හැමදාම යන තැන් වලට වඩා වෙනස් නුවරඑළියේ මේ තැන් වලට ඔබ ගිහින් තියෙනවා ද?

 

නුවරඑළිය කියනකොටත් අපිට දැනෙන්නේ, එහෙමත් නැති නම් අපේ හිතට දැනෙන්නේ සීතලක්. ලංකාවේ ඇතුලේ සීත දේශගුණය සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ අතරින් ප්‍රධාන තැනක් නුවරඑළියට ලැබෙනවා.  ඒ වගේම මධුසමය සඳහා පිටත් වෙන ගොඩක් යුවලවල අවධානය දිනාගන්නා මේ සුන්දර නගරය පිහිටලා තිබෙන්නේ මධ්‍යම පළාතේ කියලා අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 1868ක් ඉහලින් පිහිටා තිබෙන මේ අපුරු පුරවරයේ ඔබ අනිවා දැකිය යුතු ස්ථාන කිහිපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම.

 

1. සඳතැන්න
Visiting Nuwaraeliya
Source – awidimu.com

අපි මෙච්චර කාලයක් ගිහින් තියෙන්නේ ලෝකාන්තය කියලා හෝර්ටන් තැන්නේ තිබෙන තැනට නේ. අපි මේ කියන්න යන තැන පිහිටලා තියෙන්නේ සඳතැන්න, සීතා එලිය හරියේ. සීතා එළියේ පිහිටුවා තිබෙන වගා බිම් මැද්දෙන් පිහිටා ඇති මාර්ගයක අග තිබෙන මේ තැන පෙනුමින් ලෝකාන්තයට සමානයි. ඊළඟ පාර යනකොට පොඩ්ඩක් මේ පැත්තේ ගිහින් එන්න අමතක කරන්නෙපා.

 

2. Lover’s leap දිය ඇල්ල
Visiting Nuwaraeliya
Source – thefrangipanitree.com

දිය ඇල්ල දැක්කම මේකට ඒ නම කියන්නේ ඇයි කියලා ආපහු කියන්න අවශ්‍ය නැහැනේ. වතුර මීදුම් වෙන සීතලක් අස්සේ හඬා වැටෙමින් කඩා හැලෙන මේ දිය ඇල්ලේ පුංචිපහේ ගුප්ත ගතියකුත් නැතිවා ම නෙවෙයි. ඒ වුනාට ලස්සනෙන් නම් කිසිම අඩුපාඩුවක් නැහැ. විවිධ ජනප්‍රවාද පට බැඳ ගනිමින්, මීටර් 30ක් උසින් යුතුව කඩා හැලෙන Lover’s leap දිය ඇල්ල පිහිටලා තිබෙන්නේ ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් 1.5ක් තරම් කෙටි දුරකින්.

පිදුරුතලාගල රක්ෂිතයේ ජලමුලාශ්‍ර එකතු කරමින් මහා ජලකඳක් සමගින් අදටත් කඩා වැටෙන ලවර්ස් ලීප් ඇල්ල ලංකාවේ දිය ඇලි අතර උසින් 117 වන ස්ථානයෙයි පසුවන්නේ.

 

3. තැපැල් කන්තෝරුව
Visiting Nuwaraeliya
Source – thefilipinotravelersblog.blogspot.com

මීට සියවස් දෙකකට කලින් ඉංග්‍රීසින් විසින් රතු ගඩොලින් බැඳ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් වෙන සුප්‍රකට නුවර එළියේ තැපැල් කන්තෝරුව, ඉපැරණි ගෘහනිර්මාණ වලට හිතැති බොහෝදෙනා යන එන තැනක් බව නම් නොකියාම බැහැ. ලංකාවේ පැරණිම තැපැල් කන්තෝරුවක් වන මෙය 1894දී තමයි ඉංග්‍රීසීන් විසින් ගොඩනගා තිබෙන්නෙ.

මෙහි වැදගත් බව කොතරම්ද කියනවා නම් වසර 1990 දී ලෝක තැපැල් දිනය සැමරීමට ලංකාවෙන් නිකුත් කල මුද්දරයේ තිබෙන්නේද මේ අපූරු සුන්දර තැපැල් කන්තොරුවයි.





 

4. ගල්වේස් ලෑන්ඩ් (Galway’s Land) වනෝද්‍යානය
Visiting Nuwaraeliya
Source – tripadvisor.com

1938 දී අභය භූමියක් ලෙසට නම් කල ගල්වේස් ලෑන්ඩ් වනෝද්‍යානය (Galway’s Land) පිහිටලා තියෙන්නේ නුවර එළිය නගරය ආසන්නයටම වන්නටයි. කුරුළු විශේෂ සහ විවිධ කුඩා සතුන් සිටින මේ භුමිය වනෝද්‍යානයක් ලෙසට නම් කර තිබෙන්නේ බොහොම මෑතකදීයි. ඒ වසර 2006 දී.

අපි කවුරුත් නොදන්නවා වුනාට වික්ටෝරියා උද්‍යානය සහ මේ Galway’s land තමයි ලංකාවේ ප්‍රධානතම කුරුළු විශේෂ නැරඹුම් උද්‍යාන දෙක වෙන්නේ. ලංකාවට ආවේණික කුරුළු විශේෂ 7ක්ම මේ උද්‍යානයේදී දැකබලාගත හැකි බවටයි වාර්තා වෙන්නෙ.

 

5. කන්දේ ඇල ජලාශය
Visiting Nuwaraeliya
Source – amazinglanka.com

බොහෝ අය නොදන්නා නමුත් එක වරක් ගියෝතින් යලි යලිත් යන්නට තරම් හිතෙන වටපිටාවකින් යුතු කන්දේ ඇල ජලාශය පිහිටලා තිබෙන්නේ කන්දේ ඇල රක්ෂිතය ආසන්නයට වන්නටයි. ඡායාරූපකරණයට කැමති ඔබට ගැලපෙනම ස්ථාන වලින් එකක් වෙන මෙය ලංකාවේ උසින්ම පිහිටලා තිබෙන ජලාශයක් ද වෙනවා. මීපිලිමාන ජලාශය ලෙසින්ද හඳුන්වන මේ ජලාශය 1947-1949 අතර කාලයේදී D.S.සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිකරනු ලැබූවක්.

 

6. සීතා අම්මාන් කෝවිල
Visiting Nuwaraeliya
Source – wikipedia.org

රාවනා රජ විසින් ඉන්දියාවෙන් පැහැරගෙන පැමිණියේ යයි කියන සීතා දේවිය වෙනුවෙන් ඉදිකර ඇති ලංකාවේ එකම දෙවොල වෙන සීතා අම්මාන් කෝවිල පිහිටා ඇත්තේ හග්ගල මල්වත්තට කිලෝමීටරයකටත් අඩු දුරකින්.

මේ ස්ථානය ගැන ජනප්‍රවාදයේ ඇත්තේ තමාව රැගෙන යාමට රාමාට එන්නට යයි කියමින් සීතා දේවිය දිනපතා දෙවියන් යැදූ ස්ථානයේ තැනු දෙවොලක් බවයි.


අනිවා Cool Travels Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required


Cover Image Source – ceylontouradvisor.com