නවකතාකරුවෙක් වෙන්න හීන දකින ඔබට අනිවා වැදගත් වෙන කරුණු 7 ක්

 

අද විතරක් නෙවෙයි, ඉස්සරත් හිටියා ඔය ලියන්න කියන්න උණ තියෙන කට්ටිය. ඒ කියන්නේ නවකතා කෙටිකතා ලියන ග්‍රන්ථ කර්තෘවරයෙක් වෙන්න ආසාවක්, හීනයක් තියෙන අය. මේ අතරින් ගොඩක් දෙනෙක්ට වෘත්තිමය ලේඛකයෙක් වෙන්න වුවමනාවක් නෑ. ඒ අයට එක පොතක් කළත් ඇති. දැන් කාලේ වෙනකොට ගොඩක් දෙනෙක්ට තමන්ගේ නිර්මාණ එළිදක්වන්න සයිබර් අවකාශයේ ඉඩකඩ තියෙන නිසා මේ ආසාව තවත් වැඩි වෙලා තියෙනවා මිසක් අඩුවක් වෙලා නෑ. හැබැයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද කරන්නේ, කොහෙන්ද පටන් ගන්නේ කියන එක. අපි කියන්න යන්නේ ලේඛකයෙක් වෙන්න ඔබටත් තියෙන හීනේ හැබෑ කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි.

 

1. ලියන්න කලින් ආවුද එකතු කරගෙන ඉන්න ඕන
Novelist Dreams
Source – speak-lab.com

දැන් ඔය පොතක් පතක් ලියනවා කියන වැඩේ ෆේස්බුක් ස්ටේටස් එකක් දානවා වගේ, කෙල්ලට නැත්තං කොල්ලට ලියුමක් ලියනවා වගේ වැඩක් නෙවෙයිනේ. ඒ නිසා තමන්ට ලියන්න ආසාව තියෙනවා නං ඒකට ඕන ආවුද එකතුකරගන්න ඕන. ආවුද කිව්වේ අර මෙවලම් කියන එකට. දැන් ලේඛකයෙක්ට ඕන මෙවලම් මොනවද? ප්‍රධානතම දේ හොඳ, පැහැදිලි, සිත් ඇදගන්නා භාෂා රටාවක් තියෙන්න ඕන. හොඳ භාෂා හැකියාවක් තියෙන්න ඕන. හොඳ වචන සෙට් එකක්, ඒ කිව්වේ වාග් කෝෂයක් තියෙන්න ඕන. දැන් ඕවා නැතුව කොයි තරම් පොත් ලියන්න හීන තිබ්බත් වැඩක් නෑනේ. මේ ආවුද මල්ල හදාගන්න කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. අද හිතලා හෙට පොතක් ලියන්න කලින් ලියලා තියෙන පොත් කියවන්න. තව තව, තව තව කියවන්න. මෙහෙම කියවනකොට ඔබටම තේරෙයි ඔබේ භාෂාව සහ භාෂා හැසිරවීම කොයි තරම් දියුණු වෙනවද කියලා. ඒ විතරක් නෙවෙයි, නවකතාවක, කෙටිකතාවක් තියෙන්න ඕන මූලික දේවල් ගැන වුනත් හොඳ අදහසක් ලැබෙයි. හැබැයි ඔබ මේ වෙනකොටත් පොත් කියවන්නෙක් නං කෙලින්ම යන්න අංක දෙක කාරණාවට.

 

2. ඔක්කොටම කලින් කරන්න තියෙන්නේ එකම දෙයක්… ලියන්න ඕන
Novelist Dreams
Source – pinterest.com

ලේඛකයෙක් වෙන්න ඕන නං කරන්න තියෙන්නේ එකම දෙයයි. ගන්න පොතක්. ගන්න පෑනක්. ලියන්න පටන් ගන්න. කවුරු කොහොම කිව්වත් ඔබ සීරියස් ලියන්න පටන් ගත්තු තැන ඉඳන්ම ඔබ ලේඛකයෙක්. හැබැයි ඉතින් ඔබේ හීනේ ඒක නෙවෙයිනේ, පොතක් ගහන එකනේ. හැබැයි එතනට යන්න කොතනින් හරි පටන් ගන්න ඕනනේ. පටන් ගන්න තැන තමයි ලියන එක.

ගොඩක් දෙනෙක්ට ලේඛකයෙක් වෙන්න හීනයක් තියෙනවා. ලියන්න කතාවක් ඔලුවේ තියෙනවා. හැබැයි ලියන්න බෑ. තේරෙන්නෙ නෑ. කොහෙන් පටන් ගන්නද දන්නෙ නෑ. ආන්න ඒ කට්ටිය මුලින්ම කරන්න ඕන වැඩක් තියෙනවා. ගහන්න සිනොප්සීස් එකක්. ඒ කිව්වේ ඔලුවෙ තියෙන කතාව කෙටියෙන් ලියන්න. වැල්වටාරම් ඕන නෑ, එක පි‍ටුවකින් ඉවර වෙන්න කතාව ලියන්න. පොතක් ලියනකොට පොතේ ගොඩක් සිදුවීම් ගලාගෙන එන්නේ ලියාගෙන යනකොට තමයි. ඒත් අඩු ගාණේ ඔලුවේ තියෙන මුල සහ අග වත් කොළේක ලියන්න.

දැන් චරිත ගොඩනඟන්න ඕන. එක් එක් චරිත ගැන හොඳට වෙලාව අරන් යන එන ගමනේදී පවා කල්පනා කරන්න. ඒ ඒ චරිත වලට සම්පූර්ණ ජීවිත කතා නිර්මාණය කරන්න. උදාහරණයක් විදියට කෙල්ලගේ යාලුවාට මුළු පොතේම තියෙන්නේ ඩයලොග් තුනක් හතරක් වෙන්න පුලුවන්. කමක් නෑ. ඒ චරිතෙටත් ජීවිත කතාවක් දෙන්න. ප්‍රධාන චරිත ඇත්තටම ජීවත් වෙන මිනිස්සු කියලා හිතෙනකල් ගොඩනගන්න. ඒ චරිතයක් කන්න කැමති කෑම වල ඉඳන් නින්දෙන් ගොරවනවද කියන එක දක්වා පරිකල්පනය කරන්න. දැන් හිතෙන්න පුලුවන් කතාවට ඕවා අදාළ වෙන්නෙ නෑනේ කියලා. ඇත්තටම අදාළ වෙනවා. චරිතයක පෞරුෂත්වය, හැසිරීම් රටාව තීරණය කරන්න ඉතාම පුංචි ඩීටේල් පවා වැදගත්. ආන්න ඒකයි ඒ හැමදෙයක්ම හිතන්න කියලා කියන්නේ.

තවත් දෙයක්. පොතක් ලියනකොට හැමවෙලාවකම හොඳ රිසර්ච් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපි ලෝකේ හැමදෙයක්ම දන්නෙ නෑනේ. අපි කියමු ලියන්නේ මල් පොතක්, ඒකේ කොල්ලා දොස්තර කෙනෙක් කියලා. අන්න එතකොට ඔබ දොස්තර කෙනෙක් නෙවෙයිනං දොස්තර වෘත්තිය ගැන ඔබට හොඳ දැනීමක් තියෙන්න ඕන. එහෙම නැත්තං මෝඩ කතා, බොරු කතා ලියවෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා මල් පොතක් වුනත් හොඳ පර්යේෂණයක් එක්ක ලියනවා නං ඒකේ තියෙන විශ්වාසනීයත්වය වැඩි වෙනවා.

දැන් මේ හැමදෙයක්ම ඔලුවේ කොන්ක්‍රීට් දාලා වගේ සෙට් වුනාට පස්සේ පොතක් අරන් වැඩේට වාඩිවෙන්නයි තියෙන්නේ. මුලින්ම ලියන එක පට්ට අමාරුයි. කම්මැලියි. අතාරින්න එපා. කොහොමහරි ලියන්න. ටිකක් ලියාගෙන යනකොට ඔබ පුදුම වෙයි කොහොමද මෙහෙම ලියවෙන්නේ කියලා.

 

3. හරි, පොත ලියල ඉවරයි
Novelist Dreams
Source – speak-lab.com

පොත ලියලා ඉවර නම් කරන්න දෙයක් තියෙනවා. ආයෙමත් පොත මුල ඉඳන් කියවන්න පටන් ගන්න. අනන්තවත් වැරදි අහුවෙයි. ඒවා නිවැරදි කරමින් කියවන්න. ඒ පාර කියවලා ඉවර වුනහම ආයෙමත් පාරක් කියවන්න. එතකොට තව වැරදි අහුවෙයි. ඒවත් නිවැරදි කරන්න. දැන් කියවලා ඉවර නම් පොත දෙන්න හොඳට දන්න, පොත් කියවන, සාහිත්‍යය ගැන අවබෝධයක් තියෙන කීප දෙනෙක්ට. ඒ අයට කියන්න “ෂා මරු”, “නරකම නෑ”, “පොඩ්ඩක් අවුල් නේ” වගේ ප්‍රතිචාර භාරගන්නෙ නෑ කියලා, පටන් ගැම්මෙදිම. ඒ අය පොත කියවලා පොත ගැන හොඳට හෝ නරකට හොඳ රිවීව් එකක් දෙන්න පුලුවන් අය වෙන්න ඕන. දැන් ඒ අයගේ විචාරයත් ඇහුවට පස්සේ සැලෙන්න එපා. ගොඩක් වෙලාවට ඔබට තේරෙයි නිවැරදි කරන්න, වෙනස් කරන්න ඕන තව තැන් තියෙනවා කියලා.

අනිත් කාරණේ එඩිටර් කෙනෙක්ගේ සේවය ලබාගන්න එක. ඇත්තටම මේ කතන්දරේ එන්නේ අපි කියන ඊලඟ පොයින්ට් එකට පස්සේ. ඒ කියන්නේ පොතට ප්‍රකාශකයෙක් ලැබුණට පස්සේ. ලංකාවේ නම් එඩිටර්ලා එක්ක පොතක් සංස්කරණය කරන පුරුද්ද නෑ, ඉංග්‍රීසි පොත් සම්බන්ධයෙන් ඇරෙන්න. සිංහල පොතක් නම් ගොඩක් වෙලාවට වෙන්නේ ප්‍රකාශකයාගේ ආයතනයේම වැඩකරන සෝදුපත් කියවන්නෙක්ට දීලා අක්ෂර වින්‍යාස, ව්‍යාකරණ චෙක් කරන එක. හැබැයි එඩිටර් කෙනෙක් එක්ක වැඩ කරන්න ඕන කියලා ප්‍රකාශකයා එක්ක එකඟතාවයකට එන්න පුලුවන් නම් ඒක දැවැන්ත වාසියක්.

දැන් මේ එඩිටර් කෙනෙක්, සංස්කාරකවරයෙක් එක්ක වැඩ කරන එක ලේසි නෑ කියලා කියන්න ඕන. ඒ කියන්නේ හොඳ එඩිටර් කෙනෙක් බොහොම නිර්දය විදියට ඔබේ පොතේ තැන් වෙනස් කරන්න, දියුණු කරන්න යෝජනා කරයි. සමහර වෙලාවට ඔබට හිතෙයි ‘මම පොතක් ලියන්න සුදුසු නෑ’ කියලා. හැබැයි සැලෙන්න එපා. ඒක ලෝකේ විශිෂ්ට ලේඛකයෝ පවා මුහුණ දීලා තියෙන තැනක්. ඇත්තටම පොත ලිව්වේ ඔබ නිසා පොතේ වෙනස් වෙන්න ඕන සමහර තැන් අනිවා තියෙනවා ඔබට නොපෙනෙන. ඒක පේන්නේ පළපුරුදු සංස්කාරකවරයෙක්ට. අනික පොත මගේ, ඒ නිසා තව කෙනෙක්ගේ කීමට මම කෑලි කෑලි වෙනස් කරන්නෙ නෑ වගේ මාන්නයක ඉන්න එපා. එඩිට් කරන එකෙන් අන්තිමට වෙන්නේ ඔබේ නම එක්ක යන ඔබේ පොත තව ඔපමට්ටම් වෙන එක.

 

4. ප්‍රකාශය කරන්නේ කවුද?
Novelist Dreams
Source – litfirepublishing.com

මේකට ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ තමන්ටම ප්‍රකාශය කරන්න පුලුවන්. ඒ කියන්නේ කර්තෘ ප්‍රකාශන. හැබැයි මේක සෙල්ලමක් නෙවෙයි. මොකද සෝදුපත් බලන එකේ ඉඳන් මුල් පි‍ටු ඩිසයින් කිරීම, ටයිප් සෙට් කිරීම, මුද්‍රණය වගේ දහසකුත් එකක් දේවලට ඔබටම තමයි දුවන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඉතින් පොත හොඳයි නම්, පට් පට් ගාලා යනවනම් පොතේ සම්පූර්ණ ලාභයම ඔබට තමයි.

අනික් ක්‍රමේ ප්‍රකාශකයෙක් හරහා. මේකෙදී ප්‍රකාශකයා හැමදෙයක්ම බලා ගන්නවා. හැබැයි ඔබට ලැබෙන්නේ පොතේ වටිනාකමින් සීයෙට ගාණක් තමයි. මේකත් අවුලක් නෑ ඔබට පොතේ ප්‍රකාශනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් හිසරදයක් නැති නිසා.

දැන් ප්‍රකාශකයෙක්ට දීලා වැඩේ කරගන්නත් කොහොමද හොයාගන්නේ? වෙන රටවල නම් ඉන්නවා බුක් ඒජන්ට්ලා. ඒ කියන්නේ ඔබ වෙනුවෙන් ප්‍රකාශකයෙක් හොයන වැඩෙත් කරන්නේ ඒ අය. හැබැයි පොතෙන් ගාණක් දෙන්න වෙනවා. ඒත් ලංකාවේ එහෙම අයව හොයාගන්න නෑනේ. ඒ හින්දා හොඳම වැඩේ තමයි පොතේ පිටපතක් අරන් ප්‍රකාශකයින්ව මුණගැහෙන්න යන එක. හැබැයි මේක බොහොම කාර්යාලීය මට්ටමෙන් කරන්න වගබලාගන්න ඕන. මොකද ප්‍රකාශයට පත් නොවුණු පොතක පිටපතක් කෙනෙක්ට දෙනවා කියන්නේ සෙල්ලං වැඩක් නෙවෙයිනේ. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු නම් තියෙන ප්‍රකාශකයෝ පොත භාරගන්න වගේම ප්‍රතික්ෂේප කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ දේවලට සූදානමින් යන්න ඕන. සමහරවිට ෆීල්ඩ් එකේ නමක් හදාගන්න හදන පොඩි ප්‍රකාශකයෙක් පොත ගහමු කියන්න පුලුවන්. ඉතින් ආයෙමත් කියන්න තියෙන්නේ, මේක පොඩ්ඩක් ඇවිදලා කරලා කරන්න ඕන වැඩක් කියන එක තමයි.

 

5. මෙතනින් එහාට මගෙ වැඩ ඉවරද?
Novelist Dreams
Source – salon.com

නෑ. මෙතනින් එහාට තමයි මාකටින්ග් තියෙන්නේ. දැන් ඔබ කොයි තරම් හොඳ පොතක් ලිව්වත් ඒක හොඳයි කියලා කෙනෙක් දැනගන්නේ කියෙව්වට පස්සෙනේ. ඉතින් කෙනෙක්ට මුලින්ම ඔබේ පොත කියවන්න යොමු කරන්න යම් දෙයක් කරන්න වෙනවා. ඒ තමයි මාකටින්ග්. ගොඩක් වෙලාවට මේක වෙන්න ඕන ප්‍රකාශකයාගේ අතින්. ඒත් ලංකාවේ ඒ කල්චර් එක හැදෙමින් පවතින්නේ ඔළුව උස්සන්න හදන පොඩි ප්‍රකාශකයෝ අතින් තමයි. ලොකු ප්‍රකාශකයෝ ඒවා ගැන වැඩි සැලකිල්ලක් නෑ. මාකටින්ග් කියන්නේ ටීවී ඉන්ටර්වීව් එකක ඉඳන් පත්තර ඉන්ටර්වීව් එකක් දක්වා වෙන්න පුලුවන්. පොත් අත්සන් කරන අවස්ථාවක් වුනත්, පොත ගැන සංවාදයක් වුනත් වෙන්න පුලුවන්. ඉතින් එහෙම දේවල් සංවිධානය කෙරෙනකොට පොල්ල තියන්නේ නැතුව ඒවලට සහභාගී වෙන එක ඔබේ යුතුකම.

තව දෙයක්. පොත ප්‍රකාශයට පත් කරලා ඉවර වුනාට පස්සේ පාඨකයෝ පොත ගැන හොඳ කියන්නත් පුලුවන්, අන්තිම නරක කියන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට අර යුගේකට එකක් පහළ වෙන පොතක් නෙවෙයිනම් විචාරකයන්ගෙන් හොඳක් අහන්න ලැබෙන්නෙම නෑ. ඉතින් පොතක් ලියනවා නම් මල් වලට විතරක් නෙවෙයි, ගල් මුල් වලටත් හිනාවෙලා මූණ දෙන්න ඉගෙන ගෙන ඉන්න ඕන. ඒ දේවල් තමන්ගේ ඉදිරි ගමන සැලසුම් කරගන්න අදහස් විදියට එකතු කරගන්න සමත් කමක් තියෙන්න ඕන. එහෙම නැතුව පොත ගැන කියන නරක අහලා එතනින් එහාට වැඩේ අල්ලලා දාන එක අපරාධයක්.

කෙටියෙන්ම කියනවා නං මේක ඔබේ පළවෙනි පොත කියන එක ඔලුවේ තියෙන්න ඕන.

ලංකාවේ සාහිත්‍ය කර්මාන්තය ගැන දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද?

 

6. ප්‍රොෆෙෂනල් වැඩේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ තියාගන්න
Novelist Dreams
Source – combiboilersleeds.com

මෙන්න මේක ගොඩක් වැදගත්. සෑහෙන්න වෙලාවට ලේඛකයෝ නගන මැසිවිල්ලක් තමයි ලංකාවේ සාහිත්‍ය කර්මාන්තය ප්‍රකාශකයෝ අතේ අධිකාරී බලයක් එක්ක තියෙන්නේ කියන එක. සමහරු ප්‍රකාශන මා‍ෆියාවක් කියන තරමට දුර දිග යනවා. ඉතින් පළමු පොත ලියපු අංකුර ලේඛකයෙක් හැටියට ඔබට කරන්න තියෙන දෙයක් තමයි මූලිකවම තමන්ව අඩුවෙන්ම අන්දයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන් ප්‍රකාශන සමාගමක් ‍තෝරගන්න එක. ඉන් පස්සේ ඒ අය එක්ක පැහැදිලි, වෘත්තිය සම්බන්ධතාවයක් පවත්වාගෙන යන එක. ඒ කියන්නේ ගොඩක් අංකුර ලේඛකයෝ තමන් පොතක් ගැහුවට පස්සේ ඒකෙන් මුදලක්වත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක වැරදියි. ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ දේවල් ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් වෙන්න ඕන. වැඩේ පටන් ගන්න කලින්ම ඒ දේවල් කතා බහ කරගන්න. ඕන නම් ගිවිසුමක් අත්සන් කරන්න. ඉන් පස්සේ කාලෙකට සැරයක් පොතේ අලෙවිය හොයලා බලන්න. තමන්ට එන්න තියෙන මුදල් ගැන කෙලින් කතා කරන්න.

 

7. සම්මාන පොරේට යනවද නැද්ද?
Novelist Dreams
Source – ascplcl.wordpress.com

ගොඩක් වෙලාවට ලංකාවේ සාහිත්‍ය සම්මාන ගැන පොදු ජනතාවගේ හිතේ තියෙන්නේ මිශ්‍ර හැඟීමක්. ඒ කියන්නේ ඔය ස්වර්ණ පුස්තක වගේ සම්මාන ගැන කිසිම විශ්වාසයක් නැතුව ගිහින් තිබුණත්, තාමත් රාජ්‍ය සම්මාන ගැන එහෙම විශ්වාස කරනවා. ඉතින් අංකුර ලේඛකයෙක් විදියට ඔබත් ඔබේ නිර්මාණය මේ සම්මාන උළෙලවල් සඳහා ඉදිරිපත් කලාට කිසිම වැ‍රැද්දක් නෑ. හැබැයි සම්මානයක් ලැබෙනවාමයි කියලා කට ඇරගෙන බලන් ඉන්න එපා. ලැබුනොත් ලැබිච්චාවේ. ලැබුනෙ නැතොත් අඩු ගාණේ පොත කියවන මිනිස්සු හරි හොඳ කියයිනේ. පොත කියවන මිනිස්සු පොත ගැන හොඳක් කියන්නෙත් නැත්තං ඊලඟට තව පොතක් ලියමු මේකේ තියෙන දුර්වලකම් හදාගෙන. එච්චරයි.

 

 
Cover Image Source – 9bridges.org