සර්පයන් ගැන අපි රැවටුන මිත්‍යා මත ඇතුලුව ලංකාවේ සර්පයන් ගැන දැනුවත් විය යුතුම කරුණු 10ක්

 

කැලෑ කප කප මිනිස්සු ගෙවල් දොරවල් හදද්දි සර්පයන් මිනිස් වාසයන්ට එන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ඔබ සිටින්නේ නාගරිකවද, ගම්බදවද යන්න බේදයකින් තොරව ඔබේ ප්‍රදේශයේත් සර්පයන් සොයාගත හැකියි. මෙම සටහන් ලියන්නේ සර්පයන් පිළිබඳව සමාජය දරණ මතය වෙනස් කරන අරමුණිනි. එය සර්පයන්ට සේම ඔබටද හොඳක්ම වනු ඇත. ශිවන්‍යා ඇවිල්ලා පොස් පොස් ගාලා දෂ්ඨ කරලා යනකං බලාගෙන සිටින තරුණයන් කරුණාකර මෙයින් සිත් නොරිදාගන්න.

 

1. සර්ප මිත්‍යා
myths about snakes
Source – ask.fm

නයි හාමි අපිව කන්නෙ නෑ, නයි හාමි යන්න වගේ දේවල් සර්පයන් ඉදිරියේ කීමෙන් පළක් නැත. සිදුවන්නේ නයින් ඔබට අනතුරු ඇඟවූ පසු ඔබෙන් ඔවුන්ට කරදරයක් නොමැති බව වැටහී ඔවුන් පසුබැස පිටව යෑම පමණි. සර්පයින් ඔබේ මුහුණ මතක තබාගෙන හිඳ පැමිණ පළිගන්නේත් නැහැ. ගැරඬියෙකු ඔබව කෑවොත් වෙනත් සර්පයෙකු ඔබව නොකන බවද මිත්‍යාවක්. ඔවුන්ගේ පිම්බුනු පෙණය පෙන්වන්නේ ඔබට අනතුරු ඇඟවීමටයි. එය ‍තේරුම් ගෙන වෙනිං විකාර නොකර සර්පයන් සිටින තැනින් ඈත්ව ඔවුන්ට යන්නට මගපෑදීමක් හෝ හැකිනම් පමණක් සර්පයා අල්ලා කැලයකට නිදහස් කිරීමක් යෝග්‍යය.

 

2. සර්පයෝ
myths about snakes
Source – ceylonradio.co.uk, adaderana.lk, wikipedia.org

සර්පයන් විස අනුව කොටස් හතරකට වෙන්වෙයි. ඒ උග්‍ර විස, මද විස, සුළු විස සහ විස රහිත ලෙසිනි. එයින් ලංකාව තුළ උග්‍ර විස සර්පයන් 21ක් සිටියි. එයින් 14ක් මුහුදේත් 7ක් ගොඩබිමේත් වෙසෙයි. ගොඩබිම වෙසෙන සර්පයන් හත්දෙනාගෙන් දෙදෙනෙකුට මිනිසාට තර්ජනයක් කළ නොහැක්කේ ඔවුන් ඉතා කුඩා නිසායි. ඒ අනුව ඔබට ගොඩ බිමේදී තර්ජනයක් විය හැක්කේ නයා, තිත් පොළඟා, වැලි පොළඟා, තෙල් කරවලා සහ මුදු කරවලාය. කුණකටුවන් මද විස සර්පයන් හැටියට සැලකුවත් මෑතක පටන් ඔවුන්ද වැඩි විෂකින් යුක්ත සර්පයින් ලෙසට නම් කර තිබෙනවා. මාපිලුන් ඇහැටුල්ලන් සහ දිය නයින් සුළු විස සර්ප ඝනයට වැටෙනවා. ගැරඬියන් සහ පිඹුරන් ඇතුළු අනෙක් සියලු සර්පයින් විස රහිත ලෙස වර්ග කළ හැකියි.

ඇස් උස අතට පිහිටා ඇති සර්පයන් රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වෙන අතර ඇස් හරස් අතට පිහිටා ඇති සර්පයන් දිවා කාලයේදී ක්‍රියාශීලී වෙනවා. ඔවුන් ක්‍රියාශීලී නොවන කාලයේ සිරුර නිසල කර විවේකයෙන් සිටිනවා.

 

3. වස සහ විස
myths about snakes
Source – sickchirpse.com

විස (venom) යනු ප්‍රෝටීනයක් වන අතර එය ශරීර අභ්‍යන්තරයේ නිපදවෙන්නකි. එවැන්නකින් හානියක් වීමට එය ලේ සමග මුසු විය යුතුය. එනිසා සර්ප විස සමට හලාගත්තද පානය කළද (උගුරේ සහ බඩවැල්වල තුවාල නැතිනම් පමණක්) හානියක් වන්නේ නැහැ. නමුත් වස (Poison) සමෙන් උරාගැනීමේ හැකියාව ඇති ඒවායි. එය වෙන්කර දැන සිටීම වටියි. මේ පිළිබඳ සත්‍ය තත්ත්වය එසේ වුවත් විස පානය හෝ සමට හලාගෙන බැලීම අපි කිසිසේත් අනුමත නොකරන බව තරයේ සිහිතබා ගන්න.

 

4. සර්පයන් පිළිබඳ වාර්තා
myths about snakes
Source – australiandoglover.com

ලංකාවේ වැඩිම මරණ වාර්තාවන්නේ තිත් පොළඟාගේ දෂ්ඨ කිරීම්වලින් බව කියැවෙයි. එසේම ලංකාව තුළ වැඩිම දෂ්ඨ කිරීම් වාර්තා වන්නේ කුණකටුවාගෙනි. ලෝකයේ වැඩිම මරණ වාර්තාවන්නේ වැළි පොළඟාගෙනි.

 

5. සර්පයෙකු දැක්කොත්
myths about snakes
Source – facebook.com/premasiri.peiris

සර්පයන් යනු කෘමි උවදුර සහ මී උවදුර පාලනය කරමින් ආහාර ජාලයේ විශේෂ වැදගත් තැනක් හිමි කරගන්නා සත්ත්වයින් බවට දැක්විය හැකියි. ඒ අතර විස රහිත සර්පයන් 64ක් සිටියි. ඒ නිසා සර්පයන් නිකරුනේ මරා නොදමා ඔවුන් ගැන වැඩි තැකීමක් නොකර ඔවුන්ගේ මග නොඅහුරා නිවසෙන් පිටවන්නට ඉඩ සැලසීම යෝග්‍යම ක්‍රමයයි. සර්පයන් තමන්ට අනතුරක් බව දැනුනහොත් පෙණය පුම්බා බලා සිටින අතර ඒ ඔවුන් අනතුරු අඟවන ක්‍රමවේදයයි. එහෙත් ඔවුන් මුව හැර දත් පෙන්නුවහොත් බොහෝදුරට සපාකෑමකට ඉඩ ඇති බවද දැනසිටීම වැදගත්. එසේම කලබල වූ සර්පයන් අඳුරු ස්ථානවලට රිංගීම ප්‍රියකරන නිසා ඔබ විසින් අල්ලාගෙන සිටින බටයක ඔබේ පැත්තේ කොනට බෑගයක් බැඳ අනෙක් කෙලවර සර්පයාට ලංකිරීමෙන් ඔවුන් එයට ඇතුළුකරගෙන පසුව මුදාහැරීම සාර්ථක ක්‍රමවේදයකි. කුඩා සර්පයෙකු නම් බෝතලයකට වුව දැමිය හැක. එසේම කොස්සකින් වැනි උපකරණයකින් තල්ලුකර දැමීම වැනි යමක්ද සිදු කළ හැක.

 

 

6. සර්ප සපාකෑමකදී
myths about snakes
Source – pbase.com

සර්පයන්ගේ දත් පිහිටා තිබෙන්නේ පිටුපසටයි. ඒ නිසා සර්ප සපා කෑමකදී සර්පයාගේ හිසෙන් අල්ලා ඇද දැමීමෙන් ඔබේ සම සමග සිරුරේ මස් ගැලවී ඒමට ඉඩ ඇත. ඒ නිසා සර්ප හිසෙන් අල්ලා හිස ඉදිරියට කර දත් ‍සමෙන් ගලවා හිස ඉවත් කිරීම යෝග්‍යය.එසේම සර්ප සපාකෑමකදී පිටගැස්ම එන්නත අනිවාර්යයෙන්ම විදින්නටද මතක තබාගන්න.

 

7. දෂ්ඨනයකදී විශේෂයෙන්ම
myths about snakes
Source – mashable.com

සර්පයන්ට විෂ ඇත්තේ බොහෝම ස්වල්පයකි. ඔවුන් එය අවශ්‍යම අවස්ථාවක මිස නිකරුනේ පිට නොකරන්නේ ගොදුරක් අල්ලා ගැනීමට ඒ විෂ ස්වල්පය වැදගත් වන නිසාවෙනි. කෙසේ හෝ සර්ප දෂ්ඨනයකදී පළමුවෙන්ම රෝගියා සන්සුන් කිරීම පළමු කාරණයයි. එමගින් විස ශරීර ගත වීමේ වේගය පාලනය කර ගත හැකියි. දෂ්ඨනය ‍වූ රෝගියා නොසොල්වා තබා ගත යුතු අතර, විස ශරීර ගත වීමකදී සිරුර ඉදිමීමකට ලක්වන නිසා මුදු, වලලු සහ ඔරලෝසු වැනිදෑ සිරුරෙන් ඉවත් කිරීම සුදුසුය. සර්ප දෂ්ඨනයකදී කිසිම විටකත් සිරුරට තදින් රෙදිපටි බැඳීම සිදු නොකළ යුතුය. මන්දයත් ඒ වන විටත් වේගයෙන් විස ශරීර ගත වී හමාර බැවින් රෙදි පටිය බඳින ලද නිසා තුවාලයට ලේ ගමන් කිරීම වැළකී තුවාලය අවට සෛල මිය යෑමටද ඉඩ තිබෙයි. එසේම විස ලේ පිටකිරීමට තුවාලය කැපීම, ඇස්ප්‍රින්, තැඹිලි, මධ්‍යසාර, පැරසිටමෝල් ලබාදීම සිදු නොකළ යුතුය. එසේම තුවාලයට මුව තබා විස උරාදැමීම සිදු නොකළ යුත්තේ ඒවන විට විස සිරුර තුලට ගමන් කර ඇති නිසාත්, මුව තබන්නාගේ මුවින් තුවාලයට බැක්ටීරියා ඇතුළු විය හැකි නිසාත්, රුධිරය උරන්නාගේ මුවෙහි තුවාල තිබුනහොත් ඔහුගේද විස ශරීර ගත වීමට ඉඩ ඇති නිසාවෙනි.

 

8. දෂ්ඨනයෙන් පසු
myths about snakes
Source – stopvshi.ru

ඒ නිසා සර්ප දෂ්ඨනය වූ ප්‍රදේශය සබන් යොදා, ගලායන ජලයෙන් සෝදා රෝගියා රජයේ රෝහලකට ගෙනයාම උචිතය. බොහෝවිට පෞද්ගලික රෝහල්වල විස නසන ප්‍රතිවිස කාරක නොතිබීමටද, තිබුනත් මිල අධික වීමටද ඉඩ ඇත. ඒනිසා සෑමවිටම රෝගියා රජයේ රෝහලකට රැගෙන යන්න. රජයේ රෝහල් තුළ සර්ප දෂ්ඨ කිරීමේදී නියමිත ප්‍රතිකාර නියමිත ක්‍රමවේදයට සිදුවනු ඇත.

රෝගියා සමග සර්පයාද රැගෙන යෑමේ අත්‍යාවශ්‍යතාවයක් නැත. සමහරුන් පුරුදු වී සිටින්නේ දෂ්ට කරන ලද සර්පයා මරා දමා රෝගියාත් සමග රෝහලට රැගෙන යන්නටයි. සත්ත්ව ජීවිතයක් නසමින් කරන එවන් අනුවණ ක්‍රියා වලින් වැලකෙන්නටැයි අපි ඔබට අවවාද කරනවා. සර්පයා නිසි ලෙස හඳුනාගන්න ඔබට අවශ්‍ය නම් ඔබට පුලුවන් සර්පයාගේ ඡායාරූපයක් රැගෙන Protect our snakes අපේ සර්පයින් රැකගමු සමූහයේ පලකර විමසන්න. එහි සිටින සාමාජිකයන් මේ සඳහා අනිවා ඔබට උදවු කරාවි. ඒ වගේම නිරපරාදේ සත්ත්ව ජීවිතයකට හානි වීමද වැළකේවි.

 

9. අවදානමට පෙර ආරක්ෂාවට
myths about snakes
Source – mothernatured.com

නිවස අවට සහ තුළ ඇති අඳුරු ස්ථාන පිරිසිදුව තබාගැනීම හැකිනම් ආ‍ලෝකමත් කිරීම. රාත්‍රී කාලයේ ගමන් කිරීමේදී ආලෝකයක් රැගෙන යාම සහ පාද වළලුකර තෙක්වත් වැසෙන සේ පාවහන් පැළඳ යාමද වැදගත්. බිම නිදාගන්නේනම් නින්දට පෙර අවට පරිසරය සෝදිසි කිරීම, මීයන් වැනි සර්පයන්ට ගොදුරුවන කුඩා සතුන් නිවසට ඇතුළු නොවන්නට වගබලාගැනීම වැදගත්ය. එසේම කොළරොඩු, මල්පෝච්චි සහ ගල්ගොඩැලිවලට අත දැමීමට පෙර සැළකිලිමත් වීමටද සිහි තබාගත යුතුය.

 

10. දෂ්ඨනය වූ බවට ලක්ෂණ
myths about snakes
Source – healthcare-online.org

මුලින්ම උණුවතුර වැටුනාක් බඳු වේදනාවක් සර්ප දෂ්ඨනයකදී ඔබට දැනෙන්නට හැකියි. එවිට සර්පයෙකු අවට ඇතිදැයි බලා සර්ප විශේෂය කුමක්දැයි නොදන්නවානම් අවම වශයෙන් හැඩරුවවත් සිහි තබාගැනීම වටී. එසේම ඔබට දැනෙන වේදනාවට අමතරව දියපට්ටා ඇතිවීම, ඇස් පහළ වැටීම, වමනය, ගැස්ට්‍රයිටීස් තත්ත්වයන් සහ ඔලුව කැක්කුම වැනිදේ ඇතිවිය හැක.

 

සර්ප දෂ්ඨනයකදී වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් 0112686143 දුරකථන අංකයෙන් ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය ඇමතීමෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.

 
Cover Image Source – youtube.com