ඉක්කයි මමයි ගාලු ගියා කියලා ඉක්කා හොඳ කරගන්න පුලුවන් වෙයිද? ඉක්කාව ගැන කරුණු 5 ක්

 

ඉක්කා හැදිල නැති කෙනෙක් ඉන්නවද? අඩු ගාණෙ අර ඉක්කා හොඳ කරගන්න පොඩි කාලේ කියල දෙන ඉක්කයි මමයි ගාලු ගියා සීන් එක අහලා නැති කෙනෙක් ඉන්නවද? වෙන්න බෑනේ. ඔව්, ආන්න ඒ තරමට ඉක්කාව කියන්නේ හැමෝම අත්දැකලා තියෙන දෙයක්. ඕක හැදුනහම එකක් හරි වාතයි. අනික ඔය සෙනඟක් මැද්දේ එහෙම ඉක්කා වැටෙන්න ගත්තහම ඒක හරි නෑනේ බ්‍රෝ. දැන් මේ කියන්න යන්නේ ඔය ඉක්කාව ගැන තව විස්තර ටිකක් තමයි.

 

1. මොකක්ද ඉක්කා වැටෙනවා කියන්නේ?
Hiccup Home Remedies
Source – gram-stained-paws.tumblr.com

හරි දැන් පොඩි බයෝලොජි පාඩමක්. දැං ඔය අපේ ඇඟ ඇතුළේ මහා ප්‍රාචීරය නැත්තං ඩයෆ්‍රම් එක කියලා පපු කුහරය සහ උදරය වෙන් කරන ලේයර් එකක් වගේ එකක් තියෙනවනේ. ඕක උඩ පහළට ගිහිල්ලා සපෝට් එක දෙනවා අපි හුස්ම ඉහළ පහළ දාන ක්‍රියාවලියට. ඔය වැඩේ සුපවයිස් කොරාන්ඩ ප්‍රේණික ස්නායුව කියලා එකකුත් තියෙනවා. දැං අපි හිතමු ඔය ප්‍රේණික ස්නායුවට මොකක් හරි හිරිහැරයක්, උද්දීපනයක් ඇතිවෙනවා කියලා. ආන්න එතකොට මහා ප්‍රාචීරයත් පිස්සු කෙලිනවා. දැන් ඕක මේ වගේ වෙලාවට හදිසියේම, ඒ කියන්නේ නිරායාසයෙන්ම හැකිලෙන්න, දිග ඇරෙන්න/ තද වෙන්න, ලිහිල් වෙන්න ගන්නවා. දැන් මහා ප්‍රාචීරය ඔහොම තද වෙනකොට අපි වේගෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. හැබැයි අපේ උගුරේ තියෙන ශ්වාස මුඛයත් හදිසියේම වැහුනහම අර ඇතුළට ගන්න වායු දහරාව නවතිනවා. එතකොට අර හිකප් නැත්තං හික් වගේ සද්දෙකින් ඇහෙන ඉක්කාව එනවා.

ඕකට දොස්තර ගොල්ලෝ මහාප්‍රාණෙන් කියන්නේ synchronous diaphragmatic flutter කියලා තමයි. ඉක්කා හැදුණු වෙලාවට ඕක කියන්න ට්‍රයි කරල බලන්න. සමහර විට ඒකෙංම හොඳ වෙයි!

 

2. දැං ඉක්කා හැදෙන්නෙ ඇයි?
Hiccup Home Remedies
Source – quora.com

හොඳ ප්‍රශ්නයක්. දැන් අපි මුලිනුත් කිව්වනේ ඉක්කාව කියන එක අත්දැකලා නැති කෙනෙක් නැති තරං කියලා. සාමාන්‍යයෙන් ඔය පොඩි වෙලාවකට හැදෙන ඉක්කාවට හේතුව හරියටම මේකයි කියලා කියන්න බැරි තරම්. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් වේගෙන් කනකොට, දරන්න බැරි තරමට කෑවහම, ගොඩක් රස්නෙන් කෑවහම, බඩේ ගෑස් සීන් එක ආවහම, එක පාර ගොඩක් සීතල බීමක් බිව්වහම, අවට පරිසරේ උෂ්ණත්වය එක පාර වෙනස් වුනහම, සුට්ටක් අනුමත වුනහම එහෙම ඉක්කා වැටෙන්න පටන් ගන්න පුලුවන්. සමහරු ඉන්නවා පොඩ්ඩක් සැර කෑමක් කෑවහමත් ඉක්කා වැටෙන්න පටන් ගන්නවා. සමහරුන්ට සමහර බෙහෙත් ජාති වලටත් ඉක්කා වැටෙනවලු. හැබැයි ඉතින් මෙහෙම කියනවා ඇරෙන්න ඉක්කා වැටෙන හේතුව විදියට කියන්න පුලුවන් වෙන්නේ අර ප්‍රේණික ස්නායුවට ඉන්න දෙන්නෙ නැති වැඩක් වුනහම ඉක්කා එනවා කියලා තමා.

 

3. නිතරම ඉක්කා වැටෙන්න පටන් ගත්තොත්?
Hiccup Home Remedies
Source – makeagif.com

දැන් පැය ගණනාවක් තියෙන ඉක්කාවක්, දවස් ගණන් තියෙන ඉක්කාවක් කියන්නේ පොඩ්ඩක් හොයලා බලන්න ඕන තත්වයක්. ඊටත් හපන් ඉක්කාව ඒ තරමට වෙලාවක් තියෙනවා කියන්නේ දරන්න පුලුවන් දේකුත් නෙවෙයිනේ. ඇයි වදේ, අඩු තරමේ නිදාගන්න පුලුවන්ද ඉක්කා වැටෙනකොට? ඉතින් මේ වගේ තත්වයකදී අනිවා වෛද්‍යවරයෙක් මුණගැහෙන්න වෙනවා. මෙහෙම කල්පවතින ඉක්කාවක් එනවා කියන්නේ ඒකට විවිධ හේතු තියෙන්න පුලුවන්. ඕනවට වඩා බීපු එකේ ඉඳන් වකුගඩු ගැටළුවක් දක්වා හේතු තියෙන්න පුලුවන් කියලා දොස්තරවරු කියනවා. දැන් මේ කියන්නේ ඉක්කාවක් හැදුණු ගමන් බුදුඅම්මෝ කිඩ්නි ෆේල් වෙලා කියන එක නෙවෙයි හරිද. නොනවතින විදියට, දරුණු විදියට හැදෙන ඉක්කාවක් එහෙම දෙයක් නිසා වෙන්නත් පුලුවන් කියන එක තමයි. එහෙම නැතුව වෙන මධ්‍යම ස්නායු පද්ධතියේ මොකක් හරි කේස් එකක් වෙන්නත් පුලුවන්. අපි මේ කියන්න හදන්නේ ඉක්කාවක් පැය ගණනාවකට නවතින්නේ නැතිනම් දොස්තර කෙනෙක් හම්බුවෙන්න කියන එක තමයි. මොකද දිගින් දිගටම දීර්ඝ කාලයක් තිස්සේ ඉක්කාවක් එන්නේ ඇයි කියන එක අපිට තීරණේ කරන්න බෑ. එකට තමයි වෛද්‍යවරු ඉන්නේ. ඒ ඉක්කාව ලොකු අවුලක් නොවෙන්නත් පුලුවන්, සරල දෙයක් නොවෙන්නත් පුලුවන්. වෛද්‍යවරයෙක්ට පුලුවන් අනික් රෝග ලක්ෂණ තියෙනවද නැද්ද කියලා බලලා, තියෙනවා නං ඒවත් මොනවද කියලා බලලා මේ ඉක්කාවේ රෝග නිධානේ හොයාගන්න. ඉන් පස්සේ ඒ රෝග නිධානෙට බෙහෙත් කලහම ඉක්කාවත් සනීප වෙයි අනික් රෝග ලක්ෂණ එක්කම.

 

4. සූටි ඉක්කාව හොඳ කරගන්න නොවරදින බේත්
Hiccup Home Remedies
Source – experiencelife.com, huffingtonpost.com, mirror.co.uk

දැං ආයෙමත් එමු ඔය ඉඳලා හිටලා හැදෙන සූටි ඉක්කාවට. ඕක හොඳ කරගන්න පොඩි කාලේ අපිට එක එක ක්‍රම අම්මලා කියලා දෙනවනේ. ජනප්‍රියම වැඩේ තමයි ඉක්කයි මායි ගාලු ගියා ඉක්ක දාලා මං ආවා කියලා දිගට දිගට කියන එක. හැබැයි එහෙම ගිහින් දාපු ඉක්කොන්ගෙන් ගාල්ල පිරිලා කියලා ඔය අනාදි කොල්ලෝ කිව්වට ඕක අත්දු‍ටුවයි ප්‍රත්‍යක්ෂයි ඉක්කා බෙහෙතක්. හැබැයි මොන බෙහෙතක්වත් නැතුව ඉක්කාව අමතක වුනහම නිකම්ම නැතුව යනවා කියන එකත් ගොඩක් දෙනා අත්දැකලා තියෙන්න ඕන කාරණාවක්. මීට අමතරව සුළු ඉක්කාව හොඳ කරන්න එක එක ක්‍රම තියෙනවා.

 

  • එක කට්ටියක් කියනවා කඩදාසි බෑග් එකක් ඇතුළට ඔළුව දාගෙන හුස්ම ගන්න කියලා.
  • එතකොට කැට කැට තියෙන සීනි තේ හැන්දක් කෑවත් ඉක්කා හරියනවලු.
  • කූල් වතුර වීදුරුවක් බිව්වත් හරියනවලු.
  • ඕනම නං දිව පුලුවන් තරං එලියට ඇදගෙන හිටියත් හරියනවලු.
  • ජනප්‍රියම ඉක්කා හොඳ කරන ක්‍රමේ තමයි හුස්ම අල්ලගෙන ඉන්න එක ටිකක් වෙලා.
  • තව ඉක්කාවට සීයෙට සීයක් හරියන ක්‍රමයක් තමයි, කටින් හොඳ හුස්මක් අරගෙන, හුස්ම අල්ලගෙන ඉන්න අතරේ දෙපාරක් හෝ තුන්පාරක් කෙළ ගිලලා ඉන් පස්සේ හෙමිහිට නහයෙන් හුස්ම පිට කරන එක. අත්දු‍ටුවයි සත්තයි!
  • ඔය වගේ සරල ප්‍රතිකර්ම විතරක් නෙවෙයි, කෙම් ක්‍රම එහෙමත් තියෙනවා ඉක්කාව හොඳ කරන්න හැදුණු. එහෙම එකක් තමයි ඇල්වතුර ලොකු උගුරක් කටට අරගෙන ඒක වාර හතකට ගිලින්න කියන එක.

 

දැන් තේරෙන්න ඕන මේ හැම ක්‍රමයක්ම, ඉක්කයි මායි ගාලුගියා කියන එකේ ඉඳන් කෙම් ක්‍රම පවා අර හුස්ම අල්ලං ඉන්න එකට, සීනි හපන එකට එහෙම සම්බන්ධයි. ඒ කියන්නේ අර සිස්ටම් එකේ පොඩි අවුලක් ගියපු එක රෙගියුලේට් කරන්න තමයි මේ හැම ක්‍රමේකින්ම උත්සාහ ගැනෙන්නේ.

 

5. ඉක්කාව ගැන නොදන්න කාරණා ටිකක්
Hiccup Home Remedies
Source – somuchviral.com

ඉක්කාව කියන්නේ මිනිස්සුන්ට විතරක් හැදෙන දෙයක් නෙවෙයි. මේ ලෝකේ ඉන්න හැම ක්ෂීරපායී සතෙක්ටම පාහේ ඉක්කා වැටෙනවා කියලා විද්‍යාඥ ගොල්ලො කියනවා. මිනිස්සු ගත්තත් සාමාන්‍යයෙන් ළදරුවන්ට වැඩිපුර ඉක්කා වැටෙනවලු වැඩුණු මනුස්සයෙක්ට වඩා.

දැන් ඔය ඉක්කා වැටෙන එක වෙන්නෙ කොහොමද කියලා දැනගෙන හිටියට ඒක වෙන්නෙ ඇයි කියන එක කවුරුත් දන්නෙ නෑ. ඒ කියන්නේ විද්‍යාඥයෝ කියන්නෙත් වෙනත් ලෙඩක ප්‍රතිඵලයක් නොවෙන සරල ඉක්කාව මිනිස්සුන්ට හැදෙන්නේ ඇයි කියන එක මිනිස් ශරීරයේ අබිරහසක් කියලා තමයි. හැබැයි ඕකට සමහර විද්‍යාඥයෝ මත පළ කරනවා, අපි ජලචර සත්තු විදියට හිටපු කාලේ සහ උභය ජීවියෝ විදියට හිටපු කාලේ ඉඳන් අද වෙනකල් අරගෙන එන, ඒ කියන්නේ සත්ව පරිණාමයේ ඈත ගැඹුරේ ඉඳන් පැවත එන පුරුද්දක් මේක කියලා. ඇත්ත වෙන්නත් පුලුවන්!

 
Cover Image Source – healthyhippie.net