සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් රඟපෑ නිළියන් අතරින් සුන්දරම නිළියන් 10 දෙනා මේ අයද?

 

කවුද සිංහල සිනමාවේ හිටපු ලස්සනම නිළිය? මේ ප්‍රශ්නෙ අහද්දි ඔයාලගෙ මතකයට නම් කීපයක්ම එන්න පුලුවන්. සමහර නිළියො ලස්සනයි කියල අපි හිතන්නෙ අනිත් හැමෝම එයා ලස්සනයි කියන නිසයි. ඒ වගේම තවත් නිළියො ඉන්නව ගොඩ දෙනෙක් ඒ අය ලස්සනම ලස්සනයි කියල නොකිවුවට අපිට අනුවනම් එයාල මාර ලස්සනයි. ලස්සන කියන්නෙ අන්න ඒ වගේ දෙයක්. අපි එක එක්කෙනාට සාපේක්ෂ දෙයක්.

ලස්සන සිනමා නිළියක් කිවුවහම “තවත් එක ලස්සන නිළියක්” කියන රාමුවට විතරක් කොටු කරල අපිට එයා ගැන හිතන්න බෑ. හිතල බලන්න. ටෙලි තිරයෙන් අපේ නෙත් සිත් පැහැරගත්ත රූමත් නිළියො කීදෙනෙක් සිනමා නිළියො හැටියට අසාර්ථක උනාද කියල. ඒ අසාර්ථකවීම් බොහොමයකට හේතුව ටීවී පෙට්ටියෙන් අපි දකින ඒ අයගෙ ආකර්ශනය සහ පෞරුෂය සිනමාවේදි නැත්තටම නැතිවෙලා යාම කියලයි අපිට හිතෙන්නෙ (ඔව්.ඔව්. රංගන ප්‍රතිභාවත් බලපානව තමයි).

ඒ කතා මේ කතා කොහොම උනත් අපි මේ කියන්න යන්නෙ සිංහල සිනමාවෙදි එදා මෙදා තුර අපි දැක්ක රූමත්ම නිළියො 10 දෙනෙක් ගැනයි. මෙතනදී අපි මේ නිළියොන්ව ලැයිස්තුගත කරල තියෙන්නෙ රූමත්බවේ අනුපිළිවෙලකට නම් නොවෙයි. ඒ අනුපිළිවෙල තෝරන එක කියවන ඔයාලට බාරයි. ඒ නිසා මේ ලිපිය කියවල ඉවර වෙලා, මේ අය අතරින් ඔයාගේ සිත් ගත් නිළියට මනාපයක් ප්‍රකාශ කරන්නත් අමතක කරන්න එපා. මේ ලැයිස්තුවට අනිවා ඇතුළත් විය යුතුයි කියල ඔයාල හිතන නිළියක් ඉන්නවනම් එයාගෙ නමත් අපිට සඳහන් කරන්න මතක තියාගන්න.

 

1. ගීතා කුමාරසිංහ
Beautiful SL actresses
Source – dailynews.lk, slactresshot.blogspot.com

ගීතා කුමාරසිංහ මුලින්ම සිනමා පටයකින් ලංකාවෙ ප්‍රේක්ෂකයො අතරට එන්නෙ 1975 අවුරුද්දෙ තිරගත කරපු නීල් රූපසිංහගේ “ලස්සන කෙල්ල” චිත්‍රපයෙන්. චිත්‍රපටයේ නමේ හැටියටම ලස්සන කෙල්ලක් වුණු හින්ද විතරක් නෙමෙයි, ඇගේ ඒ ලස්සන සිනමා තිරය මත තවත් දෙගුණ තෙගුණ වෙලා පෙනුනු හින්දාත් ගීතා ඉක්මනින්ම සිනමාවේ ජනප්‍රිය නිළියකගේ තත්ත්වයට පත්වුණා. මුල් කාලයේදී තරමක් සරාගී සහ රැඩිකල් ආකාරයේ චරිත වලින් තමයි ගීතා කුමාරසිංහව දකින්න හම්බවුණේ. හැබැයි කල්යත්ම තමන්ගේ රූපයට නොදෙවෙනි තම රංගන ප්‍රතිභාව පෙන්වන්නත් ගීතා සමත්වුණා. “ලොකුදුව”, “පාලම යට”, “රාජ්‍ය සේවය පිණිසයි” කියන්නේ ඒ විදිහෙ ගීතාගේ විශිෂ්ට රංගනයන් තිබ්බ චිත්‍රපට කීපයක්. ලංකාවෙ චිත්‍රපට වල විතරක් නෙමෙයි ඉන්දියානු සුපිරි නලුවෙක් වෙච්ච ශිවාජී ගනේෂන් එක්ක “මෝහන පුන්නගෙයි” කියන දමිළ චිත්‍රපටයේ රඟපාන්නත් ගීතාට අවස්ථාව ලැබුණා.
 

 

2. කාන්ති ගුණතුංග
Beautiful SL actresses
Source – delcampe.net

වැඩි දෙනෙක් අහල නැති නමක් උනාට, කාන්ති ගුණතුංග කියන්නේ 1950 ගණන් වල අපේ ප්‍රේක්ෂකයන්ව උන්මාදයට පත්කළ නිළියක් කිවුවොත් නිවැරදියි. කාන්ති සිංහල සිනමා ක්ෂේත්‍රයට එන්නේ 1955 වර්ෂයේදී එළිදැක්වූ “සුරඟනී” චිත්‍රපටයෙනුයි. හැබැයි ඇයට සුවිශාල ජනප්‍රියත්වයක් ළඟාකර දෙන්න සමත්වන්නේ 1958 වර්ෂයේදී තිරගතවූ “වනමෝහිනී” චිත්‍රපටයයි. කෙටි ඇඳුමකින් සැරසී සිටිමින් ඒ චිත්‍රපටයේ ඇය විසින් කරන ලද රංගනය නිසා ඒ කාලයේ ඈ කෙරෙහි වශීවූ තරුණයින් දහස් ගණනින් සිටිය බවට වාර්තා වෙනවා. බලංගොඩ සරත් මධූ විසින් ලංකාවේ ජනප්‍රියම චිත්‍රකථාවක් වූ “ඉතින් ඊට පස්සේ” කතාවේ දේදුණු චරිතය නිර්මාණය කලේත් කාන්තිගේ රුවට සමානවයැයි අහන්න ලැබෙනවා.
 

 

3. සබීතා පෙරේරා
Beautiful SL actresses
Source – lkcelebritygallery.com

සිංහල සිනමාවේ ලස්සනම ඇස් දෙක තිබෙන්නේ කාටද කියල ඇහුවොත් බොහෝ දෙනෙක්ගේ උත්තරය වෙන්නෙ සබීතා තමයි. සබීතා කියන්නෙ සිංහල සිනමාවේ එක යුගයක රැජිනියක් වගේ වැජඹුන රූමතියක්. සබීතාගේ දෙමවුපියන් වන්නේ ජනප්‍රිය නළු නිළි දෙපලක් වූ ස්ටැන්ලි පෙරේරා සහ ගර්ලි ගුණවර්ධනයි. කුඩා අවධියේ පටන්ම සිනමාවේ සුළු චරිත නිරූපණය කර ඇති සබීතා ප්‍රධාන චරිතයකින් සිනමාවට අවතීර්ණ වෙන්නෙ තමන්ගේම නමින් යුතු චිත්‍රපටයකින් (සබීතා) වීම විශේෂයි. එතැන් පටන් දිනෙන් දින ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නගිමින්, සිංහල චිත්‍රපටි රසිකයාගේ සිහින කුමරිය ලෙසින් දිගු කලක් වැජඹෙන්නට සබීතාට හැකිවුණා.
 

 

4. සන්ධ්‍යා කුමාරි
Beautiful SL actresses
Source- youtube.com/Sandhya kumari

තමන් දැකපු ලස්සනම ලංකාවෙ සිනමා නිළිය කවුද කියල අපේ පැරණි සිනමා රසිකයොන්ගෙන් ඇහුවොත් හුඟක් දෙනෙක් දෙන උත්තරයක් තමයි සන්ධ්‍යා කුමාරි. ලස්සන ඇස් දෙකකටත් මන බඳිනා සිනහවකටත් උරුමකම් කී ඇගේ සැබෑ නම තමයි ඉවෝන් පෙරේරා. සන්ධ්‍යා කුමාරි කියන්නෙ සිනමාවෙදි ඇය යොදාගත්ත නමයි. “අදට වැඩිය හෙට හොඳයි” චිත්‍රපටයෙන් රිදී තිරයේ තම මුල් සටහන තියන සන්ධ්‍යා කුමාරිගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වන්නේ 1964 තිරගතවූ “ධීවරයෝ” චිත්‍රපටයයි. ඒ චිත්‍රපටයේ රොසලින්ගේ චරිතය රඟපාමින් ඇය විසින් කරන ලද රංගනය විශිෂ්ට ගණයේ එකක්. දක්ෂ චරිතාංග නිළියක් වුවත් ඇගේ රංගනයට සිංහල සිනමාව තුළ නිසි ඇගයීමක් නොලැබුණ බව තමයි පැවසෙන්නේ. 1994 වසරේදී සිරොසීස් රෝගය හේතුවෙන් සන්ධ්‍යා සදහටම මෙලොවින් සමුගන්නවා.
 

 

5. පුණ්‍යා හීන්දෙනිය
Beautiful SL actresses
Source – madhulikaliddle.com, alchetron.com

60 දශකයේ ප්‍රේක්ෂක සිත් සතන් පැහැරගත් පුණ්‍යා හීන්දෙනියත් සිංහල සිනමාවේ සිටි රූමත්ම නිළියක් කියල හඳුන්වන්නට පුලුවන්. ඇයට තිබුණේ ගැමිකම මුසුවුණු අහිංසක සුන්දරත්වයක්. පුණ්‍යා හීන්දෙනිය සිංහල සිනමාවට එක්වන්නේ 1955දී තිරගත කරපු, සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කල “අසෝකා” චිත්‍රපටයේ නැටුම් ජවනිකාවකින්. ඉන් පසුව “දෙයියන්නේ රටේ”, “කුරුළු බැද්ද” සහ “සිකුරු තරුව” වැනි චිත්‍රපට වලින් ජනතා ආදරය හිමිකරගන්න ඇය සමත් වෙනවා. අදටත් බොහෝ ප්‍රේක්ෂකයින්ගේ මතකයේ ඇයව රැඳී ඇත්තේ “ගම්පෙරළිය” චිත්‍රපටයේ නන්දා හැටියටයි.
 

 

6. රුක්මණී දේවි
Beautiful SL actresses
Source – srilankagirl.com, rukmanidevisrilanka.org

රුක්මණී දේවියව සිංහල සිනමාවෙ පළවැනි සුපිරි තරුව හැටියට හඳුන්වන්නට පුළුවන්. සිංහල සිනමාවේ පළමුවැනි නිළිය වන්නේත් ඩේසි ඩැනියෙල් හෙවත් රුක්මණී දේවියයි. කාන්තාවන් පිරිමින් හා එක්ව රංගනයේ යෙදෙන එක පහත් ක්‍රියාවක් හැටියට සළකපු කාලයකයි රුක්මණී සිනමාවට අවතීර්ණ වන්නේ. එහෙම උනත් ඇගේ ආකර්ශනීය සිනහවෙනුත්, දිගු අඩවන් දෑසිනුත් ඔප් නැංවුණු රූප සම්පත්තියත්, සුමධුර ගායන හැකියාවත් නිසා සුවහසක් රසික සිත් තුල ගෞරවයෙන් සහ ආදරයෙන් වැජඹෙන්නට ඇයට හැකියාව ලැබෙනවා. 1978 වර්ෂයේ සිදුවන රිය අනතුරකින් රුක්මණී දේවිය මෙලොව හැරගියත්, අදටත් සිංහල සිනමාව ගැන කතා කරද්දී රුක්මණී නාමය කියන්නෙ ඉහලින්ම සටහන් වන නමක්.
 

 

7. පූජා උමාශංකර්
Beautiful SL actresses
Source- twitter.com/poojaumashankar, gossip-lankanews.com

අපේ අසල්වැසි රටෙන් අපේ පුංචි සිනමාවට දායාද වුණු, මේ වෙද්දි අපේම නිළියක් වෙලා ඉන්න පූජා උමාශංකර් කියන්නෙත් සිංහල රිදී තිරය මත සටහන් වෙච්ච ලස්සනම රුවක්. පූජා සිංහල සිනමාවට එකතු වෙන්නෙ 2006දී තිරගතවූ චන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයෙන්. ඉන් පස්සේ “ආසයි මං පියාඹන්න”, “සුවඳ දැනුනා ජීවිතේ”, “කුස පබා” සහ “පත්තිනි” වැනි සිනමා නිර්මාණයන්ටත් ඈ එකතු වෙනවා. දඟකාර කෙළිලොල් චරිත වගේම සීරියස් චරිතත් රඟපෑමට ඇති හැකියාව මේ වන විට සිංහල සිනමාවේදීත් ඔප්පු කර ඇති පූජා ඉදිරියටත් මතක හිටින සිනමා චරිත රැසකින් අප හමුවට එනු ඇති.
 

 

8. දිල්හානි ඒකනායක
Beautiful SL actresses
Source – gossip99.com, lkcelebritygallery.com, tvlakru.com

“දේදුන්නෙන් සමනළියක්” චිත්‍රපටයෙන් අපේ සිනමා ලෝකෙට පා තිබ්බ දිල්හානි ඒකනායකව ඒ කාලෙ හැඳින්වුවෙ පුංචි ශ්‍රී දේවි නමිනුයි. ඒ වෙද්දි බොලිවුඩ් සිනමාවෙ අග්‍රගණ්‍ය තාරකාව වෙච්ච ශ්‍රී දේවිගේ හැඩරුවට යම් යම් සමානකම් දිල්හානිගෙ තිබ්බ නිසයි ඈව ඒ නමින් හැඳින්වුවෙ. සබීතා පෙර්රාගෙන් පස්සෙ සිංහල සිනමාවේ අංක එකේ පෙම්වතිය හැටියට වැජඹුනේ දිල්හානි තමයි. හුරුබුහුටි පෙනුමක් විතරක් නෙමෙයි සුවිශේෂී රංගන හැකියාවකුත් ඇති නිළියක් වුණාට වාණිජ රැල්ලට යටවුණු සිංහල සිනමාව ඇතුළෙ දිල්හානිට රංගන හැකියාව පෙන්නන්නට ලැබුණේ බොහොම අඩු අවස්ථා ප්‍රමාණයක් විතරයි කියලයි අපිට හිතෙන්නෙ.
 

 

9. සංගීතා වීරරත්න
Beautiful SL actresses
Source – sangeethaw.com

සංගීතා වීරරත්න කියන්නේ අපිට ඉන්න දක්ෂ වගේම සුන්දරම නිළියක්. හිනාවෙද්දි වළගැහෙන කම්මුල් තමයි සංගීතා කිවුව ගමන් ඕනෑම සිනමා රසිකයෙක්ට මතක් වෙන්නෙ. සිංහල සිනමාවේදි  ලස්සනයි කියල හඳුන්වන නිළියො එක්ක ගත්තහම සංගීතට තියෙන්නෙ ඊට ටිකක් විතර වෙනස් පෙනුමක් කියල කියන්න පුලුවන්. සුරූපී බවටත් වඩා වැඩියෙන් ඉස්මතු වෙන ආකර්ශනීය බවක් තමයි සංගීතගෙන් දිස් වෙන්නේ. සංගීතා වීරරත්න සිනමාවට එක්වෙන්නේ 1990දි තිරගත වෙච්ච “ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්” කියන චිත්‍රපටයෙන්. ඊට අවුරුදු කීපෙකට පස්සෙ තිරගත වෙච්ච “සප්ත කන්‍යා” චිත්‍රපටයෙන් තමයි සංගීතා ඉමහත් ජනප්‍රියත්වයක් ලබන්න සමත් වෙන්නේ. මේ වෙද්දි නම් සිනමා නිර්මාණ වලින් අපිට සංගීතව දකින්න හම්බුවෙන්නෙ ඉතාම කළාතුරකිනුයි.
 

 

10. මාලිනී ෆොන්සේකා
Beautiful SL actresses
Source – malinifonseka.net, fnafilmtelevision.blogspot.com, nfc.gov.lk

ප්‍රේක්ෂක සිත් ඇද බැඳ තබා ගන්න හැකි රංගන කුසලතාවයක් සහ නෙත් ඉවතට ගන්නට නොදෙන තරම් ආකර්ශනීය රූමත් බවක් යන කාරණා දෙකම රංගන ශිල්පිනියකට පිහිටන්නේ ඉතාම කළාතුරකින්. අපේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකා කියන්නෙ එවන් තැනැත්තියක්. සිංහල සිනමාවෙ සුන්දරම සිනහවට උරුමකම් කියන තැනැත්තිය හැටියට අපිට මාලිනී ෆොන්සේකාව හඳුන්වන්න පුළුවන්. මාලනී සිනමාවට එක්වෙන්නෙ 1968 දි තිරගත වුණු “පුංචි බබා” චිත්‍රපටයෙන්. තම ස්ත්‍රී ලාලිත්‍යයෙන් සහ රූමත්බවින් තරුණයින් සිත් පැහැර ගන්නා ගමන්ම, රංගන කුසලතාවයෙන් සිනමා ලෝකයේ අවධානය යොමු කරගන්නත් ඈ එකවිට සමත්වනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම විදෙස් සම්මානයකින් පිදුම් ලබන්නේත් මාලිනී ෆොන්සේකායි. ඒ ධර්මසේන පතිරාජයන්ගේ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1975 මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඩිප්ලෝමා සහතිකයක් ලබමින්.