ලොකු කොම්පැණියක වැඩට යමුද, පුංචි කොම්පැණියක ඉමුද? මෙන්න ඒ ගැන කරුණු 8 ක්

 

මිනිහෙක් වුනහම ඉතින් රස්සාවක් කරන්නම වෙනවනේ. කොල්ලෙක්ට නං පරස්තාවක් වත් කරගන්න හම්බුවෙන්නෙ නෑ රස්සාවක් නැතුව. හැබැයි ඔය රස්සා හොයන කොට ගොඩක් වෙලාවට අම්මට තාත්තට, නෑදෑ සනුහරේට ගැලපෙන රස්සා තමයි හොයාගන්න වෙන්නේ. ඒ හින්දම සමහර වෙලාවට ලොකු කොම්පැණියක අකමැති රස්සාවකට වුනත් හිරවෙලා ඉන්න වෙනවා. හරි. ඇත්තටම ලොකු කොම්පැණියකම රස්සාව කරන්න ඕනය කියල දෙයක් තියෙනවද? පොඩි කොම්පැණියක රස්සාව කළොත් නරකක් වෙනවද? ආන්න ඒ ගැන තීරණය කරන්න මේ කරුණු කීපය කියවලා ඉන්න එක හොඳා.

 

1. කොහොම කළත් කොලි‍ෆිකේෂන් ඕන!
Big or Small Employers
Source – pinterest.com

පොඩි කොම්පැණි: පොඩි කොම්පැණියක වැඩට යන්නත් ඉන්ටර්වීව් හරහා යන්න ඕනෑ. හැබැයි කොලි‍ෆිකේෂන් සහ වැඩ කිඩ පෙන්නන්න පුලුවන් නම් ලොකු කරදරයක් නෑ. ගොඩක් වෙලාවට යාලුවෝ හරහා එහෙමත් පොඩි කොම්පැණි සෙට් වෙනවා.

ලොකු කොම්පැණි: ලොකු කොම්පැණියක වැඩට යන්නත් කොලි‍ෆිකේෂන් ඕන තමයි. හැබැයි එක ඉන්ටර්වීව් එකකින් පස්සේ හෙට ඉඳන් වැඩට වරෙන් කියන්නෙ නං කලාතුරකින් තමා. ගොඩක් වෙලාවට ඉන්ටර්වීව් කීපෙකට මූණ දෙන්න වෙනවා. පොඩ්ඩක් වාත වෙන්නත් වෙනවා. තරගෙත් ටිකක් වැඩියි.

 

2. උන් ඔක්කොම මාව දන්නවා
Big or Small Employers
Source – quackreview.com

පොඩි කොම්පැණි: පොඩි තැනක් කියන්නේ ඉතින් ආය ගෙදර වගේ තමයි. ඇයි ඉන්නෙත් කීප දෙනයි. ලොක්ක එක්ක වුනත් මචාං කියාගෙන ඉන්න පුලුවන්. ලොක්කට තදවෙලා මොකකට හරි බැන්නත් ආයෙ ගෙදර අම්මගෙන් බැණුං ඇහුව වගේ තමා. හෙට වෙද්දි ලොක්කට සීන් එක මතකත් නෑ, ඉන්න අනික් කීප දෙනාට මතකත් නෑ, මට මතකත් නෑ.

ලොකු කොම්පැණි: ලොකු කොම්පැණියක ඉතින් තමන් ඉන්න ඩිපාර්ට්මන්ට් එකේ එවුන් ඔක්කොම අඳුනනවා කියතෑකි. හැබැයි ලොවෙත් කොම්පැණියේ ඉන්න ඔක්කොම නං අඳුනන්නෙ නෑ. ගෙදර වගේ ඉන්නත් බෑ. අනික ඩිපාර්ට්මන්ට් එක ගත්තත්, ඒකේ හැටහුටාමාරක් එක එක ජාතියේ එවුන් ඉන්න නිසා ගෙදර වගේ නිදහසේ ඉන්න බෑ. බැරිවෙලාවත් ලොක්කගෙන් බැණුං අහගන්න වුනොත් එහෙම ඕක ඩිපාර්ට්මන්ට් එකේ අහු මුළු වල කතාවෙනවා තව මාසයක්.

 

3. ඩ්‍රෙස් කෝඩ් හුටපට
Big or Small Employers
Source – pinterest.com

පොඩි කොම්පැණි: දැන් ඔය පොඩි කොම්පැණියක වැඩට යනකොට සීරියස් විදියට ඇඳගෙන කරගෙන යන්න ඕන නෑනේ. ඩෙනිමයි ටී ෂර්ට් එකයි ගහගෙන ගියත් ෂේප්. ප්‍රොෆෙෂනල් තාලෙට ඉන්නව කියලා තමන්ගේ පු‍ටුවට වෙලා ඉන්න ඕනැත් නෑ. නිදහසේ ගෙදර වගේ තමන්ගේ වැඩ ටික කරගෙන, ඕන වෙලාවට කයියක් ගහගෙන ඉන්න පුලුවන්.

ලොකු කොම්පැණි: ලොකු කොම්පැණියක වැඩට යනකොට ඩ්‍රෙස් කෝඩ් ගැන හිතන්න වෙනවා. ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් ඔ‍ෆිස් එක ඇතුලේ ඉන්න ඕන. හිතුනහම එහා පැත්තේ එකා එක්ක කයිය ගහන්න යන්න බෑ. වැඩ නැතත් සීරියස් ලෙවල් එකේ වැඩ වගේ පෙන්නගෙන ඉන්න වෙනවා, ලකුණු කපාගන්නෙ නැතුව ඉන්න නං.





 

4. තත්වේ!
Big or Small Employers
Source – family-in-law.com

පොඩි කොම්පැණි: ගොඩක් වෙලාවට අහල පහල එවුනුත් බලනවා ඇති මූ ජොබ් එකක් කරනව කියලා බොරුවද කොහෙද කරන්නෙ කියලා. මොකද ලංකාවේ හොඳ ජොබ් එකක් කිව්ව ගමන් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ කිට මරලා කාර් එකෙන් ගිහින් එන සීන් එකනේ. අන්න එතකොට පොඩි කොම්පැණියක වැඩ කරන එකෙක්ව නෑදෑයෝ, අහල පහල මිනිස්සු තියා පාරේ ඉන්න පූසොවත් ගණන් ගන්නෙ නෑ.

ලොකු කොම්පැණි: ලොකු කොම්පැණියක පොඩි රස්සාවක් කළත් සෑහෙන තත්ත්වයක් එනවා. ඒ කියන්නේ අර සමාජ තත්ත්වේ කියන එක. කවුරුවත් අහන්නෙ නෑනේ ඔයා එතන කරන්නෙ සොෆ්ට්වෙයාර් හදන එකද, සොෆ්ට්වෙයාර් පිහිදාන එකද කියලා. කෙලින්ම කොහෙද රස්සාව කියල ඇහුවහම කොම්පැණියෙ නම කිව්ව ගමන් ‘ෂාහ්, මරුනේ’ කියලා තමයි ඕන එකෙක්ට කියවෙන්නේ. ආයි අහල පහල මිනිස්සුත් සර් කියනවා කොම්පැණිය ලොකු නිසා. මේවා සිරා සිද්ධි.

 

5. පොඩි පොකුණේ ලොකු මාළුවා Vs දාර සයිස් පොකුණේ ලොකු මාළුවා!
Big or Small Employers
Source – wikipedia.org

පොඩි කොම්පැණි: අපි කියමු දැන් අපි මොකක් හරි ෆීල්ඩ් එකක හෙන සිරා දැනුමක් තියෙන ඩයල් එකක් කියලා. අන්න එතකොට පොඩි කොම්පැණියක ඕකට නියම සැලකිල්ල ලැබෙනවා. ඒක ඉතින් වැඩ කරන්න හෙන ගැම්මක්. හිතටත් සතුටක්.

හැබැයි පොඩි අවුලක් තියෙනවා. සමහරු ඉන්නවා පොඩි පොකුණේ ලොකු මාලුවා වුනාට පස්සේ හිතනවා ලොකු වුනා ඇතිය කියලා. එතනින් එහාට ඔහේ දන්න දේ කරගෙන ඉන්නවා මිසක් තව දියුණු වෙන්න ඕන කියලා හිතන්නෙ නෑ. අන්න ඒක තමයි ඔතන තියෙන නරක.

ලොකු කොම්පැණි: හෙන දැනුමක් තියෙන සිරා ඩයල් එකක් වුනත් ලොකු කොම්පැණියක් ඇතුළෙදි තව එක සිරා ඩයල් එකක් විතරයි. ඇයි ඒ වගේ තව සෑහෙන්න එවුන් ලොකු කොම්පැණියක ඉන්නවනේ. එතනදී හැබැයි තමන්ට නිසි සැළකිල්ල නෑ කියලා පොඩ්ඩක් දුර්මුඛ වෙන්න ඉඩක් තියෙනවා. හැබැයි මෙතන සෑහෙන්න ලොකු හොඳකුත් තියෙනවා. ඒ තමයි තරගය වැඩි නිසා නිරන්තරයෙන්ම තමන් දියුණු වෙන්න ඕන කියලා හිතීම. එහෙම දියුණු වුනේ නැතිනම් එතන පැවැත්මකුත් නැහැ ඉතින්.

 

6. ඔක්කොමල්ලා එකට ගොඩ යනවද, බොස්ව ගොඩ යවනවද?
Big or Small Employers
Source – linkedin.com

පොඩි කොම්පැණි: දැන් අපි හිතමු පොඩි කොම්පැණියකට ප්‍රොජෙක්ට් එකක් ආවා කියලා. ඉන්න කීප දෙනා නයිට ගහලා කට්ට කාලා වැඩේ ගොඩ දානවා. හැබැයි ඒකට ක්‍රෙඩිට් එකත් ටීම් එකට ලැබෙනවා. ආයි සම්මානයක් ලැබුණත් සෙට් එකම බැහැලා තමයි සම්මානෙ ගන්නේ. අන්න එතකොට තව ප්‍රොජෙක්ට් දහයක් ගොඩදාන්න වුනත් හෙන ගැම්මක් එනවා හිතට.

ලොකු කොම්පැණි: ඇත්තටම මෙතනදී “මම” නැත්නම් “අපි” කියන්නේ දැවැන්ත යන්තරේක දැති රෝදයක් හෝ කීපයක් විතරයි. එතනදී යන්තරේ වැඩ කරන්න බෑ අපි හෝ මම නැතුව. හැබැයි අපි නැවතුනා කියලා යන්තරේ නවත්තගෙන ඉන්නෙ නෑ. ඒ දැතිරෝදෙ මාරු කරලා වෙන එකක් දාලා වැඩේ කරගෙන යනවා. ඇත්තටම ලොකු කොම්පැණියක ඉන්නකොට පුළුල් චිත්‍රය ගැන හොඳ අවබෝධෙකින් ඉන්න ඕන. නැත්තං ඉතින් මහන්සි වෙලා ටීම් එකත් එක්ක වැඩක් ගොඩදැම්මට පස්සේ ලොක්කගේ නම යනවා කියලා හිත රිදෙනවා. ඒවට හිත රිද්දගන්නවා නං ඉතින් ලොකු කොම්පැණියක් හරියන්නෙ නෑ.

 

7. ඔ‍ෆිස් පොලිටික්ස්!
Big or Small Employers
Source – youtube.com/Hamuwenne Na Ayeth – Romesh Sugathapala

පොඩි කොම්පැණි: පොඩි කොම්පැණියක වුනත් ඉන්නේ පස් දෙනයි නං එතනින් එක්කෙනෙක් ඉන්න පුලුවන් අමු කේලමෙක්. මොකද හැම තැනම ඉන්නේ මිනිස්සුනේ. හැබැයි පොඩි තැනක ඒ වගේ එකෙක්ට ලොකු බලපෑමක් කරන්න බෑ. මොකද පොඩි තැනක ඔක්කොමල්ලට ‍ෆිට් එකේ ඉන්න වෙනවා වැඩේ ගොඩදාන්න නං. ඒ නිසා කාටවත් කේලං කියලා ගොඩයන්නවත්, අයිස් පාර දෙන්නවත් බෑ. එතකොට බොසෙක්ට වුනත් එකෙක්ට හරි එකියක්ට හරි ෆේවර් කරන්නත් බෑ පොඩි කොම්පැණියකදී.

ලොකු කොම්පැණි: ලොකු තැනක තියෙන ප්‍රධානතම අවුලක් තමයි දරුණු විදියට තියෙන ඔ‍ෆිස් පොලිටික්ස්. මෙව්වා නිසා ඔ‍ෆිස් එපා වෙනවා. ඇයි, සමහර වෙලාවට නොකළ වැරදිත් පටලැවෙනවා. සමහර කයියෝ කතාවෙන් වැඩේ ගොඩදාලා ආතල් එකේ ඉන්නකොට වැඩ කරන එවුන්ගේ හිත් රිදෙනවා. සාය කෑලි වලට ආස බොස් කෙනෙක් එහෙම හිටියොත් ඉතින් තත්වෙ තවත් දරුණුයි!

 

8. ගෙවීම්
Big or Small Employers
Source – lifehacker.com

පොඩි කොම්පැණි: පොඩි කොම්පැණියකදී ඉතින් සමහර වෙලාවට සෑහෙන්න ලොකු ගෙවීම් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඔක්කොම ‍ෆිට් එකේ වැඩකරලා කොම්පැණිය ගොඩදානවා කියන්නේ හැමෝටම ඒකේ ප්‍රතිලාභ බෙදෙනවා කියන එක තමයි. පොඩි කොම්පැණියක ගොඩක් වෙලාවට වැඩේ ගොඩයනකොට බෝනස් අනං මනං වුනත් අනිවා ලැබෙනවා. ඔ‍ෆිස් ට්‍රිප් එකක් වුනත් දාගන්නේ වැඩ කරන සෙට් එක ආතල් ගන්න මිසක් වැඩ කරන එවුන්ට දෙන කැරට් අලයක් විදියට නෙවෙයි. හැබැයි ඉතින් හෙල්ත් ඉන්ෂුරන්ස්, ජිම් ‍ෆ්‍රී කාඩ්, ටෙලිෆෝන් රීඑම්බ්‍රේස්මන්ට් වගේ අනං මනං දීමනා එහෙම ලැබෙන්නෙ නෑ.

ලොකු කොම්පැණි: ලොකු තැනක එකඟ වෙන පඩියට එහා පැත්තේ ඉතින් අර අවුරුද්දකට සැරයක් බෝනස් එකක් එහෙම දුන්නොත් තමයි. ගොඩක් තැන්වල ඇත්තටම එහෙම බෝනස්වත් දෙන්නෙ නෑ. හැබැයි නොවරදවාම පඩි ගෙවනවා. හෙල්ත් ඉන්ෂුරන්ස් වගේ අමතර වාසිත් සෙට් වෙනවා. හැබැයි අපි මහන්සි වෙලා වැඩ ගොඩදාලා කොම්පැණිය ලංකාවේ අංක එක කලත්, දෙන කාලෙකට මිසක් පඩි වැඩි කරන්නෙ නං නෑ.

 

අන්තිමට හැබැයි මේකත් කියන්න ඕන. පොඩි කොම්පැණියක් වුනත් කවදාහරි ලොකු කොම්පැණියක් බවට පත් වෙනවා. ඒකනේ වෙන්න ඕන. එතකොට සමහරුන්ට මෙච්චර කල් ගත්තු ආතල් නැති වෙන එක අවුල් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, පොඩි කොම්පැණියක ගොඩක් වෙලාවට වැඩ කරන වෙලාවල් හරි ෆ්ලෙක්සිබල්. වැඩේ වෙනවා නං කීයට ආවත් කමක් නෑ. එහෙම තියෙනකොට වැඩ ඉවරකරන්න නයිටක් ගහන එක වුනත් අවුලක් නෑ. ඇයි මොරාල් තියෙනවනේ. හැබැයි මේ පොඩි කොම්පැණිය ලොකු කොම්පැණියක් වෙනකොට ඔන්න වර්කින් අවර්ස් ‍ෆික්ස් වෙන්න ගන්නවා. යන එන වෙලාව සටහන් කරන්න ‍ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එනවා. එතකොට අර පණ කඩාගෙන නයිට ගහගෙන ඔ‍ෆිස් එකට වැඩ කරපු එකාට වුනත් හෙන අවුල්. ඇත්තටම අවුල එන්නේ මේ ගෙදර වගේ හිටපු තැන ආයතනිකගත වෙනවා කියන හැඟීමත් එක්ක. ඒවා ඉතින් නවත්තන්න බෑ. හොඳම දේ තමයි තමන් ප්‍රොෆෙෂනල් වෙන එක. ඉන් පස්සේ කොහේ වැඩකළත් තමන්වත් දියුණු කරගන්න එක. දැන් තීරණය කරන්න පුලුවන් පොඩි කොම්පැණියකට සෙට් වෙලා ඒක දියුණු කරලා ලොක්කෙක් වෙනවද, නැතිනං ලොකු කොම්පැණියකට සෙට් වෙලා ඒකෙම උඩට ගිහින් ලොක්කෙක් වෙනවද කියන එක.

 

 

අනිවා Smart Work Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required




 
Cover Image Source – hindustantimes.comm