මේ ලියවෙන්නෙ ටැරන්ටිනෝගෙ අපි දකින හොඳම චිත්‍රපට හතක් ගැන සටහනක්

 

ක්වන්ටින් ටැරන්ටිනෝ කියන්නෙ සිනමා ලෝකයේ පෙරළිකරුවෙක්. කට කැඩිච්ච උත්තර දෙන, හිත කැඩෙන වැඩ කරන විශිෂ්ට සිනමාකරුවෙක්. ෆිල්ම් ඇතුළෙ වෙනස්කම් කරන, සම්ප්‍රදායන් ගැන නොහිතා තමුන් කැමති දේ කරන, ෆිල්ම් එකකට එකක් සම්බන්ධ කරන, හොඳටම වයලන්ස් සිනමාවට ගේන, ප්‍රේක්ෂකයාට වුනත් F*k U කියන ජාතියෙ කෙනෙක්. සමහර ෆිල්ම් තේරුම් ගන්න ටිකක් අමාරුයි වගේම සමහර ෆිල්ම් ඇතුළෙ අනිත් ෆිල්ම්වලටට්‍රිබියුට් එකක් ගිහිල්ල තියෙන විත්තියත් එක සමාන කැමරා ෂොට්ස්වලින් කියවෙනවා. ඒ වගේමයි මියුසික්. කාලයක් රෙකෝඩ් ස්ටෝර් එකක වැඩ කරලා තියෙන නිසාද මන්ද ටැරන්ටිනෝගේ ෆිල්ම් ඇතුළෙ බටහිර පන්නෙ සින්දු වගේ, ජපන්, හින්දි තාල සද්දත් අහන්න පුළුවන්. තමන්ටම කියල තියෙන්නෙ ෆිල්ම් අටක් වුනාට ඒ අට ලෝක සිනමාවේ සුවිශේෂයි. අනිත් නිර්මාණ ටැරන්ටිනෝ ලියපු සහ කරපු ෂෝට් ෆිල්ම් වගේ දේවල් නිසා ෆෝ රූම්ස් ගැන මේකට නොකියා ඉන්නම්. හැබැයි හොයාගෙන බලන්න. අනිත් ප්‍රධානම දේ අපි මේ ලියන්නෙ ලකුණු දාපු හොඳම චිත්‍රපට අනුපිළිවෙලකට නෙමෙයි.

 

1. පල්ප් ෆික්ෂන්
Tarantino
Source – imdb.com

මේක බ්ලැක් කොමඩියක් විදියටයි කැටගරි වෙන්නෙ. ලියන්නෙත් ටැරන්ටිනෝ. නිකුත්වෙන්නෙ හොලිවුඩ් සිනමාවට හොඳම අවුරුද්ද වුනු 1994. සැකයිනං ඒ අවුරුද්දෙ ෆිල්ම් ලිස්ට් එක බලන්න. වැඩේ කරලා තියෙන්නෙ අමුතු විදියකට. නිකමට හිතන්න මෙහෙම. පරිච්ඡේද පහක පොතක් ලියලා කොටස් පහ මාරු කරලා තියලා කියවන්න දෙනව වගේ වැඩක් තමයි වෙන්නෙ. සමාන්තරව දිවෙන කතා කීපයක් ඇසුරින් තමයි පල්ප් ෆික්ෂන් චිත්‍රපටය දිගහැරෙන්නෙ. මේ සමාන්තරව යන කතා වල චරිත කතාවේ තැන් තැන් වලදි එකිනෙකාව මුණ ගැහෙන්නෙ ලොකු ලොකු ජරමර සිද්ධ කරමින්.සමස්ථයක් විදියට ඩයලොග්ස් නියමයි. ෆිල්ම් එකත් ෆුල් වයලන්ස්. උමා තර්මන් “ගර්ල් යූල් බී අ වුමන් සූන්” කිය කිය නටන හැටි හරිම තාත්විකයි. සිනමා ඉතිහාසයේ ප්‍රසිද්ධම නැටුමත් මේ ෆිල්ම් එකේමයි තියෙන්නෙ. තමන්ගෙ බොසාගෙ වයිෆ් වුනු උමා තර්මන් හා ජෝන් ට්‍රැවොල්ටා අතරෙ කියවෙන ප්‍රබන්ධ කතාවක් තියෙනවා. ඒ ප්‍රබන්ධ කතාව ඊට අවුරුදු හතරකට පස්සෙ ටැරන්ටිනෝ අතින්ම ෆිල්ම් එකක් වෙලා එළියට එනවා. අන්න ඒ වගේ වැඩ තමයි පොර ගාව තියෙන්නෙ. ෆිල්ම් එකෙන් නම කියන්න හොද නැති ෆිල්ම් කල්චර් එකකටත් රහසින්ම ප්‍රණාමෙ පුද කරල තියනව මේකෙ එක තැනක. කෑන්ස්වලදි පාම් ඩිඕර් එකත් දිනනවා. ටැරන්ටිනෝගෙ මාස්ටර්පීස් එක කියල තමයි මේක රෙජිස්ටර් වෙන්නෙ. හැබැයි මේක තමයි ටැරන්ටිනෝගෙ දෙවෙනි ෆිචර් ෆිල්ම් එක වෙන්නෙත්.
 

 

2. රිසර්වයර් ඩෝග්ස්
Tarantino
Source – imdb.com

ඔන්න වැඩේ. මේකත් ලේ පෙරෙන කතාවක්. එකම විදියට කලු කෝට් සුදු ෂර්ට් සහ කළු ටයි ඇඳපු සෙට් එකක් ඉන්නවා,මේ හැමෝම දාලා ඉන්නව සන්ග්ලාසස්. කට්ටියට තියෙන්නෙ එකම විදියෙ වෙනස් නම්. ඔවු. අවුල් තමයි. කට්ටියට තියෙන්නෙ වෙනස් වෙනස් පාට වල නම්. කට්ටිය ඇතුළෙ අනිත් කට්ටිය ගැන විස්තරයක් දන්නෙ මේ කට්ටියව එකට සෙට් කරපු මනුස්සයා විතරයි. ෆිල්ම් එක පටන්ගන්නෙ වට මේස කතාවකින්. කෑම කන ගමන් දාන මේ කතා බහ ෆුල් ආතල් එකක්. ෆිල්ම් එකේ ටැරන්ටිනොත් රඟපානව. වැරදිච්ච මංකොල්ලයක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. අනන්‍යතා හංගගෙන ඉන්න හොරු අතරෙ ඉන්න රහස් ඔත්තුකාරය කවුද? වෙන්නෙ මොනාද? කියල බලන්න ෆිල්ම් එක බලන්න ඕන. මේ ෆිල්ම් එකේ එක එක චරිත වලට දීල තියන පාට වලින් වගේම ෆිල්ම් එකේ තැන තැන පෙන්වන පාට සංඥා වලිනුත් ෆිල්ම් එකේ ද්‍රෝහියා කවුද කියල ඔත්තු දෙනවය කියල කියනව. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනව. ටැරන්ටිනෝට ලොකු නළුවො පොඩි නළුවො කියල භේදයක් නෑ. කලින් චිත්‍රපටයක ප්‍රධාන නළුව පස්සෙ එකකදි දෙබස්වත් නැති චරිතයක් වෙන්නට හොඳටම ඉඩ තියෙනවා.
 

 

3. හේට්ෆුල් එයිට්
Tarantino
Source – imdb.com

ටැරන්ටිනෝගෙ අන්තිම ෆිල්ම් එක. ඉන්න අටදෙනාම ප්‍රධාන නළු නිළියො. එක නිළියයි නළුවො හතයි. අවසානය වෙනකං කාවද විශ්වාස කරන්නෙ කිය කිය හිත හිත ඉන්න සිද්ධ වෙනවා. අපි මුලින් කියපු මුලින් ප්‍රධාන නළුවො පස්සෙ අඩු කුලේ චරිතවලට දාන ටැරන්ටිනෝගෙ පුරුද්ද මේකෙදිත් දැකගන්න පුලුවන්. නිකමට බලන්නකො මයිකල් මැඩ්සන්ට සිද්ධ වෙන දේ. කරන්න හදලා මග නවත්තන්න හදපු ෆිල්ම් එකක්. ඒ ස්ක්‍රිප්ට් එක ටැරන්ටිනෝට හොරෙන් එළියට ගිය නිසායි. මුල් ටික ටිකක් කම්මැලියි වගේ දැනෙන්න පුළුවන්. ඒ දෙබස් වැඩි නිසා. මේකත් ලේ පනින රහස් පරීක්ෂක ටයිප් වැඩක්. මනුස්සයෙක්ගෙන් පළිගන්නෙ කොහොමද කියලත් මේකෙදි හොඳට බලාගන්න පුළුවන්. මේකට මියුසික් කරපු එනියෝ මොරිකෝන් එයාගෙ පළවෙනි සම්මානෙ ගන්නෙත් මේකෙන්. හිතාගන්න පුළුවන්නෙ ඒ ප්‍රවීණ සංගීත රචකයා කොහොම වැඩක් දාන්න ඇතිද කියලා.
 





