ලංකාවේ දේශපාලනය කල ජනප්‍රිය කලාකරුවෝ 19 දෙනෙක්

 

දේශපාලනය කරන්න අපි හැමෝටම අයිතියක් තියෙනවා වගේ ම, අපි හැමෝම එක එක අවස්ථා වල දේශපාලනික සත්වයෝ කියලා කවුද මන්දා ලොකු මහත්තයෙක් කියලා තියෙනවාලු නේ. ඉතින් මේ දේශපාලන සත්ව ගතිය තවත් ඉස්මතු වෙනවා බලා ගන්න පුළුවන් ඉස්සරහට එන ඡන්ද කැම්පේන් වලදී. ඒ කොහොමද කියලා ආපහු කියන්න ඕනේ නැහැනේ.

මෑත කාලේදී අපි දැකපු දෙයක් තමා දේශපාලනේට අලුත් මුහුණු වගේම අලුත් ක්ෂේත්‍ර වල බොහොමයක් දෙනා අවතීර්ණ වුනා. ඒ වගේම යි දේශපාලන වේදිකාවට පෙර නොවූ විරූ තරම් කලා ක්ෂේත්‍රයේ ශිල්පීන් පසුගිය කාලේ අවතීර්ණ වීම. මේක එක අතකට හොඳ ලක්ෂණයක් වගේම තවත් අතකින් භයානක තත්ත්වයක් දෝ කියලත් හිතෙනවා, හොඳ තත්ත්වය තමා බල ලෝභයට ලොල් නොවී රටට ඇත්තටම සේවයක් කරාවි කියන බලාපොරොත්තුව කළා ශිල්පීන් නිසා ඇතිවෙන බව. භයානක තත්ත්වය තමා ජනතාවගේ හිත කලාවෙන් සනසපු මේ ශිල්පීන් පිරිස බලය නිසා තමන්ගේ හැකියාවන් මොට කරගන්නට වුනොත් කළා ක්ෂේත්‍රයට  පාඩුවක් වේවිද කියන කාරණාව. මොනවා උනත් තවමත් කළා ශිල්පීන් දේශපාලනයට එන එක අඩු වෙලා නැහැ. ඉස්සරත් ආවා, දැනුත් සිටිනවා, හෙටත් ඒවි.

මේ නිසා ආපු සහ තවමත් දේශපාලනේ ඉන්න කලාකරුවන් ගැන ඔබ අනිවා දැනගත යුතු බව අපි අදහන නිසා ඔබ වෙතට මේ ලැයිස්තුව අරගෙන එන්නට හිතුවා.

 

1. විජය කුමාරණතුංග
Actors who turned to Politics

Source – nfc.gov.lk

ලංකාවේ මෙතෙක් කල් සිටි ජනකාන්තම නළුවා ලෙසට අවිවාදයෙන් පිළිගැනෙන විජය, දේශපාලනයට එන්නේ සම සමාජ පක්ෂයෙන්. ඉන් පසුව 1977දි කටාන ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදී මනාප 19000කට වැඩි ගණනක් ලබාගන්නවා. ජනප්‍රියත්වය නිසා ලැබූ ජයග්‍රහණයන් තම පෞද්ගලික සැප සම්පත් සඳහා හරවා නොගෙන ඔහු ජනතා සේවය සඳහා කැප වෙනවා. එවක පැවති ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීමටද විජය දැඩි වෙහෙසක් දරා ක්‍රියා කරනවා.  මියයනතුරුම ක්‍රියාකාරී දේශපාලනයේ නියැළුණු විජය අදටත් රසිකයින්ගේ සිත සතන් වල සදා අමරණිය වෙන්නේ නළුවෙක් ලෙස පමණක් නොව මානව හිතවාදී දේශපාලකයෙකු ද ලෙසිනුයි.

 

2. ගාමිණි ෆොන්සේකා
Actors who turned to Politics

Source – dailynews.lk

ලංකාවේ මාලන් බ්‍රැන්ඩෝ ලෙසින් අනවරත නාමයෙන් හැඳින්වූ ගාමිණි ෆොන්සේකා දේශපාලනයට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරමින්. 1989දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තෙරි පත්වූ මෙතුමා, පසුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයද හෙබවූවා. මෙයට අමතරව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ ධූර කාලයේදී උතුරු නැගෙනහිර ආණ්ඩුකාර ධුරයද හෙබවූ ෆොන්සේකා මහතා, පසුකලෙක දේශපාලනය ගැන කළකිරී කියා සිටියේ කලාකරුවන් දේශපාලනයට එක් නොවියයුතු බවයි.

 

3. ගීතා කුමාරසිංහ
Actors who turned to Politics

Source – ft.lk

ගීතා සමන්මලී කුමාරසිංහ එහෙමත් නැතිනම් අපි කවුරුත් දන්නා ගීතා කුමාරසිංහ කියන්නේ දේශපාලනයට එන්නට ප්‍රථම අපේ සිංහල සිනමා වංශකතාවේ නොමැකෙන සටහන් තබපු නිළියක්. රංගන දක්ෂතාවෙන් ඈ දෙවෙනි වන්නේ නිලි රැජිණ මාලිනි ෆොන්සේකාට පමණයි. සරසවි සහ වෙනත් සම්මාන රාශියකින් පිදුම් ලබා තිබෙන ගීතා, තමන්ගේ දේශපාලන ගමන අරඹන්නට පෙර ප්‍රකට ව්‍යාපාරිකාවක් ද වෙනවා.

2010 දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමාගේ ඇරයුමක් අනුව ඇල්පිටිය ආසනයෙන් එ.ජ.නි.ස සංවිධායක ධුරය දරමින් ම මැතිවරණයට ඉදිරිපත් වෙන ගීතා එහිදී පරාජයට පත් වුනත් ඈ චෝදනා කරන්නේ දුෂණ චන්දයක් නිසා තමන් පරාජය වූ බවයි. නැවත 2014 දී දකුණු පලාත් සභාවට තේරී පත්වෙන ඇය 2015 දී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නට සමත් වෙන්නේ මනාප 63955 ද ලබාගනිමින්.

 

4. රන්ජන් රාමනායක
Actors who turned to Politics

Source – gossip99.com

ලංකාව ජනප්‍රියතම නළුවා ලෙසින් පිටපිට කිහිපවතාවක් ම ස්ලිම් නීල්සන් සම්මානයෙන් පුදලද රන්ජන් වර්තමාන යහපාලන ආණ්ඩුවේත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් දරන රංගන ශිල්පියෙක් වෙනවා. ඒ වගේම 2008දි සබරගමුව පළාතේ මහා ඇමති ධුරයට තරඟ වැදීමෙන් දේශපාලනට අවතීර්ණ වුනු රන්ජන් පළාත්සභාවේ විපක්ෂ නායක බවට පත් වුණා. ඒ වගේම 2010 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මොහු වර්තමානයේදී එ.ජා.පයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරනවා.

 

5. මාලිනී ෆොන්සේකා
Actors who turned to Politics

Source – lkcelebritygallery.com

සිනමාවේ නිලි රැජින ලෙසින් නම් දරා සිටින මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය, දේශපාලනයට පිවිසෙන්නේ 2010දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජාතික ලැයිස්තු ආසනයකින් පාර්ලිමේන්තුවට තේරීපත්වීමෙන්.

 

6. අනර්කලී ආකර්ෂා
Actors who turned to Politics

Source – therepublicsquare.com

ඉටිපහන් ටෙලි නාට්‍යයෙන් ළමා නිළියක ලෙස රංගනය එකතු වෙන අනර්කලී පසු කලෙක ලාංකීය සිනමාවේ නැතිවම බැරි නිළියක් බවට පත්වුණා. ඇය වර්තමානයේ රඟපෑම් වල නොයෙදුනත් තවමත් ජනප්‍රිය කියන ලේබලයේ හිමිකාරියක් බව අපි හැමෝම දන්නවා. 2010 දී දේශපාලනයට එන්නේ දකුණු පලාත්සභාවට එ.ජ.නි.ස යෙන් තරඟ කරමින්. නමුත් 2014 පළාත් පාලන ඡන්දයෙන්  ඇය එ.ජ.නි.ස යෙන් තරඟ කලත් දිනන්නට හැකිවෙන්නේ නැහැ.

 

7. රවින්ද්‍ර යසස්
Actors who turned to Politics

Source – sarigama.lk

“සුවඳ සබන් ඇඟ ගාලා” ගීතයෙන් සහ“සර්කස් ගුණේ” ලෙසින් රඟපෑ ටෙලිනාට්‍ය චරිතය නිසා ජනාදරයට පත් වුනු රවීන්ද්‍ර දක්ෂ වේදිකා නළුවෙක් වෙනවා. රාජකපුරු ආදී නාට්‍ය ගණනාවක රංගනයෙන් දායක වූ මෙතුමා වර්තමානයේ දකුණු පලාත් සභාවේ මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කරනවා. ඒ සරත් ෆොන්සේකා මහතා නායක ධුරය දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්.

 

8. ජයන්ත කැටගොඩ
Actors who turned to Politics

Source – adaderana.lk

ටෙලිනාට්‍ය මෙන්ම සිනමා නළුවෙකු ද වෙන කැටගොඩ මහතා දේශපාලනයට පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂය හරහා, පසුව සරත් ෆොන්සේකාට සහය පළකරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් දේශපාලනය කරන ජයන්ත එවකට ආණ්ඩුවේ ආරාධනාවක් මත මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට එකතුවෙනවා.

 

9. රොජර් සෙනෙවිරත්න
Actors who turned to Politics

Source – asianmirror.lk

ජනකාන්ත නළුවෙකු බවට පත්වී පසුව පුර්ණකාලින දේශපාලනයට අවතීර්ණ වෙන නළුවන් අතර ප්‍රධාන තැනක් රොජර් සෙනෙවිරත්න වෙත හිමිවනවා. ඒ වගේම වර්තමානයේදීත් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසින් කටයුතු කරනවා.

 

10. උපේක්ෂා ස්වර්ණමාලි
Actors who turned to Politics

Source – hirunews.lk

මලිත් පෙරේරාගේ “මතක මන්දිර“ ගීතයේ චංචලාගේ චරිතයට සහ ගයන්තගේ “රවුම් කඩේ” ගීතයට දායකවීමෙන් පසුව ලද ජනප්‍රියත්වය නිසාම උපේක්ෂා “පබා” ටෙලිනාට්‍යට එකතු වුනා. එහි ප්‍රධාන චරිතය වන පබා නමැති තරුණියගේ චරිතයට පණ පෙවීමෙන් පසුව ලද ජනප්‍රියත්වය නිසාම වසර 2010 දී  දේශපාලනයටත් අවතීර්ණ වුනු උපේක්ෂා ගම්පහ දිස්ත්‍රික්කයෙන් කෘතහස්ත දේශපාලකයෙකු වෙන කරු ජයසුරියටත් වඩා ඡන්ද සංඛ්‍යාවක් රැගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. පසුව ඇය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ලද ආරාධනාවක් මත ආණ්ඩු පක්ෂයට එකතු වූවා.

 

11. ක්ලීටස් මෙන්ඩිස්
Actors who turned to Politics

Source – pinterest.com

චන්ද්‍රිකා පාලන සමයේදී පොදු පෙරමුණෙන් ඡන්දය ඉල්ලු කලාකරුවන් අතරේ ප්‍රධාන තැනක් ක්ලීටස්  මෙන්ඩිස් හට හිමිවුණා. එකල පළාත් සංවිධායක දුරයක් දරමින් දේශපාලනයට අවතීර්ණ වෙන්නට උත්සහ දැරුවත් නළුවෙකු ලෙසින් මිස දේශපාලකයෙකු ලෙසින් ක්ලීටස් ව රසිකයින් දකින්නට අකමැති වූ නිසාදෝ ක්ලීටස් සහ දේශපාලනය අතර දීගය වැඩිකල් පැවතුනේ නැහැ.

 

12. නලීන් ප්‍රදීප් උඩුවෙල
Actors who turned to Politics

Source – youtube.com

වේදිකා සහ ටෙලි නාට්‍ය නළුවෙක් වන නලීන් උඩුවෙල දේශපාලනයට මුලින්ම පිවිසෙන්නේ විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණෙන්. ඒ හරහා ඔහු ඡන්දය ඉල්ලුවත් තේරී පත්වන්නට නොහැකි වෙනවා. ඔහු වසර කිහිපයක නිහඬ බවකින් පසුව නැවත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් දේශපාලනයට පිවිස, වර්තමානයේ  හෝමාගම ආසන සංවිධායක ලෙසින් කටයුතු කරනවා.

 

13. රෝසි සේනානායක
Actors who turned to Politics

Source – alchetron.com

ලෝක විවාහක රූ රැජිණක් වන රෝසි, දේශපාලනයට පැමිණීමට පෙර සිනමා නිළියක ලෙසින් කටයුතු කල බව ප්‍රකට කරුණක් වෙනවා. ඒ වගේම ඇය මලයාසියාව වෙනුවෙන් හිටපු මහා කොමසාරිස් වරියක ලෙස කටයුතු කල අතර, එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ ඇය, වර්තමානයේ යහපාලන ආණ්ඩුවේ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය දරනවා.

 

14. ලාල් කුලරත්න
Actors who turned to Politics

Source – tharunee.lk

එකට ගැටුම, එතුමා, බට්ටි වැනි ටෙලි නාට්‍ය වලත්, තලමල පිපිලා, ගුරුතරුව වැනි වේදිකා නාට්‍ය වලත්, සුහද කොකා වැනි සිනමා නිර්මාණවලටත් රංගනයෙන් දායක වූ දක්ෂ නළුවෙක් වන ලාල් කුලරත්න මහතා දේශපාලනයට පිවිසෙන්නේ 2009 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා බස්නාහිර පලාත් සභාව සඳහා තරඟ කිරිමෙන් පසුවයි. නමුත් ඔහු දෙවන වරට තරඟ කිරීමක් නොකරන අතර තමන් සුහුරු වූ රංගනය වෙත තම මනස ඉන් පසුව යොමු කරනු ලබනවා.

 

15. උදාර රත්නායක
Actors who turned to Politics

Source – twitter.com

තරුණ නව සිනමා නළුවෙකු ලෙස රංගනයට අත්පොත් තැබූ උදාර කෙටි කලකින්ම එක්සත් ජාතික පක්ෂය හරහා පළාත්සභා ඡන්දයට තරඟ කරනු ලබනවා. ඉන් ජයග්‍රහණය කරන උදාර වර්තමානයේ බස්නාහිර පළාත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී වරයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කටයුතු කරනු ලබනවා.

 

16. ජීවන් කුමාරණතුංග
Actors who turned to Politics

Source – digathanews.com

සිනමා නළු රන්ජන් රාමනායක සහ විජය කුමාරණතුංගගේ ඥති සම්බන්ධයක් පවතින අනෙක් පුරුක වන්නේ ජීවන් කුමාරණතුංගයි. 2004 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කර තේරී පත්වන ඔහු, ක්‍රීඩා හා තරුණ කටයුතු, ඉඩම් හා සංවර්ධන, තැපැල් සහ සන්නිවේදන වැනි අමාත්‍ය ධුරයන් චන්ද්‍රිකා පාලන කාලයේ සිට පසුගිය 2015 වසර දක්වාම දරා ඇති අතර 2015 පසු දේශපාලනයෙන් ඉවත්ව සිය දුවණිය වන මල්ෂා කුමාරණතුංගව දේශපාලනයට ඉදිරිපත් කර ඇත.

 

17. රවින්ද්‍ර රන්දෙණිය
Actors who turned to Politics

Source – fragmenteyes.blogspot.com

වර්තමානයේ අප අතර සිටින ප්‍රවීනතම නළුවෙකු වන රවින්ද්‍ර රන්දෙණියත් සිනමාව හැරුණු කොට දේශපාලනයට හිතවත්කම් දැක්වූ පුද්ගලයෙක් වුනා. 2001 -2004 කාලයේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණු රවින්ද්‍ර රන්දෙනියට ඉන් පසුව දේශපාලනයට යොමුවීමට උවමනා කලේ නැති තරම්.

 

18. කරුණාරත්න දිවුල්ගනේ
Actors who turned to Politics

Source – sinhalamusicbox.online

ගීත කලාවෙන් ලංකාවේ තමන්ගේ ස්ථානය සදාකාලිකව සලකුණු කල ගායකයින් කිහිපදෙනාගෙන් කෙනෙකු වන දිවුල්ගනේ මහතා, දේශපාලනයට පිවිසෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහායි. ඉන් පසුව පසුගිය 2015 වසර වෙනතුරුම එතුමා උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙසින් සේවය කරනු ලැබුවා.

 

19. සිරිල් ධර්මවර්ධන
Actors who turned to Politics

Source – 9lanka.com

පාසැල් ගුරුවරයෙක් වූ සිරිල් ධර්මවර්ධන කලා ලොවට පිවිසෙන්නේ “මනරංජන වැඩවර්ජන, “හුණුවටයේ කථාව” ආදී වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙමින්. නළුවෙක් ලෙසින් සිරිල් ධර්මවර්ධනගේ මතක සිටින රඟපෑමක් අපේ මතකයේ සිටින්නේ ඔහු විසින් රඟපාන ලද “බෝඩිම , නදී ගීතය, ගංගා සහ නිශ්ශංක , ඉරබටු තරුවක්‌ , සමන්තැන්න , හිරුට මුවාවී ” ටෙලිනාට්‍ය නිසයි. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට අවතිර්ණ වූ ධර්මවර්ධන මහතා, පසු කලෙක පොදුජන එක්සත් පෙරමුණ යටතේ දකුණු පළාතේ මන්ත්‍රී ධුරයක් හෙබවූ අයෙක්ද වෙනවා. 2015දි අභාවප්‍රාප්ත වූ මෙතුමා මියෙන්නට වසර පහක පමණ කලක සිට ජීවත් වූයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හියි.

 
Cover Image Source – clipartkid.com, keyword-suggestions.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid