ලෝකේ තාමත් ක්‍රියාකාරී අති බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක් මෙන්න

 

ත්‍රස්තවාදයේ බිහිසුණු කම අත්දැකලා තියෙන ලංකාවේ අපිට ත්‍රස්තවාදය කියන එක රටින් විතරක් නෙවෙයි, ලෝකෙන්ම අතුගාලා දාන්න ඕන කියන කතාවට කිසිම විරුද්ධත්වයක් නැහැනේ. දැන් රටවල් දෙකක යුද්ධයක් තියෙනකොටත් අමානුෂික, බිහිසුණු ක්‍රියා සිද්ධ වෙනවා. යුධ අපරාධ සිද්ධ වෙනවා. හැබැයි ඒවා පුලුවන් තරම් අවම කරන්න යම් යම් ක්‍රියාමාර්ග, සම්මුතීන් ලෝකේ තියෙනවා. හැබැයි ත්‍රස්තවාදී කණ්ඩායමකින් ඒ විදියේ අමානුෂික, බිහිසුණු ක්‍රියාවන් සිද්ධ වෙන එක නවත්තන්න බැරි තරම්. මොකද ත්‍රස්තවාදීන් කියන්නේම ඔය ලෝක සම්මුතීන්, ප්‍රඥප්ති අනං මනං ගණන් ගන්න කොටසක් නෙවෙයි. ඒ අයට ඕන වෙන්නේ නරකින් බැරිනම් නරකම නරකින් හරි තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න එක. දැන් මේ කතා කරන්න යන්නේ වෙන මොකක්වත් ගැන නෙවෙයි, ලෝකේ මේ වෙනකනුත් ක්‍රියාත්මක වෙන බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩායම් කීපයක් ගැන. හරියටම කිව්වොත් ත්‍රස්තවාදය යුධ උපක්‍රමයක් විදියට යොදාගන්න භයානක කණ්ඩායම් කීපයක් ගැන.

 

1. ISIS (Islamic State of Iraq and Syria)
Global Terrorist Organisations
Source – wptv.com

මේ දවස්වල ලෝකේ හැමෝම කතාවෙන ත්‍රස්තවාදී කල්ලිය තමයි “ඉස්ලාමීය රාජ්‍යය” හෙවත් අයි. එස්. අයි. එස් ත්‍රස්තවාදී සංවිධානය. බොහොම වේගයෙන් ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්වුණු මේ සංවිධානයට ශ්‍රී ලාංකිකයිනුත් බැඳිලා ඉන්නවා කියලා අහන්න ලැබෙනවා. මූලිකවම ඉරාකයේ සහ සිරියාවේ විවිධ ප්‍රදේශයන් අතර අණසක පතුරුවාගෙන ඉන්න අයි. එස්. අයි. එස් සංවිධානය කොයි තරම් අන්තවාදීද, කොයිතරම් භයානකද කියලා කිව්වොත් අල් කයිඩා වගේ ලෝකේ භයානකයි කියලා හිතාගෙන හිටපු ත්‍රස්ත සංවිධානත් මේ කණ්ඩායමේ අන්තවාදී බව විවේචනයට ලක් කරනවා. ප්‍රධාන වශයෙන් ඉරාකය සහ සිරියාව තුළ ප්‍රධාන ගොඩබිම් සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ගේ ආධිපත්‍යය යටතේ තියාගෙන ඉන්න අයි. එස්. අයි. එස් කණ්ඩායම තමන්ගේ අන්තවාදී ඉස්ලාමික මතයන්ට නොනැමෙන මුස්ලිම් හෝ මුස්ලිම් නොවන ඕනෑම කෙනෙක්ට දරුණු වධ බන්ධන පමුණුවලා මරණයට පත් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. වීඩියෝ කරලා සිරකරුවන්ගේ හිස් ගසා දාන්නත්, ඒ වීඩියෝ ලෝකේ පුරාම යවන්නත් මේ අය ප්‍රසිද්ධයි. ඒ වගේම බටහිර රටවල් කීපයකටම අභියෝග කරමින් ප්‍රහාර එල්ල කරන්නත් මේ කණ්ඩායම කටයුතු කරලා තිබුණා. පොදුවේ මේ අයව සැලකෙන්නේ ලෝකයටම තර්ජනයක් කියලා තමයි. හැබැයි සමහරු ඇමරිකාවට චෝදනා කරනවා, මේ කණ්ඩායම පිහි‍ටුවන්න වක්‍රාකාරව කටයුතු කරලා තියෙන්නේ ඇමරිකානු බුද්ධි අංශ කියන ඔප්පු නොවුණු මතය උඩ.

 

2. Boko Haram
Global Terrorist Organisations
Source – hopefornigeriaonline.com

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් තමයි බොකෝ හරාම් කියන්නේ. 2001 වගේ පටන් ගත්තු බොකෝ හරාම් සංවිධානයේ මූලිකම අරමුණ තමයි උතුරු නයිජීරියා ප්‍රදේශය තනිකරම ඉස්ලාමීය ජනරජයක් බවට පත් කරන එක. මේ අයගේ සංවිධානයේ නමෙත් තියෙන අදහස තමයි “බටහිර අධ්‍යාපනය අකැපයි නැත්නම් පාපයක්” කියන එක. කොහොමහරි බොකෝ හරාම් සංවිධානය ලෝකේ තියෙන බිහිසුණුම ත්‍රස්ත සංවිධානයක් කියන්නේ මේ අය වෙඩිතැබීම්, බෝම්බ ප්‍රහාර සහ වෙනත් ක්‍රම වලින් ජීවිතක්ෂයට පත් කරලා තියෙන සිවිල් ජනතාවගේ ප්‍රමාණය හින්දත්, මේ අයගේ තිරශ්චීන ක්‍රියාකලාපයන් නිසාත් තමයි. කිහිප විටක්ම පාසැල් දරුවන්ව පැහැර ගත් බොකෝ හරාම් කල්ලිය එක පාරක් ගැහැණු ළමයින් තුන්සිය ගාණක් පැහැර ගත්තේ පාසැල් යෑමේ වරදට. මේ අයගේ දර්ශනයට අනුව ගැහැණු ළමයි වයස 12 වෙනකොට විවාහ වෙනවා ඇරෙන්න පාසැල් යෑම වැරදියි. හැබැයි මේ අයගේ දැක්ම ව්‍යාප්ත වෙලා තියෙන විදියට දැන් බොකෝ හරාම් කියන්නේ බටහිරින් ආ ජීවන රටා, සමාජ ක්‍රියාකාරකම් හෝ දේශපාලනයන් පවා වැරදියි කියන එක. උදාහරණ විදියට ඡන්දය ප්‍රකාශ කිරීම, කමිස හෝ කලිසම් ඇඳීම පවා වැරදියි. දැන් ආරංචි වෙනවා බොකෝ හරාම් අන්තවාදීනුත් අයි. එස්. අයි. එස් සංවිධානයට සහාය පළ කරනවා කියලා.

 

3. Taliban
Global Terrorist Organisations
Source – bbc.co.uk

තලිබාන් නැතිනම් තලේබාන් කියලා හඳුන්වන ත්‍රස්ත සංවිධානය අපිට ඒ තරම් ආගන්තුක නමක් නෙවෙයි. ඇෆ්ගනිස්ථානයේ සුන්නි ඉස්ලාමීය මූලධර්මවාදී දේශපාලන ව්‍යාපාරයක් විදියට ඇරඹුණු තලිබාන් සංවිධානය ප්‍රසිද්ධ වෙන්නේත් ඉස්ලාමීය නීතිය හෙවත් ෂරියාව බොහෝම අන්තවාදී විදියට මුස්ලිම් ජනතාව මතත් පටවමින්, අමානුෂික ඝාතන, වධ හිංසාවන් වගේම දූෂණයන් කරමින් ගෙන ගිය පාලනය නිසා. ඇෆ්ගන් සිවිල් යුද්ධයෙන් පස්සේ 1994 දී පමණ බිහිවුණු ප්‍රධාන අන්තවාදී කණ්ඩායමක් තමයි පස්සේ තලිබාන් දක්වා වර්ධනය වුණේ. මේ අයගේ නායකයා විදියට හිටපු මුල්ලා මොහොමඩ් ඕමාර් ඇතුලු තලේබාන්වරුන්ව මුලින්ම සැලකුනේ විමුක්තිකාමීන් පිරිසක් විදියට. ඒ මුජහිදීන් ගරිල්ලන්ගේ දූෂිත පාලනය පරාජය කිරීම හින්දා. හැබැයි පස්සේ පස්සේ තලේබාන්වරු තමන්ගේ හැබෑ පාට පෙන්නන්න පටන් ගත්තට පස්සේ ඔවුන් ලෝකයේ ප්‍රධාන සතුරු ත්‍රස්ත සංවිධානයක් විදියට සැලකෙන්න පටන් ගත්තා. කොහොමත් බාමියාන් බුදු පිළිම සංකීර්ණය විනාශ කිරීම ඇතුළුව ඔවුන් කරපු විනාශයන් ගණනය කරන්නත් නොහැකි තරම්.

 

4. Lashkar-e-Taiba
Global Terrorist Organisations
Source – islamedianalysis.info

ලක්ෂාර්-එ-තයීබා හෙවත් ධර්මිෂ්ට සේනාව කියලා කියන්නේ පකිස්තානේ ඉඳන් ක්‍රියාත්මක වෙන 87 ආරම්භ කරපු ත්‍රස්තවාදී කල්ලියක්. හැබැයි මේ ත්‍රස්තවාදී සංවිධානයේ වැඩිම බලපෑම තියෙන්නේ ඉන්දියාවට. කාශ්මීර ප්‍රශ්නෙත් මේ එක්කම ඇදි ඇදී යනවා. මේකට ඔසාමා බින් ලාඩන් ෆන්ඩ් කරලත් තියෙනවා. අදටත් ක්‍රියාකාරී මේ කල්ලිය දකුණු ආසියාවේ විශාලතම සහ දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් කියල කියන එක වැරදි නෑ. මේ අය ඉන්දියාවේ පාර්ලිමේන්තුවටත් ගැහුවා. හැබැයි ජනප්‍රිය වුනේ 2008 දී මුම්බායි වල සිවිල් වැසියන් සිය ගණනක් මරණයට පත් කරමින් දියත් කරපු දැවැන්ත ප්‍රහාරයත් එක්ක තමයි. මේ කට්ටියටත් ඕන කරන්නේ දකුණු ආසියාවේ ඉස්ලාමීය රාජ්‍යය පිහි‍ටුවන්න තමයි. පකිස්තානයේ විවිධ තැන්වල මේ සංවිධානයේ කාඩර්වරුන්ට මිලිටරි පුහුණුව ලබාදෙන කඳවුරු තියෙනවා. කොහොමත් මේ අයගේ වැඩ නිසා ඉන්දු-පකිස්තාන් සබඳතා වලට ලොකු හානියක් වෙනවා කියන එක කියන්නම වෙනවා.

 

5. Al-Qaeda
Global Terrorist Organisations
Source – telegraph.co.uk

අල් කයිඩා කියන නමේ තේරුම “පදනම” කියන එක. ඒකෙන්ම අපිට අදහසක් ගන්න පුලුවන් මේ සංවිධානය ගැන. 88 දී බින් ලාඩන් ආරම්භ කරපු අල් කයිඩාව බොහොම ප්‍රසිද්ධ වුනේ ඇමරිකාවට මුහුණදෙන්න සිද්ධ වුණු දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයක් කියන්න පුලුවන් 9/11 සිදුවීම සහ තවත් බොහෝ බෝම්බ පිපිරවීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා එක්ක තමයි. කොහොම වුනත් මේ ප්‍රහාරයත් එක්ක ඇමරිකාව විසින් දියත් කරපු “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නිසා අල් කයිඩාව දරුණු විදියට දුර්වල වුනා විතරක් නෙවෙයි, අල් කයිඩා පුරෝගාමී නායක ඔසාමා බින් ලාඩන්ටත් මරු දකින්න වුනා. අල් කයිඩාව විශ්වාස කරන්නේ ක්‍රිස්තියානි-යුදා බටහිර ලෝකය කුමන්ත්‍රණය කරන්නේ ඉස්ලාමය විනාස කරලා දාන්න කියලයි. ඒ හින්දා ඊට කලින් බටහිර ලෝකෙට ගේම දෙන එක තමයි අල් කයිඩාවේ දර්ශනය. කොහොමත් අල් කයිඩා දුර්වල වෙලා ගියත්, අයි. එස්. අයි. එස් නිසා අවධානය අඩු වුනත්, තාමත් අල් කයිඩාවේ තර්ජනය අවසන් වෙලා නෑ. විශේෂයෙන්ම දැන් ඔසාමාගේ පුතා, හම්සා බින් ලාඩන් තමන්ගේ පියා වෙනුවෙන් පලිගන්නත් ඉදිරිපත් වෙලා ඉන්නවා!

 

6. New IRA (Real Irish Republican Army)
Global Terrorist Organisations
Source – youtube.com/What Is The Irish Republican Army

අයිරිෂ් ත්‍රස්තවාදීන් ගැන කියනකොට ලන්ඩන් නගරයට එල්ල වුණු ගණනක් නැති ප්‍රහාර ගැන මතක් කරගන්න වෙනවා. වෙඩි තැබීම් සහ පයිප්ප බෝම්බ වලින් එංගලන්තයේ මිය ගියපු සිවිල් වැසියන් ගණන සෑහෙන්න විශාලයි. කොහොම වුනත් අයිරිෂ් රිපබ්ලිකන් හමුදාවෙන් බිහිවෙනවා නව අයි. ආර්. ඒ සංවිධානය 2012 දී. මේ අයගේ ඒකායන බලාපොරොත්තුව වෙන්නේ එක්සත් අයර්ලන්ත රාජ්‍යයක් බිහිකිරීම. ඉතින් ඒකට බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න මේ අයට ඕන කරනවා. කොහොමත් ඔය බ්‍රිතාන්‍ය, අයර්ලන්ත ගැ‍ටුම් තියෙන්නේ ඉතාම ඈත අතීතයේ ඉඳන් තමයි. ගොඩක් දෙනෙක් හිතුවා එක් කාලෙක අයි. ආර්. ඒ සංවිධානය මර්දනය වුනා කියලා. හැබැයි ඒක වැරදියි. තවමත් මේ අයගේ ත්‍රස්ත ක්‍රියා සිදුවෙනවා. පහුගිය අවුරුද්දේ අප්‍රේල් වලදි වගේ ඩබ්ලින් වල තිබිලා හොයාගත්තු පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් නව අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාවට සම්බන්ධයි කියලා හොයාගත්තා. 2016 දෙසැම්බර් මාසෙදී ඔවුන් වෙඩිතැබීමකින් පුද්ගලයෙක්ව ජීවිතක්ෂයට පත් කලා. ඒ සැබෑ අයිරිෂ් රිපබ්ලිකන් හමුදාවේ හිටපු ප්‍රබලයෙක්. ඒ කියන්නේ මේ අයට පාලනාධිකාරිය, පොලිසිය සහ හමුදාව එක්ක විතරක් නෙවෙයි, තමන් හා සමාන අදහස් තියෙන කැඩී වෙන් වුණු කල්ලි එක්කත්, පාතාලය එක්කත් ගේම් තියෙනවා.

 

මේ අපි සඳහන් කලේ ලෝ පුරා විසිරිලා ඉන්න විවිධ අරමුණු තියෙන ත්‍රස්තවාදී කල්ලි කිහිපයක් ගැන විතරයි. මීට අමතරව තවත් ලොකු කුඩා ත්‍රස්තවාදී කණ්ඩායම් භීෂණ ක්‍රියාවල නිරත වෙනවා. කවදා ලෝකෙට ත්‍රස්තවාදයෙන් නිදහසක් ලැබේවිද? ඒක කියන්න බැහැ.

 

 
Cover Image Source – intelligencebriefs.com