ලංකාවට එන අලුත්ම මත්ද්‍රව්‍ය උවදුර කොකේන්ද? කොකේන් ගැන කරුණු 6 ක්

 

ලංකාවේ ඔය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ඕන පදං තියෙනවනේ. හැබැයි මෙච්චර කාලෙකට මහා පරිමාණෙන් කොකේන් ලංකාවට ඇවිල්ලවත්, ලංකාවේ ලේසියෙන් හොයාගන්න තිබිලවත් නෑ. හැබැයි මේ අවුරුද්දේ ජූලි වල සීනි කන්ටේනර් එකක කොකේන් තොගයක් තිබිලා හොයාගත්තහම ඒක ලංකාවේ මෙච්චර කාලෙකට අල්ලපු ලොකුම කොකේන් තොගේ කියලා වාර්තා වුනා. ඒ කිලෝ 270 ක්. ඔන්න ඊට පස්සේ මේ මාසේ තේක්ක ලී කොට කන්ටේනරේක හංගලා තිබිලා අහුවෙනවා කොකේන් කිලෝ 800 ක්. දැන් අපිට පොඩ්ඩක් හිතන්න වෙනවා අර පැබ්ලෝ එස්කොබාර්ගේ ජීවිත කතාව තියෙන නාර්කෝස් එකේ වගේ ලංකාවටත් කොකේන් ජාවාරම්කාරයින්ගේ අවධානය යොමුවෙනවද කියලා.

 

1. ලංකාවට එනවද, ලංකාව හරහා යනවද?
things you should know about Cocaine
Source – bianoti.com

මේක තමයි ප්‍රධානතම ප්‍රශ්නේ. ඒ කියන්නේ ලංකාවේ මීට කලිනුත් කොකේන් එහෙන් මෙහෙන් පොඩ්ඩ පොඩ්ඩ තිබ්බා. හැබැයි පට්ට ගණන්. විදේශිකයෝ තමයි මෙහේ ඇවිත් “චාලි” ටිකක් හොයන්නේ. ඒත් හෙරොයින් වගේ රස්සාවට කොකේන් බොන්න ගත්තු මිනිස්සු ලංකාවේ තාමත් නෑ. එතකොට අපිට මතුවෙන ප්‍රශ්නේ තමයි මේ ළඟ ළඟම අල්ලන කොකේන් එන්නේ ලංකාවේ ඒකට ඉල්ලුමක් ඇති කරන්නද, එහෙම නැත්තං මේ ලංකාවේ වරායන් හරහා වෙනත් රටවලට ප්‍රවාහනය කරන කොකේන් තොගද මාට්‍ටු වෙන්නේ කියන එක. පේන විදියට දෙවෙනි කාරණාව තමයි තාර්කික කියලා හිතන්න පුලුවන්. ඒත් ඉතින් තවමත් ඒ ගැන දීර්ඝ වශයෙන් පරීක්ෂණයක් කරලා පොලිසියෙන්වත්, වෙන ආයතනයකින්වත් නිගමනයක් හෝ වාර්තාවක් ප්‍රසිද්ධ කරලා නෑ කියලත් කියන්න වෙනවා.

 

2. කොකේන් ඔය කියන තරමටම දරුණුයිද?
things you should know about Cocaine
Source – flavorwire.com

මේ වෙනකොට ලංකාවේ අනික් මත්ද්‍රව්‍ය උවදුරු මැඩලන්න සෑහෙන්න ගේමක් ක්‍රියාත්මක වෙනවනේ. ඒ අස්සේ කොකේනුත් ආවහම කොහොමද? හැබැයි කොකේන් වඩාත් දරුණුයි. කොකේන් වලින් ඉතාම ඉක්මන්, ශීඝ්‍ර උත්තේජනයක් ඇති කරනවා. හැබැයි ඒ එක්කම ඒ උත්තේජනය පාවිච්චි කරන්නාව අරගෙන එන්නේ පහළට. ඒ කියන්නේ විශාදය සහ ආතතිජනක හැසිරීම්. ඒ විතරක් නෙවෙයි ඒ එක්කම තව තවත් කොකේන් වුවමනාවකුත් හැදෙනවා. එතනින් එහාට දීර්ඝ කාලීන ප්‍රතිඵල ගැන බලනකොට තත්වේ තව දරුණුයි. කොකේන් ගන්න ගන්න ඒකෙන් ලැබෙන උත්තේජනය අඩු වෙනවා, ශරීරය කොකේන් වලට හුරු වීම නිසා. එතකොට උත්තේජනය ලබාගන්න වැඩිපුර ප්‍රමාණ වලින් කොකේන් ගන්න වෙනවා. කොහොමත් ලෝකේ තියෙන භයානකම මත්ද්‍රව්‍ය වලින් එකක් විදියට සැලකෙන කොකේන් ලංකාවේ බහුලව තියෙන මත්ද්‍රව්‍ය හැම එකකටම වඩා භයානකයි කියන එක කියන්නම වෙනවා. කොකේන් පාවිච්චි කරන මනුස්සයෙක්ව මුල් කාලෙදිම පුනරුත්ථාපනය කලේ නැත්තං බොහෝම ඉක්මනට වැලිගම්පිටි යන්න ටිකට් එක ලැබෙනවා කියන එක අනිවා කියන්න පුලුවන්.

 

3. කෙලින්ම වවලම වැඩේ පටන් ගනිමුද?
things you should know about Cocaine
Source – bbc.com

කොකේන් හදන්නේ ඔය දකුණු ඇමරිකානු රටවලට ආවේණික ශාකයක් වුණු කොකා පැළ වලින්. හැබැයි කොකා පැළයක් දෙකක් වැව්වා කියලා කොකේන් ගෙදර හදන්න බෑ. කොකා පැළයක කොකේන් මත්ද්‍රව්‍යය හදන්න අවශ්‍ය වෙන සංඝටක තියෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ නිසා කොකේන් පොඩි ප්‍රමාණයක් හදාගන්නත් කොකා පැළ සෑහෙන්න ඕන කරනවා. අනික කොකා කොළ වලින් කොකේන් හදන එක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක ගංජා පැළේකින් ගංජා කොළ ගන්නවා වගේ කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි, ඔය කොලොම්බියාවේ සහ දකුණු ඇමරිකානු රටවල කොකේන් ජාලයන් පාලනය කරන මා‍ෆියා කල්ලි තමන්ගේ පාලනයෙන් පිට කොකා පැළ වවන්න ඉඩ දෙන්නෙත් නෑ. බොහොම දරුණු ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් මේ කතන්දරේත් එක්ක ඕන තැනක කොකා පැළයක් දෙකක් වවලා ගෙදර කොකේන් හදන්න බෑ කියලා තේරෙනවනේ. හැබැයි පහුගිය කාලේ ලංකාවේ සුදු හඳුන් කියලා කොකා පැළ වවලා අහුවෙලා තිබුණා, මාතර පැත්තේ. මේ කොකා පැළ කවුද කොහොමද බෙදුවේ කියලා විමර්ශණයක් එහෙම කරනවා කියලා තිබුණත් ඒකට මොකක් වුනාද කියන්න දන්නෙ නෑ. සමහර විට වැරදීමක් වෙන්නත් පුලුවන්, සමහර විට පොඩි ටෙස්ට් එකක් වෙන්නත් පුලුවන්.

 

4. ලංකාවට කොකේන් ආවහම තියෙන ප්‍රශ්නේ මොකක්ද?
things you should know about Cocaine
Source – bhattchicagodefenselaw.com

ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා අර මුලින්ම කිව්ව නාකෝස් ටීවී සීරීස් එකේ. ඒ කියන්නේ ගුවන්තො‍ටුපල ආරංචි මාර්ග කියන විදියට බ්‍රසීලයේ නිෂ්පාදනය කරන කොකේන් තායිලන්තය ඇතුළු රටවලට යවන මධ්‍යස්ථානයක් විදියට ශ්‍රී ලංකාව පාවිච්චි කරන එකේත්, එහෙම නැත්තං ලංකාවත් ක්‍රමයෙන් විශාල වශයෙන් කොකේන් පරිභෝජනය කරන රටක් බවට පත් වෙන එකේත් අවුල් තියෙන්නේ කොකේන් දරුණු මත්ද්‍රව්‍යයක් කියන කාරණේ ඇතුලෙම නෙවෙයි. කොකේන් නිෂ්පාදනයන් සහ බෙදාහැරීම් පාලනය කරන විශාල වශයෙන් ජාලගතවුණු ජාවාරම් කල්ලි ලතින් ඇමරිකානු රටවලට කරලා තියෙන දේවල් දකිනකොට අනිවා අපිත් බය වෙන්න ඕන. ඒකට එක හේතුවක් තමයි තාමත් ලංකාවේ අල්ලස සහ දූෂණය සෑහෙන්න දුරට පැතිරිලා තියෙන්නේ. ඉතින් මේ කොකේන් ජාවාරම් කල්ලි කරන්නේ සල්ලි දීලා ගන්න පුලුවන් මිනිස්සුන්ව සල්ලි දීලා ගන්න එක. සල්ලි වලට නවාගන්න බැරි මිනිස්සුන්ව බොහොම දරුණු විදියට මරලම දාන එක. අනික අපි මුලිනුත් කිව්වනේ කොකේන් කියන්නේ සෑහෙන්න මිලෙන් අධික මත්ද්‍රව්‍යයක් කියලා. ඒ නිසාම මේ කල්ලි වලට ගේමක් නැතුව තමන්ගේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න පීනන්න සල්ලි තියෙනවා. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත.

 

5. ලංකාවේ කොකේන් සංස්කෘතියක් හැදුනොත්?
things you should know about Cocaine
Source – rebloggy.com

දැන් ඔය සමහර මරි මෝඩ විචාරකයෝ එහෙම කියන දෙයක් තමයි, ලංකාව සංචාරක කර්මාන්තයෙන්, විදේශීය ආයෝජන වලින් තව තව ඉස්සරහට යනකොට කොකේන් වගේ දේවල් ලංකාවට එන එක වළක්වන්න බැරිය, එහෙම වළක්වන්න ඕනෙත් නැතිය වගේ කතන්දර. හැබැයි මත්ද්‍රව්‍ය ඇබියුස් කරන එක කවදාවත් සීයෙට සීයක්ම නතර කරන්න බැහැයි කියන එක තිත්ත ඇත්තක් වුනත්, මත්ද්‍රව්‍ය වලට එරෙහිව මිනිසා ගෙනියන සටන දිගින් දිගටම ගෙනියන්න වෙනවා. මොකද කොකේන් වගේ මත්ද්‍රව්‍ය වල බලපෑම මාරාන්තිකයි වගේම ඇබ්බැහියත් අනිවාර්යයි නිසා.

දැනටමත් ඔය නයිට් ක්ලබ් එහෙම යන කොල්ලො කෙල්ලො දන්නවා ඇති ඕන නං “චාලි” ටිකක් හොයාගන්න බැරිකමක් නෑ කියන එක. හැබැයි හෙරොයින් නැත්තං ගංජා ලංකාවේ විකිණෙන විදියට, ඒ කියන්නේ ඕනම නගරෙකින් හොයාගන්න පුලුවන් පොට් තියෙන තැනට කොකේන් තාම ලංකාවට ඇවිත් නෑ. එහෙම ආවොත් ගොඩක් දුරට කොළඹ රාත්‍රී ජීවිතය සහ වෙරළ ආශ්‍රිත විනෝද ජීවිතය හරහා තමයි කොකේන් එන්න පුලුවන්. හැබැයි එතනින් නතර වෙන්නේ නෑ. අඩු තරමින් හෙරොයින් හෝ ගංජා එක්ක බලනකොට කොකේන් සාපේක්ෂව ගණන් වැඩියි කියන කරුණ මතවත්, කොකේන් කොළඹ තදාසන්න පළාත් වලින් ගම් දනවු වලට පැතිරෙන්නෙ නෑ කියන එක ‍රැ‍ඳෙන්නෙ නෑ. කොකේන් ජාලයක් ලංකාවේ ස්ථාපිත වුනොත් අනිවා ඒකට ඉල්ලුම වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් හැමතැනම ගංජා අල්ලන නිසා අඩු ගාණට ගන්න ගංජා ටිකක් ලේසියකට හොයා ගන්න බෑ. ඒත් ගංජා ගහපු එවුන් ඒ වගේ විසි තිස් ගුණයක් ගෙවලා හෑෂ් අරගෙන ගහනවා. ඒ වගේ තමයි.

 

6. නවත්තන්න පුලුවන් වේවිද?
things you should know about Cocaine
Source – chatter.lk

මේක බොහොම අවිනිශ්චිත ප්‍රශ්නයක්. දැන්මම වැට බැන්දොත් නවත්තගන්න පුලුවන් වෙයි. කොහොම නමුත් මේ අහුවෙන කොකේන් තොග විතරයිනේ. අහුවෙන්නේ නැතුව කොයිතරම් කොකේන් තොග ලංකාව හරහා වෙන රටවලට යනවා වෙන්න පුලුවන්ද? කොහොමත් ලංකාව කියන්නේ වෙළඳ හුවමාරු මධ්‍යස්ථානයක් නිසාම වෙන්න පුලුවන් වෙනත් රටවලට කොකේන් තොග බෙදාහරින්න ජාවාරම්කරුවන් ලංකාව ‍තෝරගෙන තියෙන්නේ.

කොහොම වුනත් ලංකාව හරහා කොකේන් තොග වෙන රටවලට යනවාද කියන එක ගැන වගේම, ලංකාව ඇතුලට කොකේන් තොග එනවද කියන එක ගැනත් අදාළ අධිකාරී අංශ වලට විශේෂ අවධානයකින් ඉන්න වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. අපි දූෂමාන ආරංචි විදියට අහලා තියෙනවනේ ලංකාවේ ප්‍රබල තැන්වල ඉන්න අය, දේශපාලකයෝ පවා මත්ද්‍රව්‍ය ගෙන්වන මහා පරිමාණ ජාවාරම්කාරයෝ විදියට වැඩ කරනවා කියලා. ඉතින් මේ කට්ටියට කොකේන් රස වැටෙන්නත්  බැරි කමක් නෑ. ඉතින් පොලිසිය සහ රේගුව ඇතුළු අධිකාරීන් මත සහ රටේ ප්‍රතිපත්ති සම්පාදකයෝ අතේ තමයි කොකේන් යුද්ධයකට යන්න කලින් වළක්වගන්නවද කියන ගේම තියෙන්නේ.

 

 
Cover Image Source – equapio.com