ඉතිහාසයේ වඩාත්ම තරඟකාරී ICC චැම්පියන්ස් කුසලානය මෙවරයි. මේ පාර කවුරු දිනයිද?

 

ලෝකෙ පුරා ඉන්න ක්‍රිකට් ලෝලීන් හැමෝටම වගේ වැදගත් වන මාසයක් තමයි ජූනි මාසෙ. ජූනි මාසෙ පළවැනිදා ඉඳන් ජුනි 18 වැනිදා දක්වා ලෝකේ ප්‍රබලම එක්දින කණ්ඩායම් 8 තරඟ වදින අයි. සී. සී චැම්පියන්ස් කුසලානය ඇරඹෙන නිසයි ඒ. එක්දින ලෝක කුසලානයට විතරක් දෙවැනි වෙන මේ තරඟාවලිය අටවැනි වතාවටයි මෙවර පැවැත්වෙන්නේ.

මෙවර අපේ මූලික වටයේ තරඟ පැවැත්වෙන දවස් සහ වේලාවන් මෙන්න මේවයි

ICC champions trophy

1. මුල්ම චැම්පියන්ස් කුසලාන තරඟාවලිය
ICC champions trophy
Source – pakpassion.net

චැම්පියන්ස් කුසලාන තරඟාවලියක් මුල්ම වතාවට පැවැත්වෙන්නේ 1998 වසරේදී බංග්ලාදේශයේදීයි.  විල්ස් ඉන්ටර්නැෂනල් කප් (Wills International Cup) නමින් තමයි ඒ තරඟාවලිය හැඳින්වුවෙ. ඒ වෙනකොට ටෙස්ට් තත්ත්වය හිමිකරගෙන හිටපු කණ්ඩායම් සියල්ලම මේ තරඟාවලියට සුදුසුකම් ලැබුවා. දැන් වගේ කණ්ඩායම් වෙනම පූල් වලට බෙදලා රවුන්ඩ් රොබින් ආකාරයට තරඟ පැවැත්වීමක් නෙමෙයි පළමුවෙනි චැම්පියන්ස් කුසලානෙදි සිද්ධ උනේ. මුල ඉඳන්ම නොකවුට් ක්‍රමයට තමයි තරඟාවලිය පැවැත්වුවෙ. ඒ කිවුවෙ තරඟයක් පැරදිච්ච ගමන් කෙළින්ම ගෙදර.

පළවැනි චැම්පියන්ස් කුසලානෙදි ශ්‍රී ලංකා කණ්ඩායමට සෙමි ෆයිනල්ස් දක්වා විතරයි එන්න හම්බුවෙන්නෙ. පළවැනි තරඟයේදී නවසීලන්තය පරාජය කරල පහසු දිනුමක් ලබාගත්තත්, දෙවැනි තරඟයේදී ප්‍රබල දකුණු අප්‍රිකාව හමුවේ අපි පරාජය වෙනව. පළමුවෙනි චැම්පියන්ස් කුසලානය ජයගන්නෙත් දකුණු අප්‍රිකාණුවන් තමයි. අවසාන තරඟයෙදි ඔවුන් අතින් පරාජයට පත්වෙන්නෙ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමයි.

 

2. එදා සිට අද දක්වා චැම්පියන්ස් කුසලාන ඉතිහාසයෙන් බිඳක්…
ICC champions trophy
Source – sports24hour.com
  • 2000 අවුරුද්දෙ කෙන්යාවෙදි පැවැත්වෙන දෙවැනි චැම්පියන්ස් කුසලාන තරඟාවලියත් නොකවුට් ක්‍රමයට තමයි පැවැත්වෙන්නෙ. ඒ තරඟාවලිය ජයගන්නෙ නවසීලන්ත පිළයි. ශ්‍රී ලංකා කණ්ඩායම තමන් මුහුණ දීපු පළමු නොකවුට් තරඟයෙදිම පකිස්ථානෙ අතින් පරාජය ලබල තරඟාවලියෙන් ඉවත් වෙනව.
  • 2002 අවුරුද්දෙදි අපේ රටේදි තමයි චැම්පියන්ස් කුසලානය පැවැත්වෙන්නෙ. චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ මුල් වරට නොකවුට් ක්‍රමයෙන් ඉවත් වෙලා, කණ්ඩායම් 12ක් පූල්ස් 4කට වෙන් කරලයි මේ තරඟාවලිය පැවැත්වුවෙ. පළමු වටය අවසානෙදි අදාල පූල්ස් හතරේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම් අතර සෙමි ෆයිනල්ස් පවත්වන්න යෙදුණා. අවසන් තරඟයට අපේ කණ්ඩායම සහ ඉන්දියාව තමයි තේරුණේ. අයහපත් කාළගුණය නිසා අවසන් තරඟය දවස් දෙකකදීම අතරමගදී නවත්වන්න සිදුවූ නිසා අපිටයි ඉන්දියාවටයි මේ කුසලානය සමව බෙදාගන්න සිද්ධ වෙනවා. චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේදී තරඟාවලියේ සත්කාර රට කුසලානය දිනාගත්ත එකම අවස්ථාව හැටියට සැළකෙන්නේ මෙයයි.
  • 2004දි එංගලන්තෙදි පැවැත්වෙච්ච වැම්පියන්ස් ශූරතාවයෙන් ලංකාවට පළමු වටයෙන්ම ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේ තරඟාවලිය අදටත් මතකයේ රැඳෙන්න එක හේතුවක් තමයි ඒකෙ අවසාන තරඟයේ තිබ්බ උණුසුම් සහ තරඟකාරී ස්වභාවය. සත්කාරක රට වෙච්ච එංගලන්තෙ ගහපු ලකුණු 217 හඹාගෙන යන බටහිර ඉන්දීය කොදෙවුවො එක් අවස්ථාවක ලකුණු 147ට කඩුලු 8ක් දැවිල පරාජය පෙනි පෙනී ඉන්නෙ. ඒත් සටන්කාමී ඉනිම දෙකක් ක්‍රීඩා කරන ඔවුන්ගේ කඩුලු රකින්නා කර්ට්නි බ්‍රවුන් සහ ඉයන් බ්‍රැඩ්ෂෝ එකතුවෙන් මේ ලකුණු ගාණ හඹායන්න අවසානෙදි ඔවුන් සමත් වෙනවා.
  • 2006 සහ 2009 යන අවුරුදු දෙකේදිම චැම්පියන්ස් කුසලානය දිනාගන්න සමත්වෙන්නෙ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමයි. අදටත් චැම්පියන්ස් කුසලානය පිට පිට දෙවතාවක් දිනාගන්න සමත් වෙච්ච එකම රට වෙන්නෙ ඔවුනුයි.
  • මුල් කාලෙදි සෑම අවුරුදු දෙකකටම වතාවක් මේ තරඟාවලිය පැවැත්වුණත් 2009 අවුරුද්දෙ සිට සෑම අවුරුදු 4කට වතාවක් තමයි චැම්පියන්ස් කුසලානෙ පැවැත්වෙන්නෙ.
  • ගිය වතාවෙදි එංගලන්තය සහ වේල්සයේ පැවැත්වෙච්ච චැම්පියන්ස් කුසලානය ජයගන්නෙ අසල්වැසි ඉන්දියානු කණ්ඩායමයි. ඉන්දියාවත් එක්ක සෙමි ෆයිනල් එකෙන් පරාජය ලබපු නිසා අපේ කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වෙනව. ඉන්දියානු කණ්ඩායමේ ඒ ජයග්‍රහණයත් එක්ක චැම්පියන්ස් කුසලානය දෙවරක් දිනාගත්ත දෙවැනි රට හැටියට ඔවුන් පත්වෙනව.
  • චැම්පියන්ස් කුසලානයේ හොඳම ජයග්‍රාහී ප්‍රතිශතය තියෙන්නෙ අසල්වැසි ඉන්දියාවටම තමයි. ඒ අය තරඟ 23කින් 15ක් ජය අරන් 71.42%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් වාර්තා කරල තියනවා. අපේ රට ඉන්නෙ ඒ අතින් 5 වැනි ස්ථානයේයි. අපි තරඟ 23කින් 15ක් දිනල 59.09%ක අගයක් වාර්තා කරල තියනවා.
  • අයි. සී. සී චැම්පියන්ස් තරඟාවලියේ එතෙක් මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වන්නේ ක්‍රිස් ගේලුයි. ගේල් තරඟ 17කදී ලකුණු 791ක් ගහල තියනවා. එහි දෙවැනි තැන හිමිවන්නේ අපේ මහේලට. මහේලගෙ ලකුණු සංඛ්‍යාව 742ක්. නවසීලන්තයෙ කයිල් මිල්ස් කඩුල 28ක් අරන් චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා හැටියට වැජඹෙද්දි අපේ මුරලි කඩුලු 24ක් එක්ක දෙවැනි තැන හිමිකරගෙන ඉන්නවා.
  • එංගලන්තය, පකිස්ථානය, බංගලාදේශය සහ සිම්බාබ්වේ යන රටවල් වලට තවම චැම්පියන්ස් කුසලානය හිමිකරගැනීමේ අවස්ථාවක් හිමි වෙලා නැහැ.

 

 

3. 2017 චැම්පියන්ස් කුසලානය
ICC champions trophy
Source – youtube.com

මේ පාර චැම්පියන්ස් කුසලානය පැවැත්වෙන්නේ 8 වැනි වතාවට කියල අපි කලිනුත් කිවුවනෙ. එංගලන්තයේ සහ වේල්සයේදි තමයි මේ තරඟාවලියේ තරඟ පැවැත්වෙන්නෙ. 2009 අවුරුද්දේ ඉඳන් ටෙස්ට් වරම් තියන හැම කණ්ඩායමටම චැම්පියන්ස් කුසලානෙට තරඟ කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. චැම්පියන්ස් කුසලානෙ පවත්වන්න මාස 6කට කලින් එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම ඉන්න කණ්ඩායම් 8 තමයි මේ සඳහා තෝරාගන්නෙ. මේ තෝරාගැනීමේ ක්‍රමවේදය නිසා මෙතෙක් හැම චැම්පියන්ස් කුසලානෙකටම තරඟ වැදිච්ච බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම මේ පාර තරඟාවලියෙන් හැලිල ගිහින් තියනව. ඒ වෙනුවට අවුරුදු එකොළහකට පස්සේ ආයෙමත් චැම්පියන්ස් කුසලානෙට තරඟ කරන්න බංගලාදේශෙට අවස්ථාව හම්බුවෙලා තියනවා.

ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, නවසීලන්තය සහ එංගලන්තය A කාණ්ඩය හැටියටත්, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ පකිස්ථානය B කාණ්ඩය හැටියටත් වෙන් කරල තියනවා. අවසන් පූර්ව වටයට යන්නෙ මේ එක් එක් කාණ්ඩ වල මුල් ස්ථාන 2 හිමි කරගන්නා කණ්ඩායම් දෙක නිසා අපිට සෑහෙන අසීරු ඉලක්කයක් තමයි වැටිල තියෙන්නෙ. මොකද හුඟක් අය මෙවර තරඟාවලියෙදි ෆේවරිට්ස්ලා හැටියට නම් කරන ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව එක්ක අපිට තරඟ කරන්න වෙන නිසා.

 

4. කවුරු දිනයිද? ඒ ඒ කණ්ඩායම් දිහා පොඩ්ඩක් බලලා ඉමු
ICC champions trophy
Source – arynews.tv

කණ්ඩායම් වල ක්‍රීඩකයන්ගෙ සංයුතිය, එංගලන්ත තණතීරු සහ දේශගුණික තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමේ හැකියාව සහ වර්තමානයේ ඉන්න ෆෝම් එක ගැන සළකලා බැලුවොත් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මේ තරඟාවලිය ජයගන්න වඩාත්ම ඉඩකඩ ඇති කණ්ඩායම් හැටියට නම් කරන්න පුලුවන්. අපි මේ එක් එක් කණ්ඩායම් දිහාවට පොඩ්ඩක් විමසුම් ඇසක් දාල බලමු.

 

ඉන්දියාව

ICC champions trophy
Source – cricwindow.com

ප්‍රබල ඉන්දීය කණ්ඩායම මේ පාර චැම්පියන්ස් කුසලානෙට එන්නෙ කළින් වතාවෙ ශූරයෝ හැටියටයි. ඒත් එක්කම විරාත් කෝලිගේ නව නායකත්වය පීඩනය වැඩි ඉහල පෙළේ තරඟාවලියක උරගා බැලෙන මුල් අවස්ථාව වෙන්නෙත් මේක. මේ තරඟාවලියේදි ඉන්දියාවේ ලොකුම ශක්තිය වෙන්නේ ඒ අයගෙ මැදපෙළ පිතිකරුවො සෙට් එකයි. විරාත් කෝලි, දෝනි, යුවරාජ්, කේදර් ජාදෙව් වගේ ක්‍රීඩකයොත් එක්ක ඒ අයගෙ මැදපෙළ ඉතාම ශක්තිමත් එකක් වෙනවා විතරක් නෙමෙයි, ජාදෙව් සහ යුවරාජ්ව අමතර දඟපන්දු යවන්නො හැටියට පාවිච්චි කරන්නත් පුලුවන්. මේක වාසියට හිටින්නේ රවිචන්ද්‍ර අශ්වින්ගෙ මේ දවස්වල ෆෝම් එකත් එක්කයි. අනික අශ්වින් ආබාධයකට ලක්වීමෙන් පස්සෙයි තරඟාවලියට එක්වෙන්නෙ. බුවනේෂ්වර් කුමාර්, උමේෂ් යාදෙව්, බුම්රා සහ පාණ්ඩ්‍යාට අමතරව ඒ අයගෙ වේග පන්දු බලඇණිය ශක්තිමත් කරන්න කාලෙකට පස්සෙ මොහොමඩ් ශාමිවත් කැඳවලා තියනවා.

 

එංගලන්තය

ICC champions trophy
Source – cricwindow.com

කීප වතාවක්ම අවසාන තරඟයට සහභාගි උනත් දිනනන් බැරි වෙච්ච එංගලන්තෙ මේ පාර තරඟාවලියට එන්නෙ තමන්ගෙ රටේ ක්‍රීඩා කිරීමේ වාසියත් එක්කයි. පිතිකරණය සහ තුන් ඉරියවු ක්‍රීඩකයො අතින් ගත්තහම බැලූ බැල්මට ඉතාම භයානක කණ්ඩායමක් තමයි මේ අය මේ පාර ඉදිරිපත් කරල තියෙන්නෙ. ඇලෙක්ස් හේල්ස්, ජේසන් රෝයි, ජෝ රූට්, ඔයින් මෝගන්, සෑම් බිලින්ග්ස් වගේ ප්‍රහාරාත්මක මෙන්ම ස්ථාවරව ක්‍රීඩා කරන්න පුලුවන් ක්‍රීඩකයො උඩ ඉඳන් ඉන්නව. පහල මැද පෙළ ගත්තහම ජොස් බට්ලර් කියන්නෙ විශේෂම ක්‍රීඩකයෙක්. ඊට පස්සෙ බෙන් ස්ටෝක්ස්, මොයීන් අලී, ක්‍රිස් වෝක්ස් සහ ලයම් ප්ලන්කට් වගේ දැඩි ප්‍රහාරක හැකියාවෙන් සහ පන්දු යැවීමේ හැකියාවෙන් යුක්ත ක්‍රීඩකයො ඉන්නවා. තරඟයක තීරණය තනියම වෙනස් කරන්න පුලුවන් මට්ටමේ ක්‍රීඩකයොම ඉන්නව සෑහෙන ප්‍රමාණයක්. මේ දේවලුත් එක්ක තමන්ගෙ රටේ වාසියත් එකතු උනාම එංගලන්තෙ ඉන්නෙ සෑහෙන ප්‍රබල තැනක.

 

ඕස්ට්‍රේලියාව

ICC champions trophy
Source – cricwindow.com

ඕස්ට්‍රේලියාව පහුගිය කාලෙදි නැගීම් බැසීම් බොහොමයක් පහු කරගෙනයි ආවෙ. ඔවුන් දකුණු අප්‍රිකාවෙදි තරඟ 5ට 0ක් හැටියට අමිහිරි පරාජයක් ලබන්නත් සමත් වෙනවා. කොහොම වෙතත් මේ වෙද්දි ආයෙ ටික ටික ඒ අයගෙ සුපුරුදු ට්‍රැක් එකට වැටෙමින් එන තත්ත්වයක් තමයි ඕස්ට්‍රේලියාවෙන් පේන්න තියෙන්නෙ. බැලූ බැල්මට එංගලන්තෙ තරම් සුපිරි කණ්ඩායමක් නොවුණත් ටිකක් විමසිල්ලෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම දිහා බැලුවොත් පෙනේවි තරඟයක් ගොඩ දාගන්න ඒ ඒ අංශ වලින් උපරිම සහයක් ලබාගන්න පුලුවන් ක්‍රීඩකයො සංයුතියකින් මේ සංචිතය සමන්විත වෙලා තියනවය කියල. වර්තමානය වෙද්දි ඩේවිඩ් වෝනර් ඉන්න ෆෝම් එකත්, ස්ටීවන් ස්මිත්ගේ පිතිකරණයත් සෑහෙන බලපෑමක් කරන්න ඉඩ තියනවා. පොඩි අඩුපාඩුවකට තියෙන්නෙ දඟ පන්දු යැවීමේ අංශය තමයි. මේ නිසා ඇඩම් සම්පා කඩුලු අතර ආවොත් ඒක අනිවාර්යෙන්ම තවත් වාසියක් වේවි කැන්ගරුවන්ට. ඒ කතා මේ කතා කොහොම වෙතත් ඕස්ට්‍රේලියානුවන් කියන්නෙ අයි. සී. සී තරඟාවලි වල කවදාවත් අසාර්ථක වෙන කණ්ඩායමක් නෙමෙයි. අන්න ඒ කරුණත් අපි හිතේ තියාගෙන ඉන්න ඕනෙ.

 

දකුණු අප්‍රිකාව

ICC champions trophy
Source – cricwindow.com

ඉදිරිපත් කරල තියන කණ්ඩායමේ ශක්තිමත් බව, ක්‍රීඩකයන්ගෙ ෆෝම් එක සහ ඕනෑම රටක තත්ත්වයන් යටතේ ක්‍රීඩා කරන්න දකුණු අප්‍රිකානුවන්ට ඇති සුවිශේෂී හැකියාව එක්ක ගත්තහම දකුණු අප්‍රිකාව කියන්නේ මේ තරඟාවලිය දිනන්න වැඩිම චාන්ස් තියන රටක්. හැබැයි ඉතින් අවුලකට තියෙන්නේ ලොකු තරඟාවලදි වලදි පීඩනය නිසා ඇදවැටිල අසාර්ථක වීමේ දකුණු අප්‍රිකානු ඉතිහාසය තමයි. මේ නිසයි කොයි තරම් ජව සම්පන්න අශ්වයෙක් උනත් හුඟක් අය දකුණු අප්‍රිකාවට ඔට්ටු අල්ලන්න බය. අපේ අදහසට අනුව මේ පාර චැම්පියන්ස් කුසලානේ හොඳම ආරම්භක පිතිකරු යුගලය සතුවෙන්නෙත් දකුණු අප්‍රිකානුවන්ට. ඒ ප්‍රහාරක පිතිකරු ඩිකොක් සහ සංයමයෙන් ලකුණු රැස් කරන අම්ලාගේ සුසංයෝගය. ඊළඟට එන්නෙ ඒ අයගෙ සුපිරි මැදපෙළ. නම් වශයෙන් කිවුවොත් ඩිවිලියර්ස්, ඩුප්ලෙසිස්, ඩුමිනි සහ මිලර්. මේ අය ඕනෑම තරඟයක් වෙනස් කරන්න පුලුවන් පිතිකරුවො. පහළට යද්දි ඉන්නවා පිත්තෙන් වේගෙන් ලකුණු රැස් කරන්නටත් වේග පන්දුවෙන් සෑහෙන වෙනසක් කරන්නටත් පුලුවන් මොරිස්. ඒ වගේම ඕනෑම අසීරු අවස්ථාවක කඩුල්ලක් අරන් ප්‍රතිවාදී පිල හොල්ලන්න පුලුවන් ඉම්රාන් තහීර් සහ තරුණ නැගී එන ක්‍රීඩක රබඩාගේ පන්දු යැවීම නිසා අනිත් කණ්ඩායම් වලට සාපේක්ෂව දකුණු අප්‍රිකාණු පන්දු යැවීමේ අංශයත් සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ.

 

නවසීලන්තය

ICC champions trophy
Source – cricwindow.com

පන්දු යැවීමේ අංශය අතින් නවසීලන්තයේ ශක්තිය ඉතා හොඳ මට්ටමක තියනවා කියල කියන්න පුලුවන්. බෝල්ට්, සවුතී සහ මැග්ලෙනගන් කියන්නෙ එංගලන්ත තණතීරු වලදී හොඳටම ඵල නෙලාගන්න පුලුවන් පන්දු යවන්නන්. හොඳ පිතිකරුවන් කීප දෙනෙක්ම හිටියත් පිතිකරණය පැත්තෙන් ගත්තහම ටිකක් මදි ගතියක් තමයි කණ්ඩයම දිහා බැලුවහම පේන්නෙ. ඒ නිසා මේ තරඟාවලියෙදි නායක කේන් විලියම්සන් සහ මාටින් ගප්ටිල්ගේ පිත්තේ වැඩ පෙන්වීම අනිවා විය යුත්තක්. නවසීලන්තය කියන්නෙ කොහොමත් දැඩි කණ්ඩායම් හැඟීමකින් යුක්තව ක්‍රීඩා කිරීමෙන් ඉදිරියට එන කණ්ඩායමක්. ඒ සාමූහික ප්‍රයත්නයත් එක්ක අපි ඉහත කියූ ක්‍රීඩකයන් සාර්ථකත්වය ලැබුවොත් නවසීලන්තය කියන්නෙ අනිවා වෙනසක් කරන්න පුලුවන් කණ්ඩායමක්.

 

පකිස්ථානය

ICC champions trophy
Source – cricwindow.com

චැම්පියන්ස් කුසලානය දිනන එක සම්බන්ධයෙන් ගත්තහම පකිස්ථානෙට ලොකු චාන්ස් එකක් තියනවා කියල අපිට හිතන්න අමාරුයි. ඒත් කවුද දන්නේ. පකිස්ථානෙ කියන්නෙ ලෝකෙ ඉන්න විශ්වාස කරන්න බැරිම කණ්ඩායමක්. සමහර වෙලාවට ෆුල් ෆෝම් එකේ දක්ෂ කණ්ඩායමක් එක්ක ඇවිත් පළවෙනි වටෙන්ම ගෙදර යනවා. තවත් සමහර වෙලාවට හොඳටම දුර්වලයි කියල හිතෙන වෙලාවල් වලදි ඇවිත් නොසිතූ ජයග්‍රහණ ලබාගන්නව. අන්න ඒකයි අපිට පකිස්ථානෙ සුළුකොට තකන්න බැරි. පකිස්ථාන කණ්ඩායමේ බලාපොරොත්තු වැඩි වශයෙන් රැඳී තියෙන්නෙ මොහොමඩ් ආමිර් සහ ජුනයිඩ් කාන් අතේ තමයි. වහබ් රියාසුත් සුපුරුදු දස්කම් අතරට ආවොත් මේ අයගෙ පන්දු යැවීමේ බලඇණිය එංගලන්තෙදි සෑහෙන පීඩනයක් එල්ල කරන එකක් වේවි. පිතිකරණ අංශය ගත්තොත් පකිස්ථානෙ මුල්පෙළ පිතිකරුවන් කිහිප දෙනෙක්ම මේ වෙද්දි සුපුරුදු දස්කම් මට්ටමේ නැති බව තමයි පේන්න තියෙන්නෙ. ඒ අය අනිවාර්යයෙන්ම තමන්ගෙ සුපුරුදු දස්කම් අතරට පැමිණිය යුතු වෙනව.

 

බංගලාදේශය

ICC champions trophy
Source – cricwindow.com

තරුණ ජවයත්, පලපුරුද්දත් සම්මිශ්‍රණය වෙච්ච බංගලාදේශ කණ්ඩායම මේ වෙද්දි එන්න එන්නම ලොකු තරඟාවලි වල වැඩ පෙන්වන කණ්ඩායමක් බවට පත්වෙමිනුයි ඉන්නෙ. ඕස්ට්‍රේලියාව, සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය එක්ක ඉතාම අසීරු කාණ්ඩයකට තමයි බංගලාදේශය මෙවර තරඟාවලියෙදි තරඟ කරන්න වැටිල තියෙන්නෙ. ඒ නිසා අපි යතාර්ථවාදීව හිතල බැලුවොත් බොහොම අඩු අවස්ථාවක් තමයි දෙවැනි වටයට පිවිසෙන්න උනත් බංගලාදේශයට තියෙන්නෙ. ඒ වුණත් අපි මේ කතා කරන්නෙ ක්‍රිකට් ගැනනෙ. ක්‍රිකට් වලදි එදා දවසේ හොඳටම ක්‍රීඩා කරන කණ්ඩායම තමයි ජයග්‍රහණය ලබන්නේ. ඒ විදිහට තරඟ වෙනස් කරන්න පුලුවන් ක්‍රීඩකයො කීප දෙනෙක්ම බංගලාදේශ කණ්ඩායමේ ඉන්නව. නායක මුශ්ෆිකර් රහීම්, ශකීබ්, තමිම් ඉක්බාල් වගේ පළපුරුදු ක්‍රීඩකයො වටා කණ්ඩායමේ අනිකුත් තරුණ ක්‍රීඩකයොත් එක්රැස් වෙලා තරඟයක් දියයුතු වෙනවා. “හදවත්” දිනාගන්න ක්‍රීඩා කරනවා වෙනුවට තරඟයක් හොඳින් අධ්‍යයනය කරල කුසලානයක් දිනාගැනීම වෙතට ඒ අයගෙ අරමුණු සහ උත්සාහය යොමු කලයුතු වෙනවා.

 

එතකොට අපේ ලංකාව?

ICC champions trophy
Source – cricwindow.com

අපි දැන් ඉන්නේ “සංක්‍රාන්ති සමයක” කියන එක අපේ කොයි ක්‍රිකට් ලෝලියත් තේරුම් අරගෙනනෙ ඉන්නේ. පහුගිය කාලෙ පුරාවටම අපි නැගීම් සහ වැටීම් බොහොමයකට මුහුණ දුන්නා. නැගීම් වලට වඩා වැටීම් තමයි ඉතින් වැඩිපුර අත්විඳින්න උනේ. චැම්පියන්ස් තරඟාවලියෙදිත් අපි වැටිල ඉන්නෙ අසීරු කණ්ඩායම් කීපයක් එක්කයි. ඒ තමයි වර්තමාන ශූරයො වෙච්ච ඉන්දියාව සහ ප්‍රබල දකුණු අප්‍රිකාණු කණ්ඩායම. මේ නිසා පකිස්ථානය එක්ක තරඟය අනිවාර්යයෙන් ජයග්‍රහණය කරල ඉන්දියාව හරි දකුණු අප්‍රිකාව හරි එක්ක මැච් එකක ලොකු වෙනසක් කරන්න අපිට අනිවාර්යයෙන් සිද්ධ වෙනව. ලසිත් මාලිංගගේ සහ නායක ඇන්ජලෝ මැතිවුස්ගේ නැවත පැමිණීම අපිට මේ තරඟාවලිය ගැන  යම්තාක් හරි සුබවාදී බලාපොරොත්තු ඇති කරන්නට සමත්. කුසල් පෙර්රා, දික්වැල්ල සහ උපුල් තරංග යන තුන්දෙනාම සංචිතයට නම් කෙරිල තියන නිසා අපේ පිතිකරණ ලැයිස්තුව සහ ආරම්භක පිතිකරු යුගලය කොහොම වේවිද කියල හිතාගන්නට අමාරුයි. කොහොම වෙතත් ආරම්භක පිතිකරණයේ එක් අන්තයක් දික්වැල්ලට හිමිවේවි කියල හිතෙනවා. මේ තරඟාවලියෙදි ලංකාව වෙනුවෙන් ලොකු කාර්යයභාරයක් ඉටු කරන්න තියන තවත් ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නෙ. හොඳ ආරම්භයක් අරගෙන අනවශ්‍ය විදිහට කඩුල්ල විසි කරල දාන ගතියෙන් මිදිල ස්ථාවර දිගු ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරන්න කුසල් මෙන්ඩිස්ට හැකියාවක් ලැබුණොත් ඒක ශ්‍රී ලංකා පිලට ලොකු ශක්තියක් වේවි.

පන්දු යැවීමේ අංශයේ ලොකු කඩාවැටීමක් අපි පහුගිය කාලය පුරාවටම දැක්කා. තුවාලෙට ලුණු අතුල්ලනවා වගේ අපේ දුර්වල පන්දු රැකීමේ විලාශයත් පන්දු යැවීමේ අඩුපාඩුවට තවත් හානියක් ගේන්න සමත් උනා. හැබැයි බංගලාදේශ තරඟාවලියෙ අන්තිම හරියට එද්දි අපේ ක්‍රීඩකයො ටිකක් උනන්දුවෙන් සහ කැපවීමෙන් පන්දු රකින්නට වෙහෙසෙන බවකුත් අපිට දෘෂ්‍යමාන උනා. අලුතින් වේගපන්දු පුහුණුකරුවෙක් ලෙස කණ්ඩායමට එකතුවුණ ඇලන් ඩොනල්ඩ්ගේ කාර්යභාරයත් එක්ක අපේ වේගපන්දු යවන්නන් හොඳින් වැඩ පෙන්වන්නත් ඉඩ තියනවා.

 

ලංකාව චැම්පියන්ස් කුසලානේ දිනයිද?

ICC champions trophy
Source – cricketcountry.com

අපි ඔලුවෙන් මේකට උත්තරේ සැපයුවොත් අපිට කියන්න තියෙන්නේ “දිනන්න අමාරුයි” කියලයි. ඒත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලී අපේ හදවත් නම් හරිම මුරණ්ඩුයි. ඒ නිසා අපි හදවතින් දෙන උත්තරේ වෙන්නෙ “අපිට දිනන්න චාන්ස් එකක් තියනවා” කියන එකයි. අපි කවදත් ලොකු තරඟාවලි වල වැඩ පෙන්වපු කණ්ඩායමක්. ගේමක් නොදී එන එක අපේ පුරුද්දක් නෙමෙයි.

ඒ නිසා අපි බලාගෙන ඉමු…

 

 
Cover Image Source – sportskeeda.com