පතල් එහෙමත් නැතිනම් මැණික් පතල් කියන්නේ බැලූ බැල්මට ලැබෙන ආදායම් සහ වෙනත් වාසි නිසා බොහොම සරුසාර බිස්නස් එකක් කියලා හිතුවට, ඒ පිටිපස්සේ අපි නොදන්න උප සංස්කෘතියක් තිබෙනවා කියලා අපිට හිතෙනවා. භාවිතා කරන වචන, යාගහෝම, සිරිත් විරිත්, හැසිරීම් වගේ පුළුල් පරාසයක විහිදුණු විරිත් ප්‍රමාණයක් අපි නොදන්නවා වුනාට භාවිතා වෙනවා.
ඉතින් මෙන්න මේ ලෝකයක් වටිනා මැණික් හොයන ජීවිත වල අපි නොදන්නා කතාව තමයි මේ ලිපිය හරහා අපි කියන්නට යන්නේ. විශේෂයෙන්ම මේ ලිපියට තොරතුරු සහ සාධක එකතු කර ගැනීමේදී අපට සහය වූ අවිස්සාවේල්ල ඇහැලියගොඩ රත්නපුර ආදී ප්‍රදේශ වල තිබෙන පතල් භූමි වල ජනතාවට විශේෂ ස්තුතියක් අනිවා එකතු කරන්න ඕනේ.
ලංකාවේ පතල් වර්ග කිහිපයක් තිබෙනවා. තට්ටු පතල්, ගොඩ පතල් (පතහ), දෝනා පතල් සහ යාන්ත්‍රික පතල් යනු ඒ වර්ගයි. මෙයින් පරිසරයට වන හානි වැඩි නිසා යාන්ත්‍රික පතල් මේ වෙනකොට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් තහනම් කර තිබෙනවා.
තට්ටු පතල් කියන්නේ ලී තට්ටු සවිකරමින් කණින පතල් විශේෂයකට. යම් තැනක මැණික් ඉල්ලමක් තිබෙන බව දැනගත්විට ලී පටි දමා ඒවා දැව තට්ටු වලින් ලීපටි තදවන ලෙසට සවි කරමින් පහලට පස කැන ඉල්ලම දක්වා යාම මේ තට්ටු පතලයෙන් කෙරෙනවා. ඒ වගේම පතලයක් අවසාන වූ පසුව එය වසා නැවතත් තවත් තැනකින් පතලයක් කැණීම තමයි මේ පතල් වර්ගයේ ස්වභාවය වෙන්නේ.
ගොඩ පතල් (පතහ) වල විශේෂත්වය තමයි මේ පතල් වර්ගය කැණීමේදී ලී වර්ග සහ දැව කඳන් යොදා ගන්නේ අඩුවෙන්. මෙයට හේතුව වෙන්නේ සමහර අවස්ථාවල මැණික් ඉල්ලම තිබෙන්නේ පොළොවෙන් බොහොම අඩු ගැඹුරකින් වීම.
දෝනා පතල් වල විශේෂත්වය තමයි තට්ටු පතල් විදියටම ඉල්ලම් ස්ථරයට බැහැලා ඉල්ලම් ස්ථරය පැතිරී ඇති ඉසව්ව දිගේ තිරස් අතට පතල ලී සහ දැව කඳන් යොදාගෙන සවි කරන පතල් වීම. පස සහ පසේ සංයුතිය ගැන විශේෂිත දැනුමක් පවතින සහ පතල් ගැන හොඳින් දැනුවත් පුද්ගලයින්ගේ සහය මේ සඳහා උවමනා වෙනවා.
පතල් නඩය කියන්නේ පතලයක් කණින්නට උවමනා කෙරෙන කම්කරුවන් කණ්ඩායමයි. මෙය පතලයෙන් පතලට වෙනස් වුනත් සාමාන්‍යයෙන් එක පතලයකට කම්කරුවන් 5ත් 7ත් අතර සංඛ්‍යාවක් සිටිනවා. දෝනා පතල් සහ බලංගොඩ, කලවාන, පැල්මඩුල්ල, රක්වාන, කුරුවිට ප්‍රදේශවල පතල් වල මීට වඩා කම්කරුවන් ප්‍රමාණයක් වැඩ කරන අතර ඒ සංඛ්‍යාව 12ක් පමණ වෙනවා.
