පාඩම් මතක හිටින්නෙ නැද්ද? විභාගෙ කෙළවෙයි කියල බයද? එහෙනම් මේ උපදෙස් අනිවා ට්‍රයි කරන්න

 

පාඩම් කරන්න කියල පොත අතට ගත්තට හිත පොතට යන්නෙ නැද්ද? පාඩම් කරන්න කම්මැලිද? නැත්නම් කොච්චර පාඩම් කළත් කිසිම දෙයක් මතකේ රැඳෙන්නෙ නැද්ද? විභාගේ ඇණගන්න වෙයි කියල බයයිද? මොකක්ද මේකට කරන්න ඕනෙ? ගුරුකමක්ද?

අපොයි නෑ. ඒකට තමයි අනිවා අපි ඉන්නෙ ඔයාලගෙ උදවුවට…

පහුගිය දවස් වල අපේ බ්‍රෝලා සිස්ලා කීප දෙනෙක්ගෙන්ම අපිට ඉල්ලීම් ඇවිත් තිබ්බා විභාගෙකට මතක හිටින විදිහට පාඩම් වැඩ කරගන්නේ කොහොමද කියල කියා දෙන්නය කියල. ඔන්න ඒ ඉල්ලීම ඉටුවෙන දවස තමයි අද (හුරේ!!! ජයවේවා!!!) අපි අද කියලා දෙන්න යන්නෙ විභාගෙකට යද්දි ෆුල් සූදානම් පිට සහ ෆුල් කන්ෆිඩන්ස් පිට ගිහින් ගේම ගොඩදාගන්නෙ කොහොමද කියලයි. එහෙනම් මේක කියවලා මීට පස්සෙ “විභාගේ තමයි අපේ අභාගේ” කිය කිය ඉන්නෙ නැතුව “බලාපොරොත්තුව දෝත දරා මග බලා ඉඳීමි ඔබ එන තුරා” කියල විභාගෙ ගැන සින්දු කියන්න ලෑස්ති වෙන්න.

මුලින්ම මේ දේ හොඳින් හිතට ගන්න නංගිලා මල්ලිලා

අපි එක එක්කෙනා පාඩම් කරන විදි, දේවල් මතක තියාගන්න යොදාගන්න උපක්‍රම එකිනෙකාට වෙනස්. උදාහරණයක් හැටියට කිවුවොත් කෙනෙක්ට පාඩම් කරන්න සම්පූර්ණ නිශ්ශබ්ද පරිසරයක් ඕනෙ වෙද්දි තවත් කෙනෙක් කැමති වෙන්න පුලුවන් ලාවට මියුසික් එකක් ප්ලේ වෙද්දි පාඩම් වැඩ වල නිරත වෙන්න. ඒ නිසා ඕගොල්ලො කරන්න ඕනෙ දේ තමයි අපි පහතින් කියල තියන එක එක සිස්ටම් ට්‍රයි කරල තමන්ට වඩාත්ම සුදුසු ක්‍රමය මොකක්ද කියල තේරුම් ගන්න එකයි.

එහෙනම් පට්ටාන් ගමු…

 

1. මුලින්ම මන්තරයක් ජප කරල ඉමු
Learn Effectively
Source – playbuzz.com

“මට පුලුවන්. මම තමයි පොර!”

ඕනෙම විභාගයක් ගොඩ දාගන්න අත්‍යාවශ්‍යම මන්තරේ තමයි ඕක.  මේ මන්තරේ නිතර නිතර කියල හිතට ඒත්තු ගන්නවන්න ඕනෙ තමන්ට ඕනෙම බාධකයක් ජය ගන්න පුලුවන්ය කියන එක. තමන් ගැන විශ්වාසේ ඇති කරගන්නෙ නැතිව වෙන කිසිම දෙයක් කලාට ඒ දේවල් සාර්ථක වෙනව හොරයි නංගී මල්ලී. ඒ වගේම ඔයාල මතක තියාගන්න ඕනෙ තවත් වැදගත් දෙයක් තමයි අනිත් අය පාඩම් කරන ක්‍රම ගැන ඕනෑවට වඩා හිතන්න නොයන එක. ඔයා හිතන්න ඕනෙ ඔයාගෙ පන්තියේ පළවෙනියා පාඩම් කරන පැය ගාණවත් එයා රෑ කීය වෙනකම් පාඩම් කරනවද කියන එකවත් නෙමෙයි. ඔයාට වඩාත් සුදුසු පාඩම් රටාව මොකක්ද කියන එකයි. ඒ ගැන මේ ලිපියේ පසුවට කියවන්න ලැබෙයි.

 

2. කාල කළමනාකරණය
Learn Effectively
Source – prlog.org

විභාගෙ අත ළඟට ඇවිත් ෆුල් රශ් එකේ පාඩම් කරන අය අපි දැකලා තියනවා. සමහරුන්ට නම් විභාගේ අත ළඟට ආවාම පාඩම් කරලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්. හැබැයි හැමෝටම එහෙම අමාරුයි. අපේ අරමුණ වෙන්න ඕනෙ විභාගෙ ගොඩ දා ගැනීම විතරක් නෙමෙයි. අපි ඉගෙන ගන්න විෂයයන් සම්බන්ධයෙන් පූර්ණ දැනුමකුත් ලබාගන්න එකයි. ඒ නිසා පාඩම් කරන එක අන්තිම මොහොත වෙනකම් කල් දාන්නෙ නැතිව පාඩම් සියල්ල කවර් කරගන්න යන දල කාල සීමාවක් ගැන අවබෝධයකට ඇවිත් කල් තියාම පාඩම පටන් ගන්න මතක තියාගන්න.

 

3. පාඩම් කරන තැන හදාගැනීම
Learn Effectively
Source – wikimedia.org

මෙන්න මේක ඔයාගෙ පාඩම් වැඩ සාර්ථක කරගන්න බොහොම වැදගත් වන සාධකයක්. දැන් සමහරු ඉන්නවා ඇඳේ ඉඳලත් පාඩම් කරන අය. මේ වැඩේ නරකම නරකයි කියල අපි නොකිවුවත් මේ වැඩෙන් ඔයාගෙ පාඩම් වැඩ වලට වගේම විවේකෙටත් අනවශ්‍ය බාධා ඇති වෙන්න පුලුවන් කියල මතක තියාගත්තොත් හොඳයි. මොකද නිදන කාමරයේ ඇඳ කියන්නෙ අපිට විවේකය දනවන තැනක්. ඒ වගේ තැනක ඉඳන් පාඩම් වැඩ කරද්දි ඉබේම අපිට අලස ගතියක් දැනෙන්න ඉඩ තියනවා. ඒ වගේම තමයි පාඩම් වැඩ වලට ඇඳ යොදාගන්න එකෙන් ඔයාගෙ රාත්‍රී නින්දට බාධා ඇතිවෙන්නත් පුලුවන් කියලයි කියන්නෙ.

මේ නිසා හොඳම දේ තමයි පුටුවක වාඩි වෙලා මේසෙක තියාගෙන පොත් පත් වල වැඩ කරන එක. මේ තැන සෙට් කරගනිද්දි පුලුවන් තරම් බාධාවන් අවම තැනක සෙට් කරගන්න මතක තියාගන්න. ගෙදර උදවියගෙන්, ටීවී එකෙන්, පාරේ වාහන සද්ද බද්ද වලින් බාධා නොවෙන තැනක් වඩාත් සුදුසු වෙයි (සමහර අයට නම් මේ ශබ්ද ගාණක්වත් නෑ. එහෙම අයට මේක අදාල නෑ). පාඩම් මේසයට ලැබෙන ආලෝකය ගැනත් හොඳට කල්පනා කරල බලන්න. ආලෝකය මදි තැනක ඉඳන් පාඩම් කරන එක ඔයාගෙ පාඩම් වැඩ කටයුතු වගේම පෙනීමත් දුර්වල කරන්න බලපායි.

