දරුවන් ලැබීමෙන් පසුවත් විවාහ ජීවිතයේ සතුට පවත්වාගෙන යන්න අනිවා උපකාරී වන ටිප්ස් 7 ක්

 

සාමාන්‍යයෙන් ලංකාවේ වගේ රටක අම්මලා තාත්තලා දරුවෝ හැදුවට පස්සෙ ලව් කරන්නෙ නෑනේ. දරුවෝ ලැබෙනකොට පවුල් සංස්ථාව එක පැත්තකින් ස්ථාවර වෙනවා වගේම තව පැත්තකින් දෙන්නා දෙමහල්ලෝ ටිකක් ඈත් වෙනවා. ඒ කියන්නේ අර ගැඹුරු සම්බන්ධේ තිබුණට තව දුරටත් ඉස්සර වගේ ලව් කරන එක, තමන්ට කියලා කාලයක් වෙන් කරගන්න එක අතෑරලා දානවා. එක අතකට ඒවා කරන්න වෙලාවකුත් හොයාගන්න බෑ තමයි. ඒත් ඇත්තටම එහෙම වෙන්න ඕනද? දරුවෝ ලැබුණට පස්සෙ දෙන්නා දෙමහල්ලෝ ඇඳන් දෙකක නිදාගන්න ඕනද? අපි මේ උත්සාහ කරන්නේ ඒ ප්‍රශ්නේට උත්තරයක් හොයාගන්න තමයි.

 

1. තාමත් ඉස්සර වගේම
Intimacy after Kids

Source -Source – feedster.com

ඔය අම්මලා තාත්තලා එලිපිට නොකිව්වට ඒ අය ඉස්සර කුරුළු ජෝඩුව වගේ හිටපු කාලේ ගැන තාම හිතනවා කියන එක පුදුමයක් නෙවෙයි. හැබැයි ලංකාවේ වගේ රටක කසාද බැඳලා දරුවෝ ලැබුණට පස්සේ එහෙම එළිපිට ආදරේ කරන එක හොඳ නැති දෙයක් විදියටත් හිතන්නේ ගොඩක් අය.

මේකට හොඳම විසඳුමක් තමයි මාසෙට දවසක් ඩේට් නයිට් එකක් විදියට තමන්ට විතරක් තියාගන්න එක. නිකමට හිතලා බලන්න. මෙහෙම දෙන්නත් එක්ක එලිපහලියට ගිහින් කතා බහ කරලා නෙවෙයිද ලව් එක ඇතිවුණේ කියලා? ඒ හින්දා මාසෙට එක දවසක් විතරක් දරුවන්ව බලාගන්න කාවහරි තියලා දෙන්නත් එක්ක එලියට යන්න. ඒක ‍ෆිල්ම් එකක් බලන්න හරි, ඩිනර් එකකට හරි බැරිනං ගෝල්ෆේස් එකට ගිහින් ඉස්සො වඩේ කකා බංකුවේ ඉඳන් මුහුද දිහා බලාගෙන ඉඳලා ආවත් කමක් නෑ. මෙතනදී වැදගත්ම දේ වෙන්නේ අර බඳින්න කලින් ලව් කරන කාලේ තිබුණු මැජික් එක ප්‍රතිනිර්මාණය කරන එක.

ඊට පස්සේ ඉතින් රාත්‍රියත් අයිති තමුන් දෙන්නටය කියන එක අමතක කරන්න එපා!

 

2. දරුවන්ට පෙර තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ඉදිරියෙන් තබන්න
Intimacy after Kids

Source -Source – phununews.vn

එහෙම කිව්වහම අවුල් වගේද? ඇත්තටම විවාහ වෙලා දරුවෝ ලැබුණට පස්සේ පහසුවෙන්ම වෙන්න පුලුවන් දේ තමයි අම්මගේ අවධානය සහ ආදරය සම්පූර්ණයෙන්ම දරුවන් දෙසට යොමුවෙන එක. ඒකම තාත්තාගෙනුත් වෙන්න පුලුවන්. ඒක ගැටළුවක් නෑ. හැබැයි එතනදී වෙන්නේ දරුවෝ ලැබෙන්න කලින් තමන්ගේ සහකරුට/සහකාරියට ලැබුණු ආදරේ අවධානය තමයි අඩු වෙලා දරුවන්ට ලැබෙන්නේ. මෙතනදී කෙනෙක් තර්ක කරන්න පුලුවන් සහකරු හෝ සහකාරිය කියන්නේ තනියෙන් තමන්ව බලාගන්න පුලුවන් වැඩුණු කෙනෙක්, ඒත් දරුවොන්ට ඊට වඩා අවධානය ආදරය ඕනෑමයි කියලා. හැබැයි අමතක කරන්න එපා. දරුවන්ට අත්‍යාවශ්‍යම දේ තමයි සතුටින් පිරුණු නිවසක්. ඉතින් මෙහෙම පවුලේ ප්‍රධානීන් දෙන්නා එකිනෙකාට දක්වන ආදරය අවධානය අඩු කරලා දරුවන්ට ඒ කොටස ලබාදුන්නා කියලා පවුලේ සතුට සමගිය තියේවිද? ගොඩක් වෙලාවට මේ අඩුව එළියට එන්නේ වෙන ප්‍රශ්න විදියට. ඒ නිසා මතක තියාගන්න. දරුවෝ ලැබෙන්න කලින් තිබ්බ ජීවිතේට දරුවෝ ලැබුණට පස්සෙ යන්න බෑ. ඒත් දරුවෝ ලැබෙන්න කලින් තමන්ගේ සහකරුට/ සහකාරියට දුන්න අවධානය, ආදරය දරුවෝ ලැබුණට පස්සෙත් ඒ විදියටම ලබාදෙන්න.

 

3. දරුවන්ට වගේම තමන්ටත් ආදරේ කරන්න
Intimacy after Kids

Source -Source – rebloggy.com

මේක ගොඩක්ම වෙන්නේ කාන්තා පාර්ශවේට. දරුවෝ එක්කෙනා දෙන්නා ලැබෙනකොට කාන්තාවකට කොයි තරම් වැඩ වැඩිවෙනවද කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අඩු තරමින් හරියට ඇහැ පියාගන්නවත් වෙලාවක් නැති වෙනවා. බැඳපු අලුත වගේ තමන්ගේ හස්බන්ඩ් එක්ක විශේෂ රාත්‍රීන් ගත කරන්න තියා, උදේ ඉඳන් ඇඳගෙන ඉන්න ඇඳුමවත් රෑට මාරු කරන්න වෙලාවක් නැති වෙනවා. හැබැයි හිතන්න, අම්මා රෝල් එකෙන් වයිෆ් රෝල් එකටත් මාරු වෙන්න වෙනවමයි. දරුවෝ කිරිබොන වයස පහු කලාට පස්සේ ආයෙමත් තමන්ගේ ජීවිතේ හරි ට්‍රැක් එකට ගන්න ඕන. රෑට දරුවෝ නිදිකෙරෙව්වට පස්සේ ඉස්සර වගේම රිලැක්ස් වෙනකල් හොඳ වොෂ් එකක් අරගෙන, ලස්සන නයිට් ඩ්‍රෙස් එකකට මාරු වෙලා ඉස්සර වගේම හස්බන්ඩ් එක්ක සැටියේ තුරුල් වෙලා කියව කියවා ඉන්න බැරි ඇයි? දෙන්නත් එක්ක එකට ‍ෆිල්ම් එකක් බලන්න බැරි ඇයි? ඉස්සර වගේම සරාගී රාත්‍රියක් ගත කරන්න බැරි ඇයි?

 

4. පුද්ගලිකත්වය ගැන හැඟීම පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට ලබාදෙන්න
Intimacy after Kids

Source -Source – ministry-to-children.com

ගොඩක් වෙලාවට ලංකාවේ ගෙවල් වල අම්මගේ සහ තාත්තගේ පුද්ගලිකත්වය නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ කියන්නේ දරුවෝ ලොකු වෙලාත් ගොඩක් වෙලාවට නිදාගන්නේ අම්මා එක්ක. ගොඩක් වෙලාවට කාමරවලට දොරවල් නැහැ. මේක තමයි ඉස්සර ඉඳන්ම එන විදිය. හැබැයි දරු මල්ලෝ ලැබුණට පස්සෙත් ඔබේ ආදර ජීවිතය සහ ලිංගික ජීවිතය සක්‍රියව තියාගන්න සෑහෙන උපකාරයක් වෙයි තමන්ගේ පුද්ගලිකත්වය ගැන හැඟීමක් දරුවන්ට දීලා තිබුණොත්. මේකෙන් කියන්නේ මෙහෙම දෙයක්. කාමර වලට දොරවල් දාන්න. කාමරේකට එන්න කලින් දොරට තට්‍ටු කරලා එන්න දරුවන්ට උගන්වන්න. දරුවන් යමක් කමක් තේරෙන වයසට එනකොට තනියෙන් කාමරයක ඉන්න, තනියෙන් නිදාගන්න හුරුකරවන්න. මේ දේවල් එක්ක දරුවෝ තමන්ගේ පුද්ගලිකත්වය සහ අන්‍යයන්ගේ පුද්ගලිකත්වය ‍රැකීම ගැන හොඳ අදහසක් ඔලුවට ගන්නවා. ඒ එක්කම දෙමාපියන්ටත් වඩාත් නිදහසේ තමන්ගේ ගෘහ ජීවිතය සහ පුද්ගලික ජීවිතය සමබරව අරගෙන යන්න ඉඩ ලැබෙනවා.

 

5. රෝස කැලෙන් නෙවෙයි පුතේ ඇහිඳන් ආවේ
Intimacy after Kids

Source -Source – superdad.gr

මේකත් ලංකාවේ අම්මලා තාත්තලා කරන වැ‍රැද්දක්. ළමයින්ට කියලා දෙන්නේ උන්ව රෝස කැලේට කපුටො ගෙනැත් දාලා අම්මයි තාත්තයි ඇහිඳන් ආවා කියලා. ළමයි ඉස්සරහා ඉන්නේ ප්‍රාතිහාර්යයකින් තමන්ට දරුවෝ ලැබුණා වගේ. මෙන්න මේක ඒ තරම් හොඳ නෑ. කොහොමත් අපි දන්න දෙයක්නේ දරුවන්ට හරි ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්න ඕන මුලින්ම ගෙදරින් කියන එක. ඒ වගේම තමයි දරුවන්ට තේරුම් යන්න ඕන අම්මයි තාත්තයි කියන දෙන්නා තමන්ව හදන්නේ ඒ දෙන්නා අතරේ තියෙන ආදරේත් එක්ක කියලා. උදාහරණයක් විදියට තාත්තා උදේට ඔ‍ෆිස් යන්න ලෑස්ති වුනහම අම්මා කෑම එකත් අතට දීලා තාත්තට කිස් එකක් ප්‍රසිද්ධියේ දුන්නා කියලා මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. දරුවෝ නරක් වෙන්නෙත් නෑ. ඊට වඩා දරුවෝ ආදරය කියන සංකල්පය ගැන දැනුවත් වෙනවා. එතකොට ඔය කසාද බැන්ද අලුත වගේම දෙන්නගේ තියෙන පුංචි පුංචි ආදරේ පෑම් වුනත් දරුවෝ ඉස්සරහා කරන්න බය වෙන්න ඕන නෑ. තාත්තා අම්මගේ නිකටෙන් අල්ලලා හොලවනවා දැක්කා කියලා දරුවෝ අමුත්තක් හිතන්නෙ නෑ. ඒ අය පුංචි කාලේ ඉඳන්ම එකක් ඉගෙන ගන්නවා තමන්ගේ ගෙදර තියෙන ශක්තිමත් බැඳීම එන්නේ දෙමාපියන් සහ දරුවන් අතර තියෙන ගැඹුරු සෙනෙහස වගේම දෙමාපියන් අතර තියෙන දැඩි සෙනෙහස ආදරයත් එක්ක කියන එක. අනික් කාරණය ආදරය සහ ලිංගිකත්වය වෙන් වෙන්ව හඳුනා ගන්නත් ඒක හොඳ හුරුවක් වෙනවා.

 

6. ළමයින්ගේ අම්මා මිසක් තාත්තගෙත් අම්මා වෙන්න නොයන්න
Intimacy after Kids

Source -Source – storiesofworld.com

මේ වැ‍රැද්ද සිද්ධ වෙන්නේ බිරිඳ අතින්. අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ඕනම කාන්තාවක් “අම්මා” කෙනෙක් වෙනවා කියන එක තමයි. උදාහරණයක් විදියට අවුරුදු විසිපහක ඔහේ කොල්ලත් එක්ක නට නටා හිටපු කෙල්ලෙක් වුනත් අම්මා කෙනෙක් වුනහම දරුවන්ට විතරක් නෙවෙයි, හැමෝටම අම්මා වෙනවා. සමහරවිට හස්බන්ඩ්ගේ යාලුවොන්ට වුනත් දැනෙන්න පුලුවන් ඉස්සර අර පිස්සු නට නට හිටපු කෙල්ල දැන් තමන්ටත් සලකන්නේ දරුවෝ වගේ නෙවෙයිද කියලා. ඒක හරි. ඒක ස්වභාවික දෙයක්. හැබැයි කාන්තාවක් දැනගන්න ඕන තමන්ගේ ස්වාමි පුරුෂයාට පමණ ඉක්මවා අම්මා නොවෙන්න. මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඇත්තටම බිරිඳක් කියන්නේ චරිත ගණනාවක එකතුවක්. ඒත් ස්වාමි පුරුෂයා එක්ක බිරිඳ රෝල් එක තියාගන්නේ නැතුව දිගින් දිගටම ස්වාමි පුරුෂයාට අම්මා වෙන්න යන එක දෙන්නගේ ආදර ජීවිතේට විතරක් නෙවෙයි, ලිංගික ජීවිතේටත් ඒ තරම් හොඳක් කරන එකක් නෑ.

 

7. සලකා බලන්න ඕන පුංචි පුංචි දේවල්
Intimacy after Kids

Source -Source – vulture.com

දරුමල්ලෝ ලැබෙනවා කියන්නෙම දෙන්නා දෙමහල්ලෝ තම තමන්ගේ කටයුතු ඇතුලේ බිසී වෙන එක. අම්මා ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ එක්ක කාර්යබහුල වෙනකොට තාත්තා සල්ලි හම්බ කරන්න, රස්සාවේ වැඩ එක්ක කාර්යබහුල වෙනවා. හැබැයි දරුවෝ ලොකු මහත් වෙලා දෙන්නා දෙමහල්ලන්ට ආයෙමත් ජීවිතේට නිදහස ලැබෙනකොට දෙන්නම ලං කරන්න බැරි විදියට එක්තරා ආකාරෙකට දුරස් වෙලා. එතනින් පස්සේ එක්කෝ අම්මා පිං අතේ වැඩවලට ඕනෑවට වඩා නැඹුරු වෙනවා. තාත්තා බෝතලේට ඕනෑවට වඩා නැඹුරු වෙනවා. එහෙම නැත්තං දෙන්නම අනියම් සම්බන්ධතා වලට පවා යොමු වෙයි. ඉතින් ඒ නිසා අපි ආයෙමත් කියන්නේ දෙමහල්ලෝ තේරුම් ගන්න ඕන දෙන්නම සෙල්ලං කරන්නේ එකම ටීම් එකට කියලා. එහෙම නැතුව අරයට වඩා මම මහන්සි වෙනවා කියලා හිතන එක, මහන්සි වීමත් එක්ක එකිනෙකාගෙන් ඈත් වෙන එක අපරාදයක්. මොකද දෙන්නට දෙන්නා ආදරේ නිසා විවාහ වෙලා දැන් ඒ විවාහ ජීවිතේ නිසි රස විඳින්නේ නැති එක අපරාදයක් වීම හින්දා.

තවත් කාරණයක්. විශේෂයෙන්ම කාන්තාවෝ අම්මා කෙනෙක් වුනාට පස්සේ තමන්ගේ ඇඟ පත ගැන තියෙන උනන්දුව අත අරිනවා. එක්කෝ ඔහේ මහත්වෙනවා. තාත්තත් ඒ වැ‍රැද්දම කරනවා. එහෙම හොඳ නෑ. අපි මුලිනුත් කිව්වා වගේ දරුවෝ හදන එක, ඇති දැඩි කරන එක, දරුවන්ගේ අනාගතේ හදන එක ජීවිතේ එක ගෝල් එකක් විතරයි. තමන්ගේ ජීවිත ලස්සනට, ඉස්සර වගේම ෆුල් ආතල් එකේ ගත කිරීමත් තව ගෝල් එකක් වෙන්න ඕන. ඉතින් ඔය ගෝල් බැලන්ස් කරගෙන මැච් එක සෙල්ලම් කරන්න ඉගෙන ගත්තොත් දරුමල්ලෝ ලැබුණා කියලා දෙන්නගේ ජීවිතේ ඉස්සර තිබුණු සතුට, ශෘංගාරය පොඩ්ඩක්වත් අඩු වෙන එකක් නෑ. ඒ වෙනුවට දවසින් දවස වැඩි වෙයි!

 


 
Cover Image Source – lifehack.org
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid