ඔබේ වාහන හීනය හැබෑකරන ලංකාවේ මිල අඩුම වාහන 8ක්

 

ලංකාව කියන්නේ තුන්වන පන්තියේ දියුණු වෙමින් පවතින රටක් කියලයි අපි ඉගෙන ගෙන තියෙන්නේ. එත් මේ දියුණු වෙමින් පවතින රටේ පාරකට බැස්සම තියෙන වාහන ප්‍රමාණය ඇත්තටම හිතාගන්නටත් බැරි තරම්. ඒ වගේම බොහොමයක් වාහන වල මිල රුපියල් මිලියන 6කට හෝ 7කට අධිකයි.

ඉතින් අපි හිතුවා ලංකාවට ගැලපෙන සහ හැමදෙනාගේම සාක්කුවට ගැලපෙන විදියේ වාහන පෙළක් ගැන විස්තර කියන්න. මෙතැනදී අපි මිල මිලියන 1ත් – 6ත් අතර විය යුතු යයි යන මතයේ සිටයි මේ ලිපිය සකසන්නේ. මේ අපි සඳහන් කරලා තිබෙන සියලුම වාහන වරලත් නියෝජිතයින් සහ අදාළ මවු සමාගමේම ලංකාවේ ශාඛාවෙන් මෙරටට ගෙන්වන වාහන. ඒ වගේම විවිධ වාහන නිෂ්පාදන ආයතන යටතේ ඇති ලාභම වාහනය තමයි අපි මෙතන පෙළගස්වල තියෙන්නෙ.

සමහර විටෙක අන්තර් ජාලයේ මේ වර්ග වල වාහන මෙයට වඩා අඩුවට හොයාගන්නට පුළුවන් වෙන්න පුළුවන්. එහෙත් මේ අපි සඳහන් කරලා තියෙන්නේ මේ වාහන පෙලේ  මවු සමාගමෙන් අලුතින් ම මිලදී ගන්නවා නම් යොදා ඔවුන් ඊට යොදා ඇති මිලයි.

 

1. Datsun redi-GO
Cheapest car prices
Source – datsun.co.in

AMW ආයතනය විසින් ගෙන්වන තවත් මෝටර් රථ වර්ගයක් වෙන Datsun සමාගමේ ඉදිරිපත් කරන මිල අඩුම මෝටර් රථය වෙන්නේ Datsun redi-GO මෝටර් රථයයි. ලක්ෂ 21සිට මිල ආරම්භ වෙන හැච්බැක් මාදිලියේ මෝටර් රථයක් වෙන මෙය මධ්‍යම පාන්තික පවුලකට ගැලපෙන ම වාහනයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

 

2. Maruti Suzuki Alto
Cheapest car prices
Source – zigwheels.com

මරුති සුසුකි රථ පෙලේ මිල අඩුම මෝටර් රථය වෙන මරුති Alto ලංකාවේ වඩාත්ම අලෙවියක් සහිත බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථය ලෙස හඳුන්වන්නට පුළුවන්. මිල ලක්ෂ 20 සීමාවේ සිට ආරම්භ වෙන මේ මෝටර් රථය ලංකාවට ගෙන්වන්නේ AMW ආයතනයයි.

 

3. Renault Kwid
Cheapest car prices
Source – carsaleinsrilanka.com

මෑතදී ලංකාවේ amw ආයතනයෙන් ලංකාවට ගෙන්වූ Renault Kwid මෝටර් රථය ගැන විවිධ මත භේද පැවතුනා. එහෙත් ඉහල අලෙවියක් සහිත මේ මෝටර් රථය වඩාත්ම පාරිභෝගිකයින්ගේ සිත් ගත්තේ එහි පවතින සිත් ඇදගන්නා සුළු නිමාව නිසාමයි. මේ මෝටර් රථයේ මිල ආරම්භ වෙන්නේ ලක්ෂ 21සිටයි.

 

4. Kia Picanto
Cheapest car prices
Source – youtube.com

කියා ආයතනයෙන් ඉදිරිපත් කරන Picanto මෝටර් රථය එහි මෝටර් රථ පෙලේ මිල අඩුම මෝටර් රථයයි. ලක්ෂ 25 සිට ඉහල මිල ගණන් වලට තිබෙන මේ මෝටර් රථය හැච්බැක් මෝටර් රථයක් වෙනවා.

 

5. Hyundai Eon
Cheapest car prices
Source – cartrade.com

Hyundai සමාගමෙන් ඉදිරිපත් කර තිබෙන මිල අඩුම මෝටර් රථය වන්නේ Hyundai Eon මෝටර්රථයයි. 800 CC කාණ්ඩයේ එන්ජින් ධාරිතාවක් තිබෙන මෝටර් රථයක් වෙන මෙය ලංකාවට ගෙන්වන Hyundai ලංකා ආයතනය මේ මෝටර් රථය මිල කර තිබෙන්නේ ලක්ෂ 22 සිට ඉහලට වෙන ලෙසයි.

 

6. Ssangyong Tivoli SUV
Cheapest car prices
Source – seremotors.com

මයික්‍රෝ ආයතනයේම Ssanyong නාමය යටතේ වෙළඳපොළට එවන Tivoli SUV රථය එම කාණ්ඩයේ මිල අඩුම suv රථය වෙනවා. ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති පරිදි මේ සිත්ගන්නා පෙනුමින් යුතු මෝටර් රථයේ මිල රුපියල් මිලියන 5.8 සිට ඉහලට වෙනවා.

 

7. Micro Panda
Cheapest car prices
Source – autolanka.com

මයික්‍රෝ ආයතනයෙන් ගෙන්වන මිල අඩුම මෝටර් රථය ලෙසින් හඳුන්වාදිය හැක්කේ මයික්‍රෝ පැන්ඩා මෝටර් රථයයි. විවිධ වර්ණ සහ සැප පහසුකම් වලින් යුතු මේ රථය චීනයෙන් ලංකාවට ගෙන්වා එකලස් කරන මයික්‍රෝ නාමය යටතේ වෙළඳ පොලට එවන්නක්. මයික්‍රෝ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි මෙහි මිල ලක්ෂ 18 සීමාවේ තිබෙනා බවකුයි පෙන්වන්නේ.

 

8. Mazda 2
Cheapest car prices
Source – documents.tips

බොහොම හුරුබුහුටි නිමාවෙන් යුතුව හච් බැක් වර්ගයේ මෝටර් රථයක් වෙන Mazda 2 මෝටර් රථය Mazda කාණ්ඩයේ මිල අඩුම මෝටර් රථය ලෙස සඳහන් වෙනවා. 4 දෙනෙකුට බොහොම පහසුවෙන් ගමන් කරන්නට හැකි මේ මෝටර් රථයේ මිල නියම කර තිබෙන්නේ රුපියල් මිලියන 4.5 සිට ඉහලට වන්නටයි.

 

 
Cover Image Source – Source – united-locksmith.net