ලෝකයේ දක්ෂම සටන්කරුවන් සටන් වදින UFC ගැන ඔබ දැනගතයුතු කරුණු 9ක්

 

UFC එහෙමත් නැත්නම් “අල්ටිමේට් ෆයිටිං චැම්පියන්ෂිප්” ගැන ඔයාල හුඟදෙනෙක් අහල ඇති. බලලත් ඇති සමහර විට. තද රෙස්ලිං ලෝලියෙකුටනම් UFC සටනක් බලද්දි එච්චරම ගතියක් නොදැනෙන්න ඉඩ තියනවා. මිනිස්සු දෙන්නෙක් හෝ ගෑණු දෙන්නෙක් බිම පෙරළිලා එකිනෙකාගෙ අත පය අඹරන දිහා විනාඩි ගාණක් බලන් ඉන්න එක හරි කම්මැලි අත්දැකීමක් වෙන්න ඉඩ තියනව. WWF කාලෙන් පටන් අරන් WWE වෙනකලුත්, WCW, ECW, CZW, ROH, TNA කියන මේ හැම රෙස්ලිං ප්‍රමෝෂන් එකකම ෆයිට් හොය හොයා බලපු අපිටත් මේ අවුල මුලදි තිබ්බා. හැබැයි කාලයක් මේ UFC ඉවෙන්ට්ස් බලද්දි ඉබේම ඒකෙ රිද්මයට අපිත් හුරුවුණා. දැන් UFC සටනක් බලල රෙස්ලිං සටනක් බලද්දි මේ මොන විකාරයක්ද කියලත් හිතෙන අවස්ථා තියනවා.

අපි උත්සාහ කරන්නෙ අපේ රෙස්ලිං ලෝලියන්ව අපහාසයට පත් කරන්නවත් ඒකට වඩා මේක හොඳයි කියන්නවත් නෙමෙයි. එක පැත්තකින් ගත්තහම WWE කියන්නෙ විනෝදාශ්වාදය සඳහා නිපදවන එන්ටටේන්මන්ට් වැඩසටහනක්. UFC කියන්නෙ ඊට වඩා ක්‍රීඩාවක් පැත්තට බර වූවක්. ඒ නිසා මේ දෙක සසඳන එක වැරැද්දක්. ඒ වෙනුවට අපි උත්සාහ කරන්නේ ලෝකයේ සහ අපේ රටේ සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින UFC ගැන ඔබට යම් අදහසක් ලබාදෙන්නටයි.

 

1. මොකක්ද මේ UFC එක?
UFC 101

Source – tmz.com

UFC කියන්නෙ අමෙරිකානු මිශ්‍ර සටන් කලා (Mixed Martial Arts) ප්‍රමෝෂන් එකක්. WWE එක රෙස්ලිං සටන් පවත්වනවා වගේ UFC එකෙන් කරන්නෙ රෙස්ලිනුත් ඇතුලුව තවත් විවිධ සටන් ක්‍රම වලින් යුතු තරඟ පවත්වන එක. මල්ලවපොර, බොක්සිං, කික්බොක්සිං, මූයි තායි, ටයිකොන්ඩෝ, බ්‍රසීලියානු ජියු-ජිට්සු, ජූඩෝ සහ කරාටේ වගේ සටන් සම්ප්‍රදායන් රැසක ආභාෂය ලැබූ සටන් කරුවන් මෙහි තරඟ වදිනවා. මේ සියලු මිශ්‍ර සටන් ක්‍රම ලේසියට හඳුන්වන්නේ MMA (Mixed Martial Arts) නමින්. මේ හැම සටනක්ම විනිසුරුවන්ගේ විශේෂ අධීක්ෂණය යටතේ “ඇත්ත සටන් (Real fights)” හැටියටයි පවත්වන්නේ. අන්න එතැනදී තමයි WWE එක්ක ගත්තහම UFC ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නෙ.

 

MMA මික්ස්ඩ් මාෂල් ආට්ස් කිවුවම අහල පුරුදුයි වගේද?

UFC 101

Source – mmajunkie.com

මම නම් UFC බලන්නෙ නෑ. ඒ උනත් මික්ස්ඩ් මාෂල් ආට්ස් MMA වගේ නම් කියද්දි ටිකක් හුරු පුරුදුයි වගේනෙ“. ඔයාල සමහරකට මේ විදිහට හිතෙනව ඇති. අපි කියන්නම් ඒක එහෙම වෙන්න පුලුවන් එක හේතුවක්.

ඔයාලට මතකද මීට අවුරුදු කීපෙකට කලින් මයුර කියල අපේ ලංකාවෙ කොල්ලෙක් පිටරටක සාප්පුවක් කොල්ල කන්න ආපු හොරුන් කීප දෙනෙක්ට පහරදීල එළවපු කතාවක් මෙහේ අන්තර්ජාලය වගේම රූපවාහිනී මාධ්‍යයන් තුලිනුත් වරින් වර පෙන්නුව. මයුරගෙ මේ හපන්කම විදෙස් නාලිකාවලත් මහ ඉහලින් වර්ණනා කරමින් පෙන්නුව. මතක නැත්නම් බලන්නකෝ.

අන්න ඒ මයුර දිසානායක කියන අපේ රටට ආඩම්බරයක් ගෙනාපු තරුණයා මේ මික්ස් මාර්ෂල් ආට්ස් ප්‍රගුණ කරන සටන් කරුවෙක්. මේ වෙද්දි ඔහුගේ දස්කම් හැටියට වාර්තාවන්නේ තරඟ 2ක් ජයගෙන 2ක් පරාජය වූ ක්‍රීඩකයෙක් ලෙසටයි. සාමාන්‍ය මාෂල් ආට්ස් සටන් කරුවෙකුට UFC වගේ තැනකට එන්න සෑහෙන කැපවීමක් කරන්න වෙනවා. අපි බලාගෙන ඉමු මයුරටත් කවදාහරි ඒ තැනට එන්න පුලුවන් වෙයිද කියල.

අපි දැන් ආපහු එමු UFC එක දිහාවට…

 

2. UFC ආරම්භය
UFC 101

Source – muscleandfitness.com

UFC හි ආරම්භය 1990 දශකයේ මුල් භාගයේදී තමයි සිදුවෙන්නේ. බ්‍රසීලයේ ජියු-ජිට්සු සටන් කළාව ලොවට හඳුන්වාදීපු පුරෝගාමියෙක් හැටියට සැලකෙන රෝරියන් ග්‍රේසි සමග තවත් අමෙරිකානු ව්‍යාපාරික එකමුතුවකින් තමයි මේ තරඟාවලිය පිළිබඳ අදහස මුලින්ම සාකච්ඡාවට ගැනෙන්නෙ. මේ තරඟාවලිය ඇරඹීමෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ විවිධ සටන් ක්‍රම අතරින් හොඳම එක මොකක්ද කියල තෝරගන්නයි. ඒ කාලෙ වෙද්දි හුඟක් සටන් ශිල්පීන් තනි සටන් සම්ප්‍රදායක් පුහුණු වූ අය. බොහෝවිට සටන් පැවැත්වුණෙත් එකම සටන් සම්ප්‍රදායක තරඟකරුවන් අතරයි. 1993 පවත්වපු පළමු UFC තරඟාවලියෙන් කලේ වෙනස් සටන් සම්ප්‍රදායන් දෙකක් හදාරපු දෙන්නෙක්ව එකට සටනකට දාල මේ දෙන්නගෙන් දිනන්නෙ කවුද කියල බලපු එක. මේ තරඟාවලිය සඳහා මල්ලවපොර, සුමෝ, කරාටේ වගේ විවිධ සටන් ක්‍රම අනුගමනය කරපු ක්‍රීඩකයො යොදාගෙන තිබුණා. දැන් වගේ සමාන බරපන්ති වලින් යුතුව නෙමෙයි ඒ කාලෙ තරඟ පැවැත්වුනෙත්. හීන්දෑරි කරාටේ ක්‍රීඩකයෙක් එක්ක තරබාරු සුමෝ ක්‍රීඩකයෙක් සටන් කරනවා හිතින් මවාගන්නකෝ. අන්න ඒ වගේ වෙනස්කම් වලින් යුතු සටන් තමා තිබ්බෙ.

 

3. බිහිසුනු තරඟාවලියක් වූ UFC-1
UFC 101

Source – roycegracie.com

1993 නොවැම්බර් 12 වැනිදා පවත්වපු පලමු UFC තරඟාවලියෙදි වෙනස්ම සටන් කරුවො 8 දෙනෙක් අතර පිළිමලුන් පිටු දකින (knockout) ක්‍රමයට සටන් පවත්වලා අවසාන මහා තරඟයෙදි දිනන ක්‍රීඩකයාව තමයි ශූරයා හැටියට කිරුළු පැලැන්දුවෙ. මේ ක්‍රමය නිසා දැන් වගේ එක සටනක් නෙමෙයි, සමහර සටන්කරුවන්ට එකම රාත්‍රියෙදි සටන් දෙක තුනක්ම කරන්නට සිදු වුණා. ඒ විතරක් නම් මදැයි හරිම මිලේච්ඡ විදිහට තමයි මේ සටන් පැවැත්වුණෙත්. ඒකට හේතු උනේ මේ මුල් තරඟාවලියෙදි නීති රීති කියල දෙයක් තිබ්බේම නැති වීම. මේකෙදි දැන් වගේ පොයින්ට්ස් දෙන විනිසුරු මඩුල්ලක් හිටියෙ නෑ, තරඟය අවසන් කරන්නම් අනිකාව නොකවුට් කරන්න හෝ සබ්මිෂන් එකකට යටත් කරන්නම ඕනෙ උනා. සටන වට වලට වෙන්වුනෙත් නෑ. අත්ආවරණ පළඳින්නෙ නැතිව උනත් ගහගන්න පුලුවන්, කෙනෙක්ගේ පෞද්ගලික ස්ථානයකට උනත් පහර එල්ල කරන්න කිසිම තහනමක් තිබ්බෙ නෑ.

මේ නිසා මේ සටන් බොහෝම බිහිසුණු මුහුණුවරක් ගනු ලැබුවා. සමහරුන්ට දත් පවා අහිමි උනා. තවත් සමහරු මදි නොකියන්න තැලුම් කෑවා. විනාඩි කීපයක මේ කෙටි වීඩියෝව නැරඹීමෙන් (සංවේදී අය බලන්න එපා) ඔබට හිතාගන්න පුලුවන් කොච්චර බිහිසුණු අන්දමින්ද මුලදී මේ සටන් පැවැත්වුණේ කියල. හැබැයි බිහිසුණු විදිහට පැවැත්වුණු මේ තරඟාලිය ඉවරවෙද්දි අනාගතයට පුංචි රිදී ඉරකුත් ඉතිරි නොවුණා කියන්න බෑ. එයට හේතුව මේ තරඟාවලිය දිනුවෙ අත පය විසිකරල දරුණුවට සටන් වදින ක්‍රීඩකයෙක් නොවීමයි. හොයිස් ග්‍රේසි කියන බ්‍රසීල ජියු-ජිට්සු සටන්කරුවා තමයි මේ තරඟාවලියේ ශූරයා වුනේ. ජියු-ජිට්සු තාක්ෂණේ උපයෝගි කරගෙන සතුරාගේ ශරීරය ග්‍රහණය කරගෙන දැවැන්ත ශක්තිමත් ක්‍රීඩකයන්ව පරද්දන්න මේ සංයමයකින් යුතු කෙසඟ බ්‍රසීල්කාරයට හැකිවුණා අන්තිමේදි.

 

4. ජනප්‍රියත්වය, තහනම සමග වර්තමාන UFC එකට අඩිතාලම වැටීම
UFC 101

Source – yahoo.com

2008 ඇමරිකානු ජනාධිපතිවරණෙදි රිපබ්ලිකන් පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලපු ජෝන් මැකේන් නම ඔයාලටත් අහල පුරුදු ඇතිනෙ. පලවෙනි UFC තරඟාවලිය බලපු මැකේන් මේ සටන් වල තියන බිහිසුණු කම දැකල තැති ගන්නවා. ඊළඟට එයා කරන්නෙ ඇමරිකාව තුල මේ තරඟාවලි තහනම් කරන්න පුලුල් විරෝධතාවයකට අර අදින එක. ටික කලක් යද්දිම මේ විරෝධතාවය සාර්ථක වෙනව. ඒ අමෙරිකානු ජනපද 50න් 36කම මේ විදිහෙ සටන් පැවැත්වීම තහනමට ලක්වීමෙන්. පලමු තරඟාවලියෙන් පස්සෙ ලැබූ ඉමහත් ජනප්‍රියත්වයත් එක්කම තවත් තරඟාවලි දහයක් දොළහක්ම පවත්වන්න කටයුතු කරල තිබ්බ UFC එකට මේකෙන් බලවත් පහරක් වදිනවා.

මේ තහනමත් එක්ක ක්‍රම ක්‍රමයෙන් මළලක්‍රීඩා නීති රීති වලට අනුකූල වන අයුරින් තමන්ගේ නීති රීති හදාගන්න UFC උදවිය කටයුතු කරන්න පටන් ගන්නවා. අදටත් UFC තරඟ තීරකවරයෙක් (referee) හැටියට ක්‍රියාකරන ජෝන් මැකාති කියන විනිසුරුවරයා මේ නීති රීති සකස් කරන්න සහ ඒ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කරන්න මූලික වී ක්‍රියා කරපු පුද්ගලයෙක්. අදටත් UFC හි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ඩේනා වයිට් තවත් පිරිසක් සමග එකතුවී UFC නාමය මිලදී ගන්නේ ඔය අතරතුරේදීයි. කාලයෙන් කාලයට සිදුවූ නැගීම්, බැසීම් සහ හැලහැප්පීම් එක්ක මේ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමටත්, ක්‍රීඩාවක් හැටියට මේ සටන් වලට පිළිගැනීමක් ලබාදීමටත් කාලයත් එක්ක ඔවුන් සමත් වනවා. මේ වෙද්දි රටවල් 150කටත් අධික සංඛ්‍යාවක් පුරා පැතිරිච්ච UFC රසිකයො මිලියන ගණනක් ඉන්නවා. UFC නාමයේ වර්තමාන හිමිකරුවන් වන්නේ William Morris Endeavor කියන ආයතනයයි. ඔවුන් 2016 වසරේදී මෙය මිලට ගන්නේ ඩොලර් බිලියන 4ක අතිවිශාල මුදලකටයි.

 

5. සටන් නීති රීති මොනවද?
UFC 101

Source – youtube.com

යූඑෆ්සී බැරිනම් මොන එෆ්සී හරි කමක් නෑ නීති රීති ගැන දැනුවත් වෙන්නෙ නැතිව ෆයිට් එකක් එන්ජෝයි කරන්නෙ කොහොමද නේද? කූඩුවක් ඇතුලෙ දෙන්නෙක් ගුස්ති අල්ලලා අන්තිමේදි කෙනෙක්ගෙ අත ඉස්සුවට අපි අතරමැදදි වෙන දේවල් සහ නීති රීති ගැනත් දැනගන්න එපායැ. ඉතින් මෙන්න මේ පහලින් සරළව කියන්න යන ඒව තමයි තරඟ නීති රීති. ඉස්සර තිබ්බ භයානක සටන් ක්‍රම වලින් මිදිල මේ අලුත් නීති රීති අනුගමනය කිරීම නිසා ක්‍රීඩාවක් හැටියට දැන් මෙයට වඩාත් පිළිගැනීමක් ලැබිල තියෙන්නේ.

 

තරඟ වට

UFC 101

Source – bleacherreport.com

UFC සටනක එක් තරඟ වටයක් මිනිත්තු 5ක කාලයකින් යුක්ත වනවා. මෙවැනි මිනිත්තු 5 තරඟ වට තුනක් හෝ පහක් තමයි පවත්වන්නේ. සාමාන්‍ය සටනක් වට තුනකිනුත්, ශූරතාවයක් (Championship) හෝ ප්‍රධාන පෙලේ තරඟයක් (Main event) වට පහකිනුත් සමන්විත වෙනවා. මේ වට ඇතුලත ප්‍රතිවාදියාව නොකවුට් කිරීම, සබ්මිෂන් එකකට ලක්කිරීම ආදියෙන් ජයග්‍රහණය කරන්න පුලුවන්. එහෙම නොවන අවස්ථාවල තුන් දෙනෙකුගෙන යුතු විනිසුරු මඩුල්ලේ (judges) ලකුණු අනුව තමයි ජයග්‍රාහකයා තීරණය කරන්නේ.

 

ඇඳුම් පැළඳුම් සහ ආරක්ෂක ආවරණ

UFC 101

Source – bloodyelbow.com, pinterest.com

සියලුම තරඟකරුවන් සහ තරඟකාරියන් කොටකලිසම් ඇඳිය යුතු වනවා. පිරිමි සටන් කරුවන් උඩුකය නිරාවරණය කොටගෙන තමයි තරඟවැදිය යුතු වන්නේ. ඇඟිලි ඉවතට පනින සේ සැකසුණ අත් ආවරණයක් පැළඳිය යුතු වන අතර මුඛය ආරක්ෂාවන මවුත්ගාඩ් එකක්ද පැළඳසිටිය යුතුයි. තරඟය පැවැත්වෙන අෂ්ටාස්‍ර කූඩුවට ඇතුලු වීමට පෙර මේ සියල්ල නිසි පරිදි ඇතිදැයි පරික්ෂාවට ලක්කෙරෙනවා.

 

ජයග්‍රහණය සහ ලකුණු රැස්කිරීම

UFC 101

Source – photoshelter.com

  • නොකවුට් කිරීම එහෙමත් නැත්නම් අනිත් ක්‍රීඩකයාට වැටෙන්න හෝ ආරක්ෂා වෙන්න බැරි විදිහට ගහන එක එක් දිනුම් ක්‍රමයක්. මේකෙදි නොකවුට් වර්ග දෙකක් තියනවා. ඒ තමයි නොකවුට් (KO) සහ ටෙක්නිකල් නොකවුට් (TKO). නොකවුට් එකක් කියන්නෙ ආයෙ නැගිටින්න බැරි වෙන්න පහරක් ගහන එක TKO එකක් තීරණය වන්නේ තරඟ තීරකවරයා (Referee) , වෛද්‍යවරයෙක් හෝ සටන්කරුවාගේ කණ්ඩායමේ කෙනෙක්ගෙ තීරණ අනුවයි. සටන් කරුවෙක් තමන්ට වදින පහර වළක්වගන්න බැරුව සිටින අවස්ථාවක් දුටුවහම තීරකවරයාට පුලුවන් මේ තරඟය නවත්වන්න, ඒ වගේම තරඟකරුවෙක්ට අවදානම් අනතුරක් තරඟය අතරතුරදි සිදුවුනොත් තරඟ නිරීක්ෂණය කරන වෛද්‍යවරයා විසින් තරඟය නවත්වනු ලබනවා. ඒ වගේම සටන්කරුගෙ සහයට සහ සාත්තුවට සිටින ඔහුගේ කණ්ඩායමේ අයට පුලුවන් තරඟකරුගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත්නම් ඒ ගැන දන්වලා තරඟය නතර කරවන්න.
  • දෙවැනි ක්‍රමය තමයි සබ්මිෂන් එකකට ලක්කිරීම. ඔය රෙස්ලිං වලත් දැකල ඇතිනෙ තව කෙනෙක්ගෙ අතක් පයක්, බෙල්ලක් එහෙම අඹරලා රිදවන ක්‍රම. අන්න ඒ වගේ ක්‍රමයකින් අනිත් ක්‍රීඩකයාව පරාද කිරීම තමයි මේ. මෙහිදී වේදනාවෙන් සිටින සටන්කරුවට පුලුවන් අතින් තට්ටු කරල පරාජය සටහන් කරන්න, එහෙම නැත්නම් තරඟ තීරකට වාචිකව දන්වන්න පුලුවන්. මේ දෙකෙන් එකක්වත් නොවී ක්‍රීඩකයා සිහිමුර්ජාවීමකට ලක්වෙන්න යනවා කියල තීරකවරයාට තේරුණොත් එතකොටත් තරඟය නවත්වනව.
  • තුන්වැනි ක්‍රමය තමයි විනිසුරු ලකුණු මගින් ජයග්‍රහණය කිරීම. මෙහිදී විනිසුරුවරුන් තිදෙනෙක් ලකුණු සටහන් කරනු ලබනවා. වටයකට ලකුණු 10 බැගින් තමයි එක් එක් විනිසුරුවරයා ලකුණු සටහන් කරන්නේ. මේ ලකුණු දීම සඳහා සාර්ථකව එල්ල කරන නීත්‍යානුකූල පහර ප්‍රමාණය, පොරබැදීමේදී දක්වන සාර්ථකත්වය, අනිත් ක්‍රීඩකයාව සහ සටන් වේදිකාව පාලනය කිරීමේ සාර්ථකත්වය, ආරක්ෂාකාරී ක්‍රම ආදී බොහෝ කරුණු සලකා බලනවා. වට 3 හෝ 5 අවසානයේදී විනිසුරුවන් තිදෙනාම හෝ දෙදෙනෙක් වැඩිම ලකුණු සටහන් කරන ක්‍රීඩකයා ජයග්‍රහණය ලබනවා.

 

තරඟයට නුසුදුස්සෙක් බවට පත්වීම (Disqualification)

UFC 101

Source – billmason0392.wordpress.com

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් තරඟවදින ක්‍රීඩකයෙක්ව තරඟයෙන් ඉවත් කිරීමට තරඟ තීරකට අයිතිය තිබෙනවා. නීත්‍යානුකූල නොවන ප්‍රහාර එල්ලකිරීම, හිතාමතා අනෙක් ක්‍රීඩකයාව ආබාධයකට ලක්කිරීම සහ විනිසුරු අණ නොතකා ක්‍රියා කිරීම ආදිය මීට බලපානවා.

 

6. මොන බර පන්ති වලින්ද මේ අය තරඟ වදින්නෙ? ඒවායේ තරු කව්ද?
UFC 101

Source – ufc.com

UFC වල පිරිමි වගේම කාන්තා සටන්කාරිනියන්ද සටන් වදිනවා. විවිධ බරපන්ති වලට වෙනම ශූරයන් ඉන්නවා. අපි මේ සඳහන් කරන්නේ ඒ බර පන්ති සහ මේ වනවිට ඒ බරපන්තිය නියෝජනය කරන ශූරයන්ගෙ නමුයි.

 

පිරිමි අංශය

UFC 101

Source – ufc.com

Flyweight (උපරිම බර රාත්තල් 125) – දිගු කාලයක් තිස්සේ මේ බර පන්තියේ ශූරතාවය දරන්නේ “මයිටි මවුස්” කියන අනවරත නාමයෙන් හඳුන්වන ඩිමිත්‍රියස් ජොන්සන් ක්‍රීඩකයායි.

UFC 101

Source – ufc.com

Bantamweight (උපරිම බර රාත්තල් 135)– 2016 වසරේ මුලදී මේ ශූරතාවය දිනූ ඩොමිනික් කෘස් ව 2016 ඉවර වෙන්න දවසකට කලින් පරද්දපු කෝඩි ගාබ්‍රෑන්ඩ් තමයි දැන් මේ බරපන්තියේ ශූරයා වෙන්නෙ. කෝඩි කියන්නෙ හොඳ අනාගතයක් තියන තරුණ සටන් කරුවෙක් කියල කියන්න පුලුවන්.

UFC 101

Source – ufc.com

Featherweight (උපරිම බර රාත්තල් 145)– මෑත කාලයේ වඩාත් පෙරළි වලට ලක්වුණු බර පන්තියක්. UFC ලෝකයේ අංක එකේ සුපිරි තරුව වන කොනර් මැක්ග්‍රෙගර් විසින් දිනල තිබුණ මේ ශූරතාවය ඔහුට නොවැම්බරේදි අතඅරින්න සිද්දවීමත් එක්ක, කාලයක්ම මේක උසුලපු බ්‍රසීලයේ ජොසේ අල්ඩෝට තමයි නැවත මේක හිමිව තියෙන්නෙ.

UFC 101

Source – ufc.com

Lightweight (උපරිම බර රාත්තල් 155)– මේ වන විට මේ බර පන්තියේ ශූරතාවය උසුලන්නෙ කුප්‍රකට කොනර් මැක්ග්‍රෙගර් තමයි. 2016 නොවැම්බරේදි මේ ශූරතාවය දිනීමත් එක්ක ඔහු UFC ඉතිහාසයේදි බරපන්ති දෙකක ශූරතා එකවර දරපු පලමු සහ එකම ක්‍රීඩකයා බවට පත්වෙන්නත් සමත් උනා.

UFC 101

Source – ufc.com

Welterweight (උපරිම බර රාත්තල් 170)– මේ වෙද්දි මේ ශූරතාවය උසුලන්නෙ ටයිරන් වුඩ්ලි විසින්. අන්තිම පාරට මේ ශූරතාවයට ස්ටීවන් තොම්සන් සමග තිබ්බ සටනේදී වුඩ්ලි නූලෙන් බේරෙන්න සමත් වෙනවා. ඒ තරඟය ජය පරාජෙන් තොරව නිමා වුන හින්දා. නැවත ඒ දෙන්නා අතර සටනක් නුදුරේදීම පවත්වන්න ඉඩ තියනව.

UFC 101

Source – ufc.com

Middleweight (උපරිම බර රාත්තල් 185)– කට වාචාලයෙක් හැටියට ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය සටන්කරු මයිකල් බිස්පින් විසින් තමයි මේ ශූරතාවෙ උසුලන්නෙ. බිස්පින්ගෙ ඊළඟ තරඟයනම් එයාට ලේසි වෙන එකක් නෑ කියල තමයි හිතෙන්නෙ.

UFC 101

Source – ufc.com

Light heavyweight (උපරිම බර රාත්තල් 205)– DC හෙවත් ඩැනියල් කෝමියර් තමයි මේක උසුලන්නෙ. හැබැයි කෝමියර්ට මේ ශූරතාවය ඩිෆෙන්ඩ් කරන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි. එක්කො සටනක් ආසන්න වෙලා එයා ආබාධයට ලක්වෙනව, එහෙමත් නැත්නම් අනෙක් ක්‍රීඩකය ආබාධයට ලක්වෙලා හරි තහනම් උත්තේජක අරන් හරි තරඟයෙන් ඉවත් වෙනව.

UFC 101

Source – ufc.com

Heavyweight (උපරිම බර රාත්තල් 265)ස්ටීපේ මියෝචික් කියන්නෙ වැඩි සෝබන නැති තිතට වැඩේ දෙන සටන්කාරයෙක්. මෙයා මේ ශූරතාවය දිනාගන්නෙ දක්ෂ බ්‍රසීල ක්‍රීඩකයෙක් වෙච්ච ෆැබ්‍රීසියෝ වර්ඩූම්ට එයාගෙම රටේදි ගහල.

 

කාන්තා

UFC වල කාන්තා බරපන්ති දෙකක් යටතේ තරඟ පැවැත්වෙනවා. ඒ තමයි Straw weight සහ Bantamweight. පිරිමි සටන් තරමටම, සමහර විට ඊටත් හොඳට මේකෙ කාන්තා සටන් පැවැත්වෙනව.

UFC 101

Source – ufc.com

Straw weigh(උපරිම බර රාත්තල් 115)– දක්ෂ පෝලන්ත ක්‍රීඩිකාවක් වන ජෝආනා ජර්ජේජික් තමයි කාලයක සිටන් මේ ශූරතාවය උසුලන්නේ. මෑත භාගයේදී එයත් එක්ක සටනකදි ටිකක් හරි තරඟයක් දෙන්න සමත් උනේ තවත් පෝලන්ත සටන්කාරියක් වන කැරොලිනා විතරයි.

UFC 101

Source – ufc.com

Bantamweight(උපරිම බර රාත්තල් 135)– බැන්ටම්වේඩ් බර පන්තිය වගේම UFC එකත් කාලයක් හොල්ලගෙන හිටියෙ රොන්ඩා රවුසි විසින්. ඇගේ අනපේක්ෂිත පරාජයත් එක්කම මාස කීපයක් ඇතුලතදී මේ ශූරතාවය කීප දෙනෙක් අතින් අතට මාරු වෙලා අවසානෙදි බ්‍රසීල ක්‍රීඩිකා අමැන්ඩා නූනෙස් අතට පත් උනා. රොන්ඩා රවුසි එක්ක ඊයෙ පෙරෙයිදා පැවති සටනෙන් තත්පර 48කදි ජය අරගෙන තමන්ගෙ හැකියාව ලෝකෙටම ඔප්පු කරන්න නූනෙස්ට හැකියාව ලැබුණ.

 

7. මතකේ තියාගන්න ඕනෙ ක්‍රීඩකයො
UFC 101

Source – wallpaperssea.blogspot.com

දැන් මේක බලන්න පටන් ගත්තට වැඩක් නෑ අපි කැමති සටන්කරුවෙක්, කාරියෙක් එහෙමත් ඉන්න ඕනෙනෙ. එක එක්කෙනාට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවො ඉන්නවා. මේ අතරින් මතකේ හිටින විශේෂ දක්ෂකම් තියන අය කීපයක් තමයි අපි මේ අඳුන්නල දෙන්න යන්නෙ.

 

  • කොනර් මැග්‍රෙගර්– කොනර් මැග්‍රෙගර් හරියට රෙස්ලිං වල හිටපු ස්ටීව් ඔස්ටින් වගේ තමයි. කතාව නම් කතාව, වැඩ නම් වැඩ. අයිරිෂ් ජාතික කොනර් අද වෙද්දි UFC එකේ ඉන්න අංක එකේ තරුව. බොහොම දුෂ්කර අතීතෙකට උරුමකම් කීවත් දැන්නම් UFC එකේ හිමිකාරයෙක් වෙන්න තරම් සල්ලිකාරයෙක්. අමුතු ස්ටයිල් එකක් තියන ක්‍රීඩකයෙක්. එක්කෝ ඔබ ඔහුගෙ රසිකයෙක් වේවි, එහෙමත් නැත්නම් මැග්‍රෙගර්ව ඔබට පෙන්නන්න බැරි වේවි. ඒ වගේ සුවිශේෂී චරිතයක්.
  • ජොන් ජෝන්ස්– තමන් විහින්ම විනාශ උන ක්‍රීඩකයෙක් කියල කියන්න පුලුවන්. ඉතාම අඩු වයසකින් ලයිට් හෙවිවේට් ශූරතාවය දිනල ඒ වෙද්දි හිටපු තදයො සේරටම ගේමක් නැතිව ගහපු කෙනෙක්. වැරදි පාරක් වැදිච්ච හින්දා ඩිස්කොලිෆයි උන තරඟයක් හැරෙන්න අද වෙනකන් අපරාජිත ක්‍රීඩකයෙක්. හැබැයි ඉතින් සෙල්ලක්කාරයෙක්. බීමත් කම, තහනම් උත්තේජක, නොසැලකිලිමත්ව රිය පැදවීම වගේ වැඩ නිසා දැන් වසර ගණනක ඉඳන් කොයි වෙලෙත් තරඟ තහනමට ලක්වෙවී ඉන්නෙ. 2017 මැද වෙද්දි ආයෙ එන්න නියමිතයි.
  • රොන්ඩා රවුසි– රොන්ඩා රවුසි නැතිව UFC එක ගැන කතා කරන්න කිසිම හැකියාවක් නෑ. රවුසි කියන්නෙ ජූඩෝ ඔලිම්පික් පදක්කම් ලාභිනියක්. UFC එකේ පලමු බැන්ටම්වේට් ශූරිය වෙන රොන්ඩා රවුසි කාලයක් යද්දි ඒකෙ බැන්ටම්වේට් ක්‍රීඩිකාවො ඔක්කොවම වගේ පරද්දනව. රවුසිගෙ මැච් එකක් බලනවා කියන්නෙ ආයෙ ඇසිපිය ගහන්නවත් වෙලාවක් නෑ කියන එකයි. තත්පර ගණනින් තමයි ෆයිට් ඉවර කරන්නෙ. හැබැයි අන්තිම කාලෙ තමන් ගැනම අධිතක්සේරුවකින් හිටපු නිසා නොහිතපු විදිහට හෝලි හෝම්ස් ක්‍රීඩිකාව අතින් පරාජයට පත්උනා. ඊට අවුරුද්දකට පස්සෙ හිතුවෙවත් නැති විදිහට ඇමැන්ඩා නූනෙස් අතිනුත් පරාජය ලැබුවා. ඒ උනත් අපි හිතනවා රවුසි වැරදි හදාගෙන හොඳ පුහුණුකරුවෙක් එකක් මේ ගේමට ආයෙ අවතීර්ණ වෙයි කියල.
  • ඇන්ඩර්සන් සිල්වා– බ්‍රසීල සටන්කරු ඇන්ඩර්සන් සිල්වාව බොහෝ දෙනෙක් හඳුන්වන්නෙ එතෙක් මෙතෙක් බිහිවූ හොඳම MMA ක්‍රීඩකයා හැටියටයි (UFC විතරක් නෙමේ). ඇන්ඩර්සන් සිල්වා දැන් ක්‍රමයෙන් විශ්‍රාම ගනිමින් ඉන්නෙ. හැබැයි එයා මේ ගේමෙ හිනිපෙත්තෙ හිටපු කාලෙ සටනක් බලන්නත් ලස්සනයි. අමුතුම විදිහෙ සටන් විලාසිතාවක් තිබුණ ක්‍රීඩකයෙක්. ඒ වගේම සෝබන වැඩ වලටත් දක්ෂයි. සටන අතරතුර නටන, නිදාගන්න ඉරියවු දාමින් ප්‍රතිවාදියා එක්ක අමුතු මයින්ඩ්ගේම් ගහන්නෙ. හැබැයි මේ සෝබනේ නිසාම තමයි තමන්ගෙ පළමු පරාජයත් ලබන්නෙ. එදා ඉඳන් ක්‍රම ක්‍රමයෙන් ඇන්ඩර්සන් සිල්වාගෙ බැස්මත් සිද්ධ උනා.
  • ඩිමීත්‍රියස් ජොන්සන්– දැනට UFC එකේ ඉන්න සයිස් එකෙන් පොඩිම චැම්පියන් උනාට දැනට ඉන්න හොඳම සටන්කාරය කියල හඳුන්වන්න පුලුවන්. ජොන්සන් එයා සටන් කරන ඩිවිෂන් එකම සුද්ද කරල ඉන්නෙ. ඒ කියන්නෙ ඒ බරපන්තිය යටතෙ ඉන්න හැමෝවම පරද්දලයි ඉන්නෙ. සමහරුන්ටනම් ටිකක් විතර කම්මැලියි මෙයාගෙ ෆයිට් බලන්න. ඒ නිසාමද මන්දා කොච්චර දිනපු චැම්පියන් කෙනෙක් උනත් ලොකු තරඟාවලි වල මේන් ඉවෙන්ට් හම්බුවෙනවා අඩුයි.
  • බ්‍රොක් ලෙස්නර්– ඔව් එයා තමයි. රෙස්ලිං වලින් ජනප්‍රියත්වයට ආපු ලෙස්නර් කියන්නෙ රෙස්ලිං වළල්ල වගේම මික්ස් මාෂල් ආට්ස් වළල්ලත් එකසේ ජයග්‍රහණය කරපු දුර්ලභ ක්‍රීඩකයෙක්. ඕනෙ ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන් කියලා මේ ක්‍රීඩාවෙ නිරත වෙන්න බැරි බව රෙස්ලිං ලොක්කෙක් උන CM Punkගෙ තරඟයෙන් ලෝකයටම ඔප්පු උනා. අන්න ඒ නිසා තමයි UFC වළල්ල ඇතුලෙ ලෙස්නර්ගෙ භූමිකාව ඉතා වැදගත් වෙන්නෙ. ලෙස්නර් හිටපු UFC හෙවිවේට් ශූරයෙක්ද වෙනවා
  • ජොආනා ජර්ජේජික්– මේ පෝලන්ත ශූරියත් ආයෙ කවදාවත් පරදින එකක් නෑ කියල හිතෙන තරම් දක්ෂයි. මෙයාගෙ සටනේ වේගය වෙනස් වෙන්නේ ඉහල වට වලට යද්දියි. මුලදි ටිකක් හිමීට ගහගන්නවා වගේ පෙනුනට 2 වැනි 3 වැනි වට වලට යද්දි තේරුම් ගන්න පුලුවන් මෙයාගෙ පහරවල තියන වේගය.
  • ඩොමිනික් කෘස්– ජීවිතේටම දෙපාරයි පැරදිලා තියෙන්නෙ මෙයත්. එක පාරක් ගහලා එකම තැනක ඉන්නෙ නැතිව පනින අමුතු ස්ටයිල් එකක් තියෙන්නේ. ආබාධයක් නිසා තමන්ගේ ශූරතාවය අත ඇරල දිගු කාලයක් ඉන්න උනා. හැබැයි ආපු ගමන් ආපහු තමන්ගේ ශූරතාවය ඩැහැගන්නට සමත් උනා. මේ වෙද්දි නම් ශූරතාවය අහිමි වෙලා. ඒ උනත් ඩොමිනික් කෘස් කියන්නෙ බැන්ටම්වේට් බර පන්තියෙ ඉන්න හොඳම ක්‍රීඩකයෙක් කියන එක අවිවාදයෙන් යුතුව පිළිගන්න වෙනව.
  • මැක්ස් හොලවේ– පෙනුමෙන් කැහැටු හාදයෙක් උනාට මේ දවස්වල බලන් ඉද්දි දියුණු වෙන ක්‍රීඩකයෙක් හැටියට හඳුන්වන්න පුලුවන්. මැච් 10ක් විතර එක දිගට දිනල ලොකු වැඩකාරයන්ටත් නෙලලා තමයි ඉන්නෙ. ඉස්සරහදි තව වැඩ පෙන්නන්න ඉඩ තියනවා.
  • නේට් ඩියෙස්– කොනර් මැග්‍රෙගර්ට UFC එක ඇතුලෙ ගහපු එකම පොර තමයි මෙයා. ටිකක් විතර පඩත්තල ගති ලක්ෂණ තියනවා කියන්න පුලුවන්. ඒත් බොක්සින් ආභාෂය ලබපු දක්ෂ ක්‍රීඩකයෙක්. මෙයාගෙ සහෝදරය වන නික් ඩියෙසුත් මේ වගේම දක්ෂයි

 

8. හොඳම ෆයිට්
UFC 101

Source – wallpapercave.com

හොඳ වැඩ්ඩො ටිකක් අඳුනගත්ත එකේ අපි දැන් බලමු එතෙක් මෙතෙක් තිබ්බ හොඳම ෆයිට් එහෙම මොනවද කියල.

 

ෆොරස්ට් ග්‍රිෆින් Vs. ස්ටීවන් බොනාර්

UFC එක ප්‍රධාන ධාරාවට එක් කරපු, මිලියන ගානක් රසිකයෝ ඇති කරපු සටන හැටියටයි මේක හැඳින්වෙන්නේ. හොඳ සටන් කරුවන් තේරීම සඳහා පවත්වපු The Ultimate Fighter කියන රියැලිටි තරඟයේ පලමු අදියරේ අවසාන මහා සටන හැටියටයි මේ සටන පැවැත්වුනේ. ඉතාම උද්වේගකර විදිහට ගිය මේ සටන අවසානෙදි රූපවාහිනිය ඔස්සේ මිලියන ගණනක් මේක නරඹල තිබුණා. UFC එක අද ඉන්න තත්ත්වෙට පාර කපපු මැච් කිහිපෙන් එකක්.

 

මාක් හන්ට් Vs. ඇන්ටෝනියෝ සිල්වා

මාක් හන්ට් කියන්නෙ UFC එක ඇතුලෙ හුඟක් හෙවිවේට්ස්ලව බය කරගෙන ඉන්න චරිතයක්. ඒකට එක හේතුවක් තමයි එයාට නියම චින් (Chin) එකක් තිබීම. තේරෙන බාසාවෙන් කියනවනම් මෙයාව නොකවුට් කරන්න අමාරුයි කොච්චර ගැහුවත්. බ්‍රසීල ජාතික ඇන්ටෝනියෝ සිල්වාත් එක්ක මාක් හන්ට් සටන් කරපු මේ හෙවිවේට් මැච් එක එතෙක් මෙතෙක් පවත්වපු හොඳම හෙවිවේට් සටනක් කියල කියන්න පුලුවන්.

 

කබ් ස්වාන්සන් Vs. ඩූ හෝ චොයි

මේ අවුරුද්දේ පැවති සටන් අතරින් හොඳම සටන කියල හඳුන්වන්න පුලුවන් මේ සටන. ඩූ හෝ චොයිව හඳුන්වන්නෙ කොරියන් වන්ඩර් කිඩ් කියන අනවරත නමින්. ඒ තරම් දක්ෂ තරුණ සටන් කරුවෙක්. නමුත් කබ් ස්වාන්සන් එක්ක තියන තරඟය එයාට හිතපු තරම් ලේසි වෙන්නේ නෑ. දෙන්නාම පරාජයේ අබියසට කීප වතාවක්ම ගිහින් ඒත් බේරෙමින් සටන් කරපු විශිෂ්ට සටනක්.

 

තවත් හොඳම ඒවා 10ක්

 

9. ඇයි මේක මාර ස්පෝට් එකක් වෙන්නේ හෙවත් ඇයි UFC බලන්න ඕනෙ?
UFC 101

Source – ufc.tv

  • UFC ඉතින් ඇත්තට ගහගැනිලි තමයි තියෙන්නේ. ෆයිට් එකක් ප්‍රමෝට් කරන්න පොඩි ස්ක්‍රිප්ටඩ් කෑලි තියෙන්න පුලුවන්. ඒත් සටන් සැබෑවටමයි සිද්ද වෙන්නෙ
  • ඉස්සර වගේ නෙමෙයි දැන් දැන් හැම ක්‍රීඩකයෙක්ම වගේ සටන් සම්ප්‍රදායන් කිහිපයක්ම හදාරලයි මේ සටන් වලට අවතීර්ණ වෙලා ඉන්නෙ. ඒ නිසා සටනක තියන ගතිය වැඩියි.
  • බලාගෙන යද්දි නෝට් වෙන, ඉගෙන ගන්න පුලුවන් දේවල් ගොඩක් තියනවා. උදාහරණෙකට මුලදි නිකම්ම අතපය විසි කරනවා බිම පෙරලෙනවා වගේ පෙනුනට කාලයක් යද්දි ෆයිට් එකක් බලනකොට අපිටත් තේරෙනවා දැන් මේ විදිහෙ පාරක් ගැහුවොත් හොඳයි මේ විදිහෙ මූව් එකකට ගියොත් හොඳයි කියලා.
  • අවිනිශ්චිතතාවය උපරිමයි! මේක තමයි මූලික කාරණේ. කොයිතරම් සටන් ශිල්ප කෙළ පැමිණි තදයෙක්ට උනත් තප්පරේක මිස් එකකදි පාරක් වැදිල දොයියබබා වෙන්න ඉඩ තියනවා.
  • හොලිවුඩ් නිලියො වගේ ලස්සන කෙල්ලො, කඩවසම් කොල්ලො එහෙමත් ෆයිට් කරනවා ☺
  • රෙස්ලිං වල වගේ අපිට බලෙන් කවන ස්ටෝරි ලයින් ගිල ගිල ඉන්න ඕනෙ නෑ. එක ඉවෙන්ට් එකක් ඉවර උන ගමන් අපේ හිතේ ඉබේම ඉදිරි සටන් ලයිස්තුවක් හැදෙනවා. ඒ ඩ්‍රීම් ෆයිට් වැටෙනකම් බලන් ඉන්න එකත් හරි ආතල්
  • බැලූ බැල්මට අමනුස්ස සෙල්ලමක් වගේ පෙනුනට මේ ක්‍රීඩකයො අතර සෑහෙන අවබෝධයක් සහ බැඳීමක් තියනවා. ලේ පෙරෙනකම් මරාගෙන සීනුව නාද උන ගමන් එකිනෙකා වැළඳගන්නවා. ගහන්න උස්සපු අත පහත හෙලනවා. මේ දේවල් වලට පිටින හයිරම් දාන්න යන උදවිය ඉබේම හැලෙනවා, නැත්නම් ඉවත් කරනවා.

 

10. කොහොමද බලන්නෙ?
UFC 101

Source – youtube.com, wikipedia.org, azeemsheikh.com

පැරණි තරඟ එහෙම බලනවානම් ඒකට හොඳම තැනක් තමයි Youtube එක කියන්නෙ. මේ ක්‍රීඩාව සහ UFC එක ගැන දැනගන්න ඒක තමයි අංක එකේ ක්‍රමය. UFC යූටියුබ් චැනලය ඒ සඳහා හොඳ තෝතැන්නක්. අපේ අනිවා වගේ ලිස්ට් එක්ක දැනුම ලබාගන්න ක්‍රමේට ඔයාල කැමතිනම් The Montageking MMA චැනලයත් ඒකට කියාපු තැනක්.

සජීවී තරඟ නරඹන්නනම් ඩයලොග්, පියෝ ටීවී වැනි කේබල් සම්බන්ධතාවයක් හරහා තමයි මේ තරඟ බලන්නට වෙන්නෙ. සෝනි කික්ස් (Sony Kix) සහ සෝනි ඊ.එස්.පී.එන් (Sony ESPN) කියන චැනල් වලින් මේවා නරඹන්න පුලුවන්. අමෙරිකානු වෙලාවට අනුව මේ ඉවෙන්ට්ස් පැවැත්වෙන නිසා අපේ වෙලාවෙන් උදේ 7.30, 8.30 වගේ වෙලාවට තමයි මේ තරඟ පැවැත්වෙන්නේ. මාසෙකට කිහිප වතාවක්ම මේ ඉවෙන්ට්ස් පැවැත්වෙනවා. වෙලාවේ ප්‍රශ්නය නිසා හීනියට බියර් එකක් තොල ගාමින් බලනවා වෙනුවට තේ කෝපි කෝප්පයක් රසවිඳින ගමන් බලන්න වෙන එක තමයි ඉතින් එකම අවුල් කාරණයකට තියෙන්නෙ.

 

11. අවසාන වශයෙන්- ලංකාවෙ MMA සීන් එක
UFC 101

Source – facebook.com/brawlmmasrilanka

UFC ෆයිට් එකක් දෙකක් බලල මේකෙ ලෝලියෙක් වෙලා ටික කාලයක් ගිහාම අතක් පයක් විසි කරල පොඩි හෝල්ඩ්ස් දෙක තුනක් අල්ලල අතේ පයේ හිරි ඇරගන්න හිතෙන එක සාමාන්‍යයි. හැබැයි එහෙම කියලා අත පය විසි කරන්න යන්න නම් එපා. තමන්ට ආසාවක් තියනවනම් මේ ගැන මුලින් අධ්‍යයනයක් කරල ඉන්න එක තමයි වටින්නෙ. මොකද මික්ස්ඩ් මාෂල් ආටිස්ට් කෙනෙක් කියන්නෙ නිකම්ම නිකන් අත පය විසි කරල ගුස්ති අල්ලන හාදයෙක් නෙමෙයි.

ලංකාවේ කාලෙකට ඉහතදී මේ වගේ ෆයිටින් ඉවෙන්ට්ස් පැවතුනා කලම්බු ෆයිට් නයිට් නමින්. මේ දිනවල නම් එහෙම තරඟාවලි ගැන ආරංචියක් සොයාගන්නට අපට හැකිඋනේ නැහැ. ඔබට මේ සටන් ක්‍රම අධ්‍යයනය කරන්න කැමැත්තක් තියනවානම් ඒ සඳහා ලංකාවේ තියන හොඳම තැන් දෙකක් තමයි Brawl MMA Sri Lanka සහ CFC කියන ආයතන දෙක.

 


 
Cover Image Source – themmacorner.com, wallpapercave.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid