ෆැෂන් ඩිසයින් ෆීල්ඩ් එකට එන්න කැමැත්තක් තියෙනවා නම් අනිවා මේ කරුණු 7 කියවලා බලන්න

 

ෆැෂන් ඩිසයිනර් කෙනෙක් කිව්වහම එක පාරටම ඔලුවට එන්නේ නිකම් පට්ට ආතල් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන, සුන්දර මෝස්තර නිරූපිකාවන්ට හිතාගන්න බැරි විදියේ පිස්සු හැදෙන ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන, ඕනම ෆැෂන් ෂෝ එකකට ෆැෂන් වීක් එකකට එනකොට දෙයියන්ට වගේ සැලකිල්ලක් ලැබෙන, හෙට පැරිස් ගිහින් අනිද්දට නිව්යෝර්ක් යන විදියේ ජීවිතයක් ගෙවන ඩයල් එකක් ගැනනේ. අඩු ගාණේ ඔය ‍ෆිල්ම් වල එහෙම ඉන්න ෆැෂන් ඩිසයිනර්ස්ලා එහෙමයි. ඇත්ත ජීවිතේදී වුනත් සුපිරි ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ ජීවිතේ ඔය වගේ තමයි. හරි ඉතින්, ඔය විදීයට හීන දැක්කට ඇත්තටම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕන මේ විදියේ ජීවිතයක් ඕන නිසා නෙවෙයි. ඇත්තටම මෝස්තර නිර්මාණයට තමන්ගේ හිතේ උපන් ආසාවක් තියෙන නිසා. ඒකට තමන්ට සහජ දක්ෂතාවයක් තියෙන නිසා. දැන් ඔය දෙකම තියෙන කෙනෙක්ට හෙට වෙනකොට ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න බැහැනේ. කොහොමද එහෙමනම් මුල ඉඳන් යන්න ඕන පාර?

 

1. වැඩේට බහින්න කලින් වැඩේ ඉගෙන ගන්න ඕන
Fashion Design in Sri Lanka
Source – iiftbangalore.com

මුලින්ම කියන්න ඕන දේ තමයි වැඩේ ඉගෙන ගන්න එකේ තියෙන වාසිය. දැන් අපි දැකලා තියෙනවා පුංචි කාලේ ඉඳන්ම හොඳ ෆැෂන් සෙන්ස් එකක් තියෙන ළමයි ඉන්නවා. සමහරුන්ට විධිමත් මෝස්තර නිරූපණ ශිල්පීය අධ්‍යාපනයක් නැතත්, ඒ අය නෝට් පොතක් තියාගෙන එක එක විදියේ හිතට එන ෆැෂන් අඳිනවා. එතකොට තව අය ඉන්නවා තමන්ට හරියන ඇඳුම් මෝස්තර මික්ස් ඇන්ඩ් මැච් කරනවා වගේම, අලුත් මෝස්තර වලට ඇඳුම් තනියෙන්ම මහගෙන අඳිනවා. දැන් මේ දේවල් මේ විදියටම නොකළත්, ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන වැඩේට සහජ කුසලතාවය අනිවා තිබිය යුතුමයි. හැබැයි ඊට අමතරව ඒ ගැන විධිමත් අධ්‍යාපනයකුත් ලැබිය යුතුමයි. ලංකාවේ ෆැෂන් ඩිසයින් ඉගෙන ගන්න තැන් සෑහෙන්න තියෙනවා. ආටිකල් එක අන්තිමට අපි ඒ ගැන ලිස්ට් එකක් දානවා.

 

2. තමන්ට යන්න ඕන දුර සහ යන පාර ගැන හිතන්න
Fashion Design in Sri Lanka
Source – allfashionstyles.com

කෙනෙක් ඉන්න පුලුවන් ලෝකේ ටොප් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙනවට වඩා, තමන්ගේම ෆැෂන් ලයින් එකක් ඩිවලොප් කරන්න කැමැත්තෙන් ඉන්න. සමහර වෙලාවට එයා බූටික් ෂොප් එකකින් පටන් ගන්න ආස වෙන්න පුලුවන්. ඒ වගේම එයාට අවුරුදු ගණන් ෆැෂන් ඉගෙන ගන්න වැය කරන්න බැරි වෙන්න පුලුවන්. මේ කියන්නේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙනවා කියලා හිතුවත් එක් එක්කෙනාගේ වුවමනාවන් වෙනස් කියන එක. දැන් හැමදේටම කලින් තීරණය කරන්න ඕන වෙන්නේ මොකක්ද තමන්ට හරියටම මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ යන්න ඕන පාර කියන එකයි. ඉන් පස්සේ ඒකට ගැලපෙන පාඨමාලාවක් ‍තෝරගන්න පුලුවන්.

හැබැයි සමහරුන්ට කිසිසේත්ම ෆැෂන් ස්කූල් එකකට යන්න හැකියාව හරි වුවමනාව හරි නැති වෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ට සහජ දක්ෂතාවය සහ ඉක්මනට දේවල් ඉගෙන ගන්න හැකියාව තියේ නං බිස්නස් එකකට සෙට් වෙලා අත්දැකීම් සහ පළපුරුද්ද ඇසුරෙන් ඉගෙන ගන්නත් බැරි කමක් නෑ. කොහොම වුනත් ඉන්ටර්න්ෂිප් එකකට සෙට් වුනාට පස්සේ සීරියස්ලි හිතන්න වෙනවා ෆැෂන් ලෝකේ තමන්ට යන්න ඕන පාර මොකක්ද, තමන්ගේ ඩ්‍රීම් ජොබ් එක මොකක්ද කියලා.

 

3. බිස්නස් එක අඳුනගන්න ඕන
Fashion Design in Sri Lanka
Source – gracefulstory.com

ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙනවා කියන්නේ තමන්ට ආස විදියේ ඇඳුමක් නිර්මාණය කරලා ඔක්කොම හරි කියලා ඉන්න එක නෙවෙයි. ෆැෂන් ඩිසයින් කියන්නේ ඇත්තටම ලෝකේ දැවැන්ත වෙළෙඳපොළක් තියෙන ක්ෂේත්‍රයක්. ඉතින් කැමති වුනත් නැතත් මේ වැඩේට බිස්නස් ගැනත් ඉගෙන ගන්න වෙනවා. ගොඩක් වෙලාවට මෝස්තර නිර්මාණය ගැන තියෙන සම්පූර්ණ උපාධි හරි ඩිප්ලෝමා හරි පාඨමාලාවක මේ බිස්නස් පැත්ත ගැනත් කවර් කරනවා. හැබැයි ඉතින් බිස්නස් පැත්ත දැනගන්නත් පළපුරුද්ද අනිවා තියෙන්න ඕන දෙයක්. ඊලඟට කියන්නේ ඒ ගැන.

 

4. එක පාර ලොකු සීන් දාන්න යන්න බැහැනේ
Fashion Design in Sri Lanka
Source – esaiecouturedesignschool.com

අපි කියමු දැන් අපි හොඳ ෆැෂන් ඩිසයිනින්ග් කෝස් එකක් එහෙම කරලා ඉවර වෙලා ෆීල්ඩ් එකට බහින්න ලැහැස්ති වෙලා ඉන්නෙ කියලා. දැන් අපිට ඕන විදියට කවුරුත් ජොබ් තියාගෙන බලන් ඉන්නෙ නෑ. අපිට ජොබ් එකක් හොයන්න වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අපිට සෙට් වෙන්නේ අර ඉන්ටර්න්ෂිප් කියලා කියන වැඩ පුහුණුවෙන රස්සාවක් තමයි. මේක කට්ට කන්න වෙන කාලයක්. හැබැයි කන්න වෙන කට්ටේ විදියට සල්ලි හම්බුකරන්න බෑ. මග වියදම් විතරක් ලැබෙයි. හැබැයි අපිට පළපුරුද්දක් නැතුව මේ ෆීල්ඩ් එකේ ඔලුව උස්සන්න බෑනේ. ඒ නිසා අනිවා මේ ඉන්ටර්න්ෂිප් කාලේ පහු කරන්න වෙනවා.

හොඳම දේ තමයි ඉගෙනීම ඉවර වුනාට පස්සේ තමන්ගේම හොඳ පෝට්ෆෝලියෝ එකක් හදාගැනීම. ඊලඟට හොඳ රිසර්ච් එකක් කරන්න පුලුවන් කවුද ෆැෂන් ඩිසයින් ෆීල්ඩ් එකේ ඉන්න තද කොම්පැණි, සුපිරි ඩිසයිනර්ලා කියලා. දැන් එහෙම කීපයක් සිලෙක්ට් කරගත්තට පස්සේ බලන්න ඕන ඒ කොම්පැණියක හරි, ෆැෂන් ඩිසයිනර් කෙනෙක් යටතේ හරි වැඩ ඉගෙන ගන්න පුලුවන්ද කියලා. අපිට හැකියාව තියෙන බව පෙනුනොත් බොහෝ දුරට අපිට ඉන්ටර්න්ෂිප් චාන්ස් එක ලැබෙයි. ඒත් මේ ලොකු තැනක් ‍තෝරගන්න ඕන කියන එක අනිවා දෙයක් නෙවෙයි, හරිද. ඒ ගැනත් ඊලඟට අපි කියනවා.

තව එකක්. ෆැෂන් ඩිසයිනින්ග් ඩිග්‍රියක් ගැහුවා කියලා ලොකුවට ඔලුවට ගන්න එහෙම එපා. මොකද ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි, ඉන්ටර්න්ෂිප් ගිහින් තමන්ට උඩින් ඉන්න ටොප් ඩිසයිනර්ලාටත් වැඩ උගන්නන්න පුලුවන් කියලා මාන්නෙකින් ඉන්න හාදයෝ හාදියෝ ඉන්ටර්න්ෂිප් ඉවර වෙන්නත් කලින් හැලිලා යනවා කියන එක.

 

5. ලොකු තැනක් සෙට් වුනේ නැත්තං?
Fashion Design in Sri Lanka
Source – worldfashiondesignerinfo.blogspot.com

මෙන්න මේක හොඳට හිතට ගන්න ඕන කාරණාවක්. ලොකු නමක් තියෙන තැනකට ඉන්ටර්න්ෂිප් එකට යනවා කියන්නේ එක ඔප්ෂන් එකක් විතරයි. සමහර වෙලාවට එහෙම බැරි නම් අලුතින් පටන් ගන්න ෆැෂන් ලයින් එකකට සෙට් වෙන එක වුනත් නරක නෑ. විශේෂයෙන්ම අලුත් තැනකදී තමන්ට අර ලොකු තැනකට වඩා කන්‍ෆිඩන්ස් ඇතුව වැඩ කරන්න පුලුවන් වෙයි. කොහොමත් ලොකු කොම්පැණියක් වුනත් පටන් අරන් තියෙන්නේ පුංචි තැනකින්නේ. ඒ නිසා පොඩි පොකුණක ලොකු මාලුවෙක් වෙන්න වුනත් ගැටළුවක් නෑ. ඒත් එකක් මතක තියාගන්න ඕන. ඉන්ටර්න්ෂිප් කියන්නේ තමන්ට මේ වෘත්තියේ ඉහළට නගින්න තියෙන ඉණිමග. මේ මුල් පඩි ටික හරියට නැග්ගේ නැත්තං කවදාවත් එතනින් එහාට නැගීමක් නෑ. ඒ කියන්නේ තමන්ට අත්දැකීම් ලබාගන්න නම් කලිනුත් කිව්ව විදියට බිස්නස් එක අඳුනගන්න ඕන, කන්ටැක්ට්ස් හදාගන්න ඕන, වැඩේ අල්ලගන්න ඕන. පොඩි තැනක තරගය අඩුයි කියලා ඒවා නොකර හිටියොත් ඉතින් තමන්ට ගමනක් නෑ.

 

6. අප් ‍ටු ඩේට් වෙලා ඉන්න ඕන
Fashion Design in Sri Lanka
Source – palmspringslife.com

ෆැෂන් කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක්නේ. ඉතින් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕන කෙනෙක් අනිවාර්යයෙන්ම දවසින් දවස වෙනස් වෙන ෆැෂන් ගැන හොඳ දැනුවත් භාවයක් ඇතිකරගන්න ඕන. මේ කියන්නේ අර ඉගෙන ගත්තු පොතේ දැනුම විතරක් තියාගෙන ඉඳලා හරියන්නෙ නෑ කියන එක තමයි. හැබැයි වර්තමානයේ වෙනස් වීම් ගැන අවබෝධයකින් ඉන්නවා වගේම තමයි, ඉතිහාසයත් ඉගෙන ගන්න ඕන. මොකද අතීතයේ තිබුණු ෆැෂන් නැවත නැවතත් අනාගතයට එන විදිය අපි දැකලා තියෙනවනේ. සමහර වෙලාවට ඊලඟට හිට් වෙන රෙට්‍රෝ ෆැෂන් එක මාකට් එකට අඳුන්වලා දෙන්නේ ඔබ වෙන්න පුලුවන්. ඒ නිසා ෆැෂන් කලාවේ ඉතිහාසය ඉගෙන ගන්න එකත් ඉතා වැදගත්.

 

7. එතනින් එහාට නවතින්නේ නැතුව යන්න තමයි තියෙන්නේ
Fashion Design in Sri Lanka
Source – edition.cnn.com

කලිනුත් අපි කිව්වනේ ෆැෂන් ලෝකේ තමන්ට ඕන කරන ඩ්‍රීම් ජොබ් එක මොකක්ද කියලා හිතලා මතලා ඉන්න ඕන කියලා. දැන් ඉන්ටර්න්ෂිප් එක කරන අතරේ අනිවා අවධානය යොමු කරන්න ඕන දේ තමයි තමන්ගේ ඒ ඩ්‍රීම් ජොබ් එකට හරියන පළපුරුද්ද, විශේෂීකරණය, ස්කිල් සෙට් එක ලබාගැනීම. එහෙම නැතුව අර හැමදේම ටික ටික දන්න ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ් ඩයල් එකක් වෙලා නං මේ ෆීල්ඩ් එකේ ලොකු ගමනක් තියෙන එකක් නෑ. ඉතින් මේ විදියට ඩ්‍රීම් ජොබ් එකේ පාරට වැ‍ටුනට පස්සේ පුලුවන් ඉන්ටර්න්ෂිප් ඉවර වෙලා ඒකට ගැලපෙන රස්සාවකට යන්න. එහෙම නැතිනම් ඉන්ටර්න්ෂිප් කරපු තැනම ස්ථිර වෙන්නත් පුලුවන්. මේ මොන විදියට ප්‍රොෆෙෂන් එක පටන් ගත්තත් මතක තියාගන්න ඕන දේ තමයි තමන්ගේ කැපවීම වැඩේට තියෙන්න ඕනය කියන එක. එහෙම නැතුව ඉස්සරහට යන්න ලැබෙන්නේ නෑ. එතකොට මේ ෆීල්ඩ් එකේ කන්ටැක්ට්ස් වලට ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා සම්බන්ධකම් හදාගන්න තියෙන අවස්ථා මිස් කරන්න එපා. උදාහරණයක් විදියට ගත්තොත් කලම්බු ෆැෂන් වීක් හරි ඒ වගේ වෙනත් ෆැෂන් ෂෝ එකක් හරි ගත්තොත් තමන්ට අලුතින් දේවල් ඉගෙන ගන්න වගේම ෆීල්ඩ් එකේ ඉන්න වැඩදායක අය අඳුනගන්නත් චාන්ස් ලැබේවි.

 

8. ලංකාවේ මෝස්තර නිරූපණ ශිල්පය ඉගෙන ගන්න තියෙන තැන් කීපයක්
Fashion Design in Sri Lanka
Source – mrt.ac.lk, aod.lk, ou.ac.lk, modart.lk, lift.lk, brandix.com, raffles.edu.lk

 

University of Moratuwa
මේ තමයි ලංකාවේ ජනප්‍රියතම ෆැෂන් ඩිසයින් ඩිග්‍රිය. හැබැයි උපාධි සුදුසුකම් සපුරලා තියෙන්න ඕන. ඒ විතරක් මදි, මොර‍ටුව විශ්වවිද්‍යාලයෙන් මේ උපාධියට ‍තෝරගැනීම වෙනුවෙන් පවත්වන යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වෙලා ඒකෙන් තේරෙන්නත් ඕන.

Honours Degree of Bachelor of Design in Fashion Design & Product Development

දුරකථන අංක: 0112650301/ 0112650188

 

AOD
Fashion & Textile Design BA (Hons) Degree

දුරකථන අංක: 0775980141/ 0115867772

 

නාවල විවෘත විශ්වවිද්‍යාලය
දුරකථන අංක: 112881000

 

MOD’ ART international Paris – Sri Lanka branch
Bachelor in Fashion Design

දුරකථන අංක: 0112681970

 

LIFT (Lanka Institute of Fashion Technology)
Bachelor in Fashion Design

දුරකථන අංක: 0112681848/ 0779988285

 

Brandix College of Clothing Technology
මේ අයගේ පාඨමාලාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා ‍තෝරගන්නට.

දුරකථන අංක: 0114727222

 

Raffles Colombo
Fashion Design Advanced Diploma

දුරකථන අංක: 0114 375111

 

 
Cover Image Source – international-internships.com