අලුතින් හැදෙන බොලිවුඩ් චිත්‍රපට ඉස්සර හින්දි ෆිල්ම් වලට වඩා වෙනස් වෙන්නෙ මේ හේතු 10 නිසයි

 

හින්දි සිනමාව කියන්නේ සමහර අවස්ථාවල අපි සිංහල සිනමාවටත් වඩා ආදරෙන් වැළඳගන්න සිනමාවක් කිව්වොත් මම හිතන්නේ ඔබ මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ. චිත්‍රපටයෙන් චිත්‍රපටයට වෙනස් තේමාවලින් යුතුව නිර්මාණය වෙන නිසා කිසිම කම්මැලි කමක් නැතුව බලන්නත් පුළුවන්. ඒකෙන් කියවෙන්නේ නැහැ, මෙලෝ රහක් නැති ෆිල්ම් හැදෙනවා කියලා. එහෙම ඒවාත් හැදෙනවා. නමුත් අර කලින් කියපු විදියේ හොඳ චිත්‍රපටි තමයි වැඩි.

ඉස්සර වගේ නෙවෙයි. කාලයත් එක්ක හින්දි චිත්‍රපටයේ ගමන් මාර්ගය වෙනසකට නතු වෙලා.

“ඉස්සර චිත්‍රපටි වලට වලට වඩා මාරයි දැන් ඒවා” අලුතින් එන හින්දි චිත්‍රපටයක් බලද්දි මෙහෙම හිතිලා තියනවාද? ඔබේ උත්තරය “ඔව්” නම් ඇයි එහෙම වෙන්න හේතුව. අන්න ඒ ප්‍රශ්නයට උත්තර මේ ලිපියේ අපි ලබා දීලා තියෙනවා. අනිවා කියවලාම බලන්න.

 

1. අලුත්ම/වෙනස්ම මාතෘකා
Hindi Movie Trends
Source – ssl-images-amazon.com

ඉස්සර හින්දි ෆිල්ම් වල අනිවා පෙනෙන්න ඉන්න තුන් කට්ටුවක් හිටියා. ඒ තමයි පෙම්වතා, පෙම්වතිය, දුෂ්ටයා. මේ තුන් දෙනා අනිවා ඕනෑම හින්දි ෆිල්ම් එකක හිටියා. සමහර හින්දි චිත්‍රපටවල මේ තුන්දෙනාට අමතරව චපෝටර් (සපෝටර් වෙනුවට තමයි මෙහෙම කිවුවෙ), ඒ කිවුවෙ කොල්ලගෙ හෝ කෙල්ලගෙ ලවු එකට උදවු කරන යාලුවෙකුත් හිටියා. ඒ වගේම මුල බලන කොට අග හිතා ගන්න පුළුවන් වෙන විදියට තමයි කොහොමත් ෆිල්ම් එක හැදුනේ. නමුත් කාලෙත් එක්කම හින්දි චිත්‍රපට බොහොම වෙනස් මාතෘකා සහිත ව නිපදවෙන්න ගත්තා. DDLJ කියන කෙටි නමින් හැඳින්වෙන Dilwale Dulhania Le Jayenge  වගේ චිත්‍රපට වල පොඩ්ඩක් මොඩර්න් ලක්ෂණ තිබ්බට අධ්‍යක්ෂක ආදිත්‍ය චොප්රා අර ඉහතින් කියපු සාම්ප්‍රදායික රාමුවෙන් මිදෙන්න උත්සහ කරලා තිබුණේ නැහැ.

නමුත් දැන් එන චිත්‍රපටි වෙනස්. Bahubali කියන්නේ දේව කතාවක්. Half Girlfriend කියන්නේ චේතන් භගත්ගේ ප්‍රසිද්ධ පොතක් ඇසුරින් නිර්මාණය වෙන ෆිල්ම් එකක්. Dear Zindagi චිත්‍රපටය නිර්මාණය වෙන්නේ මානසික උපදේශනය කියන ප්‍රධාන තේමාව වටා ගෙතෙන් චිත්‍රපටයක්. ඒ වගේම Dangal කියන්නේ මල්ලවපොර ක්‍රීඩා කරන යුවතියන් දෙදෙනෙක් වටා ගෙතෙන කතාවක්. හින්දි සිනමාවේ මේ වෙනස ඇති කරන්න හැරවුම් ලක්ෂයක් වෙච්ච චිත්‍රපටයක් හැටියට ෆර්හාන් අක්තාර්ගෙ අධ්‍යක්ෂණයෙන් 2001 වසරෙදි බිහිවෙච්ච දිල් චාහ්තා හේ චිත්‍රපටය නම් කරන්නත් අපි කැමතියි.

ඉතින් මෙන්න මේ වගේ සංකීර්ණ වෙනස්, කතන්දර අද වෙන කොට හින්දි සිනමාව තුල නිර්මාණය වෙනවා. ඒවා ආදායම් වාර්තා අතින් ඉහලින් සිටින්නේත් ඒ නිර්මාණ වල තිබෙන වර්ණවත් භාවය නිසා වෙන්න ඇති.

 

2. වැඩි ෂානර ප්‍රමාණයක්
Hindi Movie Trends
Source – theviewspaper.net

ඉස්සර ඉතින් හින්දි සිනමාව ගත්තහම රොමෑන්ටික්, ඇක්ෂන් සහ කොමඩි ෆිල්ම්ම තමයි වැඩි හරියක් බිහිවුණේ. ඒකට දැන්. අවුරුදු පතා විවිධත්වයකින් යුතු ෂානර වලින් යුක්ත ෆිල්ම් බොහොමයක්ම මේ වෙද්දි බිහි වෙනවා. Go Goa Gone වගේ සොම්බි චිත්‍රපට, රාස් වගේ හොල්මන් චිත්‍රපට, සර්කාර්, රාජ්නීති, ගුලාල්, මැඩ්රාස් කැෆේ වගේ පොලිටිකල් ත්‍රිලර්ස් විතරක් නෙමෙයි ඉරෝටික් ත්‍රිලර්ස්, ඒ කිවුවෙ ලිංගිකත්වය වැඩිපුර හුවාදක්වන චිත්‍රපටත් මේ වෙද්දි බොලිවුඩ් වලින් සෑහෙන්න බිහිවෙනවා.

 

3. කුවේර ජීවිතය
Hindi Movie Trends
Source – pinimg.com

අපි හැමදෙනාම දැන ගත යුතු එක කාරණාවක් තිබෙනවා. ඒ තමයි ඉන්දියාවේ සම්පුර්ණ ජන ගහනයෙන් 20%කටත් අඩු ප්‍රමාණයක් තමයි, ඉහල මධ්‍යම පන්තියට හිමිකම් කියන්නේ. ඉතිරි  ජනගහනයෙන් බහුතරයක් ජීවත් වෙන්නේ බොහොම අඩු දෛනික ආදායමකට යටත්වයි.

මේ ගැන කල්පනා කරපු ඉන්දියානු සිනමාකරුවන්, බහුතරයකගේ සිහිනය වෙන ඉහල පන්තියේ ජීවිතය පාදක කර ගෙන තමන්ගේ කතාවන් ගොඩ නැගුවා. ප්‍රේක්ෂකයින් කැමතියි තමා ගෙවන දුෂ්කර ජීවිතයේ එදිනෙදා ප්‍රශ්න මඳකට අමතක කරලා අර ඉහළින් කියපු කුවේර පහස විඳගන්න. මේ කියන විදිහේ ධන කුවේරයන් අතීත හින්දි සිනමාපට වලත් හිටියට, මේ වෙද්දි ඒ කාලෙට වඩා වැඩියෙන් මෙවැනි චරිත හින්දි සිනමාපට වලින් පෙන්නුම් කරනව.

නිදසුනක් විදිහට මෑතකදී ජනප්‍රිය වුනු Ae Dil Hai Mushkil චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වෙන රන්බීර් කපුර් රඟපාන්නේ “ආයන් සංගර්” කියන චරිතය. චිත්‍රපටයේ හැටියට ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ එකම පුතු, එහි ඔහු ගමන් යනු ලබන්නේ ඔහුගේම ජෙට් යානාවකයි. ඉතින් මේවා සාමාන්‍ය ජීවිත ගත කරන ඔබ අපට සිහින නේද?





 

4. පිටරට විස්තර මෙව්වා
Hindi Movie Trends
Source – youtube.com

බහුතරයක් චිත්‍රපට නිපදවන්නේ ඉන්දියාවේ හැරෙන්නට පිටරටවල් වලයි. ඉස්සරනම් බොහෝ වෙලාවට ගීත ජවනිකා ආදිය සඳහා පමණයි විදෙස් රටවල දර්ශන යොදාගත්තේ. හැබැයි මේ වෙද්දි සම්පූර්ණ චිත්‍රපටයම විදෙස් රටවල රූගත කෙරෙන අවස්ථා වැඩියි.  නිදසුනක් ලෙසට Dilwale Dulhania Le Jayenge, PK, Zindagi Na Milegi Dobara, Bachna Ae Haseeno, Ek Main Aur Ekk Tu වගේ චිත්‍රපටි සියල්ල රූගත කර ඇත්තේ යුරෝපා රටවල් ආශ්‍රිතවයි.

 

5. මතභේදාත්මක කතා
Hindi Movie Trends
Source – santabanta.com

පෙර කියුවා වගේ ඉන්දියානු සිනමාව මේ වෙන කොට බොහොම කතා බහට තුඩු දෙන මාතෘකා තමන්ගේ චිත්‍රපට සඳහා පාදක කර ගන්න ට හරිම දක්ෂයි. 1996 දී මීරා නායර්  Kama Sutra: A Tale of Love චිත්‍රපටය නිර්මාණය කිරීමම ඉන්දියාවේ බමුණු මත දරන ජනතාවට අතුල් පහරක් එල්ල කිරීමක් වුණා කිව්වොත් තමයි වඩාත් නිවැරදි. එහෙත් ඔවුන්ට එයට විරුද්ධ වීමට හැකියාවක් තිබුණේ නැහැ. මොකද ඔවුන් ප්‍රතිනිර්මාණය කරන්නේ ඉතිහාසය හා සම්බන්ධ කතාවක් නිසා.

ඒ වගේම 2012 දී ශුජිත් සිර්කාර් අධ්‍යක්ෂණය කල Vicky Donor චිත්‍රපටය වාණිජ තේමාවකින් යුතු එකක් වුනත් මෙහි කතා තේමාව ගලන්නේ විකි අරෝරා නමැති තරුණයෙක් වටායි. චිත්‍රපටය තුලදී ඔහු සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයෙක් වුනත් ඇත්තටම ඔහු වැඩිම ආදායමක් සොයන්නේ Sperm donor කෙනෙක් ලෙසට තම දායකත්වය ලබාදීමෙනුයි.

 

6. ලිංගිකත්වයට වැඩි ඉඩක්
Hindi Movie Trends
Source -tellychakkar.com

අපි මේ වෙනස ගැන කළිනුත් යාන්තමට සඳහන් කලා. ඒ තමයි මේ වෙද්දි බොලිවුඩ් වල ලිංගිකත්වය සිනමාවට යොදාගැනීමේදී දක්වන නිර්භීත ස්වභාවය. ඉස්සර නම් ඉතින් තොල් සිප ගැනීමේ දර්ශනයක් උනත් විවිධ කැමරා ප්‍රයෝග යොදාගෙන තමයි චිත්‍රපට වලින් පෙන්නුවෙ. ඒකට දැන්. හේට් ස්ටෝරි වගේ වැඩිහිටි තේමාවලින් යුක්තව දිගහැරෙන ඉරෝටික් ත්‍රිලර් ටයිප් කථා පුවතුත් බොලිවුඩ් සිනමාවෙ වැඩිපුර දකින්න ලැබෙනව.

 

7. කාන්තා චරිත වලටත් වැඩි තැනක්
Hindi Movie Trends
Source – wallpapers.filmibeat.com

කාන්තාවන් ප්‍රධාන චරිත රඟපාන, කාන්තා ප්‍රශ්න ගැන මූලික අවධානය යොමු කරන චිත්‍රපට අතීත හින්දි සිනමාවෙ නොතිබුණා නෙමෙයි. හැබැයි මේ වෙද්දි කලින්ට වඩා ඉතාම වැඩියෙන් ඒ විදිහෙ චිත්‍රපට බිහිවෙමින් පවතිනව. විද්‍යා බාලන් වගේ නිළියො වර්තමාන නළුවන් හා කරට කර ප්‍රධාන චරිත රඟපාන චිත්‍රපට දකින්න ලැබෙනව. මෑත භාගෙ බිහිවෙච්ච ඒ විදිහෙ චිත්‍රපටි බොහොමයක්ම තියනව. ඒ අතරින් විද්‍යා බාලන් රඟපෑ කහානි සහ ඩර්ටි පික්චර්, මධුරි ඩික්සිත්ගේ ගුලාබ් ගෑන්ග්, කංගනා රනවුත්ගේ ක්වීන් වගේ චිත්‍රපට විශේෂයි.

 

8. කෙටි කාලය
Hindi Movie Trends
Source – bollywoodlife.com

ඉස්සර හින්දි චිත්‍රපටි තැනුවේ බොහොම දීර්ඝවයි. නිදසුනක් ලෙසට 1970 දී නිර්මාණය කල Mera naam joker චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 244ක් (පැය 4 විනාඩි 4යි). ඒ වගේම එයට වසර 6කට කලින් 1964 දී  නිර්මාණය වෙන Sangam චිත්‍රපටය මිනිත්තු 238ක කාලයක් වාර්තා කළා.

නමුත් වර්තමානයේ චිත්‍රපට මේවාට සාපේක්ෂව තරමක් කෙටි ඒවා වෙනවා. පසුගිය වසරේ නිර්මාණය කල Raees චිත්‍රපටය ශාරුක් ඛාන් රඟන ක්‍රියාදාම චිත්‍රපටයක්. එහි ධාවන කාලය වන්නේ විනාඩි 142ක් පමණයි. ඒ වසරේම තිරගත වුන Dear Zindagi චිත්‍රපටයේ ධාවන කාලය වන්නේ මිනිත්තු 150 ක් පමණයි. ඒ වගේම 2012 දී තිරගත වූ Student of the year චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 146 ක් වෙනවා.

 

9. දුෂ්ටයෝ නැති චිත්‍රපටි
Hindi Movie Trends
Source – ahdwallpaper.com

වර්තමානයේ නිර්මාණය වෙන සමහර චිත්‍රපටි යුරෝපියානු උරුවට තැනුණු Drama හෝ Romance වගේ ශානර වලට අයිති ඒවා  වෙනවා. Queen, Tanu Weds Manu, Aisha  වගේ චිත්‍රපටි වල කිසිදු දුෂ්ටයෙක් නැහැ. එහෙත් ප්‍රේක්ෂකයින් ඒවා ආදරයෙන් වැළඳ ගත්තා.

 

10. පරණ හින්දි සින්දු රීමේක් කිරීම
Hindi Movie Trends
Source – ytimg.com, ibnlive.in.com

තවත් අලුත් ට්‍රෙන්ඩ් එකක් තමයි අලුතින් එන හැම හින්දි චිත්‍රපටයකටම පැරණි හින්දි සින්දුවක් රීමේක් කරලා එකතු කිරීම. හැබැයි ගොඩක් ලංකාවේ චිත්‍රපට වල වගේ පරණ සින්දුව ඒ හැටියටම අරගෙන කෑලි හැලෙන මියුසික් එක්ක එහෙම නෙවෙයි. බොහොම ලස්සනට පැරණි සින්දුවේ තනුව ප්‍රතිනිර්මාණය කරලා චිත්‍රපටයට ගැළපෙන ලෙසට එකතු කිරීමක් තමයි. අපි ඒ ගැන අනිවා හි පල කල ලිපිය කියවන්න පිළිවන් මෙතැනින්.

 

 

අනිවා Entertainment Junkies Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required




 
Cover Image Source – youtube.com