විවිධ රටවල පන්නෙට හදපු කෑම බීම තියෙන කොළඹ අවට තැන් 8 ක්

 

කොළඹ රටේ බඩගින්දර හැදිච්ච වෙලාවක බජට් එකට කන්න බොන්න තියෙන තැන් වගේම බජට් කුඩුවෙන්න කන්න බොන්න පුලුවන් තැනුත් අපි මීට කලින් කිව්වනේ. හැබැයි සාමාන්‍යයෙන් කොළඹ කොහෙන් හරි කන කෙනෙක් එක්කෝ කරන්නේ කොහෙන්හරි ‍ෆිෂ් රෝල් එකකුයි පේස්ට්‍රියකුයි බඩට දාගන්න එක. එහෙම නැත්තං ෆ්‍රයිඩ් රයිස් එකකට හරි බිරියානි එකකට හරි යන එක. ඇත්තටම ඔය තැන් ඇරෙන්න කොළඹ නිකං ඉන්ටර්නැෂනල් කෑම වේලක් කන්න තැනක් නැද්ද, ෂේප් ගාණකට? තියෙනවා මචංලා. මේ කියන්න යන්නේ කොළඹ රටේ තියෙන වෙනත් වෙනත් රටවල කෑම බීම තියෙන සුපිරි පොට් අටක් ගැන තමයි. මේ තැනකින් කෑවහම හිතටත් සැපයි, පොකට් එකටත් ලොකු අවුලක් නෑ. ඉන්ටර්නැෂනල් කෑමක් කෑවා කියලා බය නැතුව කියන්නත් පුලුවන්.

 

1. නියම කොරියන් රසයක්: Korean BBQ
World Cuisine in Colombo

Source – slkrhallyuwave.blogspot.com, tripadvisor.com

රජගිරියේ තියෙන කොරියන් බාබක්‍යු එක ලංකාවේ ඉන්න කොරියන් ජාතිකයෝ අතර වගේම, රහ අඳුනන ශ්‍රී ලාංකිකයෝ අතරත් ප්‍රසිද්ධයි. කොරියානු ක්‍රමේට හදපු සුප් එකකින් බැරිනම්  කොරියන් රහට තියෙන ෆ්‍රයිඩ් රයිස් එකකින් වුනත් වේලක් මෙතනින් පිරිමහ ගන්න පුලුවන්. හැබැයි අපේ සහ තවත් කොරියන් බාබක්‍යු එකට එන ගොඩක් දෙනෙක්ගේ ප්‍රියතම කෑම තමයි ෆයර් චිකන් ඩිෂ් එක. ආයේ කඳුලු ගලන්න සැර සෝස් එකක් දවටලා එන ෆයර් චිකන් එක වගේ ෆ්‍රයිඩ් චිකන් එකක් වෙන කොහේවත් අපි දැකලා නෑ. ඒ වගේම දැන් මේ කට්ටිය ගාව තියෙනවා අඩුගාණට ගන්න පුලුවන් ෆ්‍රයිඩ් හරි හොට් බටර් ෆ්‍රයිඩ් හරි තියෙන සීෆුඩ් ප්ලැටර්. මේ කට්ටියගේ සෝස් එකත් එක්ක දෙන්නෙක්ට බඩ පැලෙන්න ඇති.

 

2. හිතටත් පොකැට් එකටත් දැනෙන්න, ප්‍රංස ක්‍රමේට: Café Français by Pourcel
World Cuisine in Colombo

Source – exploresrilanka.lk, exploresrilanka.lk

කොළඹ වටේ ප්‍රංස කෑමක් කන්න තැන් නං තියෙනවා. උදාහරණයක් විදියට ෂුගර් බිස්ට්‍රෝ එක පැත්තට ගියහම ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක් ගන්න පුලුවන්. ප්‍රංස කෑමක්නේ! හැබැයි ඉතින් නියමම නියම ප්‍රංස ක්‍රමයේ රෙස්‍ටුරන්ට් එකක් කිව්වහම ගාණ ටිකක් වැඩි වුනත් ඔලුවට එන්නේ Café Français by Pourcel තමයි.

සාමාන්‍යයෙන් හවස් අතේ ගෑල්ලමයත් එක්ක ගිහින් වයින් අඩියක් ගහලා එන්න මෙතන බාර් එක මරු. එතකොට කෑම බීම වුනත් පොඩ්ඩක් ගාණෙන් වැඩි වුනත් නියම ප්‍රංස සූපශාස්ත්‍රයන්ට අනුකූලව, චෙෆ්ගේ නිර්මාණශීලීත්වයත් එකතුකරලා හදලා තියෙනවා. මෙතන පසුබිමෙන් නං අර පරණ ප්‍රංස ගතියක් දැනෙන එකක් නෑ, ඊට වඩා මොඩර්න් ගතියක් තියෙන්නේ. මෙනු එකේ අයිටම් වල අර දිව පැටලෙන ෆ්‍රෙන්ච් ටච් එක නැති වුනත් ඉඳන් කෑම බීම විතරක් නෙවෙයි, වයින් පවා අනිවා ප්‍රංස තමයි.

 

3. එදා සිට අද දක්වා ජර්මන් රසය: Bavarian
World Cuisine in Colombo

Source – exploresrilanka.lk, gawaya.com

ඉස්සරවෙලා කිව්ව වගේම ලංකාවේ ජර්මන් කෑම ඔය ඉන්ටර්නැෂනල් බුෆේ එකකදී වුනත් හොයාගන්න පුලුවන්. එතකොට කාලෙන් කාලෙට නියම ජර්මන් රෙස්‍ටුරන්ට් විවෘත වුනාත් තමයි. හැබැයි එදා ඉඳන් අද වෙනකල් කොලිටියට ජර්මන් ආහාරවේලක් අරගෙන බැවේරියානු පන්නෙට බීර උගුරක් බොන්න නං යන්න තියෙන්නේ බැවේරියන් එකට තමයි. බැවේරියන් එකේ දොරෙන් ඇතුලට ගියපු ගමන් අර අඳුරු පාටට තියෙන පරණ ජර්මානු පබ් එකකට ගියා වගේ දැනෙන්න පටන් ගන්නවා.

බැවේරියන් එකට නිර්මාංශික, අමද්‍යප හාදයෙක්ට හාදියකට ගිහින් නං ‍තෝරගන්න චොයිසස් නැති තරම්. හැබැයි හොඳට කන බොන, ජර්මන් සූපශාස්ත්‍රවේදයට අනුකූලව පිළියෙල කරපු රස නහර පිනායන කෑමකට වැඩි ගාණක් වියදං කරන්න පැකිලෙන්නෙ නැති මනුස්සයෙක්ට මෙතන මරු.

 

4. මැදපෙරදිග කෑම වේලක් කන්න යමු: Hazari’s
World Cuisine in Colombo

Source – mydeal.lk, munchtoday.com

පහුගිය කාලේ කොළඹ මැදපෙරදිග අරාබි පන්නයේ කෑම බීම තියෙන කඩ සෑහෙන්න ඇරුනා. මේවලින් පොඩි පොඩි පොට් මාස හයෙන් හතෙන් වැහිලා ගියත්, ඇරේබියන් නයිට්ස් වගේ තැන් තව තව ලොකු වෙලා ස්ථාවර වුනා. ආන්න ඒ වගේ තව තැනක් තමයි හසාරිගේ අරාබි කෑම පොට් එක. ඉස්සර තිඹිරිගස්යායේ තිබුණු තැන දැන් තියෙන්නේ කොල්ලුපිටියෙ මෙරීන් ඩ්‍රයිව් එකේ.

හසාරිස් එකට ඇවිත් හුම්මුස් වල ඉඳන් අරාබි ක්‍රමේට හදපු ෂවර්මා, කුස් කුස්, කබ්සා රයිස් වගේ මෙකී නොකී මෙනු අයිටම් සෑහෙන්න ප්‍රමාණයක් ‍තෝරගන්න පුලුවන්. ගාණත් බජට් එකට ෂේප්. පොඩි ටිප් එකක් දෙන්නං. වීක් එන්ඩ් එකේ හසාරිස් පැත්තෙ යනවනං කබ්සා හරි මත්ලුතා හරි කියන සාම්ප්‍රදායික අරාබි රයිස් ප්ලේට් එකක් බිෆ් හරි චිකන් හරි එක්ක ගන්න පුලුවන් රුපියල් 490 කට. රස නියමයි බ්‍රෝ!

 

5. ඉන්දියාවේ ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතිය ‍රැගත්: Indian Chaat Corner
World Cuisine in Colombo

Source – weekendnotes.com, mlis.umd.edu

ඉන්දියන් කෑම කියලා ලංකාවේ ගොඩක් දෙනෙක් දන්නේ ‍තෝසෙයි මසලවඩෙයි වුනාට ඉන්දියන් කෑම වල ඊට වඩා හිතාගන්න බැරි තරමට පුළුල් පරාසයක් තියෙනවා. ඉතින් වැල්ලවත්තේ ඉන්ඩියන් චාට් කෝනර් එකට ගියොත් ඉන්දියානු ස්ට්‍රීට් ෆුඩ්, ඒ කියන්නේ ඔය ඉන්දියාවේ පාරවල් අයිනේ කරත්තවල තියාගෙන විකුණන කෑම කොයි තරම් රසද, කොයි තරම් පරාසයක විහිදෙනවද කියලා බලාගන්න පුලුවන්. මිල ගණන් වුනත් හිතාගන්නත් බැරි තරමට අඩුයි.

චාට් කියලා කිව්වහම බඩ පැලෙන්න කන කෑම නෙවෙයි තියෙන්නේ. පොඩි ප්ලේට් වල දාලා පොඩි ප්‍රමාණවලින් තමයි චාට් කන්න ඕන. හැබැයි ඉතින් චාට් වර්ග එකක් දෙකක් ට්‍රයි කලාට පස්සෙ තව මොකුත් දාගන්න බඩේ ඉඩ තියෙන එකක් නෑ. හැබැයි මෙතන චිකන් බිරියානි වල ඉඳන් මට්න් බීඩා රොටි දක්වා බර කෑම වේල් අයිටම් වුනත් තියෙනවා කියල අමතක කරන්න එපා.

 

6. නියම චීන හොට් පොට් එකක රස සමගින්: Chinese Juchunyuan
World Cuisine in Colombo

Source – drecome.lk, traveladvisorlk.com

චයිනිස් රෙස්‍ටුරන්ට් ඕන නං ලංකාවේ තමයි බලන්න ඕන. චීනෙවත් නෑ ඒ තරමට මකරා නේම් බෝඩ් එකේ දරණේ ගහගෙන ඉන්න චයිනීස් රෙස්‍ටුරන්ට්!

හැබැයි අපි මේ කතා කරන්නේ අර තුන්වේලටම චිලිපේස්ට් එක්ක ෆ්‍රයිඩ් රයිස් දෙන ශ්‍රී ලංකන් චයිනීස් රෙස්‍ටුරන්ට් ගැන නෙවෙයි. නියමම නියම චයිනීස් රෙස්‍ටුරන්ට් ගැන. එහෙම ඒවත් කීපයක් කොළඹ තියෙනවා. හැබැයි කොල්ලුපිටියේ තියෙන Juchunyuan චයිනීස් පොට් එක ප්‍රසිද්ධ ඇත්තටම හොට් පොට් එක නිසා තමයි. හොට් පොට් කියන්නේ චීනේ බොහොම ජනප්‍රිය ඩිෂ් එකක්. ඇත්තටම මේක ලෝහ හැළියක්. ඒකේ රත් වෙවී තියෙන්නේ බ්‍රොත් එකක්. දැන් ඕන කෙනෙක්ට තමන් ආස අමුද්‍රව්‍ය ඒකට දාලා නියම සුප් ක්‍රමේට හදාගන්න පුලුවන්. හැබැයි ඉතින් මේක කරන්න දන්නෙ නැත්තං වේටර් කෙනෙක්ගෙන්වත් අහගන්න වෙනවා. මොකද හරියට අමුද්‍රව්‍ය වැ‍ටුනෙ නැත්තං බොන්න වෙන්නෙ නිකම්ම බ්‍රොත් එක තමා. හැබැයි සැලෙන්න එපා, මෙතන මෙනු එකේ තව නියම චීන අයිටම්ස් තියෙනවා.

 

7. ඉතාලි රස නියම පීසා එකක් කන්න යමු: Giovanni’s
World Cuisine in Colombo

Source – tripadvisor.com

පීසා කිව්වහම ලංකාවේ ඉතින් ඕන කෙනෙක් දන්නෙ පීසා හට් හරි ඩොමිනෝස් හරි තමයි. හැබැයි නියම ඉතාලි පීසා එකක් කාපු මනුස්සයෙක් ආයෙ ඔය තැන් දිහා හැරිලවත් බලන්නෙ නෑ. රෙජිනා මාගරිතා වගේ නියම ඉතාලි අවන්හල් කීපයක්ම ලංකාවේ ඇරිලා වැහිලා ගියා. හැබැයි ජියෝවානි නං තාමත් තැන තියාගෙන සුපුරුදු නියම ඉතාලි රසයෙන් පීසා  ලබාදෙමින් ගේම් එකේ ‍රැඳිලා ඉන්නවා.

ඉතාලි ක්‍රමේට නියම මැටි උදුනක පීසා හදන හැටි බලාගෙන ඉන්න එකත් ආතල්. මෙතන කොහොමත් එක එක රසට කැමති අය වෙනුවෙන් රස ගණනාවකින් පීසා ලබාගන්න පුලුවන්. ඒවා අර පීසා හට් පීසා එකට වඩා ඉතාලි ගෙදරක හදපු ගතියක් දිවට වගේම හිතටත් දැනෙනවා. කිසිම කෘත්‍රිම ගතියක් නැති නියම කොලිටි පීසා. නියම ඉතාලි රස ‍රැසක් සමගින්!

 

8. ඩොටී එක්ක ඉංග්‍රීසි ක්‍රමේට තේකක් බොන්න යමු: Dottie’s English Tea Room
World Cuisine in Colombo

Source – twitter.com

ඉංගිරිසි කාරයා සීසර් එක්ක ගහගන්න කොටත් ටී බ්‍රේක් එකක් ගන්න අමතක කලේ නැහැනේ. ඇත්තටම බ්‍රිතාන්‍ය සංස්කෘතියේ තේ කෝප්පෙට සෑහෙන්න තැනක් හිමිවෙනවා. ඉතින් ඉංගිරිසි පන්නෙට ගෑල්ලමයත් එක්ක තේ කෝප්පයක් බොන්න හිතෙනවා නං අනිවා යන්න ඕන තැන තමයි ඩොටීගෙ තේ කාමරේ. තේ එකක් බොන්න ඩොටී එන එකක් නෑ, හැබැයි ගොඩක් වෙලාවට ඩොටී බොහොම මිත්‍රශීලී හිනාවක් එක්ක එළිපහළියේ දකින්න ලැබෙනවා.

නියම පැරණි වික්ටෝරියානු යුගයේ තේ කාමරයක විදියට සකස් කරපු මෙතන වටාපිටාවේ ඉඳන්ම නියම බ්‍රිතාන්‍ය හැඟීමක් ලබාදෙනවා කියන එක කියන්නම ඕන. කෑම බීම ගැන කියනවා නං ඕන නං ෆුල් ඉංගිරිසි කෑම වේලක් කාලා බඩ පුරෝගන්නත් පුලුවන්. ඒකට ගැලපෙන මෙනු අයිටම්ස් සෑහෙන්න තියෙනවා. එහෙම නැත්තං ස්කෝන් එකක් කාලා, නැත්තං චොකලට් බ්‍රවුනි එකක් කාලා රෝස තේ එකක් බීලා සැහැල්ලුවෙන් කතාබහ කරකර ඉන්නත් මෙතන මරු. මෙතන තේ ජාති සෑහෙන්න තියෙනවා. හැබැයි රෝස තේ එක එකපාරක් හරි බීලා බලන්න වටිනවා.

 

 
Cover Image Source – twitter.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid