ඇයි ලංකාවෙ මිනිස්සු මෙච්චරම අපේ ක්‍රිකට් ක්‍රීඩකයොන්ට ආදරේ?

 

අපි රටක් විදියට ක්‍රිකට්වලට ආදරෙයි. එංගලන්තෙන් බාමි ආමි ගහද්දි, අපේ අප්පු ආමි එක ඒකට සෙකන්ඩ් වුනේ නැහැ. අපේ ක්‍රිකට් ටීම් එක එක දිගටම පැරදෙද්දිත් අපේ මිනිස්සු ටීම් එකට වෛර කළේ නැහැ, ගෙවල් ගිනි තිබ්බෙ නැහැ, ගල් ගැහුවෙ නැහැ. අපේ මිනිස්සු හැමදාම ඊලඟ මැච් එකවත් දිනයි කියන බලාපොරොත්තුව තියාගෙන ඉන්නවා. පක්ෂ, පාට, පාසල්, ප්‍රදේශ බේදෙකින් තොරව ක්‍රිකට් අපිව එකතු කරන නිසා ක්‍රිකට් තමයි ලංකාවේ සක්‍රීයම ආගම කියලත් කියන්න පුළුවන්. සංගට හොර අවුට් දීලා ඩබල් සෙන්චරිය මිස් වෙද්දි යෙහාලිට කලින් අඬපු මිනිස්සු ඉන්න රටකට ක්‍රිකට්වලට තියෙන ආදරේ ගැන උගන්නලා ‍වැඩක් නැහැ. මේ කියන්න යන්නෙ අපි අපේ ක්‍රිකට් ක්‍රීඩකයොන්ට මෙච්චරටම ආදරේ කරන්නෙ ඇයි කියලා පෙන්නන්න හොඳ‍ හේතු ටිකක්.

 

1. කෝ යකෝ ලොකු සීන්?
why we love cricketers
Source – dailytelegraph.com.au

අපේ උන්දලා ගාව ලොකු සීන් ගෑවිලාවත් නැහැ. පොඩි මනුස්සයා එක්ක හිනාවෙනවා. අපේ ක්‍රිකටර්ලා දන්නවා උන් වෙනුවෙන් ගිරිය කඩාගෙන කෑ ගහලා මහමගදි දැක්කත් හෙන සන්තෝසෙන් වේලක් නොකා ඒක මතක් කර කර ඉන්නෙ ඒසී පැවිලියන්වල ඉඳන් අප්පුඩි ගහන ගෙම්බො නෙමෙයි පොඩි මිනිහා විත්තිය. ඒක ලෝකෙ අනිත් මහ රටවල ක්‍රිකට් පජාතයෝ අමතක කරපු දෙයක්. ඒ නිසා පොඩි මනුස්සයා එක්ක කතා කරනකොට පොඩි මනුස්සයගේ මූණෙ තරම්ම හිනාවක් ඒ මිනිස්සුන්ගෙ මූණෙත් තියෙනවා. කොයි එකා එක්කත් සෙල්ෆියක් ගහලා ඉන්න මිනිස්සු සීරීස් එකක් කෑවත් කතාවක් අහන්නෙ නැත්තෙ ඒකයි.

 