*පාඩම් කරන්න සුදුසු තැනක් තීරණේ කරන්න අමාරුනම් ඔයාට පුලුවන් නිවසේ තැන් කීපයක පාඩම් වැඩ වල නිරත වෙලා බලන්න (සාලය, කාමරය, මිදුල). ඒ තැන් අතරින් ඔයාගෙ වැඩේ වඩාත් සාර්ථකව කරන්න පුලුවන් තැනක් අඳුරගන්න ලැබුනොත් එතන ඔයාගෙ ස්ථිර පාඩම් කරන ස්ථානෙ කරගන්න පුලුවන්.





 

4. අවශ්‍ය දේ ළඟට, අනවශ්‍ය දේ ඈතට
Learn Effectively
Source – theodysseyonline.com

පාඩම් කරද්දි වැදගත්ම දේ වෙන්නෙ ගොඩක් වෙලා පාඩම් කරන එක නෙමෙයි. පාඩම් කරන ටික වෙලාව හරි හොඳ අවධානයෙන් යුතුව ගත කරන එකයි. ඒ නිසා පාඩම් කරන්න ඉඳගනිද්දි පාඩම් වැඩ වලට අවශ්‍ය දේවල් සියල්ලම තමන්ගෙ අත ළඟින් තියාගන්න මතක තියාගන්න. ඒ කිවුවෙ කවකටු පෙට්ටි, කැල්කියුලේටර්, හයිලයිට් පෙන් ආදී එකී මෙකී නොකී සියල්ලම. නැත්නම් සැරින් සැරේ මේවා හොයන්න නැගිට නැගිට යද්දි පාඩමට ඉබේම බාධා සිද්ධ වෙනවා. මේ උපකරණ වලට අමතරව වතුර බෝතලයක්, සැරින් සැරේ තේ කෝපි තිබහ එනවනම් ෆ්ලාස්ක් එකකට තේ කෝපි ටිකක්, හපන්න මොනා හරි වගේත් ළඟින් තියාගත්තට වරදක් නෑ. ශරීර කෘත්‍යය කිරීම වගේ අවශ්‍යතාවයකදි ඇරෙන්න පාඩම් කරන තැනින් සැරින් සැරේ නැගිටින වැඩ තියාගන්න එපා.

ඒ වගේම තමයි අන්තර් ජංජාලේ සම්බන්ධ වැඩ. දැන් අපි කිවුවනෙ පාඩම් කරන ටික වෙලාව හරි හොඳ කොලිටියෙන් යුතුව කරන්න කියල. මේකට බාධා කරන්න පුලුවන් දෙයක් තමයි අපේ සමාජ ජාලා ජීවිතේ. ෆෝන් එකේ කැල්කියුලේටරේ පාචිච්චි කරන ගමන් අපිට හිතෙන්න පුලුවන් පොඩ්ඩක් ෆේස්බුක් පැත්තෙත් රවුමක් දාලා එන්න. එහෙම නැත්නම් පාඩම් වැඩකට ඉන්ටනෙට් රිසර්ච් එකක් දාන ගමන් හිතෙන්න පුලුවන් ක්‍රික්ඉන්ෆෝ පැත්තෙ ගිහින් මැච් එකේ ලකුණු ටික චෙක් කරන්න. මේ වගේ වැඩ නිසා තමන්ට පාඩම් කරන්න යන කාලෙත් වැඩිවෙලා, අවධානෙත් බිඳෙනව කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

මේ දේවල් නොකර ඉන්න බැරි තරම් හිත පාලනේකින් තොරයිනම් තමන්ව නිතර යැවෙන සයිට් ටික බ්ලොක් කරන ප්‍රෝග්‍රෑම් එකක පිහිටක් ලබාගන්නවත් බලන්න.

 

5. පාන්දර ඇහැරෙනවද? නැත්නම් නිදි මරාගෙන පාඩම් කරනවද?
Learn Effectively
Source – readmeindia.com

සමහරු අතර ජනප්‍රිය මතයක් තියනවා උදේ පාන්දර නැගිටලා පාඩම් වැඩ කලාම මතක තියනවා වැඩියි කියලා. උදේ පාන්දර කියන්නෙ සද්ද බද්ද සහ කලබලකාරී බව අඩු වේලාවක් නිසා ඒ කතාවේ යම්කිසි ඇත්තක් තියෙන්න පුලුවන්. ඒත් ඒ කතන්දරේ හැමෝටම ගැලපෙන්නේ නැහැ. සමහරුන්ට උදේ නැගිටිනවා කියන්නෙ මරණවා වගේ වැඩක්නෙ.එහෙම කෙනෙක් අමාරුවෙන් නැගිටලා නිදිකිරා වැටි වැටී පොතක් දිහා බලන් හිටියට කිසිම දෙයක් ඔලුවට යන එකක් නැහැ. එහෙම කෙනෙක් තමන්ට ප්‍රබෝධයෙන් සහ වැඩි අවධානයකින් යුතුව පාඩමේ යෙදෙන්න පුලුවන් වෙනත් වෙලාවක් හොයාගන්න එක තමයි සුදුසු. අපි කලින් කිවුවා වගේ පාන්දර ඇහැරෙන්නවත්, රෑ නිදි මරන්නවත්, දවස තිස්සේ පාඩම් කරන එකවත් නෙමෙයි වඩාත් වැදගත්. පාඩම් කරන්න පහසු කොයියම්ම මොහොතකදි හරි අවධානය බිඳ නොගෙන පාඩම් කරන එකයි.

*හැමදාම දවසේ එකම වෙලාවට එකම තැන ඉගෙන පාඩම් කරන එක පාඩම් මතක හිටින්න උදවුවක් වෙනවා කියලත් කියන අය ඉන්නවා. මේ ක්‍රමයත් අත්හදා බලන්න ඔයාලට පුලුවන්.

 

6. එක දිගට පාඩම් එපා
Learn Effectively
Source – 68.media.tumblr.com

පාඩම් කරද්දි පැය ගණන් එක දිගට පාඩමේ යෙදෙන්න එපා. සාමාන්‍යයෙන් පැය එකහමාරකට වඩා එකදිගට පාඩම් වැඩ වල නිරත වෙන්න එපා කියල තමයි පුරාණ පොත පතේ සඳහන් වෙලා තියෙන්නෙ. ඊට වඩා දිගු කාලයක් පාඩම් කරද්දි අවධානය බිඳීයන්නත් කියවන දේවල් මතකයේ නොරැඳී යන්නත් ඉඩ වැඩියිලු. හැබැයි අපි නම් රෙකමන්ඩ් කරන්නෙ මේ කාල සීමාව පැයකටත් අඩුවෙන් තියාගන්න කියලයි. විනාඩි 40 කට වරක් විනාඩි 10ක විවේකයක්, එහෙමත් නැත්නම් විනාඩි 50කට වරක් විනාඩි 10ක විවේකයක් වගේ ගත්තා නම් වඩාත් සුදුසු වෙයි. මේ විනාඩි 10 විවේකය ඇතුලතදී පුලුවන් තරම් මනස රිලැක්ස් කරගන්න තමයි උත්සාහ කරන්න ඕනෙ. පාඩම් වැඩ සහමුලින්ම අමතක කරල පොඩ්ඩක් ඇවිදින්න, ව්‍යායාම ටිකක යෙදෙන්න හරි ඇස් පියාගෙන පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න හරි මේ වෙලාව යොදාගන්න. එතකොට ඊළඟ පාඩම් වාරය එද්දි අලුත් ශක්තියකින් සහ වැඩි අවධානයකින් යුතුව වැඩ අරඹන්න පුලුවන්.

තවත් අනිවා මතක තියාගතයුතු කාරණයක් තමයි “හොඳ සුව නින්දක් ලබන එක“. වැඩිපුර රෑ වෙනකන් හරි පාන්දර නැගිටගෙන හරි පාඩම් කලාට කමක් නැහැ. හැබැයි තමන්ගේ සිරුරට අවශ්‍ය නින්ද ලබාගන්න එක නම් අඩු කරගන්න එපා. මොකද සුව නින්දක් කියන්නෙ ඔබේ මොලයේ ක්‍රියාකාරීත්වයට වගේම ශාරීරික ප්‍රබෝධයටත් අත්‍යාවශ්‍යම කාරණයක්.

 

7. කෙටි සටහන්, රූප සටහන් සහ ප්‍රශ්නෝත්තර
Learn Effectively
Source – medium.com

සමහරු කරන ලොකු වැරැද්දක් තමයි ඔන්න දැන් පාඩම් කරගෙන කරගෙන කරගෙන යනව. ඊට පස්සෙ පාඩම ඉවර කරපු ගමන් ඒකට අදාල ප්‍රශ්න වලට උත්තර දීගෙන දීගෙන යනව. මේක වැරදි වැඩක්. මොකක් හරි දෙයක් කියවපු විගස ඒක අපේ ඔලුවෙ රැඳිල තියෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා පාඩම ඉවර කරපු ගමන් ප්‍රශ්න වලට උත්තර දීල වැඩේ ගොඩ කියල හිත හදාගන්න එක අසාර්ථක වැඩක් වෙන්න පුලුවන්. මේකට කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි උදේ පාඩම් කරපු පාඩමක ප්‍රශ්න වලට හවස උත්තර දෙන එක. එහෙම නැත්නම් හවස පාඩම් කරපු එකකට පහුවදා උදේට උත්තර ලියන එක. එහෙම නැත්නම් පැය 24ක් වත් පහුවෙලා ප්‍රශ්න වලට උත්තර දෙන එක වඩා හොඳවෙයි. ඒ වගේම අපි පාඩම් කරපු පාඩමක් සම්බන්ධයෙන් අපිට මතක තියන දේවල් පිළිවෙලට කොලයක සටහන් කරගන්න එකත් සාර්ථක ක්‍රමවේදයක්. මේ සටහන් කිරීමෙන් පස්සෙ ආපහු පොතේ පාඩමත් එක්ක අපේ මතකය සන්සන්දනය කරල අපිට මගහැරිච්ච තැන් නැවත මතකයට නගාගන්නත් පුලුවන්.

රූපසටහන් කියන්නෙත් මේ වගේම පාඩම් මතක තියාගන්න තවත් වැදගත් වන දෙයක්. මොකක් හරි වීෂයකට සම්බන්ධ රූප සටහනක් හරි වගුවක් හරි මතකයෙන් සටහන් කරන්න උත්සාහ කරන්න. මේ රූප සටහන් 100%ක් නිවැරදිව මතකයෙන් සටහන් කරගන්න පුලුවන් වෙනකන් උත්සාහ කලත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාට පුලුවන් ටිකක් අමාරුයි කියල හිතෙන ප්‍රස්ථාර සහ රූපසටහන් වගේ ඒව ඇඳල තමන්ට නිතර පෙනෙන, අවධානය යොමුවෙන තැනකින් ගහල තියන්න.

*පාඩම් මතක තියාගන්න තවත් හොඳ ක්‍රමයක් තමයි දේවල් දිහා නිර්මාණාත්මක ඇහැකින් බලන එක. අපිට මතක තියාගන්න ඕනෙ කරුණු ඇසුරින් කවියක් හදාගන්න, එහෙමත් නැත්නම් කතන්දරයක් ගොතාගන්න අපිට පුලුවන්. මතකනේ ඒකාලෙ දිශා පාඩම් කරගන්න “උපුල් ඊළඟ නැවේ ගිහින් දම්මි නිදිද බලල වරෙන්” කියපු හැටි.

 

8. මතක මන්දිර තනා – ලෝකී ටෙක්නික් එක
Learn Effectively
Source – interestingtechnology.net

දැන් අපි කලින් පොයින්ට් එකේ අන්තිමට කිවුවනෙ කතාවක් ඇසුරින් තමන්ගෙ පාඩම් වල කරුණු මතක තියාගන්න එකත් හොඳ ක්‍රමයක් කියල. අන්න ඒ විදිහට මතකය ශක්තිමත් කරගන්න උපයෝගී වන ඉතාම පැරණි ටෙක්නික් එකක් තියනවා ලෝකී මෙතඩ් එක (Loci method) කියල. මේකෙන් කරන්නෙ මතක මන්දිර, එහෙමත් නැත්නම් Memory palace හදාගන්න එකයි. මේ මතක මන්දිරය අපිට පුලුවන් අපි දන්න ඕනෑම ස්ථානයක් ඇසුරින් හදාගෙන අපිට පාඩම් කරන්න ඕනෙ කරුණු ඒකෙ තැන්පත් කරගන්න.

මෙහෙම කිවුවට තේරෙන එකක් නෑ නේද? අපි උදාහරණයකින්ම කියන්නම්.

අපි හිතමු ඔයාට විභාගෙකට ලංකාවෙ හිටපු ජනාධිපතිවරුන්ව පිළිවෙලින් මතක තියාගන්න වෙනවා කියල. ඔයාට පුලුවන් ඔයාගෙ නිවස ඇසුරින් මේ අයව පිළිවෙලට මතක තියාගන්න. ඒ මෙහෙමයි. ගෙදරට ඇතුලුවෙද්දි මුලින්ම ගොඩවෙන්නෙ ඉස්තෝප්පුවට කියල හිතමු. එතකොට ඔයා හිතින් මවාගන්න ඕනෙ අපේ පළවෙනි ජනාධිපතිතුමා වන ජේ. ආර් ජයවර්ධන මහතා ඉන්නෙ ඔයාගෙ ගෙදර ඉස්තෝප්පුවෙ කියල. ඊළඟට ඔයා පා තබන්නෙ සාලෙට නම් සාලෙන් ඉන්දවන්න අපේ දෙවැනි ජනාධිපති වෙච්ච ප්‍රේමදාස මහත්තයව, ඊළඟට ඩී.බී විජේතුංග මහතාව කාමරෙන්, චන්ද්‍රිකා මැතිණිව කුස්සියෙන් ආදී වශයෙන් ගෙදර ස්ථාන වල අනුපිලිවෙලට මේ අයව මතකයෙන් රඳවන් යන්න. මේ අය මේ ස්ථාන වල ඉඳන් කතා කරන හැටි, ඒ අයගෙ හැසිරීම් එහෙමත් හිතේ මවාගත්තොත් මේ මතකය වඩාත් රැඳී පවතියි. ඊට පස්සෙ විභාගෙට මේ අය ගැන ලියන්න ආවොත් හිතින් ඔයාගෙ ගෙදරට ගිහින්, ගෙදර රඳවපු මේ මතකය ටක් ගාල සිහිපත් කරගන්න තමයි තියෙන්නෙ.

