වේ උවදුරු නවත්තන්න ගෙදර සිටම ඔබටත් පුළුවන් ඒ මෙහෙමයි

 

කතාවටත් කියනවානේ අපිව කන්න ඉන්නේ නෑයෝයි, වේයෝයි, මීයෝයි කියලා. ඉතින් ඒක බොරුවක් වෙන්න විදිහක් නැහැ. මොකද මේ තුන්දෙනාගෙන් කෙනෙක් අපි සතු මොනවාම හරි දෙයක් විනාශ කරමින් ඉන්නේ දවසේ කොයි වෙලේ බැලුවත්. ඒ වුනාට අද අපි කතා කරන්න හදන්නේ නෑයෝ සහ මීයෝ ගැන නෙවෙයි. අපි ඒ අය ගැන වෙන දවසක කතා කරමු.

අද අපි කතා කරන්නේ වේයෝ හෙවත් Termites කියලා කියන වර්ගය ගැන විස්තර කිහිපයකුයි. වේ උවදුර කියන්නේ වර්තමානේ තියෙන කරදරකාරම වසංගත වලින් එකක් වෙලා ඉවරයි. කඩදාසි පිටුවක සිට දැව භාණ්ඩ දක්වාම මේ පුංචි දත් තිබෙන නරක සතා නිසා අපිට ආරක්ෂා කරගන්න වෙලා තියෙනවා.

වේයින් කියන්නේ කොහොමටත් ස්වාභාවික දැවමය කොටස් ආහාරයට ගන්නා ජාතියක්. ඉතින් මිනිසුන් වුන අපි දැව වලින් නිර්මාණය කරපු බඩු හෝ දැව වලින් කරන වෙනත් නිෂ්පාදන ගෙවල් වලට ගෙනල්ල තියාගත්තම තමයි වේ උවදුර අපේ නිවාස වලට ඇතිවෙන්නෙත්.

කොහොමද මේ වේ උවදුර නතර කරන්නේ?
නතර කරන්නට නම් වේයන් ඇතිවෙන ස්ථාන සහ උන් ආහාරය ගන්න දේවල් අදාළ තැන වලින් ඉවත් කරලා තියන එක තමා කරන්න තියෙන පහසුම ක්‍රමය, එහෙම නැතිනම් අපිට වේයන් වඳ කිරීමේ ක්‍රම වලට යන්නත් පුළුවන්.

ඉතින් මොනවද ඒ ක්‍රම?

එකක් නෙවෙයි කිහිපයක් ම තියෙනවා. අපි එකින් එක ඔබට කියන්නම්.

 

1. සීතලයි රස්නෙයි, දෙකේම මෙයාට ඉන්න බැහැ.
termites
Source – wisegeek.org

වේයන් සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු දෙයක් වෙන්නේ, ඔවුන්ට අධික රස්නයත්, අධික ශීතලත් දරාගන්නට නොහැකි බව, මේ නිසා බොහෝ වේ ජනපද ඇතිවෙන්නේ මද උණුසුමත්, මද තෙතමනයත් තිබෙන ස්ථාන වල බව මදක් සොයා බැලුවොතින් ඔබට දැනේවි.

මේ නිසා ඔබේ ලී භාණ්ඩයක් වේයන් ආක්‍රමණය කර තිබෙනවා නම් හොඳින් හිරු පායා ඇති මද්දහනක එළියෙන් තබන්නට හැකි නම් ඔවුන් එයි නිසැකවම ඉවත් වේවි.

ඒ වගේම ද්‍රව නයිට්‍රජන් ඔබේ භාණ්ඩයේ වේයන් ආක්‍රමණය කර ඇති තැනක තැනු සිදුරක් තුලින් එන්නත් කරන්නට හැකි නම් එයත් ඔබේ ගෘහ භාණ්ඩය ආරක්ෂා කරාවි. සෘණ අගයක් ගන්නා ද්‍රව නයිට්‍රජන් එවැනි සිදුරු වල විනාඩි පහක පමණ කාලයක් තිබ්බත් එයින් වේ උවදුර සැලකිය යුතු මට්ටමකින් විනාශ වී තිබේවි.

 

2. බෝරික් ඇසිඩ්
termites
Source – myhousepests.com

දන්නවනෙ අර කැරම් බෝඩ් එක ලිස්සන්න දාන කුඩු. බෝරික් ඇසිඩ් බොහෝ විට පැමිණෙන්නේ පෙති හෝ කුඩු මාධ්‍යයෙන්. ඔබට ලංකාවේ රසායනික ද්‍රාවණ විකුණන ස්ථාන වලින් සහ සමහර ෆාමසි වලිනුත් මිලදී ගන්නට හැකියි. ජලය කොටස් දෙකකට බෝරික් ඇසිඩ් කුඩු එක කොටසක් දිය කර වේයන් ආක්‍රමණයට ලක්වුණු ප්‍රදේශයේ බුරුසුවකින් හෝ පින්සලකින් ආලේප කරන්නට හැකි නම් ලෙහෙසියෙන්ම වේයන් පාලනය කරන්නට හැකියාව තිබෙනවා.

මෙයට හේතුව වන්නේ වේයන්ගේ ස්නායු පද්ධතියට බෝරික් ඇසිඩ් වලින් අතිශය දරුණු බලපෑමක් වෙන නිසාවෙනුයි.

මේ මොනවා කලත් එම පැකට්ටු විවෘත කිරීමේදී සහ ජලය හා මිශ්‍ර කිරීමේදී මුහුණු ආවරණ සහ අත් ආවරණ පැළඳගෙන මේ විසඳුම භාවිතා කිරීම ඔබේ සෞඛ්‍යට අතිශය හිතකර වෙනවා.

 

3. කාඩ්බෝඩ් ආලේ, ගෙන දෙයි මරුවා සමග වාසේ
termites
Source – lifeintheratshole.wordpress.com

වේයන් කාඩ්බෝඩ් සහ කඩදාසි ආහාරයට ගන්නට විශේෂ කැමැත්තක් දක්වනවා. ඔබට මේ කැමැත්ත වාසියට අරගෙනත් වේයන් මර්ධනය කරන්නට හැකියාව තියෙනවා. වේයන් සිටින ස්ථානයකට කාඩ්බෝඩ් කැබැල්ලක් දමා තිබු විට ඔවුන් එය ආහාරයට ගන්නට රැස් වෙන්න් නිතැතින්.

එවිට ඒ වාසිය භාවිතා කරලා කාඩ් බෝඩ් එක මතට එකතුවුන වේයන් කොහෙට හෝ රැගෙන ගොස් විනාශ කර දමන්නට ඔබට පහසුවෙන්ම හැකියාව තියෙනවා. එහෙම කරන්නට බැරි නම්. ඔබට කැලයකට හෝ නිවසින් ටික දුරකට ගිහින් දැම්මත් වරදක් වෙන්නේ නැහැ.

 

4. පෙර සුදානම.
termites
Source – toolstop.co.uk

ඔබ සුදානම් වෙන්නේ ලීබඩු මිලදී නොගෙන හදවන්නට නම් කරුණාකර එම ලීබඩු තෙලේ දමා පදම් කර දැව ආරක්ෂක යෙදූ ලී වලින් නිමවාගන්න සැලකිලිමත් වෙන්න. එවිට ඔබේ ලී බඩු වලට වේයන් ගෙන් වැඩි ආරක්ෂාවක් ලැබේවි. මක් නිසාද යත්, වේයන් වැඩිපුරම ආක්‍රමණය කරන්නේ ස්වාභාවික දැව කොටස් වලට නිසා.

 

5. කුරුඳු තෙල්
termites
Source – pesthacks.com

කුරුඳු තෙල් වල පවතින අධික ඝන්ධය නිසා, වේයන් සිටින ස්ථානයක මේවා ආලේප කළහොත් වේයන් ඉවත් වීම හෝ මරණයට පත් වීම සිදු වෙනවා.

 

6. සෝඩියම් ක්ලෝරයිඩ්
termites
Source – biowest.net

ආපහු ආපහු කියන්න ඕනේ නැහැනේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොනවාටද කියලා. ගන්න පුළුන් ගුලියක්. අරගෙන ඒවා වෙනම වෙන්කරගෙන සෝඩියම් ක්ලෝරයිඩ් වල පොඟවලා වේයන් සිටින සිදුරු වලට තද කරන්නට හැකි නම්, එහෙමත් නැතිනම් වේයන් සිටින පෙදෙස් වල සිදුරු තනා මේ ගුලි ඔබන්නට හැකි නම් පහසුවෙන්ම ඔබට වේ උවදුරින් මිදෙන්නට පුළුවන් වෙනවා. වේ උවදුර නැවත ඇතිවීමද වැළකෙනවා.

 

7. කරන්ට් ඇල්ලිල්ල.
termites
Source – thepestmanagement.com

තියෙන ක්‍රම වලින් පහසුම ක්‍රමය තමයි මෙය. ඔබේ නිවසේ වේයන් සිටින්නේ කොතැනකද, එතනට විදුලි සැර යෙදීමෙන් මේ වේයන් මර්ධනය කරන්නට ලෙහෙසියෙන් ම පුළුවන්. පිටරටවල නම් මේක ජනප්‍රිය වේ මර්දන ක්‍රමයක්. ලංකාවෙත් මේ ආකාරයේ විදුලි යන්ත්‍ර තිබෙන්නට පුලුවන්.

නමුත් ඔබ සතුව යකඩ මේස පුටු, හෝ වෙනත් යන්ත්‍ර සුත්‍ර තිබෙනවා නම් ඒවා මෙලෙසින් විදුලිය අල්ලන්නට පෙර ඉවත් කර තබන්නට හැකි නම් වටිනවා. ඒ වගේම පළපුරුදු කාර්මිකයෙක් මේ සඳහා යොදා ගන්නවා නම් තවත් කදිමයි.

මේ කියන ක්‍රම ඇරුණහම ඔබට පුලුවන් කෘමි පාලන ආයතනයක(Pest control) සේවය ලබාගන්න. මේ තියෙන්නේ එවැනි සේවා අායතන එකතුවක්.

 

 
Cover Image Source – abctermite-pest.com