ලංකාවේ සූදු ඉතිහාසය සහ කැසිනෝ වර්තමානය ගැන කරුණු 7 ක්

 

සාමාන්‍යයෙන් තාමත් මංගල දැන්වීම් වල ගෑණු ළමයින්ගේ අම්මලා හොයන්නෙත්, පිරිමි ළමයින්ගේ අම්මලා පුතාල ගැන කියන්නෙත් “සුරා සූදුවෙන් තොර පුතෙක්” කියලනේ. ඕක අපිට නිකං විහිළු වගේ පෙනුණත් ඇත්තටම එතන ලොකු සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ රස්සාවට බොන සහ රස්සාවට සූදු කෙළින එකෙක්ගෙන් අනාගතයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම එකෙක් ජීවිතේ මාර වෙනසක් වෙලා හැදුණොත් මිසක් නැත්තං තමන්ගේ දේපළ විතරක් නෙවෙයි, ගෑණිගේ කණකරත් උගස් තියලා, අන්තිමට සමහර වෙලාවට ගෑණිවත් විකුණලා තමයි පස්ස බලන්නේ. මේවා අපි අහලා නැති කතන්දර නෙවෙයිනේ.

ඇත්තටම සූදුවක් කියන්නේ මොකද්ද කියන එක ගැන වැඩි දෙනෙක්ට හරි අවබෝධයක් නෑ. සමහර මල්ලිලා එහෙම ඉන්නවා මළ ගෙදරක නයිටක් ගහන්න සෙට් වුනහම ඕමි අතක් බලන්න එන්නෙ නෑ “අපෝ සූදු සෙල්ලං කරන්න එපා කියලා අම්මා කියනවා” කියලා. ඉතින් ඒ වගේ මල්ලිලගේ දැනගැනීමට මේ කියන්නේ. සූදුවක් කියන්නේ හැමවෙලාවකම සල්ලි ඔට්‍ටුවට තියලා කරන ඕනම ක්‍රීඩාවක්. ඒ කියන්නේ සල්ලි ඔට්‍ටුවට තියලා තාච්චි පැන්නත්, පංච දැම්මත් ඒකත් සූදුවක් තමයි. අනික් අතට ඕන නං සල්ලි ඔට්‍ටු තියන්නෙ නැතුව පෝකර් වගේ ක්‍රීඩාවක් කරන්නත් කිසිම තහනමක් නෑ. හැබැයි ප්‍රශ්නේ මේකයි. සූදුවක තියෙන ත්‍රිල් එක තියෙන්නේම ඒකට සල්ලි හෝ සල්ලි වටිනාකමට සෙට් වෙන ඔට්‍ටුවක් තිබ්බහමයි. ඒ කියන්නේ තමන්ට දිනාගන්න වටිනා දෙයක් තියෙනවා කියන අදහසත් එක්ක තමයි මිනිස්සු සූදුවට ආස වෙන්නේ. පරදින්න පරදින්න වුනත් දිනන්න චාන්ස් එකක් තියෙනවා කියන හැඟීම එක්ක තමයි මිනිස්සු සූදුවට ඇබ්බැහි වෙන්නේ. තව හේතු තියෙනවා.

දැන් සූදුව කියලා කිව්වහම අලුතෙන්ම ආපු ‍රැල්ල තමයි කැසිනෝ විරෝධය. දැන් නං එහෙම විරෝධයක් තියෙනවද කියලා හොයාගන්නත් නෑ. මේ ලංකාවේ එදා ඉඳන් අද වෙනකල් සූදු කෙළි ගැන කරුණු හතක්.

 

1. කවුද ලෝකේ මුලින්ම සූදු කෙලියේ?
Gambling in SL
Source – neatorama.com

මිනිස්සු දන්න කාලේ ඉඳලා සූදු කෙළලා තියෙනවා හිටං! දැන් ඔය ක්‍රිස්තු පූර්ව 2300 වගේ කාලේත් චීනෙ තිබ්බය කියනවනේ කැට වලින් කරපු ලොත‍රැයි වගේ සීන් එකක්. එතකොට ක්‍රිස්තු පූර්ව 500 වගේ කාලේ හිටපු සොෆොක්ලීස් ගොය්යා ලියනවා අර එයාගේ ඉලියඩ් පොතේ සූදු සීන් එකක් ගැන. ට්‍රෝයි නගරෙට ගහන්න ග්‍රීකයෝ යන අතරේ එක වීරයෙක්ලු දාදු කැට නිර්මාණය කලේ. ඕකෙ ඇත්ත නැත්ත කෝක වුනත් දාදු කැට කියලා දෙයක් ගැන දැනගෙන හිටියා කියලා පැහැදිලි වෙනවනේ මචං. චීනේ කාඩ් සෙල්ලං, ඉතාලියේ සහ ප්‍රංසයේ බැක‍රැට්, ස්පාඤ්ඤේ බ්ලැක්ජැක් වගේ මිනිස් ඉතිහාසේ දිගේම සූදු සෙල්ලං ගැන ඉතිහාස පොතේ සඳහන් වෙනවා.

හැබැයි පොතේ හැටියට කැසිනෝ එකක් කියන්න පුලුවන් පළවෙනිම පොට් එක නිර්මාණය වෙන්නේ ඉතාලියේදී. ඒ 17 වන සියවසේ මුලම. හැබැයි 19 වෙනි සියවස වෙනකොට යුරෝපෙ පුරාම කැසිනෝ ශාලා විවෘත වෙන්න පටන් ගන්නවා. දැන් ඇමරිකාවේ එහෙම අපිට ලාස් වේගාස් කියද්දිම මතක් වෙන්නේ සුපිරි කැසිනෝ පොට් නේ!

 

2. කුකුල්ලු කොටවලා තමයි අපි පටං ගත්තෙ හිටං!
Gambling in SL
Source – thinglink.com

කැසිනෝ ගැන කියන්න කලින් ලංකාවේ එදා ඉඳන් තිබ්බ වෙන වෙන සූදු ගැනත් පොඩ්ඩක් කියන්න වෙනවනේ. කුකුල්ලු කොටවන එකෙන් පටන් ගමු. කුකුල්ලු කෙටවීම අපි තාම ඔය මෙක්සිකෝව, බ්‍රසීලේ වගේ රටවල් පදනම් කරගත්තු ‍ෆිල්ම් වල එහෙම දකිනවනේ. හැබැයි ලංකාවෙත් සරුවට කෙරුණු සූදුවක් තමයි කුකුල්ලු කෙටවීම. ඔය ඩබ්ලියු.ඒ. සිල්වගේ පොත් වල එහෙම තියෙනවා ගංතුලානේ කුකුළු කොටවන හොර පොට් ගැන. හැබැයි මේක ලංකාවේ එක කාලයක ක්‍රීඩාවක් වෙලාලු තිබුණේ. පස්සෙ කාලෙකලු සූදුවක් වුනේ. දැන් වෙන්නේ මොකද්ද කියන එක තේරෙනවනේ. එක්කෝ තමන්ගේ කුකුලෙක්ව දානවා පොරේට. පොර කුකුල්ලු කියන්නේ අර කකුල් වල පොර ක‍ටු හොඳට උල්ව තියෙන කුකුළු නාම්බන්ටනේ. ඒ කාලේ පොරේට යවන්නම ඇති දැඩි කරන කුකුලන්ගේ මේ පොර ක‍ටු පීරි ගාලා උල් කරනවලු. දැන් එකෙක් මැරෙනකල් කුකුල්ලු දෙන්නා ගහගන්නවා, ඇණගන්නවා. වටේ ඉන්න එවුන් දිනන්නේ මොන කුකුලද කියලා ඔට්‍ටු අල්ලනවා. කතාවට කියන්නේ සමහර වෙලාවට ඉඩකඩම් පවා කුකුල්ලු කොටවන්න ගිහින් ඔට්‍ටු අල්ලනවා කියලා තමයි. ඕක තමා කෙළිය.

හැබැයි දැන් එහෙමනං කුකුල්ලු කොටවන්න යන්න හිතන්නවත් එපා පුතාලා. ඒක සත්ව හිංසාවක්. කොහොම වුනත් තාමත් ලංකාවේ හොර රහසේ කුකුල්ලු කොටවන සූදු ක්‍රියාත්මක වෙනවා කිව්වොත් පිළිගන්නවද?

 

3. ඔන්න බූරුවා, මෙන්න බූරුවා!
Gambling in SL
Source – traveljournals.net

බූරුවා ගැහිල්ල තමයි ලංකාවේ ගොඩක් දෙනා ලෙසටම දන්න සූදු කෙළිය. සමහර වෙලාවට සල්ලි ඔට්‍ටුවට ඕමි ගහන තැනුත් තියෙනවා. හැබැයි කාඩ් සූදුවක් විදියට දරුණුවට ප්‍රචලිත වෙලා තියෙන්නේ බූරු ගැහිල්ල තමයි.

ඉස්සර බූරුවා ගැහිල්ල තුන්විදියකට ක්‍රියාත්මක වෙලා තියෙනවා. එකක් තමයි ඔය ගම් වල ලඳු කැලෑ අස්සේ හදාගත්තු පර්මනන්ට් බූරු පිටි. මේ තැන්වල මල්ලේ දාගෙන අරක්කු විකුණන අය පවා ඉන්නවා. බූරු පිටිය කරවන කෙනා ‍තෝන් ගන්න අතරතුරේදී අනික් අය දිවා රෑ නැතුව බූරු ගහනවා. ඒ කාලේ බූරු කප්පිත්තන්ට නං වැ‍ටුනෙත් “බූරු සෝමේ”, “වල් හේරා” වගේ කාඩ් කුට්ටමටම සම්බන්ධව තමයි.

තවත් බූරු ගහන සීන් එකක් තමයි හදිසි බූරු පිටි. මේවා ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ මළ ගෙවල් වල. ඒ කියන්නේ දැන් ඔය නයිට ගහනකොට අපි කොල්ලෝ කැරම් ගහනවා, ඕමි ගහනවා වගේ කවුරු හරි මැරුණු ගමන් එතන පටන් ගන්නේ බූරු පිටිය. පොලිසියෙන් පනින්නෙත් නෑනේ මළ ගෙදරකට. මේවා ගොඩක් වෙලාවට හදිසියෙන් පටන් අරන් දඩබඩ ගාලා ඉවර වෙන ජංගම බූරු පොළවල් තමයි.

තුන්වෙනියට කියන්න යන බූරු ගැහිල්ල තමයි සිරාම සිද්ධිය. දැන් කාලේ කැසිනෝ වගේම ඉස්සර නගරබදව මහා පරිමාණෙන් තමයි මේ විදියේ බූරු පිටි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ෆුල් සිකුරිටි තියෙන ලක්ෂරි පන්නේ පොට් එකක, නගරේ සුපිරිම සල්ලිකාරයෝ එක්ක තමයි මේ බූරු පිටි දිව්වේ. මේ තැන්වල විස්කි බ්‍රැන්ඩි වගේ ඒ කාලේ හැටියට සුපිරි මත්පැන් විතරක් නෙවෙයි, ගත හිත පිනවන ගෑල්ලමයි වුනත් හිටියා කියලා කියනවා. සමහර වෙලාවට පොලිසියටත් ගාණක් දීලමලු මේ වගේ සුපිරි බූරු පිටි පවත්වාගෙන ගියේ. අහලා තියෙනවනේ නෙයිනගෙ සූදුව ගැන එහෙම?

කැසිනෝ මොනවද මචං මේවා එක්ක බලද්දි!





 

4. ඊට පස්සේ රේස් බයි රේස්!
Gambling in SL
Source – losalamitos.com

ඇත්තටම ලංකාවේ ඉහළ පංතියේ සහ මධ්‍යම පංතියේ මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්න සූදුව මේක තමයි. තුරඟ තරඟ වලට ඔට්‍ටු ඇල්ලීම. මේකත් අද ඊයේ පටන් ගත්තු සීන් එකක් නෙවෙයි. හැබැයි ඉතින් රේස් බයි වලට ඇබ්බැහි වුණු සෑහෙන්න දෙනෙක් ඉඩකඩම් වස්තු පවා අහිමිකරගෙන තියෙනවා කියන්නෙත් බොරුවක් නෙවෙයි.

සාමාන්‍යයෙන් දැන් ඕනෙම නගරයක ස්පෝටින්ග් ටයිම්ස් කියලා අර කොළ පාටට ලෝගෝ එකක් ගහපු රේස් පොට් තියෙනවනේ. මේවලත් ගිහින් පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාලා අස්සයන්ට ඔට්‍ටු අල්ලන්න පුලුවන්. හැබැයි රේස් බයි රේස් වලට කප් ගහපු කප්පිත්තෝ ඉන්නවා ආය අස්සයගෙ පැටිකිරිය විතරක් නෙවෙයි, ජොකියොන්ගෙ පවුල් වගතුග හිටං කියන්න දන්න. මේ කට්ටිය ඔට්‍ටු අල්ලන්නෙත් ඔය දැනුමත් එක්ක තමයි. මේ ප්‍රධාන රේස් බුකි වගේම ඒවල උප රේස් බුකි එහෙමත් රට පුරාව සෑහෙන්න ක්‍රියාත්මකයි.

දැන් අපි දන්නවනේ ක්‍රිකට් වලට එහෙමත් ඔට්‍ටු අල්ලන එක සෑහෙන්න ප්‍රසිද්ධ රහසක් කියලා. ඒක කොයි තරම් දුර දිග ගිහින් තියෙනවද කියනවා නං මැච් ‍ෆික්ස් කරනවා කියලා කියන ක්‍රිකට් තරගෙන දිනුම පැරදුම ඔට්‍ටු කාරයෝ තීරණය කිරීමත් ජයටම වෙනවා කියලා තමයි කියන්නේ. ඔය ක්‍රීඩකයෝ මැච් පරදින්න අල්ලස් අරං මාට්‍ටු කියලා එහෙම නිව්ස් ගියේ ඕවා ගැන තමා.

 

5. කැසිනෝ නං සුපිරියට තියෙන්න ඕන බ්‍රෝ!
Gambling in SL
Source – traveltriangle.com

මෙන්න මාතෘකාව. ඔය ගොඩක් දෙනා කැසිනෝ ගහන්න යනවය කියලා කිව්වට ඇත්තටම කැසිනෝ කියන්නේ ක්‍රීඩාවක් නැතිනං සූදුවක් නෙවෙයි. කැසිනෝ කියන්නේ සූදු ක්‍රීඩා ක්‍රියාත්මක වෙන පරිශ්‍රයට. ඒ කියන්නේ කැසිනෝ හලක් ඇතුළේ තමයි විවිධ සූදු ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍යයෙන් කැසිනෝ එකක පෝකර්, බැක‍රැට්, බ්ලැක් ජැක්, රූලෙට් වගේ නොයෙකුත් ක්‍රීඩා ක්‍රියාත්මක වෙනවා. එතකොට මත්පැන්, සුන්දර යුවතියෝ එහෙමත් අඩු නැතුව ඉන්නවා.

දැන් ඉස්සර ඉඳන් තිබුණු සූදුවක් තමයි ජැක්පොට් කියන්නේ. එක කාලයක් තිබ්බා ඔය දවල්ට කන්න යන හෝටල් වලත් පැත්තක ජැක්පොට් මැෂින් හයි කරලා තිබුණු. හැබැයි ඉන් පස්සේ ජැක්පොට් සූදුව තහනම් වුනා.

ඔට්‍ටු සහ සූදු මුල් පනත කාලෙන් කාලෙට වෙනස් වුනා. දැන් තියෙන්නේ කැසිනෝ ව්‍යාපාර නියාමන පනත. මේකේ හැටියට කවුරුහරි කැසිනෝ එකක් අරිනවා නං ඒකට නීත්‍යානුකූල බලපත්‍රයක් ගන්නත් ඕන, ඒක නිකුත් කරන්න පුලුවන් බලය තියෙන්නේ ඇමතිවරයා අතේ. ඒ විතරක් නෙවෙයි, කැසිනෝ පොට් එක අරින්න පුලුවන් ප්‍රදේශය නිර්දේශ කරන්නත් ඇමතිවරයාට පුලුවන්. කවුරුහරි ලයිසන් එක ගන්නෙ නැතුව හොරාට කැසිනෝ එකක් කරගෙන යනවා කියන්නේ උසාවි දාන්න පුලුවන් වරදක්. එතනින් එක්කෝ අවුරුදු 5 ක සිර දඬුවම් හරි, ලක්ෂ 50 ක දඩයක් හරි මේ දෙකම හරි පනවන්න පුලුවන්.

ලංකාවේ දැනටත් කැසිනෝහල් ක්‍රියාත්මකයි. හැබැයි පහුගිය කාලේ මහාපරිමාණ විරෝධයක් ජනතාවගෙන් මතුවුනේ ජේම්ස් පැකර් වගේ ජාත්‍යන්තර කැසිනෝ කුවේරයෝ ලංකාවට ඇවිත්, ලංකාව කෙලින්ම ලොස් ඇන්ජලීස් ටයිප් එකේ කැසිනෝ අගනුවරක් බවට පත් කරන්න උත්සාහ කලා කියන එකත් එක්ක තමා. ඒ එක්කම රජයට චෝදනා එල්ල වුනේ කැසිනෝ වෙනුවෙන් බදු සහන ලබාදෙනවා කියලා.

ලංකාවේ තියෙන කැසිනෝ ගැන කතා කරනවා නං උඩින්ම ඉන්නේ බේලීස් කලම්බෝ, බෙලාජියෝ එන්ටර්ටේන්මන්ට් ශ්‍රි ලංකා වගේ කැසිනෝ අයිති ධම්මික පෙරේරාත්, කැසිනෝ මැරීනා කලම්බෝ අයිති රවි විජේරත්නත්, ස්ටාර්ඩස්ට් කැසිනෝ එක කරන රෑන්ක් එන්ටර්ටේන්මන්ට් එකත් තමයි. ක්‍රවුන් ශ්‍රී ලංකා කියන්නේ බේරේ වැව ඉවුරේ හදන්න යෝජනා වුණු තට්‍ටු 38, ඩොලර් මිලියන 450 සුපිරි කැසිනෝ සංකීර්ණය තමයි. මේක කැන්සල් වුනත් නොබෝ අනාගතේදී කොළඹ සම්පූර්ණ වෙනසකට බඳුන් වෙන සුපිරි සංකීර්ණයන් එක්ක ආයෙමත් අලුතින් කැසිනෝ සංකීර්ණ එන්න ඉඩ නැහැයි කියන්න බෑ.

 

6. ලංකාවේ කැසිනෝ ඉතිහාසේ පැත්තට ගිහින් එමු
Gambling in SL
Source – makemytrip.com

කෙලින්ම කිව්වොත් ලංකාවේ කැසිනෝ නීතිවිරෝධියි. හැබැයි විනෝද වෙන්න පුලුවන් ක්ලබ් එකක් එහෙම ඇරියට කමක් නෑ. අන්න ඒ විදියට තමයි කැසිනෝ ෂේප් කරලා තියෙන්නේ. හැබැයි ලංකාවේ දැනට තියෙන්නේ කොළඹ තියෙන කැසිනෝ තුන හතරක් වුනාට, කැසිනෝ සම්බන්ධයෙන් ලංකාවට ලස්සන අතීතෙකුත් තිබිලා තියෙනවා.

මුබාරක් තාහා කියලා කෙනෙක් කරගෙන ගියාලු ‘Colombo Recreation Club’ කියලා එකක්, ඒ ෂෝ මෑන් කෙනෙක් වුණු ඩොනවන් ඇන්ඩෘ එක්ක. පස්සේ මුබාරක් තමන්ගේ බෑණත් එක්ක “ඇට්ලැන්ටා” ක්ලබ් එක ඇරියලු. මේක ප්‍රධාන වශයෙන්ම කාඩ් ගේම් වලින් ගේම ගෙනියපු ගේමින්ග් ක්ලබ් එකක්. ඒ විතරක් නෙවෙයි, එංගලන්තේ තිබුණු අස්ව රේස් වලට මෙහේ ඔට්‍ටු අල්ලන සීන් එකත් මෙතන සුපිරියට කෙරිලා තියෙනවා. හැබැයි මුබාරක් ලොක්කගේ නරක වෙලාවට සිරිමාවෝ සහ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ගෙනාපු දැඩි නීති එක්ක මුබාරක් තාහාට නඩු පැවරුනා. ක්ලබ් එක ඉවරයි.

ඉන් පස්සෙ අහන්න ලැබෙන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ චක් ගෝලයෙක් වෙච්ච ඇලෝසියස් මුදලාලි ජනාධිපති මාවතේ මහ බැංකුවට ඉස්සරහපිට ඇරපු කැසිනෝ එක ගැන. මේක ඇමරිකන් මැනේජර්ලා එක්ක පොතේ හැටියට හරියට කරගෙන ගියපු කැසිනෝ එකක්.

ඉන් පස්සේ නලින් ෆොන්සේකා, ජෝ සිම්, විජේරත්න සහෝදරයෝ සහ පෙරේරා පවුල කැසිනෝ සීන් එකට එන්ටර් වෙනවා. හැබැයි ප්‍රේමදාස ජනාධිපති කැසිනෝ ඔක්කොම නවත්තන්න නියෝග කරපු එකෙන් මෙතන සමහරු හැලෙනවා.

වර්තමානය ගත්තොත් එම්.ජී.එම් සහ ස්ටාර් ඩස්ට් කියන්නේ ලංකාවේ තියෙන පරණම කැසිනෝ දෙක.

 

7. ලංකාවට කැසිනෝ හොඳද නරකද?
Gambling in SL
Source – calvinayre.com

රජයෙන් කැසිනෝ වලට බදු සහන දීලා තිබුණත් රජයෙන් කියන්නේ “ශ්‍රී ලාංකිකයින්ට කැසිනෝ තහනම් කරනවා” කියලා තමයි. එතකොට විදේශිකයන්ට වුනත් අවුරුදු 18 ට හරි 21 ට හරි අඩු නම් කැසිනෝ හල් වලට ඇතුළු වෙන්න බෑ කියලා නීති පණවනවා කියලත් අහන්න ලැබෙනවා. දැන් සීන් එක මේකයි. ගොඩක් දෙනා කැසිනෝ වල හොඳ පැත්ත සහ නරක පැත්ත ගැන තර්ක විතර්ක ගෙන එනවා. හැබැයි ඒ තර්ක විතර්ක බොහෝමයක් දේශපාලන මුහුණුවරක් එක්ක එනවා කියන එකත් අමතක කරන්න බෑ.

ලංකාව ඇතුළේ ජාත්‍යන්තර සුපිරි කැසිනෝ සංකීර්ණයන් ඇති කරනවාට පක්ෂව තියෙන ප්‍රධානතම කාරණාව තමයි මේකෙන් සංචාරක ව්‍යාපාරයට වෙන දියුණුව සහ රජයට ලැබෙන ආදායම. ඒ කියන්නේ කැසිනෝ වලටම වෙන් වුණු සංචාරක පිරිසක් ලෝකේ ඉන්නවනේ. ඔය ලාස් වේගාස්, එතකොට තායිලන්තෙට යන්නේ සූදු කෙළින්නම. අන්න ඒ අය. මේ සංචාරකයෝ අනිවා සුපිරි සල්ලිකාරයෝ කියන එකත් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

හැබැයි කැසිනෝ ව්‍යාපාර මේ විදියට මහා පරිමාණෙන් ඇතිකරනවාට විරුද්ධව ගෙනාපු පළවෙනිම තර්කය තමයි ලංකාවේ මිනිස්සුන්ට තව කෙළවෙන පොටක් අඳුන්වලා දෙන්න යනවා කියන එක. අහල ඇතිනේ සක්විති රණසිංහට එහෙම බඩු බනිස් වුනේ කැසිනෝ හින්දය කියන එක. ඉතින් එහෙමත් තියෙනකොට තව කැසිනෝ අඳුන්වලා දුන්නොත් මොකකින් මොකක් වෙයිද කියලා ගොඩක් දෙනෙක් ඇහුවා. ඒකට උත්තරේ වුනේ ශ්‍රී ලාංකිකයන්ට මේ කැසිනෝ තහනම්ය කියන එක. එතකොට තව මතයක් ඉදිරිපත් වුනා, මේ සුපිරි කැසිනෝ සංකීර්ණ එක්ක අනිවා නිර්මාණය වන ලිංගික ශ්‍රමික වෙළෙඳපොළ සහ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ ගැන මොකද කියන්නේ කියලා. ඒකටත් රජයෙන් ලැබුණු උත්තරේ වුනේ ඒ දේවල් අනිවා දැඩි පාලනයකට ලක් කෙරෙනවා කියන එක තමයි. හැබැයි ප්‍රායෝගික පැත්ත සලකලා බැලුවොත් ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. සුපිරි කැසිනෝ සංකීර්ණයකට එන මනුස්සයෙක් බලාපොරොත්තු වෙන්නේ සූදු කෙළලා යන එකම නෙවෙයි. ඉතින් එතකොට ඔය අනික්වාත් හොරෙන් හරි නීත්‍යානුකූලව හරි දෙන්නම වෙනවනේ මචං.

අන්තිමට අනිවා අපිට කියන්න තියෙන්නේ මේකයි. අපි කැසිනෝ හොඳද නරකද කියලා නිර්වචන දෙන්න යන්නෙ නෑ. ලෝකේ ධනවත් රටවල වුනත් සූදු කෙලින එක පුලුවන් තරම් පාලනය කරන්න උත්සාහ දරණවා කියලත් කියන්න ඕන. ඒක ඇත්තටම අපිටත් හොඳ පාඩමක් විදියට ගන්න පුලුවන්. හැබැයි අපිට පේන දේ තමයි අනාගත ලංකාවේ ඕවා වළක්වන්න පුලුවන් දේවලුත් නෙවෙයි කියන එක. ඕන්න කිව්වා!

 

 

අනිවා Glorious Arts & Culture Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required




 
Cover Image Source – droidhorizon.com