මේ ලෝකී ක්‍රමය මීට වඩා බැරෑරුම් දේවල් මතකයේ රඳවගන්නත් භාවිතා කරන්න පුලුවන් ක්‍රමවේදයක්. හැබැයි මේක දවසින් දෙකෙන් නම් ප්‍රැක්ටිස් වෙන්න අමාරුයි. දේවල් මවාගන්න හොඳ ක්‍රියේටිව් මනසක් ඇතුව කාලයක් තිස්සේ උත්සාහ කලොත් තමයි මේ වැඩෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. අන්තර්ජාලය හරහා, යූටියුබ් වල එහෙම සෙවුමක් දැම්මොත් මේ ලෝකී මෙතඩ් එක ගැන තව ගොඩක් දේවල් ඔයාට ඉගෙනගන්න හම්බවේවි.

 

9. නැවත නැවත ආවර්ජනේ
Learn Effectively
Source – getcollegecredit.com

කොච්චර පාඩම් කලත්, මතකේ තියන් හිටියත් අපි මුලින් පාඩම් කරන ඒවා කල් යද්දි අපේ මතකෙන් ගිලිහිලා යන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා නිතර මේ දේවල් ආවර්ජනේ කරන්න මතක තියාගන්න. නිකන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මේව ගැනම කල්පනා කරල එලෝ මෙලෝ නැතුව ඉන්න නෙමෙයි මේ කියන්නෙ. ඔය ශවර් එක යට හිටන් ඉන්න වෙලාවක, කෙල්ලගෙන් ඊළඟ එස්එම්එස් එක එනකන් උඩ බලන් ඉන්න වෙලාවක වගේ වෙලාවක විනාඩියක් දෙකක් අරන් මනසින් ආවර්ජනය කරල බලන්න කලින් දවසෙ දෙකෙ කරපු පාඩම් වල පිළිවෙල සහ අන්තර්ගත කරුණු ගැන එහෙම.

ඒ වගේම ගෙදර මල්ලි කෙනෙක් නංගි කෙනෙක් එහෙම ඉන්නවනම් ඔය චොකලට් පගාවක් එහෙම දීල තමන් පාඩම් කරපු පාඩම ඒ අයට උගන්නනකන් අහන් ඉන්න කියන එකත් හොඳ ට්‍රික් එකක්. මල්ලිට නංගිට මේ පාඩමින් කිසි වැඩක් නැති උනත් ඔයාගෙ මතකේ ආවර්ජනේ කරන්න හොඳ උපක්‍රමයක් මේක.

ඊළඟ තවත් කරන්න පුලුවන් දෙයක් තමයි ඔයා වගේම පාඩම් වැඩට උනන්දු යාලුවෙක් දෙන්නෙක් එක්ක සෙට් වෙලා පාඩම් ගැන පොඩි චැට් එකක් දාන එක. එක එක්කෙනාට පුලුවන් අනිත් අය වෙනුවෙන් ප්‍රශ්න පත්තරයක් හදන් එන්න. ඊට පස්සෙ මේවා ගැන සාකච්ඡා කරන ගමන් තමන්ගෙ දැනුම තවත් ඔප මට්ටම් කරගන්න පුලුවන්.

 

10. දිගින් දිගටම අමාරු වැඩ එපා
Learn Effectively
Source – organizeandstudy.tumblr.com

අමාරු පාඩමක් ඉවර කරපු ගමන් තවත් අමාරු පාඩමක් පටන් ගන්න එපා. ගන්න පොඩි බ්රේක් එකක්. ඊට පස්සේ ටිකක් ලේසි විෂයක් හරි වෙනත් ලේසි පාඩමක් හරි දිග ඇරගෙන ඒක අධ්‍යයනය කරන්න පටන් ගන්න. නැත්නම් එක දිගට අමාරු දේවල් අධ්‍යයනය කරන් යද්දි පාඩම් කිරිල්ල ඔයාගෙ මනසට වදයක් වෙලා නිකම්ම ස්ට්‍රෙස් වෙන්න ඉඩ තියනවා.

