ලංකාවම හෙල්ලූ තවත් මිනීමැරුම් 6ක්

 

මුලු ලංකාවම භීතියට සහ කම්පාවට පත් කල මිනීමැරුම් පිළිබඳව අපි මීට පෙර ලිපියකිනුත් තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති. අද අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ වගේම භයානක සිත්පිත් නැති අන්දමින් සිදුකල තවත් මිනීමැරුම් හයක් පිළිබඳ තොරතුරුයි. මුලු ලංකාවම කම්පාවට පත් කරපු මේ මිනීමැරුම් වලින් සමහරක් අදටත් අපේ මතකයන් තුළ හොල්මන් කරන අවස්ථා තිබෙනවා. මතුගම සමන් කුමාරගේ ඉරණමම අත්කරගත් කළුතර සදීප ලක්ෂාන් ඝාතනය, සිනමාවටද නැගුණු ඇඩ්ලින් විතාරණ ඝාතනය සහ කැලැත්තෑවේ මිනීමැරුම් ඇතුලු ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වූ තවත් මිනීමැරුම් 6ක් පිළිබඳ තොරතුරුයි මේ.

 

1. සදීප ලක්ෂාන් ඝාතනය – කුරුළු පිහාටුවක සැඟව ආ මාරයා
Source – the-feather-series.deviantart.com, sundaytimes.lk, island.lk
Source – the-feather-series.deviantart.com, sundaytimes.lk, island.lk

මතුගම සමන් කුමාර සිසුවාගේ ඝාතනයෙන් වසර පහලොවක් ගෙවී ගිය තැන, ඒ මිලේච්ඡ අපරාධයම සිහිගන්වන තවත් අපරාධයක් ගැන අසන්නට තරම් අපි අවාසනාවන්ත වුනා. ඒ අලුත්ගම සදීප ලක්ෂාන් දරුවාගේ පැහැරගැනීම සහ මරාදැමීමේ පුවත අසන්නට ලැබීමෙන්.

සදීප ලක්ෂාන් කළුතර සිරිකුරුස විදුහලේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 8ක් වයසැති දරුවෙක්. 1999 ඔක්තෝම්බර් 8 වැනිදා පාසැල ඇරී නිවෙසට පැමිණ සිටි සදීප ලක්ෂාන්ව රහසිගතවම පැහැර ගනු ලැබෙනවා. ඉන්පසුව අලුත්ගම නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙක් වන සදීපගේ පියාට දුරකථනයෙන් අමතන කප්පම් කරුවන් සදීපව නිදහස් කිරීමට නම් ලක්ෂ 25ක මුදලක් අවශ්‍ය බවටත් පොලිසියට දැන්වුවොත් දරුවා මරා දමන බවටත් තර්ජනය කරනවා. කෙසේ වෙතත් ඒ වන විට එතරම් මුදලක් සදීපගේ පියා සතුවන්නේ නැහැ. ඒ නිසා ලක්ෂ 25ම සොයාගැනීමට ඔහු කප්පම්කරුවන්ගෙන් කල් ඉල්ලනවා. සියල්ල මෙසේ සිදුවෙද්දී හැමෝටම රහසින් සදීපගේ පවුලේ ඥාතියෙක් විසින් මේ ගැන පොලීසිය දැනුවත් කිරීම නිසා සදීප දරුවා සොයාගැනීමට රහසිගත පොලිස් පරීක්ෂණයන්ද ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.

දින දෙකකට පසුව සදීපගේ පියා ලක්ෂ 25ක මුදල සොයාගන්නා අතර අලුත්ගම නගරයේ පිහිටි දුරකථන කුටියක් තුළ කප්පම් මුදල තබා දරුවා බේරාගන්නා ලෙසට කප්පම්කරුවන්ගෙන් ඔහුට නියෝගයක් ලැබෙනවා. මුදල් තැබූ පසු දරුවාව නිවස කරා එවන බවට කප්පම්කරුවන් සහතික කරනවා. නියමිත ආකාරයෙන් කප්පම් මුදල දුරකථන කුටිය තුළින් තබන සදීපගේ පියා ආපසු නිවස බලා යන්නේ තම ආදරණීය දරුවාගේ මුහුණ දැක ගැනීමේ දැඩි නොඉවසිල්ලකින්. ටිකෙන් ටික  කාලය ගත වුනත් සදීප නැවත නිවස කරා එන්නේ නැහැ. මේ අතර දරුවා නැවත නිවස කරා නොපැමිණුන නිසා පොලීසියද වහාම ක්‍රියාත්මක වෙනවා. අනෙකුත් පොලිස් ස්ථානද මේ ගැන දැනුවත් කරමින් ගාලු පාර ඇතුලු අවට මාර්ග සහ රථවාහන පරික්ෂාවට ලක්කරන්න පටන් ගන්නවා.

