අපේ කාලේ මුහුදු කොල්ලකාරයෝ ගැන දැනගන්න මේ කරුණු 7 කියවන්න

 

සාමාන්‍යයෙන් ඉතින් මුහුදු කොල්ලකාරයෙක්ය කිව්ව ගමන් ඔළුවට එන්නේ අර පයිරට්ස් ඔෆ් ද කැරිබියන් පිචර් එකේ ජැක් ස්පැරෝ ලොක්කවනේ. හැබැයි ඉතින් ඊට වඩා පොඩ්ඩක් අතීත මුහුදු කොල්ලකාරයෝ ගැන විස්තර හොයන්න ඇම්මක් තියෙන ඈයෝ දන්නවා ඉස්සර හිටපු බ්ලැක් බියර්ඩ් හෙවත් කළු ‍රැවුලා හෙවත් එඩ්වඩ් ටීච්, විලියම් කිඩ්, බ්ලැක් බාට් හෙවත් බර්තොලමියු රොබට්ස්, ඇනා බොනී, සර් හෙන්රි මෝගන් වගේ ලෝක ප්‍රකට භයානක මුහුදු කොල්ලකාරයෝ ගැන. ඇත්තටම කැරිබියානු මුහුදු කොල්ලකාරයින්ගේ ස්වර්ණමය යුගය සෑහෙන්න පොත් පත් වලට, ‍ෆිල්ම් වලට එහෙම පාදක වෙලාත් තියෙනවා. මතකයිනේ ජෝන් සිල්වර් හිටපු ට්‍රෙෂර් අයිලන්ඩ්? එතකොට රොබින්සන් කෘසෝ?

හැබැයි ඔය අපි ආස කරපු විදියේ මුහුදු කොල්ලකාරයෝ අභාවයට ගියත්, අද වෙනකොටත් ලෝකේ ප්‍රධාන අප්‍රධාන මුහුදු මාර්ග වල ඉඳලා නැව් වලට පහර දෙන මුහුදු කොල්ලකාරයෝ ඉන්නවා කියන එක නං කියන්නම වෙනවා. මේ කතා කරන්න යන්නේ වර්තමාන මුහුදු කොල්ලකාරයෝ ගැන කතා කීපයක්. හරියටම කියනවා නං ලෝකේ ප්‍රධාන මාතෘකාවක් වුණු සෝමාලි මුහුදු කොල්ලකාරයෝ ගැන.

 

1. නිතරම ලංකාවේත් අහන්න ලැබුණනේ
Modern Day Pirates
Source – telegraph.co.uk, sundayobserver.lk

අපිට ඊයේ පෙරේදා සෑහෙන්න මුහුදු කොල්ලකරුවෝ ගැන අහන්න ලැබුණා. ඒ පහුගිය මාසේ 14 වෙනිදා ‘ඒරීස් 13’ කියන නැව ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයෝ 8 දෙනෙකුන් එක්ක සෝමාලියානු මුහුදු කොල්ලකාරයෝ පැහැර ගැනීමත් එක්ක. මේ සාමාජිකයින්ව පණ පිටින් බේරලා එවන්න නං ඩොලර් ලක්ෂ 50ක කප්පමකුත් ඉල්ලලා තිබුණා. දැන් හිතාගන්න පුලුවන්නේ කොහොමද මේ වර්තමාන ලෝකේ මුහුදු කොල්ලකෑම් ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැබැයි ගැලවීමේ හමුදා සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවකුත් වෙලා, ප්‍රාණ ඇපකාරයෙක් ලංකාවේ ඉන්න නෑදෑයන්ට කතා කරලා වෙඩි තියන එක නවත්තන්න ලංකාවේ රජයට මැදිහත් වෙන්න කියලත් කිව්වා. හැබැයි දින දෙකකට පස්සේ හදිසියේම කාටවත් අනතුරක් කරන්නෙත් නැතුව, සල්ලි ඉල්ලන්නෙත් නැතුව ප්‍රාණ ඇපකාරයින්ව නිදහස් කරන්න සෝමාලි මුහුදු කොල්ලකරුවෝ සෙට් එක කටයුතු කරනවා!

 

2. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ආරම්භය
Modern Day Pirates
Source – pinterest.com

සෝමාලියාව කියන්නේ දශක ගණනාවක් තිස්සේ සිවිල් යුද්ධ සහ තවත් බොහෝමයක් අර්බුද එක්ක දැඩි ලෙසින් පීඩා විඳින රටක්. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක සෝමාලියාවේ මධ්‍යම රජය බිඳ වැ‍ටුනට පස්සේ සෝමාලි නාවික හමුදාවත් විසුරුවා හැරෙනවා. ඒ කියන්නේ සෝමාලියානු මුහුදු තීරයට කිසිම ආරක්ෂාවක් නැතුව යනවා. දැන් මේ ප්‍රශ්නෙන් සෑහෙන්න පීඩා විඳින්නේ සෝමාලි ජාතික ධීවරයෝ තමයි. ඇයි ඉතින් පේනවනේ හැම රටකම මුහුදු ධීවර කර්මාන්තයට තියෙන ගේම්. පොඩ්ඩක් ඇත්තං ජාත්‍යන්තර සීමා පැනලා අනුන්ගේ ඒරියල් එකක මාළු ටික අල්ලගෙන යන්න තමයි කොයි රටේ ධීවර සෙට් එකත් ට්‍රයි එක දෙන්නේ. ඉතින් සෝමාලි නාවික හමුදාව නැති වුනහම මෙහෙම නීති විරෝධීව මාළු අල්ලන විදේශික ධීවර ගැන්සි වලට සෝමාලි මුහුදු තීරය රජ මගුල් සක්වලක් වුනා. ඒ විතරක් නෙවෙයි. කිසිම ආරක්ෂාවක් නැති සෝමාලි මුහුදු තීරය කසල කලාපයක් විදියටත් පාවිච්චි කරන්න පටන් ගැනුනා. ඒ කියන්නේ ඔය ලොකු නැව් සමාගම් වල නැව් වලින් පවා විෂ අපද්‍රව්‍ය මුදාහරින්න මේ සෝමාලි මුහුදු තීරය යොදාගත්තේ නාවික හමුදාවකින් ආරක්ෂාවක් නැති නිසා තමා. අන්තිමට මේ ප්‍රශ්නේ විසඳාගන්න දුප්පත් සෝමාලි ධීවරයින්ට වෙන ක්‍රමයක් තිබුණෙ නෑ, ආයුධ අතට ගන්නවා ඇරෙන්න. ඒ වගේම ගැන්සි හදාගන්නත් වුනා මේ ධීවරයින්ට.

හැබැයි කාලයාගේ ඇවෑමෙන් මේ ආයුධ සන්නද්ධ ධීවර ගැන්සි තේරුම් ගන්නවා හොරෙන් මාළු අල්ලන්න එන ජාවාරම්කාරයෝ එක්ක හැප්පිලා මාලු අල්ලනවට වඩා මුහුදු කොල්ල කන එක මාරම ප්‍රො‍ෆිට් තියෙන වැඩක් කියලා. ආන්න එතනින් තමයි වැඩේ පටන් ගන්නේ. පස්සෙ පස්සෙ ඔය හිටපු හමුදාකාරයෝ විතරක් නෙවෙයි සමාගම් එහෙමත් සෝමාලි මුහුදු කොල්ලකාරයින්ට අරමුදල් ලබාදීලා, කොල්ල කෑම් වල ලාබේ බෙදාගන්න පටන් ගත්තා.

 

3. සෝමාලි මුහුදු කොල්ලකාරයින්ගේ ගේම්
Modern Day Pirates
Source – seatrade-maritime.com

ඇත්තටම දුප්පත් සෝමාලි ධීවරයින්ගේ අතට ආයුධ දීලා සන්නද්ධ කරන්න කටයුතු කරන්නේත් හිටපු රජයේ සෝමාලි යුධ හමුදා නිලධාරියෝ තමයි. හැබැයි එහෙම කරන්නේ නරකක් හිතලා නෙවෙයි, සෝමාලි ධීවරයින්ව ‍රැක ගන්න. හැබැයි ටික කාලයක් යනකොට වැඩේ වෙනම පැත්තකට හැරෙනවා.

