2016 අවුරුද්දේ ජනප්‍රිය වුණු පුංචි තිරයේ රජකතා 5 ක් මෙන්න

 

මෑත කාලේදි දැවැන්ත තිරයේ වගේම පුංචි තිරයේත් නිතරම දකින්න ලැබුණු මාතෘකාවක් තමයි ඓතිහාසික චිත්‍රපටි නැත්තං ඓතිහාසික රූපවාහිනී මාලා නාටක. ඔය ලේසියට කට්ටිය රජ කතා කියල කියන්නේ. ආන්න ඒවා. හැබැයි මේවා මිනිස්සු අතරේ හොඳට ජනප්‍රිය වුනා. ඒකට හේතුවක් වෙන්න පුලුවන් ඉතිහාසයට, ඓතිහාසික කතන්දර වලට මිනිස්සු අවිඥාණිකව තියෙන කැමැත්ත. කොහොම හරි මේ සමහර කතා ලංකාවේ හදපුවා නෙවෙයි, ඉන්දියන් කතාවලට හඬ කවපුවා. ඒ කොහොම වුනත් අපි හදන්නේ මේ වෙනකොට , ඒ කියන්නේ මේ අවුරුද්ද ඇතුළේ ජනප්‍රිය වුණු රූපවාහිනී ඓතිහාසික වීර කතා වෘතාන්ත ලිස්ට් එකක් ගේන්න. මේවට ලකුණු දීලා තියෙන්නෙ නං අපිට මේ ටෙලි වෘතාන්ත දැනෙන විදිහ, ඒවායේ පසුතල නිර්මාණ, රංගනය, කථාව විතරක් නෙවෙයි, නිර්මාණයට සඳහා තිබුණු සම්පත් පවා සලකා බලමින් තමයි. හැබැයි අපි දුන්නු ලකුණු ප්‍රමාණයට ඔබ එකඟ නොවෙන්න පුලුවන්. ඒ නිසා ඔබේ අදහසත්, ඔබ දෙන ලකුණු ප්‍රමාණයත් කමෙන්ට් කරන එක වටිනවා.

 

1. සී රජ: සිංහ රාජ වෘතාන්තය
King Entertainment Ranked
Source – swarnavahini.lk

කාෂ්‍යප සිට ධාතුසේන දක්වා කියලා පෝස්ටරේ ගහලා තිබුණට සී රජ ටෙලිමාලාව ඇඩ්වටයිස් කරන්නේ The Lion King කියලා තමයි. ඒ කිව්වේ අර හොලිවුඩ් කාටූන් එක නෙවෙයි. සිංහලේ සිංහ පරම්පරාවේ රජවරුන්ගේ වෘතාන්තය කියන එක. මේක ජැක්සන් ඇන්තනීගේ නිර්මාණයක්, ටෙලිවිෂන් වීර කාව්‍යයක්. ජැක්සන් ඇන්තනී ගැන කාට මොන විදියේ අදහස් තිබුණත් අපි හැමෝම දන්නවනේ මනුස්සයාගේ ඉතිහාස දැනුම ගැන. ඉතින් ජැක්සන් විසින් ඒ දැනුම සී රජ හරහා ඓතිහාසික වෘතාන්තයකට බොහොම අපූරුවට යොදාගෙන තියෙනවා කියලා කියන්න පුලුවන්. අනික බිමල් ජයකොඩිගේ ඉඳන් යශෝධා දක්වා අනික් නළු නිළි සෙට් එකටත් සීයෙට අසූවකට එහා ලකුණු දෙන්න පුලුවන්. රජ සෙටප් එකේ කතාවක් විදියට මේකේ කාල වකවානුව ප්‍රතිනිර්මාණයත් අනෙක් ගොඩක් රජ කතා වලට වඩා සාර්ථකයි.

අපේ ඇගයීම: 3.9/5

 

2. ගැමුණු මහරජ: සිංහලේ අද්විතීය රණශූරයාගේ නොපළ කථා වස්තුව
King Entertainment Ranked
Source – lakchannel.co

ගොඩක් දෙනා සිංහල ජාතියේ අසහාය වීර චරිතය කියලා සලකන ගාමිණී මහරජුගේ චරිතය ඇත්තටම බලනකොට කොමික් නවල් එකකට ගන්න පුලුවන් තරම් ත්‍රාසජනකයි, ක්‍රියාදාම බහුලයි. කොහොම වුනත් මේ හින්දම කාලෙන් කාලෙට ගැමුණු චරිතය ආශ්‍රයෙන් සෑහෙන්න චිත්‍රපට, නවකථා, ටෙලිනාට්‍ය බිහිවෙනවා කියන්න පුලුවන්. මෑතකදී දකින්න ලැබුණු මහරජ ගැමුණු චිත්‍රපටය ඊට සාක්ෂි. ඒ වීර වෘතාන්තයම පදනම් කරගෙන හිරු ටීවී ඔස්සේ විකාශය කෙරෙන ටෙලිකතා මාලාවක් තමයි ‘ගැමුණු මහරජ’ කියන්නේත්. චරිත් අබේසිංහගේ අධ්‍යක්ෂණයක් වෙන ගැමුණු මහරජ කතාවස්තුවට පදනම් වෙන්නේ ගාමිණී කුමාරයා රජ වෙන්නට කලින් මාගම්පුරයෙන් පිටමං වෙලා ගිහින් නොයෙක් ගම් නියම්ගම් වල වෙස්වලහාගෙන හැංගිලා හිටපු කාලය තමයි. හැබැයි ප්‍රේම සම්බන්ධතා, රහස් සංවිධාන, රහස්‍ය යුද්ධ පුහුණුවීම්, කුමන්ත්‍රණ ආදී හැම දෙයක්ම මේ කතාව ඇතුළේ නොඅඩුව බලාගන්න පුලුවන්.

අපේ ඇගයීම: 3.9/5

 

3. දේවිය සුගලා: යුදකාමී ‍රැජිණකගේ වීර කාව්‍යය
King Entertainment Ranked
Source – gossiplankahotnews.com

රූපවාහිනියට කැලුම් පාලිත මහීරත්න කියන්නේ ආගන්තුක නමක් නෙවෙයිනේ. කැලිම් අධ්‍යක්ෂණය කරපු ඓතිහාසික කතා පුවතක් ‍රැගත් ටෙලිනාට්‍යයක් තමයි දේවිය සුගලා කියන්නේ. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙන්නේ. සුගලා දේවිය ගැන කියනවා නම් ඈව හැඳින්වෙන්නේ සිංහල රාජ වංශයේ හිටපු බොහොම රණකාමී වීර කාන්තාවක් කියලා තමයි. රුහුණේ රජකරපු මානාභරණ රජුගේ මව් වුණු සුගලා දේවියව පස්සේ කාලෙක රජරට පළමුවන පරාක්‍රමබාහු රජු විසින් අල්ලගෙන ගියාට පස්සේ හිටියෙ පොළොන්නරුවේ මියයනකල්ම. ඕක තමයි ඉතිහාස කතාව. දැන් ඔය කතාව අරගෙන  පිටපත කරපු අසංක සායක්කාරගේ ගවේෂණයක ප්‍රතිඵලයකුත් විදියට තමයි දේවිය සුගලා ටෙලි වෘතාන්තය බිහිවෙන්නේ. මේකට දිල්හානි ඒකනායක, කාංචන කොඩිතුවක්‌කු, සතිස්‌චන්ද්‍ර එදිරිසිංහ, වීණා ජයකොඩි, රොෂාන් පිලපිටිය, අතුල අධිකාරී, උදේනි අල්විස්‌ වගේ තරු නළු නිළි පිරිසක් රංගනයෙන් සහභාගී වෙනවා.

අපේ ඇගයීම: 3.5/5

 

4. අධිරජ ධර්මාශෝක: චක්‍රවර්ති රාජයෙකුගේ වෘතාන්තය
King Entertainment Ranked
Source – varunamultimedia.biz

චණ්ඩාශෝක වෙලා ඉඳලා ඉන් පස්සේ ධර්මාශෝක බවට පත්වුණාය කියන අශෝක අධිරාජයා ගැන අපිට නොයෙක් විදියේ මතභේදාත්මක කතන්දර ඇහෙන්න තිබුණත්, අශෝක චරිතය අපි පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්න, අපිට සමීප ඉතිහාස චරිතයක්. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි, ලංකාවට බුද්ධ ධර්මය එව්වේ අශෝක අධිරාජයාය කියන ඉතිහාස පාඩම හින්දයි. ඉතින් ඉන්දියාවේ ඉතිහාසයේත් අශෝක අධිරාජයාට විශේෂ තැනක් හිමිවෙනවනේ. ඒ නිසා වෙන්න ඇති ටීවී දෙරණ මේක ලංකාවට ගෙනැත්, හඬකවලා විකාශය කරන්නේ. ඇත්තම කියනව නං ඉන්දියාවේ අතිජනප්‍රිය වුණු මේ ටෙලිවෘතාන්තය ලංකාවේ විතරක් නෙවෙයි, කාම්බෝජයේ සහ ඉන්දුනීසියාවේත් පෙන්නනවා. අශෝක රජුගේ දෙමාපියන් වෙන ධර්මා බිසව සහ බින්දුසාර රජුගේ ජීවිතවල ඉඳන් ක්‍රමයෙන් ගලාගෙන යන අදිරජ ධර්මාශෝක කතාව, මේ දෙන්නා ප්‍රේමයෙන් වෙළීමේ ඉඳලා, බිලිඳු අශෝකගේ ඉපදීමේ ඉඳලා චාණක්‍යයන්ගේ මගපෙන්වීම යටතේ හැදී වැඩෙන යොවුන් අශෝක කුමරුගේ ජීවිතය දක්වා රසිකයින්ට පෙන්නලා දෙනවා. මේකත් අර ඉන්දියන් රසයෙන් යුක්ත වුනත් ඓතිහාසික වෘතාන්ත බලන්න කැමති කෙනෙක්ට නියමෙට ගැලපෙනවා කියන්න පුලුවන්.

අපේ ඇගයීම: 3.2/5

 

5. ජෝදා අක්බාර්: මෝගල් අධිරාජ වෘතාන්තය
King Entertainment Ranked
Source – col33online.blogspot.com

මේකත් ලංකාවේ රජ කතාවක් නොවුනත් අවුරුදු තුනක් තිස්සේ මේ අවුරුද්ද වෙනකලුත් හිරු ටීවී එකේ පෙන්නපු නිසාම අපේ ලිස්ට් එකට මේකත් ඇතුළත් කරනවා. ඒක්තා කපූර්ගේ නිෂ්පාදනයක් වෙන ජෝදා අක්බාර් කතාව අර රිතික් රෝෂන් හිටපු ජෝදා අක්බාර් ‍ෆිල්ම් එක හිතේ තියාගෙන බලන අයට නං හරියන එකක් නෑ. ඒ තරමට ඔප දාපු ගතියක් නැති වුනත්, අර ඉන්දියන් මෙගා රජ කතා ප්‍රඩක්ෂන් එකක තියෙන වර්ණවත් ගතිය නං මේකේ නොඅඩුවම තියෙනවා.

අපේ ඇගයීම: 3.0/5

 

 
Cover Image Source – youtube.com