රෙන්ට් එකට වුනත් ගන්න එපාට්මන්ට් එකක් ගෘහාලංකරණය කරගන්න ගැලපෙන තේමා 7 ක්

 

අලුත බැඳපු කපල් එකක් නම් ගොඩක් වෙලාවට වෙන්නේ එක්කෝ තමන්ටම කියලා හිමින් හිමින් ගෙයක් හදාගන්නවා, එහෙම නැත්තං රෙන්ට් එකට පොඩි තැනක් ගන්නවා. සාමාන්‍යයෙන් එහෙම වුනාට පස්සෙ කරන්නෙ එක්කෝ දෑවැද්දට දීපු බඩුමුට්‍ටු ටික ගෙදර ගෙනැත් පුරෝගන්නවා. එහෙම නැත්තං දෙන්නත් එක්ක ගිහින් ලස්සනයි කියලා හිතෙන එක එක ගෘහභාණ්ඩ එක එක තැන්වලින් ගන්නවා. හැබැයි දැන් ගෘහ අලංකරණ ශිල්පය කියලා එකකුත් තියෙනවනේ. ඒ කියන්නේ ඔය ගොනයි මීමයි වගේ පු‍ටු සැටියකුයි ටීපෝ සෙට් එකකුයි තියන්නේ නැතුව පොඩ්ඩක් තීම් එකකට, පාට මැච් වෙන්න, හොඳ අවකාශයක් නිර්මාණය වෙන්න ගැලපෙන්න ගෙදර දොර බඩු ගන්න එකත්, ඒවා හරි තැන්වල තියන එකත් තමයි. හරි, ඒ ගැන ඩීටේල් ඇතුව කියන්න ආටිකල් දහයක් පහළොවක් ලියන්න වෙයි. හැබැයි තමන්ගේ පුංචි නිවහනට ගැලපෙන විදියේ තීම් ටිකක් ගැන තමයි මේ කියන්න හදන්නේ.

 

1. ඉන්දියන් ටච් එකට
Decor for your Apartment
Source – pinterest.com

මේක ටිකක් වෛවර්ණ බවක් නිවස ඇතුළට ලැබෙන, සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති තේමාවක්. ඕන නම් මේ සිස්ටම් එකට අර රෙදිවල එක එක පාට පාට කෑලි බෑලි අලවලා රටා නිර්මාණය කරපු ඉන්දියන් ක්‍රමේ සැරසිලි නිර්මාණ තියෙන්නේ. අන්න ඒවා බිත්තිවල එල්ලන්න පුලුවන්. පු‍ටු මේස වුනත් පොඩ්ඩක් කැටයම් තියෙන ඒවා ගන්න පුලුවන්. හැබැයි ඊටත් වඩා හරියනවා සම්පූර්ණයෙන්ම බිමට වෛවර්ණ ඉන්දියන් කලාල අතුරලා, අර ඩෝල හැඩේ ඉන්දියන් කොට්ට තියලා බිම ඉඳගන්න පුලුවන් විදියට ගෘහ අලංකරණය කරන එක. මේකේ වාසිය තියෙන්නේ සාපේක්ෂව අඩු වියදමකින් වැඩේ ගොඩදාගන්නත් පුලුවන් වීම තමයි. මේ විදියේ බඩු භාණ්ඩ එක්කෝ මේන් ස්ට්‍රීට් එක පැත්තේ කරක් ගහලා හොයාගන්න පුලුවන්. නැත්තං ජනකලා කේන්ද්‍රය පැත්තේ හරි ගන්ධාර පැත්තේ හරි රවුමක් ගැහැව්වත් හරි.

 

2. ගිණිකොණදිග ආසියාවේ ඌරුවට
Decor for your Apartment
Source – decoist.com

දැන් ගොඩක් ගෙවල් වලට ඇතුළු වෙනකොටම අපිට හිතෙන්නේ චීන ගෙදරකට ගියා වගේ තමයි. ඇයි ගෙට ඇතුළු වෙන තැනම චීන ආකාරයේ ගෙම්බෙක්. ඊට පස්සේ සීනු එල්ලපු එක එක කෑලි බෑලි උලුවස්සේ ගහලා. තව ටිකක් ඇතුළට යනකොට කාසි පුරෝපු තැටියක තියපු ලා‍ෆින්ග් බුද්ධා. ඒ මදිවට බිත්ති පුරා චීන අකුරු ඇඳපු රතු පාට කොල අලෝලා. හැබැයි මේ චීන සීන් නෙවෙයි. මේ ෆෙංෂුයි. ගොඩක් වෙලාවට ෆෙංෂුයි කියලා ලංකාවේ ඉන්න හොරු කියලා දෙන බොරු ෆෙංෂුයි. අපි කියන්නේ මේ විදියට නෙවෙයි.

ගෘහ භාණ්ඩ ගන්න ගියහම ‍තෝරගන්න කැටයම් අනං මනං නැති සරල ඒත් ඉහළ පෙනුමක් තියෙන ගෘහභාණ්ඩ. දැන් ගෘහ අලංකරණයට ‍තෝරගන්න චීන සිතුවම්, බොන්සායි ගස් වගේ දේවල්. මතක තියාගන්න ගිණිකොණදිග ආසියාවේ අලංකරණයන් ගොඩක් වෙලාවට බොහොම සරලයි. වැල්ලවත්තේ එහෙම තියෙනවා චීන උදවිය කරන පොඩි ඕනමන්ට්ස් කඩ. ඔය තැන්වලින් ලස්සනට තියන්න පුලුවන් මේ විදියේ දේවල් හොයාගන්න පුලුවන්.

 

3. සරල පෙනුම අගය කරන කෙනෙකුට
Decor for your Apartment
Source – infobisnisproperti.com

දැන් ඔය ගොඩක් ගෙවල් දොරවල් දැක්කහම එපා වෙන එක හේතුවක් තමයි බඩු භාණ්ඩ ඔහේ ගොඩගහලා තියෙන එක. එහෙම නැත්තං තත්වේ පෙන්නන්න තියෙන තරම් අනං මනං පරණ පෙනුම තියෙන විසිතුරු භාණ්ඩ ගෙනත් එල්ලනවා. හැබැයි ගෙදරට අතිශයින්ම සරල, ඒ කියන්නේ minimalist පෙනුමක් එන විදියට ගෘහාලංකරණය කරන්න බැරිද? එහෙම ගෙදරක තියෙන ප්‍රධානතම වාසිය තමයි හිතේ සන්සුන් ගතිය ‍රැකී තිබීම. පවත්වා ගන්නත් ලේසියි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

මෙතනදී තමන්ගේ අවකාශය හරියට කලමණාකරණය කරගන්න එක් වැදගත්. පුලුවන් තරම් අඩු ගෘහභාණ්ඩ ප්‍රමාණයකින් ඉහළ පෙනුමක් ගේන එක තමයි ටාගට් එක. හැබැයි පොඩි හරි ඩෙකරේෂන් ඕන. උදාහරණයක් විදියට වීදුරු කෝපි මේසයක් නම් තියෙන්නේ ඒක උඩින් අනං මනං සුකුරුත්තං තියන්නේ නැතුව පොඩි මල් කිනිත්තක් දාපු පුංචි වාස් එකක් තියන්න පුලුවන්. බිත්තියේ එල්ලන චිත්‍රයක් පවා අතිශය සරල, වර්ණයක් දෙකක් විතරක් තියෙන කුඩා එකක් වෙන එක තමයි සුදුසු.

 

4. ෆෙන්ග් ෂුයි ක්‍රමේට ගෘහාලංකරණයක්
Decor for your Apartment
Source – fengshui.about.com

මේ කියන්නේ සල්ලි සහ සතුට ගෙන එනවා සත්තයි කියලා දෙන රුවල් ඔරුයි, ගෙම්බොයි තව නානාප්‍රකාර ප්‍රතිමායි වැඩි ගණන් දීලා ගෙනැත් සාලේ වටේ තියන ලංකාවේ ෆෙන්ග්ෂුයි සිස්ටම් එක ගැන නෙවෙයි. මේ කියන්න යන්නේ ෆෙන්ග්ෂුයි එලිමන්ට්ස් යොදාගෙන කොහොමද ගෙයක් ඇතුල ලස්සන කරගන්නේ කියලා තමා. එහෙම කලහම සල්ලි හම්බුවෙනවනං හම්බුවෙන්නෙ නැතෑ.

මෙතනදීත් සරල බව සහ ආසියාතික ඌරුවේ ගෘහ භාණ්ඩ මිලදී ගැනීම වැදගත්. ඉන් පස්සේ තියෙන්නේ පුංචි පුංචි ෆෙන්ග්ෂුයි සංකේත එකිනෙක හා ගැලපෙන විදියට පාවිච්චි කිරීම තමයි. උදාහරණයක් විදියට ටීපෝ එකක් උඩ රුවල් නැවක් තිබ්බට කමක් නෑ. ගෙයි ඉස්සරහා දොර මැද්දේ අර ටිලිං බිලිං ගාන කෑල්ලක් එල්ලුවට කමක් නෑ. ඕන නං පොඩිවට බොන්සායි ගහක් එහෙම ගෙනැත් තියාගත්තත් වරදක් නෑ. හැබැයි මේවා කරන්න ඕන පසුතලයත් එක්ක ගැලපෙන විදියට මිසක් ෆෙන්ග්ෂුයි ගුරා කියන විදියට නෙවෙයි. නියම ෆෙන්ග්ෂුයි නීති රීති අනුගමනය කරන්නම ඕන නං ඒ ගැන දැන කියාගෙන ඔබටම ගෙයි ඇතුළේ ලස්සනට හානියක් නොවෙන විදියට කලමනාකරණය කරගන්න පුලුවන්.

 

5. හයි ටෙක් කපල් එකකට ගැලපෙන්න
Decor for your Apartment
Source – technologygads.blogspot.com

දැන් ගොඩක් අලුතින් ගෙදරකට යන නවීන පන්නේ අය කරන දෙයක් තමයි අඟල් හතලිහේ ටීවී, හෝම් තියෙටර් සිස්ටම් මෙකී නොකී හිතාගන්න පුලුවන් හැම විදියෙම හයි ටෙක් ගැජට් ගෙදර ගොඩගහන එක. හරි, තමන්ට වුවමනා හයි ටෙක් ගැජට් බැජට් ගන්න එකේ අවුලක් නෑ. හැබැයි ගෙදරට ඇතුළු වෙන කොටම වීඩියෝ ඩෙක් රෙපයාර් සෙන්ටර් එකක් වගේ පේන එක අවුල්. අන්න ඒ නිසා මුලින් තමන්ට වුවමනා උපාංග මිසක් ආසාවට දේවල් මිලදී නොගන්න වගබලාගන්න ඕන. ඒක පොකට් එකටත් සනීපයි. දැන් ගෙදරට ගෙනාපු ගැජට් කොහොමද ප්ලේස් කරන්නේ කියන එක දැනකියාගන්න ඕන.

ටීවී නං දැන් ට්‍රෙන්ඩ් එක වෝල් මවුන්ට් එකක හයි කරන එකනේ. හැබැයි එතන පොඩි හරි කැබිනට් එකක් තියන්න වෙනවා සැටලයිට් ටී වී අනං මනංවලට එන බොක්ස් එහෙම තියන්න. අනික මතක තියාගන්න. සාලෙ පුරා නැත්තං බිත්ති දිගේ වයර් ඇදලා තියෙන එක කැතම කැතයි. වහාම වයර් හංගන්න. අනිත් කාරණාව, ඔය ගොඩක් ගැජමැටික්ස් ගන්න පුලුවන් විවිධ වර්ණ වලින්. ආන්න එතකොට තමන්ගේ සමස්ත ගෘහ සැලසුමට මැච් වෙන වර්ණ වලින් මිලදී ගන්න.

 

6. ඇන්ටික් තාලෙට ගැලපෙන්න නම්
Decor for your Apartment
Source – pinterest.com

සමහරු ඉන්නවා ඔය ඇන්ටික් වලට බොහොම මනාපයි. ගොඩක් වෙලාවට හැබැයි මේ අය අහුවෙනවා ඔය ඊයෙ පෙරේදා මොර‍ටුවේ හදලා පරණ පෙනුම එන්න දුම්මල ගහලා ගත්තු ගෘහභාණ්ඩ වලටත්. කොහොම හරි මෙතනදිත් ඇන්ටික් වලට මනාප උදවිය කරන මෝඩ වැඩක් තමයි එකිනෙකට වර්ණයෙන්වත්, නිමාවෙන්වත් ගැලපෙන්නේ නැති එහෙන් මෙහෙන් හොයාගත්තු ඇන්ටික් බඩු ගොඩගහගන්න එක. ආන්න ඒක වැරදියි. මුලින් හිතන්න ඕන උපයෝගීතාවය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සාලෙකට කවිච්චි දෙකක් වැඩක් නෑනේ. ආන්න ඒ වගේ. හැබැයි කවිච්චි යක් තියලා ඒ වටේට නිල්කමල් පු‍ටු හරි අර අලුත් පන්නේ වානේ පු‍ටු හරි තියන එකත් මෝඩ පෙනුමයි. එතකොට දැනගන්න ඕන පොඩ්ඩක් කැටයම් කරපු, පරණ සිංහල තාලේ පු‍ටු සෙට් එකක්ම ගන්න. බිත්ති වල එහෙම සැරසිලිත් එතකොට පරණ ගතිය පවත්වාගන්න විදියටම වෙන්න ඕන. ඔය දළදා පෙරහැර ඇඳපු කැලණි විහාරේ චිත්‍ර ටයිප් එකේ ඩිසයින් එහෙම වරදක් නෑ. මේ වගේ ගෘහාලංකරණ තේමාවකට යනවා නං ඒකට ගැලපෙන බඩු ගන්න තැන් ඕන තරම් කොළඹ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සාපේක්ෂව වියදම් වැඩියි. මේවත් ගන්ධාර එකේ ඉඳන් ලක්සැල දක්වා ෂොප් වලින් හොයාගන්න පුලුවන්. ඇන්ටික් ගෘහභාණ්ඩ ගන්නත් ලංකාව වටේම තැන් තියෙනවා.

 

7. මොඩ් කපල් එකක් නං මොඩර්න් තාලෙට
Decor for your Apartment
Source – impressiveinteriordesign.com

මෙන්න මේක ඇත්තටම ගෘහ අලංකරණයට ‍තෝරගන්න පහසුයි වගේම තමයි වියදමත් ලොකු අවුලක් වෙන්නෙ නෑ. හැබැයි මොඩර්න් කිව්වහමත් සෑහෙන්න රේන්ජ් එකක් තියෙන නිසා තමන් ගන්න ගෘහ භාණ්ඩ සහ අනෙක් දේවල් එකකට එකක් කැපෙනවද කියලා බලන එක අනිවා වෙන්න ඕන දෙයක්. නවීන පන්නේ ගෘහභාණ්ඩ ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. ගොඩක් වෙලාවට වානේ වලින් සහ/හෝ ප්ලාස්ටික් වලින් හදපු ලස්සන මේස පු‍ටු අඩු මිලට ගන්න තියෙනවා. බීන් බෑග් පවා මේ වගේ ට්‍රෙන්ඩ් එකකට හොඳට ගැලපෙනවා. දැන් අලංකරණයට ඕන පොඩි පොඩි සුකුරුත්තම් එහෙමත් මේ ක්‍රමේම ඒවා වෙන්න ඕන. බිත්ති සරසන්නත් චිත්‍ර හරි පෝස්ටර් හරි ගන්නවා නම් මේ පන්නෙට ගැලපෙන්න ගන්න වෙනවා.

 
Cover Image Source – architectureartdesigns.com