පතල් බාස් : පතල් නඩයේ සහ පතලේ වැඩ කරත්දී කරන්නාවූ සියලුම ක්‍රියාකාරකම් ගැන අවබෝධය ඔහු සතු වෙනවා. සාමාන්‍යයෙන් පතලයේ බාස් විදියට වැඩ භාරගන්නා තැනැත්තා පතල් කර්මාන්තය ගැන වැඩිම අත්දැකීම් සහිත පුද්ගලයා වීම සාමාන්‍යයෙන් සිදුවන්නක්.
කුමතේරු කරු: පතල් නඩයේ වැඩ පරික්ෂා කරන්නට පතල් හිමිකරුවන්ගේ පාර්ශවයෙන් පත් කරන තැනැත්තා මේ නමින් හඳුන්වනවා. බොහෝ වෙලාවට සමහර පතල් වල කුමතේරුකරුවන් එක අයෙකුට වැඩි ගණනක් සිටින අවස්ථාද තිබෙනවා. මෙයට හේතුව වෙන්නේ ප්‍රධාන හවුල් කරුවාට අමතරව අනෙකුත් හවුල් කරුවන්ද තමන්ගේ විශ්වාසවන්තයින් පතලයේ වැඩ නිසි අයුරින් කෙරෙනවාදැයි බැලීමට එවීමයි.
හවුල් කරුවෝ : පතලයක් කියන්නේ සාමුහික ප්‍රයත්නයක්. එහිදී පතලයෙන් ලැබෙන මැණික් විකුණා එයින් ලැබෙන ආදායම බෙදාගනු ලබනවා. ඉතින් මේ නිසා ආදායම් බෙදා ගන්නා නිසා පතලයට සම්බන්ධ සියලු දෙනාම හවුල් කරුවෝ නමින් තමයි හඳුන්වන්නේ.
පතලේ හවුල් කරුවන්, මැණික් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් පතල් කර්මාන්තයෙන් සෘජු ලෙස ලාභ ලබන්නන් වුනාට, ඊට අමතරව මැණික් කැපීම, ඔප දැමීම, තාපීකරණය, ස්වර්ණාභරණ වගේ අතිරේක රැකියා රාශියක් අතිරේක ආදායම් මාර්ග විදියට පෙන්වා දෙන්නට පුළුවන්.
පතල් වලට අවශ්‍ය දැව අවශ්‍යතා සැපයීම වගේ ක්‍රියාවන්ගෙනුත් ආදායම් උපයන අය ඕනෑ තරම් සිටිනවා. නමුත් වර්තමානේ දැව හිඟය නිසා ඔවුනුත් බොහොම අපහසුවෙන් තමයි තම රස්සාව කරගෙන යන්නේ.
ඒ වගේම පතලට යන්ත්‍ර අවශ්‍යතා සම්පුර්ණ කිරීම තුලින් අතිරේක ආදායමක් උපයාගන්න අයත් සිටිනවා. නිදසුනක් ලෙසට පසුගිය කාලේ රජයෙන් තහනම් කල යාන්ත්‍රික පතල් කැපීමේදී භාවිතා කරන බැකෝ යන්ත්‍ර කුලියට දීම, සේදුම් යන්ත්‍ර නිෂ්පාදනය කිරීම වගේ ක්‍රමවේද වලින් ආදායම් උපයන්නන් පතල් සමාජය තුල බොහෝ සිටිනවා.
ඔව්. ඉහත කියූ ප්‍රධාන ආදායම් වලට අමතරව බුලත් විට වෙළඳාම, ග්‍රාමීය මට්ටමින් කෙරෙන (නීතිවිරෝධී) මත්පැන් වෙළඳාම ජයටම සිදුවෙනවා. පතල් අවට නිවාස වලින් උදෑසන දහවල් ආහාර සහ තේ ආදී සකස් කර ගෙන්වා ගැනීම නිසා අවට නිවාස වලට අමතර ආදායම් සපයා ගන්නට හැකියාව ලැබී තිබෙනවා.
පතල් වල පස් අදින කූඩා, පතල් ගැරුම් වට්ටි වගේ දේවල් වියා පතල් පොළවල් වලට විකිණීමෙන් තවත් ආදායම් මාර්ගයක් සාදා ගන්නට සමහර පතල් තිබෙන ප්‍රදේශ වල වැසියන් කටයුතු කරනවා.