2. කැපකිරීම්
why we love cricketers
Source – youtube.com

සමහරු කියන්නෙ ක්‍රිකටර්ලට නං මොකද? උන් මහ ලොකුවට සල්ලි හොයනවනෙ කියලයි. ඔවු ඒක ඇත්ත. ජීවිතේට අවධානමක් අරං අධ්‍යාපනේ කැපකරලා, පැය ගණං මහන්සි වෙලා, තුවාල වෙලා, අතින් සල්ලි වියදං කරගෙන ක්‍රිකට් බඩු අරගෙන, ඉස්කෝලෙට අවුරුදු හතක් අටක් ක්‍රිකට් ගහලා, එතනින් රුපියල් එක්දාස් පන්සීයෙ දවස් පඩියට ක්ලබ් ගහලා, ශ්‍රී ලංකා පුංචි පූල්වල ඉඳලා, ඒ ටීම් ගහලා, සල්ලිකාර‍යොන්ගෙ කැපිලි මැද්දෙයි ඒ මිනිස්සු ටීම් එකට එන්නෙ. ඒ ඇවිල්ලත් කොයි මොහොතෙ කැපිලා යයිද බයේ, ප්‍රැක්ටිස් කර කර, පවුල් ජීවිතේ අතෑරලා දාලා, ලොකු කැපවීමක් කරන්නෙ ඇඟ ඇතුළෙ ක්‍රිකට්වලට උණක් තියෙන නිසාමයි. ඒ වගේම ඒකට ලොකු හැකියාවකුත් ඕන. ඒ විදියට ඒ මිනිස්සු කොච්චර හම්බුකරගත්තත් ඒ දේ සාධාරණයි. අපේ ඡන්දෙන් ලොකු පුටුවලට ගිහින් අපිටම කෙලින එවුන්ට මල්මාල දාන මිනිස්සු ඒ ගැනත් හිතුවොත් හොඳයි.

 

3. චැරිටි
why we love cricketers
Source – islandcricket.lk

ඒ විදියට කැපකිරීම් කරලා තැනකට ගිහිල්ලත්, ඒ මිනිස්සු තමන්ගෙ සල්ලිවලින් පොඩි මනුස්සයාට සළකන්න කවදාවත් අමතක කළේ නැහැ. පොඩි මනුස්සයා වෙනුවෙන් ගෙවල් දොරවල් හදන්න, පාසල්, ඉස්පිරිතාල වගේ හැම දේකටම ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයො සක්‍රීයව දායක වෙලා තියෙනවා. ඒ මිනිස්සුන්ට කවදාවත් ඒවයින් ලකුණු දාගන්න ඕන වුනේ නැහැ. ඒකයි වෙනස.

 

4. වැඩි වැඩ

why we love cricketers
අපේ ක්‍රිකට් වෙනුවෙන් වැයවෙන්නෙ අනිත් රටවල්වලට සාපේක්ෂව අඩු මුදලක් බව බොහෝදෙනෙක් දන්න කාරණයක්. තාක්ෂණය වෙනුවෙන්, කෝච්ලා වෙනුවෙන්, පඩි සහ යටිතල පහසුකම් කියන කාරණා එක්ක බලද්දි ටිකක් පහළින් හිටියට අපේ ක්‍රිකට් වීරයෝ අපිට දිනවලා දීපු දේ ගොඩයි.ඒ නිසා අඩු පහසුකම් යටතේ උනත් කරපු ලොකු වැඩ අපිට අමතක නැහැ.

 

5. ගොඩ පුන්චියි
why we love cricketers
Source – zeenews.india.com

අපිට ක්‍රිකට් ගහන්න තෝරගන්න කියලා මහගොඩක් නැහැ. ගොඩක් ක්‍රිකට් තරු පාසල් කාලයෙන්ම වියැකිලා යන්නෙ ගෙදර ප්‍රශ්න එක්ක බැට්වලට වඩා වැලි තාච්චිවල උත්තරේ තියෙන නිසායි. ඒ විදියට ගොඩකින් තෝරලා අරගන්න අපිට මහ සෙනගකුත් නැහැ. ඒ නිසා තැනින් තැනින් සෙට් කරගෙන හොයාගන්න අපේ පුංචි ටීම් එක අපිට වඩා දහගුණයක් විතර ක්‍රිකට් ගහන සනුහර ඉන්න රටවල්වලට වඩා අපිට වටිනවා.

 

6. කැපිලි
why we love cricketers
Source – emirates247.com

දේශපාලකයෝ සල්ලි ගහගන්න වැඩ, ටීම් සිලෙක්ෂන් කොමිටියෙ පිස්සු කෙළිලි, ක්‍රික‍ට් බෝඩ් එකේ තරාදි නැටුම් අස්සෙ අපේ උන්දලා මේ විදියට සෙල්ලං කරන එකට අපි පින් දෙන්න ඕන. අපි උන්දලව ඉඹලත් මදියි ‍ඔහොම ප්‍රශ්න තියාගෙන අපිට කාලෙකට පාරක් හරි සතුටු වෙන්න ඉඩක් හදනවට?

