ප්ලේන් එකක යනකොටත් පිළිපදින්න ඕන මැනර්ස් තියෙනව බ්‍රෝ… මේ ඒ ගැන කරුණු 8ක්!

 

ඉස්සර අපි පුංචි කාලේදී නම් ප්ලේන් එකක යනවා කියන්නේ හෙනම හීනයක්. ඇයි ඉස්සර ඉස්කෝලෙන් එක්කගෙන යන්නේ ගුවන්තො‍ටුපොළ බලන්න කියලා අධ්‍යාපන චාරිකා! හැබැයි දැන් වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා. අපි ගොඩක් දෙනෙක් රටින් පිට ගිහින් නැතත් එයාර්පෝට් එක කියන්නේ අමුතු තැනක් නෙවෙයි. එතකොට ප්ලේන් එකක යන එක වුනත් මාරම සීන් එකක් නෙවෙයි. මොකද දැන් රස්සාවකට රට යන එක විතරක් නෙවෙයි, නිවාඩුවට රට ‍ටුවර් එකක් ගිහින් එන එකත් අඩු ගාණකට කරගන්න පුලුවන් සීන් එකක් නිසා.

දැන් බස් එකක යනකොට අපි පිළිපදින්න ඕන ආචාර ධර්ම තියෙනවනේ. ඒ කියන්නේ මැනර්ස්. ආන්න ඒ වගේ තමයි ප්ලේන් එකකත්. හැබැයි බස් එකකට වඩා සමහර දේවල් තදබල විදියට පිළිපදින්න වෙනවා ප්ලේන් එකක. මේ කරුණු 8 කියවලා ගියොත් කාටවත් කරදරයක් නොවී, තමන්ගේ ආතල් එකේ ප්ලේන් එකේ ගිහින් එන්න පුලුවන් වෙයි.

 

1. ප්ලේන් එකට නගින්න කලින් ඉඳන්
Airline Flying 101
Source – flyertalk.com

ඇත්තටම ප්ලේන් එකක මැනර්ස් එයාර්පෝට් එකේ ඉඳන් තියෙන්න ඕන. හැබැයි ඒක වෙනම ආටිකල් එකකට දාන්න තරම් කරුණු සහිතයි. ඒ නිසා කොටින් කියන්නම්. තමන් පෝලිමේ අන්තිමට හිටියත්, හරියට පේපර්ස් ඔක්කොම අතේ තියෙනවා නං බස් එකක වගේ ඊලඟ ප්ලේන් එකේ එන්න කියන්නෙ නෑ. ඒ නිසා පෝලිම් තල්ලුකරන්න, පෝලිම් පනින්න වගේ දේවල් කරන්න යන්න එපා ප්ලේන් එකට යනකොට. කැතයිනේ. ඒ වගේම තමයි ප්ලේන් එකෙන් බහිනකොටත්. ප්‍රයිවට් බස්සෙකක් වගේ ප්ලේන් එක අද්දගෙන යන්නෙ නෑනේ. ඒ නිසා ඉක්මනින් ඒත් අනික් අයව පෙරළගෙන යන්නෙ නැතුව බහින්න. විශේෂයෙන්ම වයස්ගත කෙනෙක් හෝ ඉක්මනින් බැහැගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ අයට ඉඩ දෙන්න. ඒවා ඉතින් ප්ලේන් වල විතරක් නෙවෙයි, කොහෙත් තියෙන්න ඕන මැනර්ස්.

 

2. හෑන්ඩ් ලගේජ් පැක් කරන්න
Airline Flying 101
Source – smartertravel.com

ප්ලේන් එකට නැගලා අපේ සීට් අංකය හොයාගත්තට පස්සේ වාඩි වෙන්න කලින් බඩු ටික පැක් කරලා ඉන්න ඕනනේ. එතනදී පොඩ්ඩක් තදබදයක් තිබුණොත් ඒක මග ඇරෙන කල් ඉන්න ඕන. අපේ ඉඩ වෙන කෙනෙක් අල්ලගනී කියලා මිනිස්සු පෙරළගෙන සීට් එක උඩින් තියෙන කම්පාට්මන්ට් එකට බෑග් දාන්න යන්න එපා. අනික බෑග් දානකොට පුලුවන් තරම් දිග අතට පැක් කරන්න. මොකද ඒකෙන් තව කෙනෙක්ට ඉඩ ලැබෙනවා තමන්ගේ බඩු පැක් කරන්න. එතකොට ඕවර්හෙඩ් කම්පාට්මන්ට් එකට බඩු දාන්න අපහසු කෙනෙක්ට, උස නැති කෙනෙක්ට උදවු වෙන එක මනුස්සකම. තමන්ගේ බඩුත් ඒ විදියටම පැක් කරන්න අපහසු නම් ගුවන් සේවිකාවකගෙන් හරි වෙනත් කෙනෙක්ගෙන් හරි උදවු ඉල්ලන්න ආචාරශීලී විදියට.

 

3. අනුන්ගේ ස්පේස් එකට හොට දාන්න නොයන්න
Airline Flying 101
Source – tripit.com

දැන් ඔය බස් වල එහෙම යනකොට අපිට සෙට් වෙනවනේ අනික් කෙනාගේ සීට් එකෙනුත් බාගයක් අල්ලගෙන නිදිකිරා වැටෙන ඩයල් එහෙම. හැබැයි ප්ලේන් එකකදී ඒවා තියාගන්න එපා පුතාලා. ප්ලේන් එකක් කියන්නේ නැවක් නෙවෙයිනේ. එක්කෙනෙක්ට තියෙන්නේ සාපේක්ෂව සීමිත ඉඩක්. ඉතින් ඒ තමන්ට තියෙන ඉඩ ප්‍රමාණයේ හැසිරෙන්න වගබලාගන්න ඕන. සමහරු තමන්ගේ ආම් රෙස්ට් එකෙනුත් එහාට අත පය වීසි කරනවා, හැම වෙලාවෙම අනික් සීට් එකේ ඉන්න කෙනාගේ ඇ‍ඟේ අත පය වද්දනවා. අන්න ඒවා කැතයි.

අනික ප්ලේන් එක යනකොට නැගිටලා අනිත් කෙනාගේ ඔලුවේ වද්ද වද්ද තමන්ගේ බෑග් අදින එක එහෙමත් අවුල්.

 

4. උපදෙස් පිළිපදින්න
Airline Flying 101
Source – thebalance.com

මෙන්න මේක බොහොම වැදගත්. විශේෂයෙන්ම ප්ලේන් එකක් අහසට නග්ගන අවස්ථාවේ සහ ගොඩබහින අවස්ථාවේදී කරන කියන දේවල් අපි කලින් පොතකින් බලාගෙන ඉගෙනගෙන යන්න ඕන නෑ. හැබැයි ප්ලේන් එක ඇතුලේදී කාර්ය මණ්ඩලයෙන් ලබාදෙන උපදෙස් අනිවා පිළිපැදිය යුතුයි. උදාහරණයක් විදියට ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් ඇවිත් කිව්වොත් අපිට ෆෝන් එකෙන් මල් කඩන එක නවත්තලා ඕෆ් කරගන්න කියලා, අපි අනිවා ඒක කරන්න ඕන. සීට් බෙල්ට් දාගන්න කිව්වොත් අනිවා ඒක කරන්න ඕන. මෙන්න මේ උපදෙස් පිළිපදින එක වැදගත් වෙන්නේ සරල කාරණයක් නිසා. ගුවන් ගමනක් කියන්නේ බස් එකක යනවාටත් වඩා ආරක්ෂිතයි තමයි. හැබැයි පොඩි වැ‍රැද්දකින් හැමදේම වෙනස් වෙන්න පුලුවන්.

 

5. ගෙදර වගේ ඉන්න හදන්න එපා
Airline Flying 101
Source – news.com.au

දැන් සමහරු ඔය ලක්ෂරි බස් එකක එහෙම යනකොටත් සපත්තු මේස් ගලෝලා දාලා කකුල් කරට අරගෙන සැපට ඉන්න ට්‍රයි කරනවනේ. හැබැයි ප්ලේන් එකක එහෙම ගෙදර වගේ ඉන්න යන එක හරි නෑ. විශේෂයෙන්ම සපත්තු මේස් එහෙම ගලවන එක කිසිසේත්ම නොකළ යුතු වැඩක්.

 

6. කෑම බීම මැනර්ස්
Airline Flying 101
Source – protomfitness.co.uk

ප්ලේන් එකක යනකොට කෑම බීම පිළිගන්වනවනේ. එතකොට අපිට ගුවන් සේවිකාවට අපේ අවශ්‍යතාවය කියන්න පුලුවන්. හැබැයි අපිට වැරදි කෑම එකක් ලැබුණා කියලා නැගිටලා සර්විස් කැබින් එකට යනවා වගේ දේවල් කරන්න එපා. ගුවන් සේවිකාවට අමතන්න. ඒකට විශේෂ ක්‍රම තියෙනවා. හැබැයි ඉතින් සුලු සුලු දේවලට විනාඩි දෙකෙන් දෙකට බට්න් එක ඔබලා ගුවන් සේවිකාව ගෙන්න ගන්නවා වගේ වැඩ කරන්නත් එපා කියලා විශේෂයෙන්ම කියන්න ඕන.

ඒ ඇරෙන්න කෑම බීම සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන සාමාන්‍ය කොමන් සෙන්ස් එක්ක එන මැනර්ස් තමයි. අනික් මිනිස්සුන්ට වාතයක් වෙන්න, අප්‍රසන්න වෙන්න කෑම ගන්න එපා. සීට් වල අතපය පිහිදනවා වගේ චාටර් වැඩ කරන්න එපා. එච්චරයි. අනික තමන් යන ක්ලාස් එකේ හැටියට තමයි කෑම බීම ලැබෙන්නේ. ඒ නිසා නැති දේවල් ඉල්ලලා වලි දාගන්න යන්නත් එපා. තමන්ට අනවශ්‍ය දෙයක් පිළිගැන්වුවොත් ආචාරශීලීව ප්‍රතික්ෂේප කරන්න. තමන්ට වුවමනා දෙයක් තියේ නම් ආචාරශීලීව ඉල්ලන්න. සිම්පල්.

 

7. රෙස්පට් දාන්න යන්න එපා
Airline Flying 101
Source – imgur.com

මෙන්න මේක ගොඩක් දෙනෙක් කරන වැරදි වැඩක්. ගුවන් සේවිකාවන්ට රෙස්පා පෙන්නන්න යන එක. මේවා ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ හීනමානේ හින්දා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි මතක තියාගන්න. ගුවන් සේවිකාවෝ ඉන්නේ අපිට ප්ලේන් එකේදී කෑම බීම පිළිගන්වන්න නෙවෙයි. ඒ අයගේ ජොබ් එක ඊට වඩා මාරම සීරියස්. ඒ අයගේ රාජකාරියේ මුල් තැන තියෙන්නේ ගුවන් මගීන් ගමනාන්තය දක්වා ආරක්ෂාකාරීව ගෙනයන්න සහාය වීමට. ඉතින් ඒ නිසා ඒ අයට පාට් දාන්න, බයිට් එකට ගන්න, වද දෙන්න, වාත වෙන්න ලැහැස්ති වෙන්න එපා. අනික ඇහැට කණට පේන ගුවන් සේවිකාවෝ දැක්කහම කුලප්පු වුණු ගොන්නු වගේ හැසිරෙන්නත් එපා.

 

8. අන්තිමට අනික් අයට වදයක් වෙන්න එපා
Airline Flying 101
Source – nydailynews.com

අන්තිමට කියන්න ඕන සරලම කාරණේ මේකයි. ප්ලේන් එකේ යන්නේ අපි විතරක් නෙවෙයි. ඒ නිසා අනික් අයට වදයක් වෙන්න යන්න එපා. එහා පැත්තේ ඉන්න මනුස්සයා එක්ක කතා කරන්න ඕන ඒ මනුස්සයා කතා කරන්න කැමැත්තක් පෙන්නනවා නම් විතරයි. එහෙම නැතිනම් පාඩුවේ ඉන්න දෙන්න ඕන. හැමවෙලාවකම මනුස්සයෙක් හැටියට අපිට තියෙන්න ඕන ආචාරශීලීත්වය මෙතනදීත් ඒ විදියටම තියෙන්න ඕන. එතකොට ප්ලේන් එකේ ඉන්න පොඩි එකෙක් දඟලනකොට, කණ ගාව බෙරිහන් දෙනකොට වාතයි තමයි. හැබැයි එහෙමයි කියලා පොඩි එකාගේ අම්මට තාත්තට ලුක්ස් දෙන්න යන්න එපා. අනික් පැත්තට අපි ප්ලේන් එකට නගින්නේ පොඩි එකෙක් එක්ක නම් පුලුවන් තරම් පොඩි එකාව අපි ගාව තියාගෙන, ශේප් කරගෙන සද්ද බද්ද කරලා අනික් මගීන්ට වද දෙන්න ඉඩ නොදී තියාගන්න ඕන. ඒකෙන් අපේ ගමන අන්තිම ඇණයක් වෙයි. හැබැයි ඊට හපන් අපිව අනිත් මිනිස්සුන්ට ඇණයක් වුනොත්.

අන්තිමට කිව්වොත් ප්ලේන් එකක යන හැමෝම යන්නේ නිවාඩුවක් ගත කරන්න නෙවෙයි කියන එක ඔලුවේ තියාගෙන අනිත් මගීන් එක්ක ගනුදෙනු කරන්න. එච්චරයි.

 

 
Cover Image Source – wikipedia.org