මුලින් මුලින් හොරාට සෝමාලි මුහුදු තීරයට ඇතුලු වෙන ධීවර යාත්‍රා අල්ලගෙන, ඒවල අල්ලලා තියෙන මාලු ඔක්කොම තමන්ගේ අයිතියට අරගෙන අනවසර ධීවරයින්ව පලවා හරින එක තමයි කරන්න ගත්තේ. පස්සේ සෝමාලි මුහුදු කොල්ලකාරයෝ තේරුම් ගන්නවා වැඩේ තවත් ලාබයි කියලා මේ හොරෙන් එන ධීවර යාත්‍රා වල ධීවරයින්ව අල්ලගෙන කප්පම් ඉල්ලන ගේමට බැස්සනං. හැබැයි තව අවුරුදු ගාණක් යනකොට සෝමාලි මුහුදු කොල්ලකාරයින්ගේ ශක්තිය වැඩිවෙනවා විතරක් නෙවෙයි, සෝමාලියානු මුහුදු තීරය හරහා යන වාණිජ නැව් වලින් වගේම මගී නැව් වලිනුත් කප්පම් ගන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට වෙන්නේ නැවකට ගහලා අල්ලගෙන අරන් යනවා රහසිගත සෝමාලි වරායකට. ඉන් පස්සේ ඒ සමාගම් වලින් හරි රටවල් වලින් හරි කප්පම් ඉල්ලනවා නැව නිදහස් කරන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ නැව් සඟවන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි වීම නිසා විකල්පය වෙන්නේ කප්පම දීලා බේරෙන එක තමයි. මේ අවුරුදු ගණනාව ඇතුළතදී මෙහෙම සෝමාලි කොල්ලකරුවෝ පහර දුන්නු නැව් ප්‍රමාණය සෑහෙන්න විශාලයි.





 

4. සෝමාලි මුහුදූ කොල්ලකාරයින්ගේ අවි ආයුධ
Modern Day Pirates
Source – acidcow.com

අර ‍ෆිල්ම් වල අපි දකින පයිරට්ලා මොකෝ කරන්නේ? මොකක් හරි වෙන රටක කොඩියක් දාගෙන ෂේප් එකේ යාත්‍රා කරන නැවකට ලං වෙනවා. ඉන් පස්සේ නැවට ගහලා අල්ලගන්නවා. එහෙමත් නැත්තං කෙලින්ම අර මිනී ඔළුවක් තියෙන කළු කොඩිය දාගෙන සීස් ගාලා ඇවිත් නැවකට ගහලා අල්ලගන්නවා. ගොඩක් වෙලාවට කඩු කිණිසි වලින් ගේම යන්නේ. පස්සෙ පස්සෙ මස්කට් තුවක්කු, කොටන පිස්‍තෝල එහෙමත් වැඩේට සෙට් වෙනවා. හැබැයි දැන් කෙලින්ම නවීන ආයුධ එක්ක තමයි මුහුදු කොල්ලකාරයෝ ගේමට බහින්නේ.

සෝමාලි මුහුදු කොල්ලකාරයෝ තාමත් ඉස්සර වගේම අර ග්‍රැප්ලින්ග් හුක් කියන කොකු පාවිච්චි කරනවා නැව් වලට නගින්න වගේම ලඟ ලඟ පහර දෙන්නත්. එතකොට සෝමාලි මුහුදු කොල්ලකාරයින්ගේ ජනප්‍රියම ආවුදේ තමයි රුසියන් ඒ.කේ.47 එක. ඒ වගේම තමයි ලෝන්ග් රේන්ජ් වෙපන් එකක් විදියට තවත් රුසියන් නිෂ්පාදනයක් වුණු බලසම්පන්න පී.කේ.එම්. මැෂින් තුවක්කුත් පාවිච්චි කරනවා. මේවෑයින් ඕන නං පොඩි ප්ලේන් පවා වෙඩි තියලා බිම දාන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, ආර්.පී.ජී.7 රොකට් රෝන්චර් එහෙමත් සෝමාලි කොල්ලකරුවෝ අතේ සුලභව දකින්න පුලුවන්.

මීට අමතරව සෝමාලි මුහුදු කොල්ලකාරයෝ ජී.පී.එස්. සිස්ටම්, සැට් ෆෝන්, නයිට් විෂන් ගොගල්ස් ඇතුළු නවීන තාක්ෂණික උපාංග පවා පාවිච්චි කරනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ.

 

5. සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනය
Modern Day Pirates
Source – wikipedia.org

සෝමාලියාව හා අවට මුහුදු තීරය කියන්නේ ප්‍රධානතම මුහුදු මාර්ගයන් වැටිලා තියෙන ප්‍රදේශයක් වීම ලොකු ප්‍රශ්නයක් වුනා මීට වසර කීපයකට පෙර. ඇයි, බයක් නැතුව යන්න බැරි තරමට වාණිජ සහ මගී නෞකාවලට ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, සෝමාලි මුහුදු කොල්ලකරුවන් ප්‍රාණ ඇපයට ගන්න නැව් මුදාගන්න එකත් ලොකු ප්‍රශ්නයක් වුනා. මොකද කාටවත් හිතාගන්න බෑ නැව් අල්ලගත්තට පස්සේ ගෙනියන්නේ කොහාටද කියලා. අනික සෝමාලියාව කියන්නේ අර ඇමරිකන් ‍ෆිල්ම් වල වගේ ස්පෙෂල් ෆෝර්සස් සෙට් එකක් බස්සලා ඩිෂුම් ඩිෂුම් ගාලා වැඩේ ඉවර කරන්න පුලුවන් රටක් නෙවෙයිනේ. රටේ අරාජික භාවය හින්දම රට බොහොම අනතුරුදායකයි හැමෝටම.

කොහොම වුනත් ඉන් පස්සේ අනික් රටවල් උත්සාහ කලා සෝමාලියානු මුහුදු කොල්ල කාරයින්ගේ සටන් උපක්‍රම අඳුනගෙන බේරෙන්න. ඒකත් ඒ තරම් සාර්ථක වුනේ නැහැ, හරියටම නැවකට ප්‍රහාර එක්ක කරන කාල වේලාවන්, රටාවන් දවසින් දවස වෙනස් වුණු නිසා. කොහොම්ම වුනත් පැයට නාවික සැතපුම් 25 ක වේගයක් පවත්වා ගැනීම අනිවාර්ය මුහුදු කලාපය ඇතුළතදී වැඩි වශයෙන් ප්‍රහාර එල්ල වෙන බව නිරීක්ෂණය කරන්න ලැබුණා.

 

6. තර්ජනයට පිළිතුරු
Modern Day Pirates
Source – wikipedia.org

මේ සෝමාලියානු මුහුදු කොල්ලකාරයින්ගේ හිසරදේ හින්දා ලෝක බලවත්තු වගේම, සෝමාලියානු මුහුදු තීරය හරහා යාත්‍රා කරන නැව් අයිති සමාගම් පවා සෑහෙන්න උත්සාහ කලා මේ ප්‍රශ්නයට විකල්ප හොයන්න. ඒකට එක එක ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරන්න පටන් ගත්තා. එතකොට ලෝකේ වෙනත් රටවල් එකමුතු වෙලා සන්ධාන ගත වුණු නාවික කාර්ය සාධක බලකායන් එහෙමත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ එක්ක සටනට බැස්සා. Combined Task Force 150 (CTF-150) කියන්නේ ඒ අතරින් අවධානයට ලක් වුණු අන්තර් ජාතික නාවික සන්ධානයක්. චීනය, රුසියාව, ඉන්දියාව සහ ඉරානය වගේ රටවල මුහුදු තීරයන් වලත් තිබුණු කොල්ලකරුවන්ගේ තර්ජනයට එරෙහි වෙන ගමන්ම සෝමාලි මුහුදු කොල්ලකාරයින්ට විරුද්ධවත් මේ කාර්ය සාධක බලකාය සාර්ථකව සටන් කළා.

ඒ එක්කම බිහිවෙන්න පටන් ගත්තා විවිධ ආරක්ෂක සමාගම්. ඇවන්ට් ගාඩ්, රක්නා ලංකා වගේ ලංකාවේත් කතාබහට ලක්වුණු සමාගම් මතකයිනේ. මේ සමාගම් වලින් කරන්නේ ආයුධ සන්නද්ධ ආරක්ෂකයින්ව වාණිජ සහ මගී නෞකා වලට සපයන එක. උපරිම වශයෙන් සන්නද්ධ වුණු මේ ආරක්ෂකයෝ සෝමාලියානු මුහුදු තීරය හරහා ගමන් කරන නැව් වලට ගොඩ වෙලා අන්තරායදායක සීමාව පහුවෙනකල් ආරක්ෂාව සපයනවා. මේ අතරේ ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් නිර්මාණය කෙරුණු ආයුධ සහ පතරොම් පිරවූ ඇවන්ට් ගාඩ් නෞකාව ඇත්තටම භාවිතා වුනේ මේ මුහුදු සීමාවේ තියෙන පාවෙන අවි ගබඩාවක් විදියට ක්‍රියාත්මක වෙන්න කියලා තමයි ඒකේ අයිතිකාරයෝ කියන්නේ. කොහොම වුනත් දැන් මේ මෙහෙයුම් ආයෙමත් නාවික හමුදාවට පැවරිලා තියෙන්නේ.