 

4. ජැන්ගෝ අන්චේන්ඩ්
Tarantino
Source – imdb.com

මේකත් කල්ලො සුද්දො කතාවක්. ක්‍රිස්ටෝෆර් වොල්ට්ස් රඟදක්වන දත් දොස්තර වැඩේට මුවාවුනු හිට් මෑන් චරිතෙ විසින් බේරගන්න කළු වහලා වෙන්නෙ ජේමි ෆොක්ස්. ඔවුන්ගේ පරම ඒකායන අරමුණ විදියට අන්තිමේ වෙද්දි ලේ හෙල්ලෙන්නෙ කාගෙද කියන එක ෆිල්ම් එක බලලම හොයාගන්න. ලියනාඩෝ ඩිකැප්‍රියෝගෙනුත් දක්ෂ රංගනයක් දකින්නට පුළුවන් මේ චිත්‍රපටයත් ලේ පනින වැඩක්. ටැරන්ටිනෝනං කියන්නෙ ෆිල්ම් එකක්නං වයලන්ස් තියෙන්න ඕන කියලයි. මේකෙත් තියෙනව අමුතු සහසම්බන්ධකං. ඔරිජිනල් ඉතාලි ජැන්ගෝ ෆිල්ම් එකේ ජැන්ගෝට රඟපාපු නළුවා මේකෙදි ජේමි ෆොක්ස් එක්ක කැමියෝ එකකට සෙට්වෙනව. ඒව තමයි වැඩ. තමන්ගෙ ජාතිය වහළුන් වෙනවාට උදවු කරන මිනිසුන් කොතරම් භයානකද? සම්මාන ගොඩක් අස්සෙ ඔස්කා සම්මානෙකුත් මේ වෙනුවෙන් ටැරන්ටිනෝ දිනාගත්තා.

 

5. කිල් බිල්
Tarantino
Source – imdb.com

ඔන්න ටැරන්ටිනෝගෙ වැඩියෙන්ම කතාවෙච්චි වැඩක්. ෆිල්ම් එක ගහන්නෙ කොටස් දෙකකට. අපි කලින් කියපු පල්ප් ෆික්ෂන් එකේ සිද්ධ වෙච්ච කතාව තමයි මේක. තමුන් මුලින් හිටපු මැර කල්ලියෙ සෙට් එකෙන් පලිගන්න මරා දාන ගැහැණියගේ කතාව. මියුසික්, කැමරා ඈන්ගල්ස් වගේම දෙබස් නියමෙටම තියෙන වැඩක්. ටැරන්ටිනෝගෙ පෙම්වතිය වුනු උමා තර්මන්මයි රඟඟපාන්නෙ. ටැරන්ටිනෝගෙ මේ ෆිල්ම් එකත් ග්‍රයින්ඩ්හවුස් කියන පැරණි බලන්නට අපහසු සිනමා සංස්කෘතියට උපහාරයක් විදියට කරා කියලයි කියන්නෙ. හැබැයි ටැරන්ටිනෝ කරපු හොඳම ග්‍රයින්ඩ්හවුස් ෆිල්ම් එක මේ ලිස්ට් එකට අපි තව ටිකකින් දානව. ෆිල්ම් එක මැද්දෙ ඇනිමේෂන් වලිනුත් කෑල්ලක් යනව. සමුරායි කඩු සටන්, මාෂල් ආට්ස් එක්ක පැය හතරක් වැඩේ ඇදෙන නිසා ෆිල්ම් දෙකකට තමයි නිකුත් වෙන්නෙ.
 

 

6. ඉන්ග්ලෝරියස් බාස්ටර්ඩ්ස්
Tarantino
Source – imdb.com

මේක ඇමරිකන් ජර්මන් ෆිල්ම් එකක්. ඉන්නව මරු කාස්ට් එකක්. ෆිල්ම් එක ඇතුළෙ සංඥාර්තත් හොඳටම පාවිච්චි කරල තියෙනව. ඒ ඔක්කොටම වඩා තවමත් අභිරහසක්ව තියෙන ඇඩොල්ෆ් හිට්ලර් මැරුණෙ කොහොමද කියන එකත් ටැරන්ටිනෝ මවලා තියෙනවා. ටරන්ටිනෝ විසින් තීරණය කරල තියන හිට්ලර්ගෙ ඉරණම ගැන දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනව. ඒ වගේම මේ ඉන්ග්ලොරියස් බාස්ටර්ඩ්ස් කියන්නෙ මේකෙ තුන්වෙනි පාර්ශවය. ඔවුන් නාසිවත් ඩිරෙක්ට් යුදෙව්වොවත් නෙමෙයි. ඒ ඇමරිකන් යුදෙවුවො සෙට් එකේනායකත්වය බ්‍රැඩ් පිට් දරනවා. නියම ප්ලොට් ට්විස්ට් තියෙන, ක්‍රිස්ටෝෆර් වෝල්ට්ස්ගෙ සුපිරි රංගනයක් දකින්න පුළුවන් ෆිල්ම් එකක්.
 

 

7. ඩෙත් පෲෆ්
Tarantino
Source – imdb.com

මෙන්න අපි කියපු ටැරන්ටිනෝගෙ හොඳම ග්‍රයින්ඩ්හවුස් ෆිල්ම් එක. මේක කරන්නෙ 2007දි. ෆිල්ම් ඩිරෙක්ෂන් වැඩේදි ටැරන්ටිනෝගෙ හිතමිත්‍රයා වන රොබට් රොඩ්‍රිගස් එක්ක එකතු වෙලා දෙන්නා කරනව ෆිල්ම් දෙකක් ග්‍රයින්ඩ්හවුස් ටයිප් එකේ. ෆිල්ම් එක මැද්දෙ එකපාරට බ්ලැක් ඇන්ඩ් වයිට් වෙනවා, කළු සුදු තිත් යනවා වගේ බාධා කිරීම් වෙනවා. ඒ මොක නැතත් හොඳටම වයලන්ස් නම් තියෙනවා. ග්‍රයින්ඩ්හවුස් කියන තනි ටයිට්ල් එක යටතේ ටැරන්ටිනෝගේ ස්ටන්ට්මන් මයික් පැදගෙන යන මාරාන්තික කාර් එක තියෙන ෆිල්ම් එකත්, රොඩ්‍රිගස්ගෙ කකුළෙ තුවක්කුව බැඳගත්තු කෙල්ල ඉන්න ප්ලැනට් ටෙරර් ෆිල්ම් එකත් නිකුත් වෙනවා. ඩෙත් පෲෆ් එක කියන්නෙ දීර්ඝ සහ ත්‍රාසජනක කාර් ලුහුබැඳීමේ ජවනිකාවකුත් ඇතුළත් චිත්‍රපටයක්. ඒත් ඇයි අර ස්ටන්ට්කාරය එච්චර ලස්සන කෙල්ලොන්ව මරන්න හදන්නෙ?
 

 

බෝනස් – ජැකී බ්‍රවුන්
Tarantino
Source – imdb.com

මේ ටැරන්ටිනෝගෙ තුන්වෙන ෆීචර් ෆිල්ම් එක. එකෙත් ඉතින් අඩුපාඩුවක් නැතුව වයලන්ස් තියෙනව. මේ වෙනකං ටැරන්ටිනෝ වෙනිං කෙනෙක් කරපු පොතකින් හදපු එකම ෆිල්ම් එක තමයි මේ. සැමුවෙල් ජැක්සන් සුපිරි රංගනයක නිරත වෙනවා. ජැකී බ්‍රවුන්ගෙ කැරැක්ටර් එක කරන්නෙ පැමෙලා ග්‍රියර්. ෆිල්ම් එකේ පොඩි ට්‍රිබියුට් එකක් තියෙනව හැත්තෑ ගණංවල ඇමරිකාවෙ තිබුනු බ්ලැක්ස්ප්ලොයිටේෂන් ෆිල්ම් ක්‍රමේට. ඒ කියන්නෙ කලු මිනිස්සු වෙනුවෙන් තනපු ෆිල්ම් විශේෂයක්. කලින් බ්ලැක්ස්ප්ලොයිටේෂන් ෆිල්ම් දෙකකම රඟපාපු පැමෙලා මේකට ප්‍රධාන චරිතෙ කරල අරගන්නෙත් ඒ නිසාලු. ෆිල්ම් එකේ පැමෙලාටත් සැමුවල්ටත් අමතරව ඉන්න තවත් විශිෂ්ට රංගනයක නියැලෙන නළුවන් අතර රොබට් ඩිනීරෝ සහ මයිකල් කීට්න් සඳහන් කළ යුතුමයි. ජැකී බ්‍රවුන් කියන ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙකුට මුහුණ දෙන්න වෙන ජරමර රැසක් වටා තමයි මේ කතාව දිවෙන්නෙ. ෆ්ලයිට් ඇටෙන්ඩන් කෙනෙක්ට මේවත් කරන්න පුළුවන්ද කියලා ටැරන්ටිනෝ මවන විදිය ඔබ බැලිය යුතුමයි.
 

 

 

අනිවා Entertainment Junkies Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required




 
Cover Image Source – ew.com