුපර්ස්ටාර් හීනයක් තියන, මේ ඔක්කොටම වඩා මෝටර් බයිසිකලයක් ගැනීමේ තදබල ආශාවකින් පෙළෙන තරුණයෙක්. ඔහුට මෝටර් බයිසිකල් එකක් ගන්න තියන ආශාව වැඩිවෙන්න හේතුවෙන්නෙ ඔහුගෙම තවත් ලොකු හීනයක් නිසා. ඒ තමයි ඔහුගේ පෙම්වතියවත් දාගෙන මෝටර් සයිකලේක සවාරියක් යන එක.

තමංගෙ අම්මා සතු එකම වටිනා වස්තුව වන රත්තරන් මාලය උකස් තියල මෝටර් බයිසිකල් හීනය සැබෑ කරගන්න රංගන සමත් වෙනව. ඒකත් පාචිච්චියෙන් හොඳටම කසිකබල් උන, ලියාපදිංචියක් මොකුත් නැති බයිසිකලයක් මිලදී ගැනීමෙන්.

හාපුරා කියල මේ බයිසිකලේ නැගල තමන්ගෙ පෙම්වතියත් එක්ක කොළඹ සවාරියක් යන දවස උදාවෙනව. රංගනගෙ ජීවිතේ දිග දවසක් ඇරඹෙනව… මෝටර් බයිසිකලේ ඉදිරියට ඇදෙනව…

 

මම ආසයි බ්‍රේක් ගහන්න පැද්දි පැද්දි හයියෙන් යන්න…
Source - Youtube.com
Source – Youtube.com

මේ විදිහට ඇරඹෙන රංගනගේ මෝටර් සයිකල් ගමන වගේම සමීර රංගන නාඔටුන්න කියන අධ්‍යක්ෂකවරයාගේ මෝටර් බයිසිකල් චිත්‍රපටයේත් ගමන ඒකාකාරී නැහැ. ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයම සම්මානයට සහ ප්‍රේක්ෂක කතාබහට ලක්වෙන්න හේතුව වෙන්න ඇත්තෙත් ඒකයි.

මෝටර් සයිකලේ වෙලාවකට හයියෙන් යනවා, ආපහු හිමින් යනවා, තවත් සමහර වෙලාවට පණගන්වන්න තල්ලුවක් ඕනෙ වෙනවා. මේ හැම වෙලාවකදිම මෝටර් සයිකලෙත් එක්කම රංගනගෙත් ඔහුගේ පෙම්වතියගෙත් ජීවිත අපේ අවධානයට ලක්කරන්න චිත්‍රපටය සමත් වෙනව.

මෝටර් බයිසිකල් චිත්‍රපටය මෑත භාගයේ හදපු චිත්‍රපට අතරින් තාරුණ්‍යයේ හැඟීම් හොඳට අල්ලගත්ත චිත්‍රපටයක් කියන එක කියන්නම ඕනෙ. ලංකාවෙ චිත්‍රපටයක දකින්න නොලැබෙන තරම් ස්වභාවිකව පෙම් ජවනිකා ඉදිරිපත් කරල තියනව. ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව බලන්න පුලුවන්. දෙබස් උනත් හරිම ස්වභාවිකයි. ශබ්ද භාවිතය කියල වැඩක් නෑ. චිත්‍රපටය ඇතුලෙ නිශ්ශබ්දතාවය උනත් හොඳින් අපේ හදවතට දැනෙන්න සලස්වන්න තරම් අධ්‍යක්ෂකවරයා දක්ෂ වෙලා තියනව.

 

ලස්සනම ලස්සනද?
Source - Youtube.com
Source – Youtube.com

මෙහෙමයි. තමන්ගෙ පෙම්වතා පෙම්වතිය එක්ක හරි රොමෑන්ටික් කතාවක් බලන්න කියලා ගියොත් නම් ඔබේ බලාපොරොත්තු කඩ වෙන්න ඉඩ තියනවා. මෝටර් බයිසිකලේ සමහර සිද්දි කැතයි, වේදනාකාරීයි, බලාපොරොත්තු කඩවෙන සුලුයි. හැබැයි ඉතින් ඇත්තටම අපේ ජීවිතත් ඒ වගේමනෙ, නේද? මේකෙ වීරයෝ, දුෂ්ටයෝ, සාධාරණ පොරවල් කියලා අය නෑ. ඒ වෙනුවට ඉන්නෙ ඔබ අපි වගේම අලු චරිත. ඒ ඒ වෙලාවල් වල ආශාවන්ට, ආවේගයන්ට යට වෙන. හැබෑ වුනත් නොවුනත් හීන දකින්න ආසා මිනිස් චරිත තමයි අපිට හම්බවෙන්නෙ.