 

7. කෙලින් වැඩ
why we love cricketers
Source – youtube.com

අපේ අය ගාව පාරවල් වදිද්දි දාන ස්ලෙජින් වගේ කුණු වැඩ නැහැ. උන් කුණුහරුප කිවුවොත් අපිත් කිවුවා, උන් කින්ඩි දැම්මොත් අපිත් දැම්මා, උන් ලොකු සීන් දැම්මොත් අපි වැඩ පෙන්නුවා, එහෙමයි වැඩේ සිද්ධ‍ වෙන්නෙ. මොකුත්ම නැතුව කිණ්ඩියක් දැම්මොත් ඒකත් සිද්ධ වෙන්නෙ උන් ලෝකෙට හොරෙන් හොරයක් කරනවා මාට්ටු වුනොත් තමයි. අර හර්බජාන් චක් කරන එක මාට්ටු නොවෙන්න අත් දිග ෂර්ට් ඇන්දට සංගා දාපු කිණ්ඩිය වගේ.

 

8. අපිටෙයි කියලා වෙන මොනවද?
why we love cricketers
Source – vendratattoostyle.blogspot.co.ke

ජාතික ක්‍රීඩාව වෙච්ච වොලිබෝල්වලින්වත් මොකුත් නැහැ. රගර් යාන්තං ආසියාවෙ මට්ටමට ගියත් ආයෙ එනව පහලට. පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න තියෙන ඇත්ලටික්ස් තියෙන්නෙත් අවුරුදු 4කට පාරයි. කොමන්වෙල්ත් එකේවත් ෆයිනල් ආවෙ නැහැ කාලෙකින් කවුරුවත්. හිම වැටෙන්නෙ නැති හින්දා අයිස් සෙල්ලං ටිකත් බැහැ. දුවන් ගිහින් දිණුම් කණුව ගාවදි දබෝරියං ගාලා වැටෙන මිනිස්සු එක්ක හෙප්ටැත්ලන් ගැන කතාකරලා වැඩකුත් නැහැ. ඉතිං අපිටෙයි කියලා ක්‍රීඩාවකින් සතුටු වෙන්න ඉතුරු ක්‍රිකට් විතරයි. ඔන්න අවුරුදු උත්සව ජාත්‍යන්තර මට්ටමින් පැවැත්තුවානං අපේ පහළ මට්ටමේ මන්ත්‍රී කණ්ඩායමක් යවලා බොරු කීමේ තරඟෙන් ගෝල්ඩ් මෙඩ්ල් එකක් ගහ ගන්න තිබ්බා.

 

9. ආඩම්බරේ
why we love cricketers
Source – urdupoint.com

මහ ලොකුවට කියෙවුවට අපිටෙයි කියලා ආඩම්බර වෙන්න මහ දේවල් නොතිබ්බ වෙලාවෙ ක්‍රිකට් විතරයි අපිට රටක් කියලා තැන තැන ගිහිල්ලා කියවන්න පුළුවන් විදියෙ ආඩම්බරයක් ඇති කළේ. ඒ ආඩම්බරේට සංගගේ කවුඩ්‍රි ලෙක්චර් එක, 96දි අපේ කප් එක, ටීටුවෙන්ටි කප් එක, ආගම් ජාති බේදයක් නැතුව මුරලිලා, මහේලලා, මැතිවුස්ලා, මහරුෆ්ලා එකම ‘ම’යන්නක් යටතේ සෙල්ලම් කරපු ලස්සනම විතරක් අපිට ආඩම්බර වෙන්න ඉතුරු වෙලා තියෙනවා.

 

 
Cover Image Source – icc-cricket.com