මේ පාඩම් වැඩවලට තියන උනන්දුව තවත් වැඩි කරගන්න හොඳ ක්‍රමයක් තමයි ටාගට් තියාගෙන ඒවා සාර්ථක කරගන්නකොට තමන් තමන්ටම තෑග්ගක් දීගන්න එක. උදාහරණෙකට අමාරු ගණිත පාඩමක් ඉවර කරල සාර්ථකව ඒකෙ ප්‍රශ්න වලට උත්තර දුන්නොත් ඔයාට පුලුවන් ඔයා කැමති කෑම වර්ගයක් හරි බීම වර්ගයක් හරි අරන් ඒක සමරන්න. හැබැයි මේ වැඩේදි තමන් තමන්ට අවංක වෙන්න ඕනෙ. නැත්නම් වැඩක් නෑ.

 

11. සැන් පවුඩර් ගාලා චුයින්ගම් කකා යන්න
Learn Effectively
Source – youtube.com/Polo romance Sri Lanka

දැන් ඔය ආදර කවි ගීත වල එහෙමත් කියනවනෙ ඔයාගෙ සුවඳ දැනිලා අතීත මතක ඇවිස්සුණා වගේ ඒව. ඉතින් ඇයි අපිට ඒ වගේ දෙයක් පාඩම් වැඩකටත් උපයෝගී කරගන්න බැරි? මෙහෙමයි, සමහරු කියනවා තමන්ට නුපුරුදු විලවුන් වර්ගයක් ඇඟ තවරගෙන පාඩම් කරලා, විභාගෙ ලියන දවසටත් ඒ සුවඳ විළවුන් තවරගෙන ගියොත් අර සුවඳ ඔස්සේ අපේ මතකයන් ආවර්ජනය වෙලා කරුණු මතකෙට නගාගන්න එක ලේසි වෙනවා කියල. මේක ඉතින් කොයිතරම් සාර්ථකද කියන්න නම් අපිට සාධක නෑ. මේ ක්‍රමේ මුලින්ම ඔය ටර්ම් ටෙස්ට් එකක් වගේ පොඩි විභාගෙකදි අත්හදා බලල තීරණේ කරන්න පුලුවන් ඔයාලට.

මේ වැඩේට අපිට හුරු නැති අලුත් රසකින් යුතු චුයින්ගම් එකකුත් යොදා ගන්න පුලුවන් කියලයි කියන්නෙ. හැබැයි ඉතින් චුයින්ගම් හප හප පාඩම් කලාට මොකද චුයින්ගම් හප හප විභාගෙට ලියන්න ඉඩ දේවිද කවුද දන්නෙ?

 

12. ව්‍යායාම සහ ආහාර
Learn Effectively
Source – opentraining.edu.au

පාඩම් කරන්න කලින් විනාඩි 10ක් වත් ඇවිදලා පොඩි ව්‍යායාම පාරක් දාල ඇවිත්ම පාඩම පටන් ගන්න එක වඩාත් සාර්ථකයි කියලා මතයක් තියනවා. මේ වැඩේ උත්සාහ කරල බලන්න. ඒ වගේම තමයි පාඩම් වැඩ අතරතුර තමන්ට දෛනිකව අවශ්‍ය වෙන ජලය ප්‍රමාණය පානය කරන්නත් අමතක කරන්න එපා. පැණිබීම සහ ක්ෂණික ආහාර වෙනුවට ශරීරයට ශක්තිය සපයන සමබර ආහාර වේල් ගැනීම ගැනත් අවධානය යොමු කරන එක වටිනවා. ධාන්‍ය වර්ග, සැමන් වැනි ඔමෙගා 3 සහිත මාලු, රටකජු වැනි ඇට වර්ග, ඩාක් චොකලට් කෑල්ලක් එහෙම කෑමට එකතු කරගන්න එකෙන් ඔයාගෙ පාඩම් වැඩ වලට අමතර ශක්තියක් ලැබේවි.

 

 

අනිවා Smart Work Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required




 
Cover Image Source – pixabay.com