ලෝකේ ජනප්‍රියම ෆුට්බෝල් ලංකාවේ ජනප්‍රිය නැද්ද? ලංකාවේ සිරා ෆුට්බෝල් ෆෑන්ස්ල ඉන්නවද?

 

ලංකාවෙ අංක එකේ සෙල්ලම ක්‍රිකට් වුනාට, ලෝකෙ අංක එකේ සෙල්ලම ෆුට්බෝල් විත්තිය අවිවාදයෙන් පිළිගන්න ඕන දෙයක්. ක්‍රිකට් හැඳින්වෙන්නෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාව කියලා වුනාට ෆුට්බෝල් හැඳින්වෙන්නෙ නං රස්තියාදුකාරයොන්ගෙ ක්‍රීඩාව කියලයි. එහෙම වෙන්නෙ පෙනුමෙන් කියලා ඉස්සර කතා වුනත් දැන් කොයිකෙත් පෙනුම එකයි කියලා කියන්න පුළුවන්. හැබැයි  එංගලන්තකාරයො තාමත් ක්‍රිකට් බලන්න කෝට් දාලා එනවා වගේම ෆුට්බෝල් බලන්න ගිහිං ගහමරාගෙනයි ගෙදර යන්නෙ. පිටරට විස්තර මොනව වුනත් ලංකාවෙත් ඉන්නව ෆුට්බෝල් ලෝලියො. ඒ හින්දමයි අපි මේ ආටිකල් එක ලියන්නෙ.

 

1. මෙසීද රොනාල්ඩෝද?
Source – pinterest.com

Source – pinterest.com

මේක ෆුට්බෝල් ලෝකයේ විතරක් නෙමෙයි ලංකාවෙ ෆුට්බෝල් ෆෑන්ස්ල අතරත් තියන ප්‍රශ්නයක්. ලංකාවෙ ෆුට්බෝල් නොබලන උනුත් දන්න එකම නම් දෙක විදියට මේ නම් දෙක අඳුන්වන්න පුළුවන්. බැලූන් ඩි ඕර්, ගෝල්ඩන් බූට් ගැන යුද්ද කර කර අපේ උන්දලා විසඳගන්න හදන්නෙ මේ දෙන්නගෙන් දක්ෂ කවුද කියලයි. මේ දෙන්නාම ෆු‍ට්බෝල් ලෝකෙ එතෙක් මෙතෙක් පහළ වුනු සුවිශේෂ ක්‍රීඩකයො දෙන්නෙක් වගේම මෙයාලා නිසාම විතරක් ෆුට්බෝල් බලන පිරිසකුත් ඉන්නවා. හැබැයි හැමෝම පිළිගන්න කාරණයක් විදියට රොනාල්ඩෝ මෙසීට වඩා ආත්මාර්ථකාමියි කියන කතාවනම් කියන්න ඕන. ඒක තීරණාත්මක වෙලාවක වුනත් ඇසිස්ට් නොකරන ගති ගුණය නිසා මතුවෙලා පේනවා. ඒ අස්සෙ තව ඉන්ග්ලිෂ් ප්‍රිමියර් ලීග් සපෝට් කරන අයියල ඉන්නව ඊඩ්න් හැසාඩ් වගේ අය එක්ක ගත්තම මෙසීල කැලේ කියල කියන. ඇත්තටම එහෙමද කියල බලද්දි ස්ටැට්ස් පෙන්නන්නෙ නං වෙනස් උත්තරයක්.

 

2. ක්ලබ් හැප්පිලි
Source – timesoccer.com

Source – timesoccer.com

බාසිලෝනා සහ රියල් මැඩ්රීඩ් වලිය එහෙමත් නැත්තං එල් ක්ලැසිකෝ යුද්ධය කියන්නෙ ගහමරාගන්න එකක්. කොහොමත් කණ්ඩායම් දෙක අතරෙ ප්‍රසිද්ධ ක්‍රීඩකයො හුවමාරු නොවන චාරිත්‍රෙකුත් තියෙනවා. එහෙම මාරු වෙලා ආන්දෝලනයක් ඇති කරපු කෙනෙක් තමයි බාසිලෝනාගෙන් මැඩ්රීඩ් ගිය ලුවිස් ෆිගෝ. ඒ කේන්තියට ෆිගෝට ඌරු ඔලුවකින් දමලා ගැහුව වගේම රටවල් වලිනුත් කැපිලි ආවා. කොහොමත් මේ සපෝටර්ලා අතරෙත් ජම්මාන්තර වෛරයක් තියෙනවා. ඒ වගේම තවත් ගේමක් තියන ක්ලබ් දෙකක් තමයි මැන්චෙස්ටර් සිටි සහ මැන්චෙස්ටර් යුනයිටඩ්. ලංකාවෙ ෆෑන්ස්ල වැඩිත් ඉන්ග්ලිෂ් ප්‍රිමියර් ලීග් එකට කියලා කියන්න පුළුවන්. මහේල ජයවර්ධනයි මැන්චෙස්ටර් යුයිටඩ් ටීම් එකයි අතරෙත් ලවු එකක් තිබ්බ. මහේල ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලින් අයින්වෙද්දි මෑන් යුනිටඩ්ලා හොඳ ෆෙයාවෙල් එකක් දුන්නා වගේම, ඒ වෙනුවෙන් ඒගොලොන්ගෙ සෝෂල් මීඩියාත් අප්ඩේට් කරා.

එංගලන්තයේ පැවැත්වෙන Premier League එකට කොච්චර කඩේ ගියත් දැන් දැන් ස්පාඤ්ඤ La liga එකටත් කැමති කට්ටිය සෑහෙන්න ඉන්නවා. කට්ටියක් ඉන්ග්ලිෂ් ලීග් හොඳයි කියද්දි තව අය La liga හොදයි කියනවා. මීට අමතරව ජර්මානු Bundesliga, ඉතාලියානු Serie A, වගේ තරඟාවලිත් මෙහේ කට්ටිය අතර ප්‍රසිද්ධයි. ඉතාලියානු පාපන්දු කණ්ඩායම් ගැන දැන් වැඩි අවධානයක් නැති උනාට මීට දශකයකට දෙකකට එපිට AC Milan තමයි ලෝකෙම හොල්ලගෙන හිටියෙ. මේ කණ්ඩායම් වලට අමතරව මැන්චෙස්ටර් යුනයිටඩ්, ආසනල්, ලිවර්පූල්, බයන් මියුනිච්, බොරුසියා ඩෝරට්මුන්ඩ්, P.S.G වගේ කණ්ඩායම් තමයි මෙහේ වැඩිපුරම ජනප්‍රිය.

 

3. ඒ ඒ පොරවල්
Source – twitter.com

Source – twitter.com

ඒ ඒ ක්ලබ්වල ඉන්නවා ඒ ඒ ක්ලබ්වලට ආවේනික පොරවල්. බාසිලෝනාවලට මෙසී, සුවාරිස්, නේමාර්, ඉනියෙස්ටා ඉඳිද්දි, රියල් මැඩ්රීඩ් වලට රොනාල්ඩෝ, බේල්, බෙන්සෙමා, රොඩ්රිගස්, රමෝස් ඉන්නවා. මෑන් යුනයිටඩ් දැන් අලුත් ලයින්අප් එකක් දාගෙන නිසා රූනි, ස්ලාටන් ඊබ්‍රහමොවික්, පෝල් පොග්බා එක්ක ඒගොල්ලොත් හුඟක් ශක්තිමත්.

 

4. ලංකාව මේ… මං මේ රටේ
Source – wikipedia.org

Source – wikipedia.org

ලංකාවටත් තියෙනවා ප්‍රසිද්ධ ක්ලබ් ටිකක්. චිලවු මේරියන්ස්, ජාවා ලේන්, සෝන්ඩර්ස් වගේ ඒ කණ්ඩායම් අතරේ තරග බලන්නත් සෙනග ඉන්නවා. ඒත් අවස්ථාවක් නැහැ වගේම ජාත්‍යන්තර තරඟ මදිකම හින්දා ලංකාවේ ෆුට්බෝල් වැටිලා තියෙන්නෙ. ඒ වගේම ක්‍රීඩකයන්ට හොඳ ආර්ථික මට්ටමක් නැති එකත් මේකට හේතුවක්.

 

5. අපේ ෆුට්බෝල් ෆෑන්ස්ලා සෙට් වෙන තැන්
Source – facebook.com

Source – facebook.com

පිටරටවල වගේ අපේ පොඩි අය හෝ තරුණ අය පාරවල් වල පිට්ටනි වල ෆුට්බෝල් සෙල්ලම් කරනවා අඩුයි. ඒ වෙනුවට තමන් කැමති ක්ලබ් එකට සපෝට් කරන්න, ඒ අයගෙ ගුණ දොස් කතා කරන්න අපේ හාදයො හදාගත්ත ෆේස්බුක් පිටු තමයි තියෙන්නෙ. ලන්කන් ෆුට්බෝල් එරීනා කියන්නෙ ලෝක පාපන්දු තොරතුරු වගේම අපේ පාපන්දු ක්‍රීඩකයො ගැනත් තොරතුරු හුවමාරු කරගන්නා එහෙම එක තැනක්. මීට අමතරව විවිධ ජනප්‍රිය ෆුට්බෝල් ක්ලබ් වල ලංකාවෙ ෆෑන්ස්ල හදාගත්ත ෆේස්බුක් පේජසුත් පොඩ්ඩක් හොයල බැලුවොත් හොයාගන්න අමාරු නෑ.

 

6. ක්ලබ් මැච් පැවැත්වෙන කාල
Source – celebmix.com

Source – celebmix.com

සාමාන්‍යයෙන් අගෝස්තු සිට මැයි දක්වා කාලය තුළ තමයි මේ හැම විදෙස් ලීග් එකකම මැච් පැවැත්වෙන්නෙ. ඒ ඒ වසරවල සාර්ථක ක්ලබ් අතරින් හොඳම ක්ලබ් එක තෝරන  UEFA Champions League තරගාවලිය කියන්නෙත් මීට සමගාමීව පැවැත්වෙන ලෝකයම වැඩි අවධානයක් යොමු වෙන තරඟාවලියක්.  එක එක රටවල හැමදාම හැප්පෙන්නෙ නැති ලොකු ලොකු ක්ලබ් වල ෆෑන්ස්ල අවුරුද්ද පුරාම වහසි බස් දොඩවල අන්තිමේදි බලාගෙන ඉන්නෙ තමන් කැමති ක්ලබ් එක අනිත් ක්ලබ් වලට දුවන්න දෙනකන්.

 

7. ඔයා දන්නෙත් නැද්ද?
Source – facebook.com

Source – facebook.com

ෆුට්බෝල් වගේ ලස්සන ක්‍රීඩාවක් ලංකාවෙ ප්‍රසිද්ධ නැත්තෙ ඇයි කියල පොඩ්ඩක් හිතන්න වෙනව. ඒ දේට උනන්දු වගේම, ඒකට කැපවුනු ජනතාවක් හිටියත් රජයෙන් වගේම අනුග්‍රාහකයින්ගෙන් ෆුට්බෝල්වලට එච්චර පිටුබලයක් ලැබෙන්නෙ නැති පාටයි. ටීවී එකකවත් ෆුට්බෝල් මැච් එකක් නැති එකත් ලොකු අඩුවක්. පෙන්නුවත් පෙන්වන්නෙ වර්ල්ඩ් කප් එකක් විතරක් වීමත් අවුලක්. ඒ නිසා සාමාන්‍ය ජනතාවට මේ සතුට විඳින්න සහ ලෝකේ ෆේමස්ම ක්‍රීඩාව ෆොලෝ කරන්න ලැබෙන චාන්ස් අඩුයි.

 

8. චැනල්
Source – samsung.com

Source – samsung.com

අවාසනාවකට වගේ අපේ ලෝකල් චැනල් වල මේ ෆුට්බෝල් තරඟ පෙන්වනවා අඩුයි. හැබැයි ඔබට කේබල් සම්බන්ධතාවයක් තියනවනම් පහසුවෙන්ම මේ තරඟ නරඹන්න පුලුවන්. මේ තරඟ බොහොමයක්  පැවැත්වෙන්නේ සති අන්තයේ. Sony Six කියන චැනලයේ තමයි La liga යන්නේ. මේ මැච් ටිකක් රෑ වෙලා යන නිසා ෆෑන්ස්ලාට නිදි මරාගෙන බලන්න වෙන අවස්ථා වැඩියි. ජර්මන් Bundesliga එකයි Premier League එකයි Star Sports චැනල් වල යන්නෙ. Premier League මැච්නම් හවස් වරුවේ සෙට් වෙන නිසා බලන්න ලේසියි. මීට අමතරව ඉතාලියානු Serie A සෝනි ESPN ඔස්සේද, French League සහ UEFA Champions League Ten 2 චැනලය ඔස්සේද ඔබට නරඹන්න පුලුවන්.

 


 
Cover Image Source – wallpapercave.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid