ගෑණු ළමයගේ හිත පිරෙන ඩේට් අවුට් එකක් ප්ලෑන් කරන්නේ මෙන්න මෙහෙමයි

සාමාන්‍යයෙන් වෙන්නේ ගෑණු ළමයා “හෙට හමුවෙමුද අපී” ඇහුවහම “හාං” කියලා හෙට ඔහේ ගිහින් ලඟම තියෙන තැනකින් කාලා නැත්තං කතා කර කර ඉඳලා එන එකනේ. ඩේට් අවුට් එකක් කියලා කිව්වත් වෙන්නේ ඔය ටික තමයි. හැබැයි ඩේට් අවුට් එකක් කියන්නේ එහෙම කඹේ කඩාගත්තු හරකා වගේ කෙල්ල මුණගැහෙන්න දුවගෙන යන්නෙ නැතුව ආට් එකට කරන්න ඕන වැඩක්. හරි එකේ ඉඳන් පටන් ගමු ඩේට් අවුට් එක ප්ලෑන් කරන්න.

 

1. ප්ලෑන් කරන එකත් ප්ලෑනේ කොටසක්
First Date Planning
Source – spotsfordates.com

දැන් සාමාන්‍යයෙන් ගත්තහම ගෑණු ළමයි කැමතියි හම්බුනාට පස්සේ අපි අද මොනවද කරන්නේ කියලා කෙල්ලගෙන් අහන්නෙ නැතුව ඒ ගැන කලින්ම තීරණයක් ගන්න හැකියාව තියෙන කොල්ලෙක්ට. හැබැයි තමන්ගේ කැමැත්ත අකමැත්ත ගැන තුට්‍ටුවකට මායිම් නොකර තමන් කැමති දෙයක් ඩේට් අවුට් එකට කරන්න තීරණ ගන්න කොල්ලෙක්ට කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ. දැන් තේරුණානේ වැඩේ ලේසි නැහැයි කියලා.

ප්ලෑන් කරන්න පටන් ගන්න ඕන ගෑල්ලමයා කැමති දේවල් ඔලුවේ තියාගෙන. උදාහරණයක් විදියට පීසා කන්න කෙල්ල කැමති නැත්තං, මං කැමතියි ‍තෝසෙ කන්න කියලා ශාන්ති විහාර් ඇදගෙන යන්න එපා කෙල්ලව. එතකොට විහාරමහාදේවි පාක් එකට ගිහින් අයිස් පලමක් කකා කතා කර කර ඉන්න කෙල්ල කැමැති නැත්තං අපි එහේ යං කියලා තීරණය කරන එකත් හරියන්නෙ නෑ. ඒ නිසා මුලින් හිතලා බලන්න ගෑල්ලමයා කැමති අකමැති දේවල්. ලන්ච් එකකට හරි ඩිනර් එකකට හරි නං යන්නේ ගෑල්ලමයාගෙන් අහලා බලන්න පුලුවන් ‘සුදු බෝලේ ඔයා හෙට කන්න කැමති මොන කෑමද” කියලා. දැන් ගෑල්ලමයා කිව්වොත් ‘ඉතාලි කෑම’ වලට ආසයි කියලා තමන්ට තියෙන්නේ වැඩේට සෙට් වෙන ඉතාලි කෑම තියෙන තැනක් හොයන්න. එතන ඉඳන් දේවල් තීරණය කරන එක ලේසියිනේ. ආන්න ඒ නිසා මේ බුද්ධිමත්ව සැලසුම් කිරීම කියන කෑල්ල තමයි මුලින්ම ගොඩදාගන්න ඕන.

 

2. නෝනට ගැලපෙන තැන
First Date Planning
Source – youtube.com/Sonali Perera – Nokiyama Haradala

ලංකාවේ ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් ගෑල්ලමයා එක්ක යන්න හොඳ රෙස්‍ටුරන්ට් එකක් කිව්ව ගමන් දන්නේ එක්කෝ කේ.එෆ්.සී නැත්තං මැක්ඩොනල්ඩ්ස්. එහෙම එපා පුතා. ලෝකේ ඊට වඩා සෑහෙන්න ලොකුයි. අන්න ඒ නිසා මුලින්ම ගෑණු ළමයාගේ ෆුඩ් චොයිස් එක දැනගත්තට පස්සේ විශේෂ දවසකට විශේෂ තැනක් ‍තෝරගන්න. උදාහරණයක් විදියට අපි කියමු නෝනා කැමති පීසා කන්න කියලා. එතකොට පීසා හට් හරි ඩොමිනෝස් හරි දුවන්න යන්න එපා. හැමෝම යන්නේ ඒ තැන්වලටනේ. ‍තෝරගන්න වෙනස් තැනක්. ‍තෝරගන්න කැෆේ මයිකල් ආන්ජෙලෝ හරි, සන්තෝරේ බ්‍රිස්ට්‍රෝ ඉතාලියානෝ හරි ජියෝවානිගෙ පීසා කඩේ හරි වගේ තැනක්. පීසා වලට කැමති ගර්ල් ෆ්‍රෙන්ඩ් නොහිතන විදියට ‍තෝරගන්න ඔප්ෂන් එහෙමත් මේ තැන්වල තියෙනවානේ.

 

3. සල්ලි හොල්ලලාම වැඩේ ගොඩදාගන්න ඕනෙත් නෑ
First Date Planning
Source – Source – credit.com

සාමාන්‍යයෙන් ගෑල්ලමයාත් එක්ක විශේෂ ඩේට් අවුට් එකක් කිව්ව ගමන් අපි හිතන්නේ පොකැට් එකට රිදෙන්න වියදම් කරලා සෑහෙන්න ලොකු දෙයක් කරන්න ඕන කියලනේ. මේක බොහොම බැලන්ස් එකේ කරන්න ඕන වැඩක්. එක පැත්තක් තමයි තමන්ගේ ආදරේ දිනාගත්තු කෙල්ලත් එක්ක විශේෂ ඩේට් අවුට් එකකට මසුරු සිටාණෝ ලෙවල් එකෙන් නොයෑම. ඒ කියන්නේ අවුරුද්දට එක දවසක් හෝ දෙකක් පොඩ්ඩක් වියදම් කරාට කමක් නෑ. ජීවත් වෙනවා කියන්නේ, ජීවිතේ විඳිනවා කියන්නේ ඒක තමයි. හැබැයි ඊට එහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වියදම් කරන්න පෙළඹුනොත් ගෑණු ළමයා අපහසුවට පත්වෙයි. විශේෂයෙන්ම අපිත් එක්ක ජීවිතේ එක ගමනක් යන්න එක් හිත් හිතාගෙන ඉන්න කෙනෙක් නං. අනික සල්ලි විසිකරලා කෙල්ලගේ අවධානය ගන්න උත්සාහ කරනවා කියලා දැනෙන එක රියල් කෙල්ලෙක් අනුමත කරන එකක් නෑ. ආන්න ඒ නිසා ඩේට් අවුට් එක ප්ලෑන් කරනකොට මෙන්න මේ බැලන්ස් එක තියාගන්න උත්සාහ කිරීම සෑහෙන්න වටිනවා.

හැබැයි මතක තියාගන්න. ජෙන්ට්ල්මන්ස් කෝඩ් එකේ විදියට බිල ගෙවන්න ඕන අපි. එතකොට දවසේ වියදම් ඔක්කොම ප්ලෑන් කරලා ඒකට සෑහෙන්න ගාණක් අතේ තියාගෙන යන්න. ක්‍රෙඩිට් කාඩ් එකෙන් වැඩේ ගොඩදාගන්න හිතනවා නං පොඩ්ඩක් ක්‍රෙඩිට් ලිමිට් පැනලද කියලා ඩබල් චෙක් කරල යන්න. අතේ ඇතිවෙන්න කෑෂුත් නැත්තං, ඩේට් අවුට් එකකදී කාඩ් එක ඩික්ලයින් වෙනවා කියන්නේ වහ කන්න වෙන වැඩක්නේ.





 

4. දෛවය සියල්ල විසඳයි කියලා හිතන්න නං එපා පුතා!
First Date Planning
Source – johnanthonyvineyards.com

දැන් ඔය දෛවය තියෙනවනේ. ඕකට සමහරවිට පුලුවන් වෙයි ප්‍රේම සම්බන්ධෙට අකමැති අම්මලා තාත්තලාව කැමති කරලා දෙන්න වගේ දෙයක්. හැබැයි ඩේට් අවුට් එකට රෙස්‍ටුරන්ට් එකක් හිතාගෙන ගිහින් බලනකොට හවුස් ෆුල් වෙලා තිබ්බොත් පු‍ටු දෙකකුයි මේසෙකුයි මවලා දෙන්න නං දෛවයට බෑ. ඒ නිසා ඩේට් අවුට් එකට යන්න කලින් රෙස්‍ටුරන්ට් එකට කතා කරලා දෙන්නෙක්ට බුකින් එකක් දාලා තිබ්බට කමක් නෑ. සමහර වෙලාවට බුකින්ග්ස් දාන්න ඕන නැති පොට් එකකට වුනත් කලින් කතා කරලා පොඩ්ඩක් කියලා තිබ්බට පාඩුවක් නෑ.

 

5. හඩුවට යන්න එපා!
First Date Planning
Source – guokr.com

මෙහෙම කිව්වට සාමාන්‍යයෙන් හෙන ගැම්මෙන් කෙල්ලෙක්ව ඩේට් අවුට් එකකට එක්ක ගෙන යන බුවා මල්ලි කෙනෙක් යන්නේ කිට මරලා, සෙන්ට් බෝතලේ හොයාගන්න බැරි වුනොත් එයා ෆ්‍රෙෂ්නර් එක හරි ගහගෙන කියලා අපි හැමෝම දන්නවනේ. ස්පෙෂල් ඩේට් අවුට් එකකට හැමදාම දාන රබර් සෙරෙප්පු දෙක දාගෙන නොයා පොඩ්ඩක් පිළිවෙලකට ඇඳලා පැළඳලා යනු යෙහෙකි කියලා තමයි පුරාණ ඉරිසින්නාන්සෙලා වුනත් කියල තියෙන්නේ. දැන් ඔය ඇඳ පැළඳගෙන යන එක ගැන හිතනකොට පොඩ්ඩක් ආයෙමත් යන තැන ගැන හිතන්න වෙනවා. ඒ කියන්නේ සමහර රෙස්‍ටුරන්ට් වල ඩ්‍රෙස් කෝඩ් තියෙනවා. ආන්න ඒ ගැන දැනුවත් වෙන එක හොඳයි.

 

6. පොඩි ඇඩ්වෙන්චර් එකක් සැට් කරමුද?
First Date Planning
Source – youtube.com/Shehan Perera – Mathaka Nathi Wee

මේවා ඉතින් ටිකක් මහන්සි වෙලා, හිතලා බලලා කරන්න ඕන වැඩ. ඒ කියන්නේ සර්ප්‍රයිස් එකක් එහෙම. එහෙම නැත්තං ගෑල්ලමයාව පොඩි ට්‍රෙෂර් හන්ට් එකකට එහෙම යවනවා වගේ සීන් එකක්.

ඕන නං පුලුවන් තමන් කලින්ම රෙස්‍ටුරන්ට් එකේ ලොක්කා එක්ක කතාබහ කරගෙන පොඩි ආතල් වැඩක් ලෑස්ති කරගන්න. ඒ කියන්නේ ගෑල්ලමයගේ බර්ත්ඩේ එකට යන ඩේට් අවුට් එකක් නං හැමෝම නැගිටලා හැපි බර්ත්ඩේ කියනවා වගේ සීන් එකක්. එහෙම නැත්තං රෙස්‍ටුරන්ට් එකේ ලොක්කම කඩාගෙන ඇවිත් විෂ් කරලා තෑග්ගක් දීලා යනවා වගේ සීන් එකක්. හැබැයි මචං ලොක්කා ගෙදරින් තෑගි අරගෙන එන්නෙ නෑ. ඒක අපි තමයි සෙට් කරන්න ඕන. ඉතින් අපි කියන්නේ ඔන්න ඔය වගේ ස්පෙෂල් සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබ්බට වැ‍රැද්දක් නැහැ. හැබැයි නියම ප්ලෑන් එකක් එක්ක, ගුටි කන්න වෙන්නෙ නැති සර්ප්‍රයිස් එකක්.

 

7. ඔය නොහිතන පොඩි පොඩි සීන්
First Date Planning
Source – theswexperts.com

අපි වගේ වෙලාවට වැඩ නොකරන ඩයල් එකක් වුනත් ඩේට් අවුට් එකට වෙලාවට යන එක වැදගත්. කෙල්ලව ඩේට් අවුට් එකක් දවසේ රස්තියාදු කරනවා වගේ පිස්සු වැඩ නොකරන එක හොඳයි. එතකොට දෙන්නාත් එක්ක ඉන්න වෙලාවේ දන්න අඳුනන කෙනෙක් මුණගැහුනොත් එහෙම පළවෙනි තත්පර තිහ ඇතුළතදී ගෑල්ලමයාව අඳුන්වලා දෙන එක යහපත්. “මේ මගේ යාළුවෙක්” කියලා එහෙම කෙල්ලව අඳුන්වලා දෙන්න එපා පු‍තෝ, එහෙම වුනොත් වැඩේ හබක්.

දැන් ඩේට් අවුට් එකට ගියාට පස්සේ කොයි වෙලාවෙත් ෆෝන් එක චෙක් කර කර, කවුද මැසේජ් කලේ කියලා බල බල, ෆේස්බුක් ෆීඩ් එකේ කවුද මැරිලා තියෙන්නේ කියලා හොය හොය ඉන්න එහෙම එපා. ඒක කැතයි. ඕවා නං ඉතින් කොමන් සෙන්ස්නේ. පුලුවන් තරම් ස්මාට්ෆෝන් එක සයිලන්ට් කරලා සාක්කුවේ දාලා තියෙන එක හොඳයි.

අනික් කාරණාව කොල්ලෙක් හැම වෙලාවේම මතක තියාගන්න ඕන කෙල්ලට තමන්ගේ සම්පූර්ණ අවධානය දෙන්න මේ වගේ තැනකදී. ඒක හරි වටිනවා. ඒ වගේම තමයි, කෙල්ලට කම්ප්ලිමන්ට් එකක් එහෙම දෙන එක පාඩු නෑ. “ඔයා මේ ඇඳුමට හරි ලස්සනයි” කියලා කිව්ව කියලා ඇ‍ඟෙන් කෑල්ලක් යන්නෙ නෑනේ බ්‍රෝ!

 

8. ඉතින් ඊට පස්සේ…
First Date Planning
Source – pixabay.com

දැන් ඩේට් අවුට් එකක් කියන එකේ මූලික කාරණාව කොහේ හරි කෑමක් බීමක් තියෙන තැනකට සෙට් වෙලා, බඩ පුරෝගෙන, කතා බහ කර කර ඉඳලා එන එකනේ. කන්සෙප්ට් එක විදියට ඒක හරි. හැබැයි ඩේට් අවුට් එක ප්ලෑන් කරනකොට දෙන්නාටම තියෙන කාලවේලාවත් එක්ක පොඩ්ඩක් තව දුරට යන්න පුලුවන් නම් කිසි ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපි කියමු රෙස්‍ටුරන්ට් එකෙන් එලියට ඇවිත් අර ලයනල් වෙන්ඩ්ට් එක පැත්තෙන් රූස්ස ගස් හෙවණේ තියෙන පාර දිගේ අත් අල්ලගෙන වෝක් එකක් දාන්න, ඕන නං ලිබර්ටි එකේ ඇවිත් තියෙන අලුත්ම පිචර් එක බලන්න යන්න වගේ විෂය බාහිර ක්‍රියාකාරකමකුත් සෙට් කරගත්තට කිසීම දොසක් නෑ. හැබැයි ටයිම් සෙන්සිටිව් වැඩ නං ඩේට් අවුට් එකකට පස්සේ යොදා නොගන්න එක ඇඟට ගුණයි. මොකද වෙලාව බල බල “ඉක්මනට කන්න ඩාලින්ග්” කියලා කියනකොට කෙල්ලට හිතෙයි පිඟාන ඔලුවේ නමන්න!

ඉතින් ඔය ඔක්කෝටමත් පස්සේ තව දෙයක් තියෙනවා. නියම ජෙන්ට්ල්මන්ස් කෙනෙක් වගේ කෙල්ලව ගෙදරට හරි අඩු තරමේ ගෙදර ගාවට හරි ගෙනිහින් ඇරලවන එක. එහෙම බැරි නං අඩු තරමේ බස් එකට ගොඩ වෙන කල් හරි ඉන්න එක. ඕන නං ඔය හොලිවුඩ් පිචර් එකක වගේ දොරකොඩ ගාවටම ගෙනිහින් බස්සලා බලාගෙන ඉන්න පුලුවන් කෙල්ල කිස් එකක් දීලා ලැජ්ජාවෙන් ගෙට දුවයිද කියලා!

එහෙමනං හැමෝටම හැපි ඩේට් අවුට් එකක් වේවා. ඩේට් අවුට් එක ගොඩ ගිහිං, කසාදත් බැඳලා පඩිපෙළ වගේ ළමයි හදන්න ලැබේවා!

 

 

අනිවා Love & Relationships Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required



 
Cover Image Source – youtube.com/Shashika Nisansala – As Deka Pura (Yannam Yannam)