සැකකටයුතු අන්දමින් හැසිරුණු පාපැදියකින් ගමන් ගත් තරුණයෙක් පොලිස් අත් අඩංගුවට පත්වන්නේ මේ අතරේදීයි. පොලිසියේ ප්‍රශ්න කිරීම් සහ තර්ජන මැද බියට පත්වන ඔහු සදීපව පැහැරගත්තේ තමන් බවට පාපොච්ඡාරණය කරනවා. මේ තරුණයා අමිල නුවන් සිල්වා නැමති වයස අවුරුදු 17ක තරුණයෙක්. පුදුමයට කාරණාව වන්නේ අමිල නුවන් වාසය කරන්නේ කුඩා සදීපගේ නිවසට නිවෙස් දෙකකට එහායින් වීමයි. කුරුළු පිහාටු දෙනවා යැයි කියා සදීපව රවටා පැහැරගෙන ගොස් ඇති බවටත්, ඉන්පසුව ඔහුගේ  නිවසට ගෙනගොස් මරා වැසිකිළි වලකට දමා ඇති වගටත් පොලිසිය විසින් සොයාගන්නවා. කප්පම් ඉල්ලමින් දුරකථන ඇමතුම දෙන මොහොත වන විට පවා සදීප මරණයට පත්වී අවසන් බවයි පරීක්ෂණ වලදී හෙලි වන්නේ. සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙක්වම පසුව අත් අඩංගුවට පත් වෙනවා.

නමගිය චණ්ඩියෙක් වෙන්නටත් තමන්ගේ පෙම්වතියට පෙනෙන්නට සල්ලිකාරයෙක් වීමටත් හීන මැවූ අමිල නුවන් ඒ සිහින සැබෑ කරගන්නට උත්සාහ කරන්නේ අහිංසක ජීවිතයක් බිල්ලට ගනිමින්. අකාලයේ මරා දැමූ සදීප ලක්ෂාන් දරුවාගේ මරණය අදටත් අපිව කම්පනය කරන්නට සමත් දුක්බර සිදුවීමක්.

 

2. පද්මිණී කුලරත්න මිනීමැරුම – ලංකාවේ පලමු වසදී මරාදැමීමේ නඩුව
Source – rootsweb.ancestry.com, asunder.storenvy.com, archives.dinamina.lk, nation.lk
Source – rootsweb.ancestry.com, asunder.storenvy.com, archives.dinamina.lk, nation.lk

60 දශකයේ අගභාගයේ මුලු ලංකාවේම කතාබහට ලක්වූ ගාල්ලේ පද්මිණී කුලරත්න මිනීමැරම් නඩු විභාගය සුවිශේෂී නඩු විභාගයක්.එසේ  වන්නට හේතුව තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වස දීමෙන් සිදු කරන ලද මිනීමැරුමක් සම්බන්ධයෙන් විභාග කරන ලද නඩුවක් වීම. අදටත් නොවිසඳුණු අභිරහසක් වන මේ අපරාධය ගැන පොලිස් වාර්තා වල කරුණු සඳහන්ව ඇත්තේ මේ ආකාරයෙන්.

ජනප්‍රිය වෛද්‍යවරයෙක් වූ ඩේමන් ගාමිණී කුලරත්නත් ඔහුගේ බිරිඳ වූ පද්මිණී කුලරත්නත් ජීවත් වූයේ ගාල්ලේ පිහිටි සමුද්‍රසිරි නම් විසල් මැදුරකයි. විවාහයෙන් ඔවුන්ට දරුවන් 4 දෙනෙක් සිටි අතර ඔවුන්ට අමතරව කුලරත්න මහතාගේ මවත් ජීවත් වූයේද මේ මැදුරේයි. දොස්තර කුලරත්නගේ මව වූ ලෝරා කුලරත්න සහ පද්මිණී අතර එතරම් හිත හොඳක් නොපැවති අතර ඇයත් පද්මිණී මහත්මියත් අතර නොහොඳ නෝක්කාඩු දිනෙන් දිනම වර්ධනය වෙමිනුයි පැවතුණේ. විශාල දේපළකට උරුම කම් කියූ පද්මිණී මහත්මියගේ දේපළ සියල්ල සිය පුතණුවන් නමට හරවන ලෙසට නිතර ඇය අඬදබර කරන්නට පටන් ගෙන තිබුණා. මේ අතරතුර කුලරත්න දොස්තර මහතා සහ ආරියවතී නම් හෙදියක් අතර තිබූ අනියම් සම්බන්ධතාවයක් නිසාද පවුලේ ආරවුල් ඇතිවෙන්න පටන්ගෙන තිබුණා.

කාලයත් සමගම දොස්තර කුලරත්න විසින් පද්මිණී මහත්මියට කස පහර දීමට තරම් මේ ආරවුල් දුරදිග යන්නට පටන් ගත් අතර තවත් කල් යද්දී සිය මව වන ලෝරා කුලරත්න හා එකතුවී පද්මිණීව නිවසේ උඩු මහල් කාමරයක සිරගත කරන තරමටම ඔහු කුරිරු වී තිබුණා. පද්මිණී මහත්මියගේ ආහාර පවා ලණුවකට සම්බන්ධ කරන ලද වේවැල් කූඩයක් මාර්ගයෙන් උඩු මහලට යවන්නටයි කටයුතු යොදා තිබුණේ. ඉඩ කඩ ඇහිරුණ අඳුරු කාමරයක සිරගත ජීවිතයක් පද්මිණීට උරුම වුනා.

1967 අප්‍රේල් 9 වැනිදා මෙසේ වේවැල් කූඩයෙන් එවන ලද ආහාර ගන්නා පද්මිණී හදිසියේම අසනීප තත්ත්වයකට පත්වනවා. සිය සැමියාට පණිඩුඩයක් යවමින් තමන්ට අසාධ්‍ය බවත් ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් ඇය පවසන නමුත් ඔහු එය ගණනකටවත් ගන්නේ නැහැ. ඉන්පසු පද්මිණී සිය සොයුරියට තමන්ගේ අසනීප තත්ත්වය දැනුම් දෙනවා. සොයුරියගේ දැනුම් දීමට අනුව පොලිසිය සමුද්‍රසිරි නිවසට එන විටත් පද්මිණී සිය හුදෙකලා අඳුරු කාමරයේදී අවසන් හුස්ම හෙලා අවසන්.

වැඩිදුර පරීක්ෂණ වලදී පද්මිණී මහත්මිය මියගියේ විෂ ශරීරගතවීමකින් බවත් ඇගේ ආමාශය තුල ආසනික් නැමැති වස අන්තර්ගත බවත් හෙලිදරවු වනවා. දොස්තර කුලරත්නගේ වෛද්‍ය ශාලාව පරික්ෂා කිරීමේදී මේ විෂ රසායනය සහිත බෝතල් දෙකක්ද පොලිසිය විසින් සොයාගනු ලබනවා. මේ සම්බන්ධයෙන් පැවති ආන්දෝලනාත්මක නඩු විභාගය අවසන් වන්නේ වස දීමෙන් පුද්ගල ඝාතනයන් සිදුකිරීම වෙනුවෙන් ලෝරා කුලරත්නට, වෛද්‍ය ඩේමන් කුලරත්නට සහ නිවසේ මෙහෙකාරිය වූ සොපියාට මරණ දණ්ඩනය නියම කරමින්. කෙසේ  වෙතත් මේ අය විසින් නැවත අභියාචනයක් ඉදිරිපත් කරනු ලබනවා. එහිදී මේ මරණය සම්බන්ධ කරුණු වැඩිදුර විශ්ලේෂණය කිරීමේදී පලමු නඩු විභාගයේදී ජූරිය විසින් ලබා දෙන ලද තීරණයේ බලවත් වැරැද්දක් ඇති බවට ඔප්පු වනවා. ඉතාම වැදගත් සාක්ෂිකරුවන් සහ තොරතුරු නොසලකා හැරීම නිසා ජූරිය නොමග යෑම, නිසි ලෙස විද්‍යාත්මකව කරුණු ඔප්පු නොකිරීම වැනි කාරණා සලකා බැලීමෙන් අණතුරුව සැකකරුවන් තිදෙනාට නිදහස ලැබෙනවා.

පද්මිණී කුලරත්න මිනීමැරුමට වගකිවයුත්තේ කවුරුන්ද? ඇය සියදිවි නසාගත්තාද? මෙය අදටත් නොවිසඳුණු අභිරහසක්.

 

3. කොබෙයිගනේ අවුරුදු කුමාරිය ඝාතනය- භීෂණයේ අතුරු කතාවක්
Source – pngimg.com, guysagi.wordpress.com, scoopwhoop.com, silumina.lk, charismanews.com
Source – pngimg.com, guysagi.wordpress.com, scoopwhoop.com, silumina.lk, charismanews.com

රූපය නිසා අවාසනාව උදාවූ කතරගම රූප සුන්දරිය වූ ප්‍රේමවතී මනම්පේරිගේ සිත් සසල කරවන කතාපුවත අපේ පෙර මිනීමැරුම් ලිපියෙන් ඔබ කියවන්නට ඇති. කොබෙයිගනේ ගම්මානයේ විසූ රූමතියක් වූ නිලන්තිගේ ඉරණමද ඊට නොදෙවෙනි වූ හද සසල කරවන පුවතක්.

දුප්පත් පවුලක ඉපදුණු තරුණියක් වන නිලන්ති ඇගේ ගමේ අවුරුදු කුමාරිය හැටියට කිරුළු පළඳින්නේ අවට සියල්ලන්ගේම නෙත් සිත් ඈ වෙත යොමු කරවාගනිමින්. මේ දහසකුත් ඇස් අතර ඒ ප්‍රදේශයේ පොලීසියේ ඕ.අයි.සී සමරකෝන් මහතාගේ දෑසද ඈ දෙසටම බැඳී තිබුණා. නිලන්ති පිළිබඳ ආදර සිතක් ඇති කරගන්නා මේ පොලිස් නිලධාරියා ක්‍රම ක්‍රමයෙන් ඇගේ ආදරය දිනා ගැනීමට දැළ එලන්නට පටන් ගන්නේ කෙසේ හෝ ඇයව හිමිකරගන්නා අදහසින්. විවිධ උපක්‍රම යොදාගෙන ඇයව නිතර හමුවෙමින් ඇවටිලි කරමින් අවසානයේදී නිලන්තිගේ හිත දිනාගන්නට මේ පොලිස් නිලධාරියා සමත් වෙනවා. නිලන්තිගේ වයස ඒ වෙද්දි අවුරුදු 19ක්. සමරකෝන් පොලිස් නිලධාරියා 35වැනි වියේ පසුවූවෙක්. කෙහොම උනත් දෙදෙනා අතර මේ වයස් පරතරය නිලන්තිට ප්‍රශ්නයක් වන්නේ නෑ. ගමේ කාටත් රහසක් නොවූ ඔවුන්ගේ පෙම් සබඳතාවය නිදහසේ ගලාගෙන යන්න පටන් ගන්නවා. කාලයක් තිස්සේ ගලාගෙන ගිය මේ ආදර කතාවට කණකොකා හඬන්නේ පොලිස් පෙම්වතා නිසා නිලන්තිගේ කුසට දරුවෙක් පැමිණීමත් සමගයි.

පොලිස් පෙම්වතාගේ තීරණය වන්නේ දරුගැබ විනාශ කර දැමීමටයි නමුත් නිලන්ති එයට එකහෙළාම විරුද්ධ වෙනවා. ඇයව විවාහ කරගන්නා ලෙසට ඔහුගෙන් දිගින් දිගටම ඇය ඉල්ලනවා. මේ ගැන පොලිස් ස්ථානයට පවා යමින් නිතර ඇවටිලි කරන්න පටන් ගන්නවා. මෙය පොලිස් නිලධාරියාට ඉමහත් මානසික පීඩනයක් බවට පත්වෙද්දී ඉක්මනින් මේ කරදරය නිමාවක් කිරීමට ඔහු තිරව අදිටන් කරගන්නවා.

1989 වර්ෂයේ එක් දිනක නිලන්තිව හමුවන ඔහු ඇය රවටා කැටුව ගොස් වෙඩිතබා මරා දමන්නේ ඇගේ කුසේ සිටිනා තමන්ගේ ලෙයින් ජාතක වූ දරුවා ගැනද නොසිතමින්. භීෂණය රජකල ඒ යුගයේ ටයර් සෑයක් මත නිලන්තිගේ සිරුර දවන්නේ සාක්ෂි විනාශ කිරීමේත්, අපරාධය වෙනත් පාර්ශවයකට බැර කිරීමේත් අරමුණින්. කෙසේ වෙතත් ටයර් සෑයක මිනියක් දැවෙන ආරංචියෙන් එතැනට යන නිලන්තිගේ දෙමවුපියන් ඇගේ ගෙල පැළඳි සුරයක් ආශ්‍රයෙන් තමන්ගේ දියණියගේ මළසිරුර හඳුනාගනු ලබනවා. තම දියණියට සාධාරණයක් කිරීමට ඔවුන් තුල තිබූ දැඩි අධිෂ්ඨානය නිසාම පමාවී හෝ මිනීමරු පොලිස් නිලධාරියාට දඬුවම් ලැබෙනවා.

අද වන විටත් මේ අපරාධකරු සිරගත ජීවිතයක් ගෙවන වගට වාර්තා වෙනවා. ඔහු මේ වනවිට භාවනාවට නැඹුරුව සිටින වගකුයි පැවසෙන්නේ.

 

4. ජෝන් සිල්වා මිනීමැරුම – හාරලක්ෂෙ මංකොල්ලය විසින් බිලිගත් ජීවිතය
Source – autostraddle.com, youtube.com, dinamina.lk
Source – autostraddle.com, youtube.com, dinamina.lk

හාරලක්ෂෙ මංකොල්ලය එහෙමත් නැත්නම් ටර්ෆ් ක්ලබ් මංකොල්ලය කියන්නෙ අපේ රටේ සිදුවී ඉතාම සූක්ෂම අයුරින් සිදුකරන ලද අපරාධයක්. වසර හැටකට පමණ ඉහතදී සිදුවූ මේ මංකොල්ලයට පාර කැපෙන්නේ ඊට පෙර සිදුවූ තවත් අපරාධයක් නිසා. ඒ තමයි වයිට් හවුස් මිනීමැරුම. ඒ අපරාධය නිසා දඬුවම් විඳිමින් සිටි ලෑතර බාස් හෙවත් ඒ. ආර්. පීටර් පෙරේරාව බේරාගැනීමට මුදල් සෙවීමට ඔහුගේ මස්සිනා වන ජේම්ස් සෙනෙවිරත්න තමයි මේ මංකොල්ලය සැලසුම් කරන්නේ. මේ සඳහා උදවුවට ඔහු තවත් පිරිසකුත් එකතු කර ගන්නවා. දින දෙකක් පුරා ක්‍රියාත්මක වූ මේ මංකොල්ලයට සම්බන්ධ සිදුවීම් පෙළ අතරතුර අහිංසක මිනිස් ජීවිතයකුත් මරුවාට බිලිවෙනවා.

Source – lib.utexas.edu
Source – lib.utexas.edu

හාර ලක්ෂෙ මංකොල්ලයේ අරමුණ වී තිබුණේ කොළඹ තුරඟ තරඟ පිටියේ සිට කොළඹ චාටර්ඩ් බැංකුව වෙත ගෙන යන මුදල් කොල්ලකෑමයි. සෑම සඳුදාම තුරඟ පිටියේ සිට බැංකුව වෙත මුදල් ගෙන යාමට භාවිතා කරනු ලබන්නේ ආම්ස්ට්‍රෝං නම් ගරාජයකින් කුලියට ගන්නා රථයකින්. මේ බව කල්තියා දැනගෙන සිටින සෙනෙවිරත්න ඇතුලු පිරිස ඊට දිනකට කළින් පුත්තලමට යෑම සඳහා ඔවුන්ගෙන් වාහනයක් කුලියට ලබාගන්නවා. ඔවුන්ට ලැබෙන්නේ Z6033 නම් චවලට් වර්ගයේ රථයක්. ගරාජය විසින් දෙන ලද මේ වාහනයේ රියදුරු තමයි ජෝන් සිල්වා. පුත්තලමට යන ගමන අතරතුර මාර්ගයේ කැළයක් අසල වාහනය නවත්වාගන්නා අපරාධකරුවන් ජෝන් සිල්වාව කැළය තුලට ඇදගෙන ගොස් ඔහුව වීර ගසක බැඳ තබනවා. ඉන්පසු ගෑස් වෙස් මුහුණකින් ඔහුගේ මුහුණ ආවරණය කරනු ලබනවා. සුලු මොහොතකින් ජෝන් සිල්වා මිය යන්නේ හුස්ම හිරවීමෙන්. පසු කලෙක මේ සම්බන්ධව සිදු කෙරුණු නඩු විභාගයේදී මේ මිනීමැරීම ගැන ඉතා ගැඹුරින් වාද විවාද ඇතිවූ බවට සඳහන් වෙනවා. විශේෂයෙන් ජෝන් සිල්වාව මරා දැමීමේ පරමාර්ථයක් තිබ්බේද නැද්ද යන්න ගැන.

ජෝන් සිල්වාව මරා දැමීමෙන් පසු ඔවුන් පසුදා එනම් 1949 ජනවාරි 31දා  උදෑසන එම රථයෙන්ම කොළඹ තුරඟ තරඟ පිටිය බලා පිටත්වෙන්නේ මුදල් ගෙනයාම පිණිස ආම්ස්ට්‍රෝං ගරාජය විසින් එවන ලද රථය සේ පෙනී හිඳිමින්. මුදල් රැගෙන යන අයට තර්ජනය කරමින් අවසානයේදී මංකොල්ලය සාර්ථක කරගැනීමට අපරාධකරුවන් සමත් වෙනවා. මංකොල්ල කෑ මුදල වූයේ රුපියල් හාරලක්ෂයකට ආසන්න මුදලක්. එය අද කාලෙ වටිනාකමින් ගත්තොත් මිලියන හතරක පහක මුදලකට ආසන්න වෙන්න පුලුවන්. තිතට වැඩේ දුන්නා යැයි සිතා අපරාධයේ මහ මොලකරු වූ ජේම්ස් සෙනෙවිරත්න සිතා සිටියත් ඔහුට වැඩි කාලයක් ඒ සැනසිලි සුවය විඳින්නට ලැබෙන්නේ නෑ

කොල්ලකරුවන් අතර පැවති යම් යම් මත ගැටුම් ආදිය නිසා කොල්ලයට සම්බන්ධ කීපදෙනෙක් පසුව මේ අපරාධය  ගැන පොලීසිය දැනුවත් කරනවා. ඒ වන විට මේ ගැන තොරතුරක් දෙන අයෙකුට රු.20,000ක ත්‍යාගයක් ප්‍රදානය කිරන බවට දන්වා තිබීමද මීට හේතු වන්නට ඇති. මංකොල්ලයට අමතරව ජෝන් සිල්වාගේ මරණය සම්බන්ධවද කරුණු රැසක් අනාවරණය කරගනු ලැබෙනවා. මංකොල්ලයේ මහා මොලකරු ජේම්ස් සෙනෙවිරත්න ඇතුලු පිරිසට එල්ලුම් ගස උරුම වෙනවා.

ජෝන් සිල්වා මිනීමැරුම සම්බන්ධ හාරලක්ෂෙ මංකොල්ලය ගැන “හාරලක්සේ” නමින් චිත්‍රපටයක්ද නිර්මාණය වී තිබෙනවා. එහි අධ්‍යක්ෂක වන්නේ ටයිටස් තොටවත්ත මහතායි. මේ චිත්‍රපටය සඳහා මේ අපරාධය සම්බන්ධ ස්ථාන වගේම යම් යම් භාණ්ඩත් යොදාගෙන තිබෙනවා. අවස්ථාවක් ලැබුණොත් මේ චිත්‍රපටය අනිවා බලන්නත් අමතක කරන්න එපා.

 

5. ජුලියස් සන්දරසාගර, පී.කේ.ඩී පෙරේරා – කැලැත්තෑවේ මිනීමැරුම්
Source – archives.dinamina.lk, sarasaviya.lk
Source – archives.dinamina.lk, sarasaviya.lk

60 දශකයේදී කැලැත්තෑව ප්‍රදේශයේ භීෂණය පතුරමින් අණසක පැතිරවූ ඇල්ෆ්‍රඩ් සොයිසා ගැන මීට පෙර අනිවා ලිපියකිනුත් අපි ඔබ වෙත ගෙන ආවා. නීතිවිරෝධී මත්පැන් අලෙවිය, මංකොල්ලකෑම් ආදී අපරාධ වල නිරත වූ සොයිසා සහ සහචරයින් අතින් මිය පරලොව යැවුණු පිරිස සිය ගණනකටත් අධිකයි. කෙසේ වෙතත් අවසානයේදී සොයිසාගේ මහපොලව නූහුලන අපරාධ වලට එල්ලුම් ගහ උරුම කරදෙන්න සමත් වන්නේ මේ ජුලියස් සන්දරසාගර සහ පී.කේ.ඩී පෙරේරා යන අයගේ ඝාතනයි. මේ ඝාතන වලට සොයිසා වරදකරු වන්නේ අපරාධයට සම්බන්ධ මළසිරුරක්වත් නොමැතිව වීමයි මේ සිදුවීමේ විශේෂත්වය.

පී.කේ.ඩී පෙරේරා කියන්නේ ඇල්ෆ්‍රඩ් සොයිසා යටතේ සේවය කල විශ්වාසවන්තම සේවකයෙක් නිතර වාචාලකම් දොඩවන.මත්පැනට ගිජු පෙරේරා අතින් තමන්ගේ බිහිසුණු අපරාධ ගැන තොරතුරු කවදාක හෝ හෙළිවේවිය කියා විශාල බියක් සොයිසාට ඇතිවෙනව. සොයිසා විසින් පී.කේ.ඩී පෙරේරාව මරා දමන්නේ ඒ බිය නිසායි. ජුලියස් සන්දරසාගර කියන්නේ සොයිසාගේ වැඩබිම් වල සේවය කරන ලද පුද්ගලයෙක්. වැටුප් ආරවුලක් නිසා සන්දරසාගර සමග උරණ වන සොයිසා ඔහුවත් මරාදැමීමේ සූක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ සියල්ලටම ඔහුට අත් උදවු දෙන්නේ සොයිසාගේ කිට්ටුම සේවකයන් දෙදෙනා වන කලු ඇල්බට් සහ විලී මාමා යන දෙදෙනායි. මරා දමන ලද අයව පුලුස්සා දමා සාක්ෂි වැනසීමටද මේ අය කටයුතුකරනවා.

පී.කේ.ඩී පෙරේරා සහ සන්දරසාගර යන අයගේ අතුරුදන්වීම් කෙරෙහි ඔවුන්ගේ ඥාතීන්ගේ සැකය කෙළින්ම යොමුවන්නේ සොයිසා වෙතයි. අතුරුදන්වූ අය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයිසාගෙන් නොලැබෙන කල ඔවුන් පොලීසියේ පිහිට පතනවා. මුදල් බලයෙන් පොලිසිය නිහඬ කිරීම ඒ වන විටත් සොයිසා විසින් සිදුකරමින් පැවතුණත්, අවංක එඩිතර නිලධාරීන් කිහිප දෙනෙකුගේ උත්සාහයෙන් සොයිසාට එරෙහිව පරීක්ෂණ ඇරඹෙනවා. ඔහුගේ අපරාධ රාජධානිය පරික්ෂා කිරීමෙන් භයානක අපරාධ රැසක සුලමුල හෙළිකරගන්නට පොලීසිය සමත් වනවා. මෘත ශරීරයක් නැතත් සොයිසාට විරුද්ධව ඇති සාක්ෂි සිය ගණනක් විමසමින් මේ ද්විත්ව මිනීමැරුම් සිදුවූ ආකාරය ගැන කරුණු ගොඩනගාගන්නවා. අවසානයේ සොයිසාට සහ කලු ඇල්බට්ට පෝරකයත් විලී මාමාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමුත් උරුම වනවා.

 

6. ඇඩ්ලින් විතාරණ මිනීමැරුම – විල්පත්තු වනබිමේ දඩයම
Source – pinterest.com, silumina.lk
Source – pinterest.com, silumina.lk

ස්වර්ණා මල්ලවාරච්චි සහ රවීන්ද්‍ර රණ්දෙනිය රඟපෑ වසන්ත ඔබේසේකරගේ “දඩයම” චිත්‍රපටය ඔබ නරඹා තිබෙනවද? දඩයම චිත්‍රපටයට පාදක කොටගෙන ඇත්තේ අපි මේ කියන්නට යන ඇඩ්ලින් විතාරණ මිනීමැරුමයි.

1959 මාර්තු මාසයේ දිනක‍ තිඹිරිවැව ගම්මානයට කිට්ටුව විල්පත්තු අභය භූමියට හැරෙන තැනදී අඩනිරුවත් කාන්තා මළසිරුරක් සම්භවෙනවා. ඒ මාර්ගයේ ගමන්ගත් ලොරි රථ රියදුරෙක් තමයි මේ කාන්තා මළසිරුර මුලින්ම දකින්නේ. මළසිරුර අවට ලේ පැල්ලම් සහ ටයර් සළකුණු දකින්නට ලැබෙන අතර මළසිරුරේ ග්‍රීස් සහ තෙල් පැල්ලම් සටහන්ව තිබෙනවා. මරණ පරීක්ෂණ කටයුතු අතරතුර හෙළි වන්නේ මියගොස් ඇති තැනැත්තිය පස් මස් ගැබිණියක් බවයි.

මේ කාන්තාව පිළිබඳ අවට ගම්මාන වලින් විමසීමක් කලත් කිසිදු හෝඩුවාවක් හමුවන්නේ නැහැ. අබිරහස් ලෙස මරාදමා ඇති මේ රූමතිය පිළිබඳව එකල පුවත් පත් වලත් වාර්තා පිට වාර්තා පලවෙන්න ගන්නවා. මේ එක පුවතක් කන වැකුණු මවක් සහ දියණියක් අනුරාධපුර පොලිසිය සොයාගෙන එනවා. ඔවුන් කියා සිටින්නේ තමන් මියගිය කාන්තාවගේ මව සහ සොයුරිය බවයි. මරාදමන ලද කාන්තාවගේ ඇඳුම් ආයිත්තම් ඔවුන් විසින් හඳුනාගන්නා අතර නැවත ගොඩගන්නා ලද මළසිරුරද හඳුනා ගන්නවා. මරා දමා ඇත්තේ ඇඩ්ලින් විතාරණ නම් තරුණ එක්දරු මවක් හැටියට තොරතුරු හෙළි වනවා.

වැඩිදුර පරීක්ෂණ වලදී සැකය යොමු වන්නේ ජයලාල් ආනන්දගොඩ නම් ගුරුවරයෙක් වෙතටයි. ඔහුත් ඇඩ්ලිනුත් අතර පෙම් සබඳතාවයක් පැවතී ඇති අතර ඇඩ්ලින්ගේ පළමු දරුවාගේ පියා වන්නේද ආනන්දගොඩ නම් අයයි. තමන්ව විවාහ කරගන්නා ලෙසට නිතර කරන ඇවටිලි වලින් බේරෙන්නට ආනන්දගොඩ විසින් ඇඩ්ලින්ව මරාදමා ඇතැයි යන සැකය ඔස්සේ පරීක්ෂණ අරඹනවා. අපරාධයට ආසන්න දිනවල ඇඩ්ලින් සහ ආනන්දගොඩ එකට සිටිනවා ඇසින් දුටු සාක්ෂිද මීට බලපානවා. අලුතින්ම සර්විස් කරගෙන තිබූ ආනන්දගොඩගේ ‍ෆියට් මෝටර් රථය පරික්ෂා කිරීමේදී පොලීසියට එහි රැඳී තිබුණු කෙස් ගස් කිහිපයක් හමුවනවා. ලේ වැකුණු වාහනයේ අමතර රෝදයද ඔවුන් විසින් සොයාගනු ලබනවා. මේ ලේ සහ කෙස් ඇඩ්ලින්ගේම බව තහවුරු වීමත් සමග ආනන්දගොඩගේ දෑතට විලංගු වැටෙනවා.

ඇඩ්ලින් විතාරණ සහ මාස පහක් වයසැති ඇඩ්ලින්ගේ කුසේ බිළිඳාව වාහනයට යටකොට ඝාතනය කිරීමේ වරදට ජයලාල් ආනන්දගොඩට එල්ලුම් ගස නියම වෙනවා. 1962 ජුනි 21 වැනිදා බෝගම්බරදී ඔහුව එල්ලා මරණු ලබනවා