පාසල් යන දරුවෙකුට තෑගී දෙන්න වටිනා හොඳම පොත් 7ක්

 

දරුවන්ට ගොඩක් අම්මලා තාත්තලා මේ  කාලේ අරගෙන දෙන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංග. පොත් අරගෙන දෙන්නේ නැති තරම්. මේක චෝදනාවක් නෙවෙයි. මේ හේතුව නිසා ඔවුන් එකතු වුනු තැන් වල ඒ උපාංග ගැන කතා කරනවා මිසක් අලුතින් එයාලගේ අම්මලා තාත්තලා අලුතින් අරගෙන දීපු පොත් ගැන කියවනවා හරිම අඩුයි.

ඉතින් අපි හිතුවා දරුවන්ට ඔවුන්ගේ දැනුම වැඩෙන්න සාහිත්‍යට හිත ඇදෙන්න ඔවුන් කියවන්න ඕනේ කියලා හිතෙන පොත් කිහිපයක් ගැන විස්තර ඔබට කියන්න. මේ පොත් අලුතෙන් ම ගන්න කියලා අවශ්‍ය නැහැ. මේවා ඔබේ හිතවත් කෙනෙකුගෙන් හෝ පුස්තකාලයකින් ගෙනැවිත් දරුවට දෙන්න. ඔවුන්ව කියවීමට  හුරු කරවන්න. ඔවුන්ගේ නිදහස් කාලය අපතේ නොයවා ඵල දායක දෙයකට යොමු කරවන්න. ඔවුන් වැඩිහිටි වූ පසුව ජීවිත අපතේ යවා ගන්නේ නැහැ සත්තයි.

 

1. දඟ මල්ල පොත් පෙළ

best books for kids
Source – burgeon.biz, nation.lk, goodreads.com

කර්තෘ : එනිඩ් බ්ලයිට්න්
පර්වර්තනය : ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද
ප්‍රකාශක : සරසවි
 
පොත් පෙළක් ගැන මුලින් ම කියන්නට උවමනා යැයි හිතුවේ දරුවන්ට තමන්ගේ කියවීම තෘප්තිමත් ව ආරම්භ කරන්නට දඟ මල්ල පොත් පෙළ තරම් ගැලපෙන පොත් පෙළක් තවත් නැති නිසයි.

පොඩි දැරියන් කියන්නේ කොහොමත් දඟ මලු තමා. ඔවුන්ගේ දඟ වැඩ නම් නිමක් නැති තරම් මේ කතා පෙලේ කතා නායිකාව වන්නේ එලිසබෙත් . මේ කතා පෙලම ගෙතිලා තියෙන්නේ ඇය වටා සහ  ඇය ඉගෙනුම ලබන වයිට්ලීෆ් පාසල සහ ඉන් ඇතුලත පිටත ජීවිතය ගැනයි. මේ  පොත් පෙළ  සුදුවැලිකන්ද මහත්මිය විසින් විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් ප්‍රකාශය කලත් පසුව වර්තමානයේ සරසවි ප්‍රකාශනයක් ලෙසින් ඔබට මිලදී ගන්නට පුළුවන්.

 

2. ගංතුලානේ ගණිතාන්දර

best books for kids
Source – facebook.com, science.cmb.ac.lk

කර්තෘ : ආචාර්ය සංජීව පෙරේරා සහ අනුරාධ මහසිංහ
ප්‍රකාශක : සදිසි ප්‍රකාශන
 
අහලා තියෙනවද විනෝදාත්මක ගණිතය කියන සංකල්පය ගැන? විනෝදාත්මක ගණිතය කියන්නේ වර්තමානයේ ලෝකයේ රටවල් බොහොමයක ගණිතය උගන්වන්නට භාවිතා කරන අතිශය සාර්ථක ක්‍රම වේදයක්. යම් කිසි කතාවක් ආශ්‍රයෙන් යම් ගණිත රීතියක් දරුවන්ට උගන්වන එකයි මෙහි ප්‍රධානත ම කාර්යය වෙන්නේ.

 

3. හිත හොඳ දොස්තරගේ කතාන්දර

best books for kids
Source – aniwa.lk

කර්තෘ : හියු ෆ්ලොටින්
පරිවර්තනය : සමරසිංහ ගුණසේකර
ප්‍රකාශක : විදර්ශනා ප්‍රකාශන
 
සත්තුත් එක්ක කතා කරන්නට හැකියාවක් තිබ්බ අපුරු සත්ව දොස්තර මහත්මයෙක් ගැන කියවෙන කාටුන් වැඩසටහනක් අපි ගොඩක් දෙනා රූපවාහිනියෙන් බලන්නට පුරුදු වෙලා හිටියා. එකේ නම තමා “දොස්තර හොඳ හිත”. මේ වැඩසටහන කාටුන් වෙන්නට කලින් පොතක් බව දැනගත්තේ ටික කලකට පස්සේ.

සමරසිංහ මහත්මයා පරිවර්තනය කරපු “හිත හොඳ දොස්තරගේ කතන්දර” පොත ඔයාලා දරුවන්ට කියවන්නට අරගෙන දෙන්නට උවමනා වෙන්නේ ඒ නිසා ම නෙවෙයි. සාමුහික හැඟීම, බාධක ජයගැනීම, අනෙකාට ආදරය, දයාව කරුණාව දැක්වීම වැනි කාරණාවන් සතුන්ගේ චරිත තුලින් ළමා මනසට කාවද්දන්නේ හරිම අපුරු විදිහට. පොඩිහිටියො විතරක් නොවෙයි වැඩිහිටියොත් මේ පොත් පෙළ කියව්වාට කිසිම වරදක් එහෙම නැහැ ඔන්න.

 

4. The Ragamuffin Mystery

best books for kids
Source – fr-online.de, dbderbz-books.com

කර්තෘ : එනිඩ් බ්ලයිට්න්
ප්‍රකාශක : Award Publications Ltd (2013)
 
බ්ලයිට්න් ගේ පොතක් ආපහු මේ ලැයිස්තුවට එකතු කරන්නට හිතුවේ එක හේතුවක් නිසා. ඒ තමයි එනිඩ් බ්ලයිට්න් කියන්නේ කුඩා දරුවන්ගේ සිත්සතන් වීර කතා වලින් පුබුදු කරපු ජ්‍යාත්‍යන්තර කීර්තියට පත් රචිකාවියක් වීම. ඒ වගේම ඇය විසින් ලියන්නට යෙදුනු පොත් ගණන අති විශාල වගේ ම ලොව වැඩිම භාෂා ප්‍රමාණයකට හැරවී ඇති පොත් ලයිස්තුවේ හිමිකාරත්වයත් ඈ සතු වෙනවා. සුප්‍රකට බාර්නි මිස්ට්‍රිස් කතා මාලාවේ අවසාන කතාව ලෙස හඳුන්වන රැගමෆින් මිස්ට්‍රි පොත බාර්නි, රොජර්, ඩයනා සහ ස්නබි නමැති දරුවන් සිව් දෙනා මුහුණ දෙන බාධක සහ ඔවුන් එකතුව ඒ සියල්ලම ජය ගැනීම වටා ගෙතිලා තියෙනවා.  කතාව සම්පුර්ණයෙන් ම දැනගන්නට බාර්නි කතා මාලාවම කියවන්නට උවමනා වුනත් මේ පොත් වෙන වෙනම කියෙව්වා කියා කිසිම රසයේ අඩුවක් නම් වෙන්නේ නැහැ.

ඉංගිරිසි පොතක් වුනත් මෙහි ඇති ධීර ගුණය වර්තමානයේ පලවෙන බොහෝ පොත් වල අඩු නිසයි, මේ පොත අපි මේ ලැයිස්තුවට එකතු කරන්නට හැදුවේ.

 

5. ලස්සන වසිලිස්සා

best books for kids
Source – boondi.lk

අනුවාදක : දැදිගම වී රුද්‍රිගු
ප්‍රකාශක : ප්‍රගති ප්‍රකාශන
 
ලස්සන සුරංගනා කතන්දර වලට අපි කවුරුත් කැමතියි. ඒ වගේම ඒ කතා සිංහලයට හැරවිලා තියෙන ප්‍රමාණය නම් අපිට සතුටු වෙන්නට පුළුවන් තරමට නැහැ. ඒ වුනත් මේ පොත් ලැයිස්තුවට සුරංගනා කතන්දර පොතක් එකතු කලේ නැතිනම් අඩුවක් වෙන නිසයි අපි ලස්සන වසිලිස්සා පොත එකතු කරන්නේ. දැදිගම වී රුද්‍රිගු මහත්මයා විසින් බොහොම කලකට පෙර කරන ලද අනුවාදය ප්‍රගති ප්‍රකාශන විසින් නැවතත් පොතක් ලෙසින් එලි දක්වලා තිබෙනවා.

ලස්සන ම ලස්සන රුසියානු සුරංගනා කතා 16කින් සහ චිත්‍ර රාශියකින් හැඩගැන්වී තියෙන මේ පොත මිලෙන් නම් ටිකක වැඩියි ඒ වුනත් දරුවන්ට සාහිත්‍ය ගැන දැනුමක් වගේම සුරංගනා කතා වල මිහිර විඳගන්න දෙන්න උවමනා නම් මේ ලස්සන වසිලිස්සා පොත ඔබේ දරුවන්ට අනිවා කියවන්නට දිය යුතු පොතක් විදියට හඳුන්වන්නම ඕනේ.

 

6. මඩොල්දුව

best books for kids
Source – wikipedia.org, srilanka-guide.org

කර්තෘ : මාර්ටින් වික්‍රමසිංහ
ප්‍රකාශනය : තිසර පොත් ප්‍රකාශකයෝ
 
තරුණ පිරිමි ළමුන් දෙදෙනෙක් (උපාලි සහ ජින්නා) විසින් මඩොල්දුව නමැති දුපතේ සිට ජීවත් වෙමින් ගත කරන සමය ගැන කියවෙන මේ කතාව ලංකාවේ ධීර කතා වල ආරම්භ ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම බොහොම සුන්දර ආකාරයට වචන හසුරවලා ලියන ලද කතන්දර වලින් එකක් වෙන මේ කතාව, මෑතක් වෙන තුරුම ලංකාවේ සෑහෙන්න අලෙවියක් වාර්තා කරපු පොතක්.

ඒ වගේම කොග්ගල ගමේ සුන්දරත්වය සහ අතීත ගැමියන් ජීවත් වුනු ආකාරය කියවෙන මේ පොත කියවන කොට අපට දැනෙන්නේ අපිත් ඒ ගමේ සිටිනවා වැනි හැඟීමකුයි

 

7. බස්තියන්ගේ සොහොන

best books for kids
Source – blogspot.com

කර්තෘ : ඩී. ඇම්. කරුණාරත්න
 
වට්ටාරම්තැන්න ප්‍රදේශයේ සිදුවුණු අභිරහස් මරණයක් වටා ගෙතිලා තියෙන මේ පොත තරම් ඒ කාලේ අපේ සිත් ගත්ත පොතක් තවමත් පලවෙලා තියෙනවද කියලා සැකයි. ඒ හේතුව නිසාම තමයි මේ පොතත් අපේ ලැයිස්තුවට එකතු කලේ.

පොඩි පිටු ප්‍රමාණයකින් සමන්විත ඉතා අඩු මිලට වෙළඳපොලේ ඇති මේ පොත පොඩි අය විතරක් නෙවෙයි, ලොකු අයටත් බොහොම ආසාවෙන් කියවන්න පුළුවන් පොතක් කියලා අනිවා කියන්න ඕනේ.

 
Cover Image Source – ohiocountypubliclibrary.org