තවද අතහැර දැමු පතල් වලවල් තුලින් නීති විරෝධී ආකාරයෙන් කරන වැලි ගොඩ දැමීම, පස් කපා පැටවීම වගේ ක්‍රියාවලින් තුලින් ආදායම් ලබන අයත් අතරින් පතරේ සිටිනවා. නමුත් මේවා කෙරෙන්නේ රහසිගතව.
තැරැව්ව
තැරැව්ව කියන්නේ මැණික් ගලක් විකුණා ලබන ආදායමින් 3%ක අගයයි. මෙය දෙවියන් සඳහා යාග හෝම වලට වෙන් කලත් වර්තමානය වෙන විට බොහෝ තැන්වල මේ අගයද පතල් නඩය හා පතල් කරවන අය අතර බෙදී යනවා. ඉන්පසුව සියලු ආදායම් ගණනය කරන්නේ ඉතිරි 97% මුදල 100% ලෙස වටයමින් ගණනය කිරීමෙන්.
බිම් පංගුව
මුළු මුදලින් 20%ක් බිම එහෙමත් නැතිනම් ඉඩමේ හිමිකරුවන්ට වෙන් වෙයි.
මැෂින් සහ තෙල් පංගුව
මුළු ආදායමින් 20%ක කොටසක් මේ සඳහා වෙන්වෙනවා. සමහර අවස්ථා වලදී පතලයට යන්ත්‍ර සපයන්නේ එක්කෙනෙක්, ඒවාට තෙල් සපයන්නේ තවත් කෙනෙක්. එහෙම වෙලාවට, එක අයෙකුට 10% බැගින් ඉහත කියූ 20% දෙකට බෙදෙනවා.
පතල් නඩයට හවුල්
පතල් නඩයට ගලේ මුළු ආදායමින් 30% ක කොටසක් වෙන් වෙනවා. එය පතල් නඩයේ සිටින සාමාජිකයින් ප්‍රමාණය අතර සමව බෙදී යාමක් තමයි සිදු වෙන්නේ.
බලපත්‍ර සහ දැව සඳහා පංගුව
ඉතිරි වන 30% ඉහත කියූ දේවල් සඳහා 15% බැගින් සමව බෙදෙනවා.
පතලයේ තට්ටු ගසා ඉල්ලම පාදාගත් පසුව පතල් බාස් විසින් පතල් අයිතිකරුවන් වෙත ඉල්ලම් කැඩීම සුදුසු යයි දන්වා යැවීමෙන් පසුව කුමතේරුකරුගේ සුපරික්ෂාව යටතේ ඉල්ලම් කඩන්නට පටන් ගන්නවා.
ඉල්ලම් කැඩීමෙන් අනතුරුව, ඉල්ලම් කැඩූ වල ජලයෙන් පුරවා ඉල්ලම් ගැරීම කරයි. එහෙමත් නැති නම් දෝනා පතලයක නම් ඉල්ලම් ගැරීම සඳහා වෙනම වලක් සකසනු ලබනවා.
ආරක්ෂාව
අපරික්ෂාකාරී ලෙස පතල් බැසීම නිසා, පතල් කැඩී නඩයට තුවාල සිදුවූ අවස්ථා ගැන වාර්තා ඕනෑ තරම් තිබෙනවා. මීට අමතරව පතල් කපන විට හමුවන දිය බුබුලු නිසා බුරුල් වන පස් තට්ටු කැඩී පතල් කරුවන් මියයන අවස්ථා ද, දෝනා පතල් වලදී එක වරම විධාරණය වෙන මීතේන් වායු නිධි නිසා හුස්මගන්නට ඔක්සිජන් හිඟ වීම හේතුවෙන් පතල් කරුවන් විටෙක මිය යන අවස්ථා ද සුලභයි.
ඊට අමතරව නිරන්තරයෙන් ජලයත් සමඟ ගැටීම නිසා සෙම් පිත් ආදී රෝගාබාධ පතල් කර්මාන්තයේ නියැලෙන අයට බහුලව වැලඳෙන රෝග තත්ත්වයන් වෙනවා.
Cover Image Source – gia.edu
අලුත්ම Comments