 

එතකොට ඇක්ෂන් එහෙම?
Source - Youtube.com
Source – Youtube.com

ලංකාවෙ අපිට ෆිල්ම් එකක් ඇතුලෙ මොන මොනව හරි වෙන්න ඕනෙ. මිනිහෙක් දෙන්නෙක් මැරෙන්න, සින්දු තුන හතරක් යන්න, දුෂ්ටයගෙන් පලිගන්න වගේ දේවල් සිද්ද වෙන්න ඕනෙ. නැත්නම් අපේ ඇඟට චිත්‍රපටය දැනෙන්නෙ නෑ. මේ දේවල් බලාපොරොත්තුවෙන් ඔබ සිනමා ශාලාවෙ ඉඳගත්තොත් අනිවා ඉන්ටවල් එක වෙද්දි මේ මොකක්ද මේ බලන්නෙ කියල ඔබට හිතෙන්න පුලුවන්.

මෝටර් බයිසිකල් කතාවේ හරි අරමුණක් නෑ. පැය බාගයක් විතර බලද්දි මෙන්න මේ පැත්තටයි චිත්‍රපටය කැරකෙන්නේ කියල හිතෙන විදිහේ ඉඟි බිඟි ප්‍රේක්ෂකයාට ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට චිත්‍රපටයත් එක්ක ප්‍රේක්ෂක අපිවත් ඉබාගාතෙ අරින්න අධ්‍යක්ෂකයා සමත් වෙනව. හීන ගොඩක් තියනවායැයි කියන, ඒත් ඇත්තට ඒ හීන ලබාගන්න ඕනෑකමක් තියනවද කියල අපිට සැක හිතෙන රංගනගෙ ජීවිතේ අපිට හරියටම අහු කරන්න චිත්‍රපටයෙ මේ අරමුණක් නැති ගතිය සමත් වෙනව කියල කියන්න වෙනව.

 

රඟපෑම සුපිරිද?
Source - Youtube.com
Source – Youtube.com

එසේය! චිත්‍රපටයේ ධාවන කාලයෙන් වැඩි හරියක් අපිට මුණ ගස්සන රංගන සහ පෙම්වතියගේ චරිත වලට පණදෙන දසුන් පතිරණ සහ සමනලී ෆොන්සේකා ඉතාම ඉහල රංගනයක් කරනවා කිවුවොත් නිවැරදියි. චිත්‍රපටයේ ජවනිකාවල තියන ස්වභාවික ගතිය මතු කරන්න මේ දෙන්නාගෙන් සුපිරි කාර්භාරයක් ඉටු වෙන්නේ. චිත්‍රපටය බැලුවයින් පස්සේ දසුන්-සමනලී දෙපළගේ රසිකයො බවට අපි පත්වුණා කිවුවොත් නිවැරදියි.

Source - Youtube.com
Source – Youtube.com

මේ චිත්‍රපටයේ අනිත් චරිත හැටියට වඩාත්ම වෙලාවක් අපිට මුණගැහෙන්නෙ වීණා ජයකොඩි මහත්මිය. ඊට අමතරව මහේන්ද්‍ර පෙරේරා සහ කුමාර තිරමාදුරත් චිත්‍රපටයෙන් කෙටි කාලයක් ඇතුලත උනත් තමන්ගෙ රංගනයට සාධාරණය ඉෂ්ට කරල තියනව කියන්න පුලුවන්. සමස්තයක් හැටියට හැමෝගෙම රඟපෑම ඉහල මට්ටමක තියනවා (බාර් එකේ මුලින්ම හම්බුවෙන පුද්ගලයා ගැනනම් ෂුවර් නෑ හැබැයි 😛)

 

අනිත් එව්වා
Source - Youtube.com
Source – Youtube.com

මේකෙ කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්නගේ, සංස්කරණය තිස්ස සුරේන්ද්‍රගේ.  චිත්‍රපටයේ රූපරාමු වලට ලොකු කැටයම් දාන්න විශ්ව සහ තිස්ස උත්සාහ කරල නැති බව විශේෂයෙන් සඳහන් කරන්න වටිනවා. ඒ නිසාම මේ චිත්‍රපටයේ අව්‍යාජ ගතිය අපිට දැනෙනව වැඩියි. සම්භාව්‍ය ගණයේ හුඟක් චිත්‍රපටවල වගේ අඳුරු කරල බොරු ගැඹුරක් මවන්න උත්සාහ කරලත් නෑ.

චිත්‍රපටයේ පසුබිම් සංගීතය ගැනත් කියන්න තියෙන්නේ ඒ වගේම අදහසක් තමයි. මේකෙ සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ අජිත් කුමාරසිරි විසින්. ගී පද රචනයෙන් සහ ගායනයෙනුත් අජිත් චිත්‍රපටයට සම්බන්ධ වෙනවා. උපුල් ශාන්ත සන්නස්ගලත් ගී පද රචනය කලායැයි සඳහන් උනාට තිබෙන හැම ගීතයකින්ම වගේ අපිට මතුඋනේ අජිත්ගේ ස්ටයිල් එක තමයි.

 

 

වැරදිත් නැත්තෙ නෑ
Source - Youtube.com
Source – Youtube.com

කා අතින්ද වැරදි නොවෙන්නෙ නේද? අනිත් එක අපි වැරැද්දක් කියපු පළියට ඒක තව කෙනෙකුට වැරැද්දක් වෙන්නෙ නැති වෙන්නත් ඉඩ තියනවා. කොහොම උනත් මේ කියන්න යන්නේ අපිට හිතුන එහෙම එකක් ගැන.

ඒ තමයි චිත්‍රපටයේ අවසානය. මේකට නම් අපි එතරම් කැමති නෑ. අර අපි කලින් කිවුවනෙ‍ අපේ ප්‍රේක්ෂකයො චිත්‍රපටයක් ඇතුලෙ බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියනවා කියල. අන්න ඒවයෙන් එකක් ගැන නොසලකා හරින්න බැරි හින්දද මන්ද අධ්‍යක්ෂකවරයා යම් පමණක නිශ්විත අවසානයකට චිත්‍රපටය කැන්දන් යනව. අපිට නම් හිතුනෙ චිත්‍රපටය ඒ තාක් දුරට පවත්වාගෙන ආපු රිද්මය ටිකක් කඩල දාල බලෙන් තල්ලු කරපු අවසානයක් වගේ කියලයි. එහෙම නොකර කතාව අවසන් කලානම් තවත් වටිනාකම වැඩි වෙන්න තිබ්බා කියන එකයි අපේ පෞද්ගලික අදහස.

 

හරි. වටිනම ප්‍රශ්නය. බලන්නද එපාද?
Source - Youtube.com
Source – Youtube.com

පිස්සු කතා කරනවද? අනිවා ගිහින් බලන්න! මතක ඇති කාලෙකින් ලංකාවෙ හදපු සාර්ථකම චිත්‍රපටයක්. ඒ වගේම හොඳම රංගන යුගලයක් දැකිය හැකි චිත්‍රපටයක්. පවුලේ සැමටම බලන්නත් පුලුවන් නිසා බය වෙන්නත් එපා.

මෝටර් බයිසිකල් කියන්නෙ ලංකාවෙ අනාගත සිනමාව ගැන නැවුම් බලාපොරොත්තු ඇති කරන චිත්‍රපටයක් බවත් ශමීර රංගන කියන්නෙ එහෙම කුසලතාවයක් විශිෂ්ටත්වයක පෙර සලකුණු පෙන්වන සිනමා කරුවෙක් බවත් නොකියම බෑ.

පුංචි සතුටක් වෙනුවෙන් අපි කවුරුත් හීන ලුහුබඳිනව, ඒක රංගනගෙ මෝටර් බයිසිකල් හීනයම නොවුනත් අපි කවුරුත් හීන දකින විධිවල සමානකම් තියනවා. අධ්‍යක්ෂකවරයා මේ චිත්‍රපටයේ නම “මෝටර් බයිසිකලේ” නොකර “මෝටර් බයිසිකල්” බවට පත්කලේත් තාරුණ්‍යයේ අපි කාගෙත් මේ හීන ගැන මතක් කරන්න වෙන්න පුලුවන්.

චිත්‍රපටයේ එක තැනක බයිසිකලේ යන ගමන් රංගන තමන්ගෙ පෙම්වතියට තමන්ගෙ හීනෙ ගැන මේ වගේ දෙයක් කියනවා.

“අපි හැමදාම මේ බයිසිකලේ පදින්නෙ නෑ…ටික දවසකින් මේක විකුණලා වෙන අලුත් එකක් ගන්නවා…ඒකත් විකුණලා දවසක පොඩි කාර් එකක් ගන්නවා...”

ශමීර රංගන නාඔටුන්නටත් මෝටර් බයිසිකලෙන් පටන් අරගෙන තවත් දිග ගමනක් යන්න ලැබේවා කියල අනිවා අපි සුබ පතනවා.