මේ ෆිර්ජ් හැක්ස් 12ගැන දැනගත්තොත් ඔයත් වැඩ්ඩෙක් තමයි

 

කලින් දවසක අපි කිව්වනෙ ෆ්‍රිජ් එකක් කොහොමද පිළිවෙලකට තියාගන්නෙ කියල. මේ කියන්න හදන්නෙ ෆ්‍රිජ් එකක් ඇතුලෙ ඔබට දාන්න පුළුවන් පොඩි පොඩි සෙල්ලම් ටිකක් ගැන. නෑ නෑ ඒක ඇතුලෙ ෆුට් බෝල් ගහන්න නෙවෙයි. ෆ්‍රිජ් එකෙන් ගන්න වැඩ ටිකට පොඩි පොඩි පහසුකම් කීපයක් එකතු කරගන්න හැටි. මේ දේවල් ඔබේ ෆ්‍රිජ් එකේ තියෙනව කෙනෙක් දැක්කොත් අනිවා කියයි “ශා ඔයා නම් මාරයිනෙ” කියල.

 

1. බෝතල් ඔළු
Fridge Hacks
Source – simplemost.com

සමහර සෝස් බෝතල් වල අන්තිම ටික ගන්නම බෑ. අහක දාන්නත් ලෝභයි තව සැරයක් දෙසැරයක් පාවිච්චි කරන්න පුළුවන් කියල දන්න නිසා. මෙන්න මෙහෙම දෙයක් කලොත් ලේසියෙන්ම සෝස් බෝතල් වල අන්තිම බින්දුව තෙක්ම ගන්න පුළුවන්. බිත්තර පැකට් එක ගෙනාවම ඒ කඩදාසි පෙට්ටිය විසි කරනවනෙ. මෙන්න ඒකෙන් වැඩක් ගන්න හැටි. මේ පෙට්ටියේ යට කොටස ෆ්‍රිජ් එකේ දොරේ තට්ටුවක තියාගන්න. සෝස් බෝතල් ඔළුවෙන් හිටවල තියාගන්න පුළුවන් වැටෙන්නෙ නැතුව. අඩියේ රැඳුනු සෝස් ගන්න ලේසිම ක්‍රමයක් මේක.

 

2. බෝතල් අසුරන්න හොඳම ක්‍රමේ
Fridge Hacks
Source – pintest365.blogspot.com

උත්සවේකට වගේ ගේන බීම බෝතල් අහුරගන්න ගියාම ෆ්‍රිජ් එකේ ලොකු ඉඩක් වෙන් වෙනව. එක උඩ එක තියන්නත් බෑ පෙරලෙනව. මෙන්න මේ වගේ ෆයිල් කිල්ප් එකකින් ඒ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්.

 

3. ෆයිල් හෝල්ඩර්ස් වලින් වැඩි ඉඩක් එක් කරගන්න
Fridge Hacks
Source – crazyfood.net

මේ වගේ ප්ලාස්ටික් ෆයිල් හෝල්ඩර් දෙකකින් ෆ්‍රීසර් එකේ පුංචි ඉඩ වැඩි කරගන්න පුළුවන්. ඔක්කොම එක ගොඩේ දාගෙන ෆ්‍රීස් උනාම ඒවා වෙන් කරගන්න වෙනම වදයක් විඳින්න ඕනෙ. වෙන වෙනම තියන්න උවමනා දේවල් මේ විදියට තට්ටු වෙන් කරන් තියාගත්තම ඕන වෙලාවට ගන්නත් ලේසියි.

 

4. ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන් බාස්කට්ස් ගන්න
Fridge Hacks
Source – buzzfeed.com

සිදුරු සහිත ප්ලාස්ටික් බාස්කට් දෙකක් තුනක් ෆ්‍රිජ් එකේ තියන්න. වෙන වෙනම වර්ග කරන්න පුළුවන් දේවල් ඒ විදියට වෙන් කරල බාස්කට් වල අසුරන්න. ෆ්‍රිජ් එකේ එළවළු දාන්න තියෙන බකට් එක ඇතුලට ඔයාලට ගේන සේරම දාල තියන්න බෑනෙ. සලාද කොල, පලා වර්ග එහෙම ඒකට අනිත් එළවළු එක්ක දැම්මම තැලෙන්න බලනව. එහෙම දේවල් මේ වගේ වෙනම බාස්කට් එකක අසුරන එක පිළිවෙලයි.

 

5. පැකට්ස් මෙහෙම එල්ලන්න
Fridge Hacks
Source – lifeasmama.com

ඔයාලගෙ ෆ්‍රිජ් එකේ තට්ටු වෙන් කරල තියෙන්නෙ මේ පින්තුරෙ වගේ දැල් තට්ටුවකින් නම් මේ ක්‍රමය ගැලපෙනව. විවෘත කල පැකට් මේ විදියට එල්ලා තැබීමෙන් ඒවා ඇරී තැන තැන හැලෙන එකත් වලක්ව ගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ ඉඩ ඉතුරු කරගන්න පහසුම විදියක්.

 

6. කුඩා දරුවන්ට වෙනම කොටසක්
Fridge Hacks
Source – pinterest.com

ගෙදරක දරුවෙක් ඉන්නව කියන්නෙ ඉතින් ෆ්‍රිජ් එකේ එයාට වැඩ ගොඩයි. චොකලට් දාන්න, බීම දාන්න, ඕන ඕන වෙලාවට ගන්න වගේ දේවල් එපා කියන්නත් බෑනෙ. මෙහෙම වෙලාවක එයාටම කියල ෆ්‍රිජ් එකේ පොඩි ඉඩක බාස්කට් එකක් වෙන් කරල දෙන්න. චොකලට්, ටොෆී, බීම වගේ එයාගෙ දේවල් ලේසියෙන් හොයාගන්නත් ආපහු එතනින්ම තියන්නත් පුරුදු උනාම ඒක ඔබටත් පහසුවක්.

 

7. ෆ්‍රිජ් එක අස් කරන එක දරුවන්ට පවරන්න
Fridge Hacks
Source – atkidlevel.com

සතියකට වතාවක් ෆ්‍රිජ් එක අස් කරන එකට දරුවන් එකතු කරගන්න. කල් ඉකුත් වෙච්ච ආහාර ඉවත් කරන එක ෆ්‍රිජ් එකේ බඩු අසුරන පිළිවෙල වගෙ දේවල් දරුවන්ට පුරුදු කරවන්න. ඒක කරනවට තෑග්ගක් හැටියට එයාල ආස කෑමක් එදාට හදල දෙන්න. ඔබට කාලය ඉතුරු වෙනව වගේම දරුවන්ට පිලිවෙලකට වැඩක් කරන්නත් හුරු වෙනව.

 

8. ෆ්‍රිජ් එකේ ලිස්ට් එකක්
Fridge Hacks
Source – chicaandjo.com

ෆ්‍රිජ් එකේ ඉවර වෙන්න ලඟ බඩු, ඉවර උන බඩු වගේම තියෙන දේවල් වල ලිස්ට් එකක් ෆ්‍රිජ් එකේම අලවල තියාගන්න පුළුවන් නම් හුඟක් නාස්තිය අවම කරගන්න පුළුවන්. ස්ටිකී නෝට්ස් එහෙමත් නැත්නම් කාන්දම්කින් ඇලවෙන පොඩි බ්ලැක් බෝඩ් එකක් වගේ දෙයක් මේකට ගැලපෙනව.

 

9. ෆ්‍රිජ් එකේ දාන කෑම බාජන ලේබල් කරන්න
Fridge Hacks
Source – wdrake.com

මාස්කින්ග් ටේප් රෝල් එකක් ගෙනත් තියාගන්න. ෆ්‍රිජ් එකේ දාන කෑම බාජන ටේප් කෑල්ලක් ගහල මොනවද වගෙම දිනෙත් ලියල ලේබල් කරලම ෆ්‍රිජ් එකට දාන්න. කාර්යබහුලකම අස්සෙ අමතකවීම් වෙනව එහෙම වෙලාවක මේ පුංචි ටේප් කෑල්ලෙ වටිනාකම ඔබට තේරේවි.

 

10. කාන්දම් ඇලවූ භාජන
Fridge Hacks
Source – onecrazyhouse.com

අඩියට කාන්දම් ඇලවූ මේ වගේ හොඳින් වැහෙන පොඩි භාජන කීපයක් තියාගත්තා නම් ෆ්‍රිජ් එකේ තදබදය අඩු කරගන්න හොඳ පිළියමක්. ෆ්‍රිජ් එකේ දොර ඇතුලෙ අලවන්න පුළුවන් නිසා කජු, ආමන්ඩ්, වියලි මිදි වගේ පොඩි පොඩි දේවල් අමතර ඉඩක් නාස්ති නොකරම ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්.

 

11. විනිවිද පෙනෙන භාජන
Fridge Hacks
Source – aliexpress.com

ෆ්‍රිජ් එකේ කෑම අසුරද්දි විනිවිද පෙනෙන භාජන වල අසුරන්න. නැත්නම් ෆ්‍රිජ් එක ඇරියට භාජන වල තියෙන දේවල් නොපෙනෙන නිසා ඉක්මණින් ගන්න හිතන් දාන හුඟක් කෑම වර්ග අමතක වෙලා යන්න පුළුවන්. හොඳට බලන්න මේ මොහොතෙත් ඔයාලගෙ ෆ්‍රිජ් එකේ මාස දෙකක් විතර පරණ පරිප්පු කරියක් අනිවා ඇති.

 

12. හොඳින් වැසුණු භාජන
Fridge Hacks
Source – liangteck.com

කපපු ලූනු, සුදු ලූනු, හොදි වර්ග එහෙම ෆ්‍රිජ් එකට දාන කොට හැම වෙලාවකම ඒ දේවල් හොඳින් වැහුණු භාජන වල දාන්න. ෆ්‍රිජ් එකේ හොදි ගඳ, ලූනු ගඳ නොරැඳී තියාගන්න නම් වැසුණු භාජන වල ආහාර තැන්පත් කරන එක පුරුද්දක් කරගන්න.

 
Cover Image Source – goodhousekeeping.com