වැඩක් නැතුව නාස්ති වෙලා යන ඔබේම සම්පත් 4කින් මාසෙකට රුපියල් 20,000 කටත් වඩා හොයන්නේ මෙහෙමයි!

මෙයට අනුග්‍රහය:

Vista Rooms Logo

දැන් කාලේ ජීවත් වෙන්න හරිම අමාරුයි කියලා තමයි අහන අහන ඕනම කෙනෙක් කියන්නේ. විශේෂයෙන්ම තනි ජොබ් එකකින් ජීවත් වෙන්න අමාරුයි කියන එක ඔය මැද පංතියේ කෙනෙක් එක්ක ඉකොනොමිය ගැන කතා කරනකොට අනිවා අහන්න පුලුවන් දෙයක්. හැබැයි හිතන්න, මාසෙකට රුපියල් 20,000 හෝ ඊට වැඩි ගාණක් ඔය දැන් හොයන ගාණට අමතරව හොයන්න පුලුවන් නං ඒක ලොකු ජයග්‍රහණයක් නෙවෙයිද? ඒ ගාණෙන් ඔබට කරන්න බැරුව තිබුණු වැඩ කටයුතු ටිකක් කරගන්න හරි, ට්‍රිප් එකක් යන්න හරි, ආයෝජනය කරන්න හරි පුලුවන්. කොහොම වුනත් පුද්ගලික ආර්ථිකයේ ඊලඟ ලෙවල් එකට නඟින්න මේ වගේ වැඩිපුර ගාණක් අතට එන එක වටිනවා.

දැන් මෙහෙම කිව්වහම කෙනෙක් අහයි රුපියල් 20,000 ක් අතට එන ක්‍රමයක් තියෙනවා නං මෙහෙම වේලෙනවද හලෝ කියලා. හැබැයි ඇත්ත කතාව තමයි මේ වගේ මුදල් ඉපයුම් අවස්ථා ලෝකේ තියෙනවාද කියලවත් දන්නෙ නැති නිසයි මේ තරම් කාලයක් ඒ රුපියල් 20,000 ඔබට අහිමි වුනේ. වඩාත් හොඳ දේ තමයි ඔබේ ජීවිතේ තියෙන භෞතික හෝ භෞතික නොවෙන අපතේ යන දේවල් වලින් තමයි මේ සල්ලි හොයාගන්න පුලුවන්. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.

 

1. රයිඩ්  එක ෂෙයාර් කරගමුද?
Earning Money Off Your Own Wasted Assets
Source – carpooling.lk

හිතන්න ඔබ දිනපතා තමන්ගේ කාර් එකේ වැඩට යන මනුස්සයෙක් කියලා. දැන් යන්තම් සන්තම් ට්‍රයි කරලා, ලීස් එකක් දාලා වණ්ඩියක් ගත්තට ඒකෙන් කියවෙන්නෙ නෑනේ ඔබ සුපිරි ධනවතෙක් කියලා. ගොඩක් වෙලාවට කාර් එක තියලා බස් එකේ වැඩට යන කට්ටිය වැඩිපුර ඉන්නවා තමයි. හැබැයි සමහර තැන් තියෙනවා එක්කෝ ජොබ් එකේ හැටියට කාර් එකේ වැඩට යන්න වෙනවා. එහෙම නැත්තං ගමනාගමන පහසුව ගැන හිතලා කාර් එකේ වැඩට යන්න වෙනවා. මේ මොනදේ වුනත් බස් එකේ ඔ‍ෆිස් ගිහින් එනවට වඩා සෑහෙන්න වැඩි ගාණක් වියදම් වෙනවා කාර් එකේ ඔ‍ෆිස් ගිහින් එන්න. ඒ ගැන කතා දෙකක් නෑ. හැබැයි තනියෙන් කාර් එකේ තව සීට් දෙකතුනක් හිස් තියාගෙන යන වෙලාවේ ඒ හිස් සීට් වලින් ප්‍රයෝජනයක් ගන්න බැරිද? අපි මේ කතා කරන්නේ කාර් පූලින් කියන සීන් එක ගැන තමයි. ඒ කියන්නේ හිතන්න ඔයා ගම්පහ ඉඳන් කොළඹ යනවනම්, ඒ පැත්තේ ඉඳලම කොළඹ යන තව ඩයල් එකක් දාගෙන යනවා. අවුලක් නෑ, කම්මැලිකමටත් හොඳයිනේ. හැබැයි මේ මනුස්සයාව එක්ක යනවට එයා ඔයාට පොඩි ගාණක් දීලා තමයි බැහැලා යන්නේ. වැඩේ මරු නැද්ද? හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔබට කාර් එක ගම්පහ ටවුමේ පාක් කරගෙන පාන්දරට ‘කොළඹ කොළඹ’ කියලා කෑ ගහගහ ඉන්න බෑනේ. අන්න ඒකට තමයි කාර් පූලින් වගේ සේවාවන් තියෙන්නේ. මේවායින් කිසිම කරදරයක් නැතුව කාර් එකේ යන මනුස්සයව සහ කාර් එකේ යන්න ඕන මනුස්සයව සෙට් කරලා දෙනවා. සිම්පල් ප්ලෑන්!

 

2. විවේක වෙලාව හා දැනුම ෂෙයාර් කරගමුද?
Earning Money Off Your Own Wasted Assets
Source – quora.com

දැන් අපිට තියෙන විවේක වෙලාව දෙයාකාරයි. එක්කෝ අර වැඩ කරලා මැරිල මැරිල ඇවිල්ලා පොඩ්ඩක් නිදහසේ වාඩි වෙලා පොතක් කියවන, ‍ෆිල්ම් එකක් බලන වෙලාව. එහෙම නැත්තං තියෙනවා අර කරන්න කිසිම දෙයක් නැති කමට කම්මැලි පූසෙක් වගේ ඔහේ ටීවී එක දිහා බලාගෙන, නැත්තං නිදාගෙන ඉන්න වෙලාව. දැන් ඔය දෙවෙනියට කිව්ව විවේක වෙලාව ඇත්තටම අපරාදේ අපතේ යවන කාලයක්. ඔය වෙලාව යොදවගෙන පොඩි සම්තින්ග් එකක් හොයාගන්න වැඩක් කරන්න හිතෙන්නේ නැද්ද?

ඇත්තටම ලංකාවේ ඕන තරම් මිනිස්සු ඉන්නවා මේ වගේ නිදහස් වෙලාව ආයෝජනයකට යොදවන. විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න පුලුවන් ක්‍රම තියෙනවා ඔබේ නිදහස් වෙලාව යොදවලා. අපි මේ කියන්නේ ඇඩ්ස් ක්ලික් කරන එක නෙවෙයි. ඒක කාලේ කෑමක්. හැබැයි විශේෂ පුහුණුවක් හරි හැකියාවක් හරි අවශ්‍ය නැති අන්තර්ජාලය ඔස්සේ කරන්න පුලුවන් වැඩ, කීයක් හරි හොයාගන්න පුලුවන් වැඩ තියෙනවා. ඔය එහෙමෙහෙ යනකොට ගත්ත ෆොටෝ එකක් ඉන්ටර්නෙට් එකට එකතුකරන එකේ ඉඳන් යූටියුබ් එකට වීඩියෝ එකක් එකතු කරන එකේ ඉඳන් එතකොට තමන්ගේ එක්ස්පීරියන්ස් එකක් වෙබ් සයිට් එකකට එකතු කරන එක දක්වා වැඩ. මේවලට හරියන වෙබ් සයිට් තියෙනවා ඕන තරම්. Vayable, WithLocals, ToursByLocals කියන්නේ ඒවට උදාහරණ.

 

3. ගෙදර වැඩිපුර තියෙන රූම් එකක් ෂෙයාර් කරගමුද?
Earning Money Off Your Own Wasted Assets
Source – theguardian.com

ගෙදර වැඩිපුර රූම් එකක් තියෙනවනේ ගොඩක් වෙලාවට ගෙස්ට් බෙඩ් රූම් කියලා. හැබැයි ඉතිං අපේ ගෙවල් වලට දවසක් ඇර දවසක් ගෙස්ට්ලා එන්නෙ නෑනේ. ඒත් ලංකාවට දැන් අවුරුද්දකට ලක්ෂ 20කට ලං වෙන්න ගෙස්ට්ලා එනවා පිටරටින්. ඉතින් මේ නිකං තියෙන රූම් එක පොඩ්ඩක් එක ලෙවල් එකකට අස් පරස් කරලා, පිරිසිදු කරලා රටින් එන ගෙස්ට් කෙනෙක්ට දෙන්න බැරි වෙයිද? ආන්න ඒකටත් ක්‍රම ඕන තරම් තියෙනවා.

අපේ රටේ සංචාරය කරන්න එන හැමෝටම තරු පහේ හෝටල්වල ඉන්නත් බැහැ, ඒ වගේ තැන්වල ඉන්න නෙවෙයි කැමති. ගොඩක් වෙලාවට දේශීය නැත්තං විදේශීය සංචාරකයෝ එනවා බජට් එකට ට්‍රැවල් කරන. අර ඉස්සරවෙලාත් කිව්ව වගේ. අන්න ඒ අයට මේ වගේ ගෙදර තියෙන වැඩිපුර රූම් එකක් රෙන්ට් එකට දෙන්න කැමති කෙනෙක් එක්ක නවතින එක සාමාන්‍ය හෝටලේක නවතිනවටත් වඩා පහසුයි සහ ලාබයි. ඉතින් අපිට පුලුවන් ඒ සර්විස් එක ලබාදෙන්න. හෝටලේකට ගෙවන ගාණට පොඩ්ඩක් අඩු ගාණක් අය කරන්න පුලුවන්. මෙතනදී අලුතින් විදේශික මිත්‍රයෝ දැන අඳුනගන්නත් අවස්ථාව ලැබෙනවා. මෙතනදී ඔබ ලබාදෙන්නේ නිදාගන්න ඇඳක් විතරක් නෙවෙයි. ඔබ ඔබේ රටේ සංස්කෘතියත් අර දෙස් විදෙස් මිත්‍රයින්ට අත්විඳින්න අවස්ථාවක් ලබා දෙනවා.

හැබැයි මේක කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. එකක් තමයි ඔබ ආගන්තුක අමුත්තන්ට ලබාදෙන කාමරය පහසුකම් තියෙන, පිරිසිදු තැනක් වෙන්න ඕන. පහසුකම් කියන්නේ හෝටලේක පහසුකම් නෙවෙයි.හැබැයි පොලු කැඩිච්ච ඇඳක් දෙන එක හරි නැහැනේ. අනික් එක තමයි ආරක්ෂාව. මේක සංචාරකයෙක් සෑහෙන්න බලාපොරොත්තු වෙන දෙයක්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සහතික වෙන්න ඔබට පුලුවන් වෙන්න ඕන. අනික් අතට හැම කොල්ලවයි බල්ලවයිම නවත්තගන්නත් බෑනේ ගෙදර. ඒ හින්දා ඔබට පුලුවන් කලින් පොඩ්ඩක් දැනගන්න මොන වගේ ඩයල් එකක්ද නවතින්න එන්නේ කියලා. අනික විදේශිකයෙක් එනවනං මෙයාට අපේ කෑම හුරු නැතුව ඇතිනෙ කියලා පාන් එක්ක බටර් ජෑම් දෙන එක නෙවෙයි මෙතන අරමුණ. අපේ සංස්කෘතිය අත්විඳින්නට අවස්ථාවක් ලබලා දෙන එක. ඒ හින්දා ඔය ගමේ කෑම වේලක් සමහර වෙලාවට ඉහටත් උඩින්.

තව එකක්. ඔය මෙහේ ගෙවල් වහලදාලා පිටරටවල ඉන්න කට්ටියට එහෙම මේක සුපිරියට කරන්න පුලුවන්. ඕන වෙන්නේ මෙහේ වැඩ ටික බලාකියාගන්න විශ්වාසවන්ත මනුස්සයෙක් විතරයි!

 

4. නිකං තියෙන වාහනේ ෂෙයාර් කරගමුද?
Earning Money Off Your Own Wasted Assets
Source – nation.lk

දැන් ගොඩක් වෙලාවට ගෙවල් වල ත්‍රීවිල් එකක් හරි පොඩි මරුටියක් හරි තියෙනවාම තමයි. හැබැයි ඔ‍ෆිස් යන්න අරෙහෙ මෙහෙ නෙවෙයි. ලඟ පාත කොහේට හරි යන්න, වුවමනාවක් වුනහම එහෙ මෙහෙ යන්න වගේ වැඩ වලට. හැබැයි වාහනේ ගෙදර තිබුණා කියලා ඉතුරු වෙන්නේ තෙල් ටික විතරයි. අනිත් එක වාහනයක් දුවන්නෙ නැතුවම එක තැන තියෙන එකත් වාහනේට හොඳ නෑ. මෙන්න මේ වගේ දේකදී මෙහෙම නිකම්ම තියෙන වාහනෙන් ගාණක් උපයාගන්න ක්‍රම තියෙනවා. හිතන්න ඔය PickMe හරි Uber වගේ සේවාවන් ගැන. ඒ කට්ටිය ඕන වෙලාවක ලෑස්තියි තමන්ගෙ නෙට්වර්ක් එකට තව වාහන එකතු කරගන්න. ඉතින් කරන්න තියෙන්නේ ඔය ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන, ඒ කට්ටියත් එක්ක රෙජිස්ටර් වෙන්න තමයි. තමන්ට විවේකයක් තියෙන වෙලාවට ආන්න එතකොට හම්බුවෙනවා හයර්. තමන්ට යන්න වෙලාවක් නැතිනං ඒකට ඩ්‍රයිවර් වැඩේට වෙන ගෙදර කවුරුහරි සෙට් කරගන්නත් පුලුවන්. ඉතින් ගෙදර නිකම්ම තියෙන වාහනෙන් මේ වගේ ගතමන්ට් එකක් හොයාගන්නවා කියන්නේ අඩු ගාණේ වාහනේ ලීස් එකවත් ගොඩදාගන්න පුලුවන්නේ. නැද්ද!

 
[os-widget path=”/anishayasaratne/%E0%B6%B8%E0%B6%A7-%E0%B6%AD%E0%B7%80-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92″ of=”anishayasaratne” comments=”false”]
 

 

Vista Rooms: Increase Your Occupancy & Maximise your Profit! from Vista Rooms

 

Cover Image Source – elephant.co.uk