කොහොමත් නේටෝ එකේ ඉඳන් ලෝක බලවතුන් ගණනාවක්ම උදම් අනන්න පටන් ගත්තා තමන්ගේ ප්ලෑන්ස් හින්දා සෝමාලි මුහුදු කොල්ලකාරයෝ පසුබැහැලා ගියා කියලා. ඇත්තටම පහුගිය අවුරුදු හතර පහ ඇතුළත එහෙම ලොකුවට ප්‍රශ්න වාර්තා වුනේ නැහැ තමයි. ඒත් සෝමාලි මුහුදු කොල්ලකරුවෝ සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහින් කියලා හිතන එක මෝඩකමක්.

 

7. වෙන රටවල මුහුදු කොල්ලකාරයෝ නැද්ද?
Modern Day Pirates
Source – geoawesomeness.com

අපොයි ඉන්නවා. ඉන්දීය සාගරය, නැගෙනහිර අප්‍රිකානු මුහුදු තීරයන් වගේම ඈත නැගෙනහිර මුහුදු තීරයන් -ඒ කියන්නේ දකුණු චීන මුහුද, දකුණු ඇමරිකා මුහුදු තීරය වගේම කැරිබියානු මුහුදු තීරයත්, එතකොට රතු මුහුදත් මුහුදු මංකොල්ලකාරයින් ගැවසෙන හොට් ස්පොට් විදියට සැලකෙනවා. ඒ විතරක් නෙවෙයි, ඩැනියුබ් ග‍ඟෙන් එහාට සර්බියානු සහ රොමේනියානු කලාප වල පවා කොල්ල කෑම් වාර්තා වෙලා තියෙනවා.

ජාත්‍යන්තර සාමුද්‍රීය කාර්යාංශය ප්‍රකාශ කරන විදියට “ඕනම මුහුදු යාත්‍රාවකට සොරකම් කිරීම හෝ වෙනත් ඕනෑම අපරාධයක් කිරීමේ අරමුණෙන් යුතුව බලයෙන් ගොඩවීම හෝ බලය පාවිච්චි කිරීමේ හැකියාව එක්ක ගොඩවීම කියන්නේ මුහුදු මංකොල්ලකෑම” තමයි. ගොඩක් වෙලාවට වර්තමානයේදී භාවිතා වෙන්නේ බලෙන් නැවකට හෝ නාවික යාත්‍රාවකට ගොඩ වෙලා ඒකේ ඉන්න අයව ප්‍රාණ ඇපකාරයෝ කරගෙන කප්පම් ඉල්ලීම වුනත්, පරණ තාලෙට නැව් මංකොල්ල කාපු අවස්ථාවන් එහෙමත් ඕන තරම් තියෙනවා.

ඉස්සරට වඩා නූතන මුහුදු කොල්ලකාරයෝ වුනත් ක්‍රියාකාරී වීම අඩුද? සාපේක්ෂව අඩුයි. හැබැයි නැවතිලා නෑ. හොඳම දේ තමයි ඉස්සර වගේම විවිධ රටවලට අයිති මුහුදු තීරයන්ට වගේම ජාත්‍යන්තර මුහුදු තීරයන්ටත් එක විදියටම ආරක්ෂාව ලබාදෙන එක. මොකද කවදාවත් – අඩු ගාණේ පේන තෙක් මානේ අනාගතයේදී නං මුහුදේ වුනත් ගොඩබිම වුනත් අපරාධ නැත්තටම නැතිවෙයි කියලා හිතන්න බැරි නිසා.

 

සෝමාලි මංකොල්ලකරුවන් සම්බන්ධ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන හැදුණු චිත්‍රපටයක් තියනවා. ඒ තමයි 2013 අවුරුද්දෙදි ප්‍රදර්ශනය කෙරුණු Captain Phillips චිත්‍රපටය. එක්සත් ජනපදයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් 2009 වසරේදී සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගැනීමේ සත්‍ය සිදුවීම වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මේ චිත්‍රපටයේ කැප්ටන් පිලිප්ස් කියන ප්‍රධාන චරිතය රඟදක්වන්නේ සුප්‍රකට රංගන ශිල්පී ටොම් හෑන්ක්ස් විසිනුයි.

 

 

අනිවා Life Today Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required




 
Cover Image Source – utusan.com.my