ලංකාවේ අපිට ක්‍රිකට් කොයිතරම් සමීපද කියලා දැනගන්න කියවන්න ෂෙහාන් කරුණාතිලකගේ චයිනාමන් පොත

 

දැන් ඇති නේද ඇගතා, මට සිංදුවක් හදන්න තියෙනවා”

ඇත්තටම අලුත් තාලයක් ඈත මුහුදෙ ඉඳන් එනවා වගේ මට දැනුණෙ.

ඒක වැල්ලෙ වදින්න කලින් තව වචන කීපයක් ලියාගත්තොත් ඇති.

“පොඩි දේවල් ටිකක් තියෙනවා. ප්‍රධාන චරිතෙ නම?”

“විනෝදන් කර්නයින්”

“එපා.”

“චාලි ජෙගනාදන්?”

“චී.”

“සංජීව අමරසිංහ.”

“සිංහල නමක් වෙන්න බෑනේ.”

“ජුරම්පති ජෙයරාජසිංහම්.”

“මෝඩයි.”

“ප්‍රදීප් මැතිව්.”

“ඒ කවුද?”

“මමත් දන්නෙ නෑ.”

“එහෙනම් ඒ නම දාමු.

මං පොත වැහුවා. ඉංගිරිසියෙන් ලියපු චයිනාමන් කියවලා තිබුණු මම දෙවෙනි සැරේට කියෙව්වේ දිලීප අබේසේකර ලියපු චයිනාමන්. ඒ දෙක එකක් වගේම ඒ දෙක දෙකක්. හරියට දිලීප ෂෙහාන්ගෙ පොත අරගෙන, ඒකෙම හැඩේට, ඒකෙම රහේට හිටින්න වෙන පොතක් ලියල වගේ. පොත වහලා තියපු මම මුලින් ජනේලෙන් එහා රුසියන් පොල්කා සංගීත තාලෙට කන්දොස්කිරියා තූර්යවාද පවත්වන කුරුල්ලොන්ගෙ නාදෙ අහං හිටියා. ඊට පස්සේ “ප්‍රදීප් මැතිව්” කියලා ගූගල් කරලා බැලුවා. ඊලඟට වෙන්න පුලුවන් වෙන වෙන නම් ගූගල් කරලා බැලුවා. ප්‍රදීප් සිවනාදන්. ප්‍රදීපන් සිවනාදන්. පොතක් පතක් පෙරළලා හොයාගන්න ඕන දේවල් හොයන පරම්පරාවක් සහ ඕනම බඩකඩිත්තුවක් ගූගලා දන්නවා කියලා හිතාගෙන ඉන්න පරම්පරාවක් අතර මැද්දේ ඉපදුණු මං ඊලඟට ගියේ හැම මාසෙම අනිවා ක්‍රිකට් ආටිකල් දෙක තුනක් යන මුතුහර පරණ සඟරා ගොන්න පෙරළන්න. එතනිනුත් වැඩේ හරිගියේ නැති තැන ෂෙහාන් කරුණාතිලකට කෝල් එකක් ගත්තා. ම්හු, වැඩ නෑ. දැන් වෙන්න යන දේ මං දන්නවා. ඩබ්.ජී ට වගේම මටත් ඇත්තටම ප්‍රදීප් මැතිව් කවුද කියලා හොයන්න වෙනවා. පොත පටං ගන්නෙත් ප්‍රදීප් මැතිව් කවුද කියලා අහලනේ. හැබැයි ඩබ්.ජී.ට තමංගෙ රිසර්ච් එක පටං ගන්න කාලෙ වෙනකොටත් වැලිගම්පිටි යන්න වීසා ඇවිත් තිබුණේ. රිටයර්ඩ්. මට එහෙම බෑනේ. ඒ හින්දා ඔන්න ඔහේ මේක අනිවා එකට ලියලා යවනවා.

 

1. “ප්‍රදීප් හූ?”
ShehanK Chinaman book

Source – thegreatpradeepmathew.com

මේක තමයි පොත පටං ගත්තු තැන ඉඳලා ඉවර වෙනකලුත්, ඉවර වුනාට පස්සෙත් පොත කියවපු කෙනෙක්ට එන දැවෙන ප්‍රශ්නේ? ඒ කියන්නේ මේ ප්‍රදීප් මැතිව් ඇත්තටම හිටියද, මිනිහගේ ඇත්ත නම මොකක්ද, මිනිහට ඇත්තටම මොකද වුනේ කියලා හොයාගන්න එන වුවමනාව. ඒක අර ප්‍රීති කසානා වගේ. හොයන්න හොයන්න තව ආතල්.

පොතේ ඉන්න ක්‍රිකට් චරිත බොහෝ දෙනෙක් ප්‍රදීප් මැතිව්ව දන්නවා වුනාට දැනගෙන හිටියේ ඒ තරම් හොඳ විදියට නෙවෙයි. ක්‍රිකට් ගහන්න සුදුසු නැති කම්මැලිකමක්, උද්දච්චකමක්, නාහෙට අහන්නෙ නැති ගතියක්, උඩින් ඉන්න එකෙක්ට ගරු කරන්න දන්නෙ නැති ගතියක් තියෙන, මහත්තුරුන්ගෙ ක්‍රීඩාවට හරියන්නෙ නැති කෙනෙක් කියලා තමයි හැමෝම ප්‍රදීප් මැතිව් ගැන කියන්නේ. හැබැයි මිනිහා දක්ෂයා.

ප්‍රදීප් මැතිව්ගේ දක්ෂකම තියෙන්නේ මිනිහගේ බෝලින්ග් වල. මම ක්‍රිකට් දන්නෙ නැති නිසා මට ඔය නං මතක හිටියෙ නෑ. කැරම් ෆ්ලික් එකයි, ගුග්ලි එකයි තව චයිනාමන් එකයි තමයි මතක හිටියෙ. කතන්දරේ හැටියට ප්‍රදීප් මැතිව් මේ ඕන ට්‍රිකී පන්දුවක් දාන්න එක්ස්පර්ට්. වමතෙන් විතරක් නෙවෙයි, මහන්සි වෙනකොට දකුණතෙනුත් පන්දු දාන්න පුලුවන් මිනිහට. හැබැයි ප්‍රදීප්ගේ නියුක් එක වුනේ චයිනාමන් පන්දුව.

ප්‍රදීප්ගෙ තව හැකියාවක් තමයි වෙන ඕනම බෝලර් කෙනෙක්ගේ ඉරියව් අනුකරණය කරලා බෝල් කරන්න තියෙන හැකියාව. ඉරියව් විතරක් නෙවෙයි, බෝලිනුත් එමමයි. මේකෙන් හරියටම ප්‍රයෝජනේ ගන්නේ අසූතුනේ රෝයල්-‍තෝමියන් බිග් මැච් එකේදී රෝයල් කණ්ඩායම. බෝලර්ස්ලා ගණනාවක් විදියට එක එක විදියට බෝල් කරන්න වෙස්වලාගෙන එන්නේ එකම මිනිහායි. ඒ ප්‍රදීප් මැතිව්!

 

2. 87 අස්ගිරියෙදි
ShehanK Chinaman book

Source – thegreatpradeepmathew.com

හැබැයි ප්‍රදීප් මැතිව් කියන්නේ ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කියලා ඩබ්.ජී ට ඒත්තු යන්නේ 87 අස්ගිරියේ නවසීලන්තෙට එරෙහිව ශ්‍රී ලංකා මැච් එක ඩබ්.ජී ඇස් දෙකටම දැක්ක නිසා. ඒක බොහොම අපූරු පන්දු ප්‍රහාරයක්. පොතේ හැටියට. නියම පාලනයක් එක්ක. හැබැයි  මල්වෙඩි සැණකෙලියකට වඩා විචිත්‍රයි. ‍ෆින්ගර් ස්පිනර්, අන්ඩර් කටර්, ගුග්ලි, චයිනාමන්, කැරම් ෆ්ලික්, ඩාටර් මෙකී නොකී විවිධ පංදු අතරේ හංගලා මැතිව් තමන්ගේ නියුක් වලින් පිතිකරුවන්ට දමලා ගැහුවා. ලකුණු පහකට විකට් දහයක්. පාලිත ඈපාසේකර නව ලෝක වාර්තාවක් ගැන කියනවා ඇහුනා. ඒක බලන්න වටින මැච් එකක්.

හැබැයි ටී බ්‍රේක් එකෙන් පස්සෙ දේවල් වෙනස් වුනා. නවසීලන්ත කණ්ඩායම පිටියට එන්න බෑ කිව්වා. තණතිල්ල හරි නැහැ කියලා. අන්තිමට උණුසුම් වාද විවාද ඉවර වුනේ තරගය අත්හිටවලා. කිසිම මාධ්‍යයක් මේ තරගේ ගැන වාර්තා කලේ නෑ. විස්ඩන් එකේවත් වෙන කොහේවත් මැතිව්ගේ ලෝක වාර්තාව තිබුණෙත් නෑ. මැතිව්ගේ යක්ෂ පන්දු යැවිල්ල ගැන කිසිම කෙනෙක් දැනගත්තෙත් නෑ. ඇස් පනාපිට ඉතිහාසය බලධාරීන් විසින් මකා දැමුණු එකම වතාව මේක වුනෙත් නෑ.

හැබැයි ප්‍රදීප් මැතිව්ගේ නාහෙට අහන්නෙ නැති, ලොක්කන්ට ගරු කරන්නෙ නැති ගතිගුණ එක්ක වැඩිකාලයක් ටීම් එකේ ඉන්නෙ නෑ. ඒත් ප්‍රදීප් මැතිව්ගේ ජීවිතේ උඩුයටිකුරු වෙන්නේ කැපිලි හින්දා නං නෙවෙයි. හැමදේමත් එක්ක ලංකාවේ විශිෂ්ටතම මායාකාරී දඟ පන්දු යවන්නා ප්‍රදීප් මැතිව් අතුරුදන් වෙනවා. ගෙදර මිනිස්සු ප්‍රදීප් මැරිලා කියලා සාක්ෂිත් පෙන්නනවා. ප්‍රදීප් මැතිව්ට ඇත්තටම මොකද වුනේ?

 

3. දෙවෙනි ඉනිමත් ඉවර වෙනකල්
ShehanK Chinaman book

Source – thecricketmonthly.com

තොරතුරු අවශ්‍යයි, ප්‍රදීප් සිවනාදන් මැතිව්, ක්‍රිකට් ක්‍රීඩක 1977-83 තර්ස්ටන්, 1986-94 බ්ලූම්ෆීල්ඩ්, ව්ඛ්ඛ් 1985-95 ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන ලදී. දුරකතන අංක 724520ට තොරතුරු දන්වන්න.

– ඩබ්ලිව්.ජී

නිව්ටන් සහ ආරි කුකුල් මස් අඬු, බිරියානි සහ අතින් පයින් ගහගත්තු වෙඩිමෙදි ලෝකේ හොඳම ටීම් එක ඩිසයින් කලාට පස්සේ හිටපු හොඳම ක්‍රීඩා මාධ්‍යවේදී, වත්මන් පූර්ණකාලීන බේබදු සහ නිදහස් ලේඛක ඩබ්.ජී.කරුණාසේනගේ සම්පූර්ණ පිස්සුව වෙන්නේ ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයාව හෙවීම. ඒකට එකතුවෙනවා ඩබ්.ජී ගේ අතිජාත බොන පාට්නර් සහ සංඛ්‍යාලේඛන විශේෂඥ ආරි බයිඩ්. මේ දෙන්නාගේ රිසර්ච් එකත් එක්ක චයිනමන් පොත පුරා මුණගැහෙන්නේ සමහර වෙලාවට නැෂනල් ට්‍රෙෂර් පිචර් එක පරදින විදියේ ක්‍රිකට් ලෝකයේ රහස්. ක්‍රිකට් ඔට්‍ටු අල්ලන රහස් ක්ලබ්, ඇල්කොහොල්, ලස්සන කෙල්ලෝ විතරක් නෙවෙයි කඩල වලින් පවා මැච් ‍ෆික්ස් කරන මැච් ‍ෆික්සර්ස්ලා, කවුරුවත් නමින් දන්නෙ නැති ඒත් ලංකාවේ හැම තැනකටම අඬු විහිදුණු ලංකාවේ මා‍ෆියා බොස්ලා, ඇඟිලි හයේ අද්භූත ක්‍රිකට් පුහුණුකරුවෝ, ලංකාවේ සුප්‍රසිද්ධ ක්‍රීඩාංගනයක පොළව යට සුද්දෝ හදලා දාල ගියපු රහසිගත බංකර්, ඒකේ තියෙන කමියුනිකේෂන් ගැජට් වලින් එදා ඉඳන් අද දක්වා පිට්ටනියේ හැමතැනම හයි කරපු මයික් සහ ඒවලින් කරපු රෙකෝඩින්, ඒ රෙකෝඩින් වලින් එළිවෙන ලංකාවේ ක්‍රිකට් ලෝකේ පිස්සු හැදෙන රහස්…

මේ හැමදේම හම්බෙන්නේ ඩබ්.ජී සහ ආරිගේ ලංකාවේ මායාකාරී දඟ පන්දු යවන්නා, ප්‍රදීප් මැතිව් හොයාගෙන යන ඉන්වෙස්ටිගේෂන් එකත් එක්ක.

“සෙනසුරාදා රෑ ගතවෙන්නෙ අනෙක් සෙනසුරාදාවල් වගේම තමයි. ආරිගෙ බැල්කනියෙ බෝතල් දෙක තුනක් අතර, එතනට විතරයි මං හිතන්නෙ මුළු ඩි සේරම් පාරෙන් හොඳටම මුහුද පේන්නෙ. ආරිත් මාත් අහළ පහළ වහලවල් උඩින් සීරුවෙ යන බළල් රාලලා දිහා බලාගෙන හිටියා………”

 

4. කොහොමහරි 96 වර්ල්ඩ් කප් එක අපි ඉස්සුවා
ShehanK Chinaman book

Source – zimbio.com

බිග් මැච් එකකදිවත් ග්‍රවුන්ඩ් එකේ වෙන්නෙ මොනවද කියලා බලන්නෙ නැති, ක්‍රිකට් ගැන කිසිම උනන්දුවක් නැති මම අනූහයේදී පොඩි කොල්ලා. ජීවිතේ මම බලපු පළවෙනිම සහ එකම ක්‍රිකට් මැච් එක තමයි වර්ල්ඩ් කප් ෆයිනල්ස්. අන්තිමට මැච් එක දින්නා. තාත්තා හුරේ තිබ්බා. මම පු‍ටුව වටේ නැ‍ටුවා.

අරවින්දත් එක්ක අර්ජුන සෙට් වුනාට පස්සෙ ඔස්ට්‍රේලියන්කාරයන්ට වැදෙන්න පටන් ගත්තා. පැය ගාණක් බීලා, වෙන්න බැරි දේවල් වෙනවා දකිද්දී අපේ කටවල් එකතු වුණා ජයඝෝෂාවකට. එළියෙ රතිඤ්ඤා සද්දෙ මුලින් මුලින් වෙඩි වගේ, ඊලඟට ඩයිනමයිට් වගේ ඇහුණෙ.

“අපි ඔක්කොම රජවරු අංකල්” මගේ ගජයා, මූණේ දැලිපිහිපාරක් තිබුණු ත්‍රීවිල්කාරයා මාව ඉම්බා. මුළු කොළඹම ගිණිකෙළි සංදර්ශනයක්. තඩි මිනිස්සු පොඩි එවුන් වගේ ඩෙඟා නැ‍ටුවා. එදා රෑ පාටිය එක දිගට ගියා අවුරුදු තුනක් විතර. ලෝකෙ පුරා ශ්‍රී ලාංකිකයන්ට ලෝකයක් දිනුව වගේ. දැන් ඉතිං යුද්දෙත් ඉවර වෙලා රටත් දියුණු වෙයි. මෝල් ගහෙත් දළු ලියලයි කියලා අපි ඔක්කෝටම ඒ වෙලාවේ හිතුනා.

මේ ටික කියවනකොට මට එක දෙයක් පැහැදිලි වුනා. ෂෙහාන් කරුණාතිලක මේ ලියන්නේ ප්‍රදීප් මැතිව් ගැනම නෙවෙයි, ක්‍රිකට් ගැනමත් නෙවෙයි. ෂෙහාන් මේ ලියන්නේ අපි ගැන, අපේ රට ගැන. ඒ අවබෝධෙත් එක්ක මට අනූහයේදී ගත්තු වර්ල්ඩ් කප් එකේ වටිනාකම දෙගුණ තෙගුණ වෙලා දැනෙන්න පටන් ගත්තා. එතකොටත් අපි ලස්සන රටක් ගැන හීන දැක්කා. යුද්ධෙ ඉවරවුනහමත් අපි ලස්සන රටක් ගැන හීන දැක්කා. තාමත් අපි ලස්සන රටක් ගැන හීනේ ජීවත් වෙනවා.

 

5. මැච් එක මැද්දෙන් පොඩි ඇඩ් එකක්, දිලීප ගැන
ShehanK Chinaman book

Source – diogenes.lk

ෂෙහාන් එක තැනක ඉන්ටර්වීව් එකකදී කියනවා මෙහෙම.

“මේ පොත ඇත්තටම සිංහලෙන් ලියන්නේ දිලීප අබේසේකර. ඊට අවුරුදු කීපෙකට කලින් මම ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කළා.”

ෂෙහාන් කරුණාතිලක කියන නිහතමානී මිනිහා එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා. ඒක චයිනමන් පරිවර්තනය ඉස්සරහාපිට ගහලත් තියෙනවා. දිලීප අබේසේකර කරන්නේ අනුවර්තනයක්! මගේ විදියට කියනවා නං මිනිහා ෂෙහාන්ගේ පොත අරගෙන, ඒකේ විදියටම අලුත් පොතක් ලියනවා. ඉංග්‍රීසි පොත වගේම සිංහල පොතත් කියවපු මට ඇත්තටම දැනුනේ රස දෙකක්. ඔරිජිනල් පොත ෂෙහාන්ගේ හැකියාව. ඒකෙන් සිංහල පොතක් ලියන එක දිලීපගේ හැකියාව.

උදාහරණයක් දෙකක් දෙන්නං.

“Today Newton looks like a hippo, those days he was more like a rhino” කියලා ෂෙහාන් ලියන කතන්දරේම දිලීප ලියනවා “දැන් නිව්ටන් පුස් ඌරෙක් වගේ වුනාට ඒ කාලේ වල් ඌරෙක් වගේ” කියලා. ඇත්තටම සිංහලෙන් හිතන අපිට හිපපොටේමස් සහ රයිනෝසිරස්ට වඩා පුස් ඌරා සහ වල් ඌරා ඔලුවේ ලේසියෙන් මැවෙනවා.

“Perched alone next to a table of bottles, puffing on a crumpled cigarette is Gatsby himself, Mr. Graham Robin Snow.”

මෙහෙම ලියන්නේ ෂෙහාන්. ඒක දිලීප ග්‍රේට් ගැට්ස්බි කියෝලා නැති සිංහල පාඨකයින්ට සම්පූර්ණයෙන්ම ඒත්තු ගන්නනවා මෙහෙම.

“බෝතල් පිරුණු මේසයක් ලඟ පොඩිවුණු සිගරට්‍ටුවක් උරමින් ග්‍රැහැම් ස්නෝ හිටියා පරසතු මල් ‍ෆිල්ම් එකේ බොනී මහත්තයා වගේ. ඇහිබැම උස්සලා බැලුවා අපි දිහාව.”

මීට වඩා මේ ගැන කියන්න ඕන නෑ මං හිතන්නේ. ෂෙහාන් තමන්ගේ කතාවේදී පාවිච්චි කරන්නේ උපහාසයෙන් පිරුණු, වේගවත් කථා ශෛලියක්. කෙටි වාක්‍ය විතරක් නෙවෙයි, කෙටි උපසි‍රැසි වලින් යුතු කෙටි පරිච්ඡේද. හරියට කමෙන්ට්‍රීස්, ක්‍රීඩා වාර්තා වගේ. ‍ෆිල්ම් එකක් බලාගෙන යනවා වගේ. දිලීපත් ඒ ටෝන් එක ඒ විදියටම සාර්ථකව ග්‍රහණය කරගන්නවා.

 

6. මුලදී එන්න ඕන කමෙන්ට්‍රියක්, පොත ගැන
ShehanK Chinaman book

Source – susumba.com

ෂෙහාන් කරුණාතිලක චයිනමන් පොතේ පාවිච්චි කරන නම් ටික මරු. අර අර්ධ සත්‍යය කියලා කියන ජාතියේ ආතල් නම් ටිකක්. හොඳම දේ තමයි ඒ නම් කියවනකොට අපිට ඇත්ත ලෝකේ ඒ නම් අයිති මිනිස්සුන්ව පටස් ගාලා ඔලුවට එන එක. උදාහරණයක් විදියට ජයන්ත පුංචිපාල කියනකොටම මට ආනා පුංචිහේවාව මතක් වෙනවා. තමන්ගේ නෝනයි ළමයිනුයි එක්ක එකතු වෙන්න ප්ලේන් එකක් හයිජැක් කරන ලංකාවේ පරාක්‍රම ඒකනායක කියනකොට අසූව අනූව කාලේ හිටපු පූසෙක්ට වුනත් මතක් වෙන්න ඕන මේ කියන්නේ සේපාල ඒකනායක ගැන කියලා. මම උදාහරණයක් විදියට කියලා කිව්වට ඒක “කල්පිතයක්” හරිද. ආයි අනිවා එකට කොහෙන්වත් නඩු පටලෝගන්න ඕන නෑනේ!

අනිත් කාරණාව තමයි ෂෙහාන් තමන්ගේ පොතෙන් ක්‍රිකට් ලෝකය විතරක් නෙවෙයි, හැත්තෑව අසූව අනූව කාලවල මැද පංතියේ ජනතාවගේ ජීවිතය, කළු ජූලිය ඇතුළු ලංකාවේ අපි මුහුණදීපු අඳුරුම සිදුවීම්, මේ කාලේ සිද්ධ වෙන දේශපාලන පෙරළි පවා කතාව මැද්දට ඇදලා ගන්නවා.

ප්‍රදීප් මැතිව් හොයාගෙන යන පැන්ෂන් ගියපු බේබදු අංකල්ලා දෙන්නෙක් වෙන ඩබ්.ජී සහ ආරිගෙන් ෂෙහාන් හිතාගන්න බැරි සමාජ පරාසයක් කවර් කරනවා. උදාහරණයක් විදියට මොර‍ටුමුල්ලේ “කාණුව” කියලා හඳුන්වපු පොඩි පංතියේ සහ මැද පංතියේ මිනිස්සුන්ගේ ජනප්‍රිය බාර් එකේ ඉඳන් ටාජ් එකට යනකල් හම්බුවෙන මිනිස්සුන්ට “අංකල්” වෙන ඩබ්.ජී ගේ ගමනේ පහුවෙන, ආයෙමත් හමුවෙන මූණු වල රේන්ජ් එක හදන්න හරියනම චරිතෙත් ඩබ්.ජී.කරුණාසේනම තමයි.

 

7. බොන එකත් ටෙස්ට් මැච් එකක් වගේ තමයි පුතා!
ShehanK Chinaman book

Source – onceanenglishmajor.wordpress.com

සාමාන්‍යයෙන් ලංකාවේ කල්චර් එක ඇතුළේ බොන මිනිහා නරකයි කියලනේ පිළිගැනීම තියෙන්නේ. හැබැයි චයිනමන් පොත ඇතුළේ අපිට හම්බෙනවා බීමත් එක්ක ලෝකේ දිහා හරිම සුන්දර ඇහැකින් දකින අංකල් කෙනෙක්. ඇත්තටම අදටත් ඊඒපී එකේ එහෙම අපිට හම්බුවෙනවා තනියෙන්ම බොන්න එන, තුනක් විතර වැටෙනකොට ඕන සබ්ජෙක්ට් එකක් ගැන දෙයක් ගැන බොහොම හොඳට කතා කරන අංකල්ලා. මේ කට්ටියට බීම කියන්නේ වැනි වැනී ගිහින් ගුටි ඇණගන්න, ගෙදර බඩු පොළවෙ ගහන්න දෙයක් නෙවෙයි. ඊට වඩා තමන්ගෙ පැවැත්ම සුන්දර කරන දෙයක්. හැබැයි ඉතින් බීමේ ප්‍රශ්නේ තියන්නේ මෙහෙම අය සෑහෙන්න අඩුයි. බීලා වලි දාගන්න අය වැඩියි.

ෂෙහාන්ම කියන විදියට හොඳට ෂොට් එක දාන අංකල් කෙනෙක්ව කතාවේ නායකයා විදියට ගේන එක සිද්ධ වෙන්නේ දෙවෙනුව. මුලින් කතාව යන්නේ තුන්වෙනි පුද්ගලයෙක්ගේ ඇහෙන්. හැබැයි ඒකට වඩා පැන්ෂන් ගියපු බේබදු ඩබ්.ජී ව කතාව කියන්නා විදියට ගේන එක බොහොම සාර්ථක වෙනවා. ඒ වගේම කතාව ඇතුළේ අපිට මුණගැහෙන අභව්‍යයි වගේ හැ‍ඟෙන දේවල් වුනත් මේ ඩ්‍රින්ක් එක දාන අංකල් හරහා කතාවට එකතුවෙනකොට ඒකේ ආතල් එකක්, ප්‍රශ්න කිරීමේ අනවශ්‍ය බවක් එනවා.ඇයි බිව්වහම ඕන ආතල් කල්පනාවක් ඔලුවට එන්න පුලුවන්නේ!

මට බෑ ජනේලයක් දිහා බලන් ලියන්න. සිකුරාදාවක ලියන්න පටන් ගන්නත් බැහැ. අනෙක මට ලියන්න නම් තොල කට තෙමෙන්න ඕන. කාලයක් තිස්සේ මං ඉගෙන ගත් දෙයක් තියෙනවා. තම තමුන්ගේ විකාර ගති දියුණු කිරීමත් වාසියක්.

 

8. හැමදාමත් බැට් කර කර ඉන්න බෑ පුතා!
ShehanK Chinaman book

Source – abc.net.au

පසුබිමින් ඇහුණා සිංදුවක්. ‘කුරා කුහුඹු මිනිසා වෙමි මා, ඔබේ මන්දිරේ” ඒකත් හොඳ ලකුණක් තමයි.

ලේඛකයෙක්, ක්‍රීඩා ලෝලියෙක් හැටියට මං මේ කියන්නේ නිකම් නෙවෙයි. එක්ස්ට්‍රා ටයිම් එකෙන් ගෝල් එකක් ගහන්න පුලුවන්. දොළොස්වෙනි වටයේදීත් ප්‍රතිවාදියාට වැටෙන්න ගහන්න බැරි නෑ. අන්තිම බෝලෙටත් හයේ පාරවල් වදිනවා…

ශීලාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ගාෆීල්ඩ්ගේ දයාබර පියාණන් වූද, ප්‍රදීප් සිවනාදන් මැතිව්ස්ගේ අතිජාත හිතෛශියා වූද ඩබ්ලිව්.ජී.කරුණාසේන එහෙව් මිනිහෙක්.

කොහොම හරි අන්තිමට බැටින්ග් වලට එකතු වෙන ගාෆීල්ඩ් එක්කම ඩබ්.ජී. මැච් එක ගහලා ඉවර කරයි. ප්‍රදීප් මැතිව් ව අන්තිමට මුණගැහෙයිද? ඒක දැනගන්න නං පොත කියෝලා බලන්න. පොත ගැන කියන්න තව හැඟීම් දහසක් තියෙනවා. ඒත් පොතක් ගැන කියන්න තව පොතක් ලියන්න බෑ. පොත් දෙකක් හොඳටම ඇති.

උමතු ක්‍රිකට් ලෝලියෝ බලන්න නං යන්න ඉන්දියාවට. අපිට ක්‍රිකට් කියන්නේ අර ඉවරවෙන්නෙ නැති බැවේරියන් බියර් ලාගර් එකක් ඉස්සරහා පිට තියෙනකොට වගේ එන ඉවර වෙන්නෙ නැති තිබහක්. චයිනාමන් ශ්‍රී ලාංකික අපේ හිත් වලින් මකන්න බැරි පොතක් වෙන්නේ අන්න ඒ නිසයි.

 

අන්තිමට:

ShehanK Chinaman book

Source – galleliteraryfestival.com

ෂෙහාන් කරුණාතිලක මේ වෙනකොට තව පොතක් ලියලා ඉවරයි. කෙටි කතා එකතුවක්. මේ අවුරුද්දේ අපිට ඒකත් කියවන්න ලැබෙයි. ඒ ඇරෙන්න ජනවාරි 11-15 දවස්වල පැවැත්වෙන ගාල්ලේ සාහිත්‍ය උළෙලට එන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නං ෂෙහාන් කරුණාතිලක සහ දිලීප අබේසේකර කරන චයිනමන් කතාබහකට එකතු වෙන්න පුලුවන්. ආ තව එකක්. දැන් ලංකාවේ ටීම් එකේ චයිනමන් බෝලර් කෙනෙක් ඉන්නවා. ලක්ෂාන් සඳකැන්!

 


 
Cover Image Source – galleliteraryfestival.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid