වෙන්දේසියකින් බඩු ගන්න එක ගැන මේ කරුණු 7 දැනගෙන හිටියොත් වාසි තමයි

 

වෙන්දේසි කිව්ව ගමන් මේ දවස්වල නං මතක් වෙන්නේ බැඳුම්කර වෙන්දේසිය ගැනනේ. හැබැයි ඉස්සර වෙන්දේසිය කිව්ව ගමන් මුලින්ම ඔලුවට එන්නේ ගමේ පන්සලේ තියෙන මල් වට්ටි වෙන්දේසිය. ඒ කියන්නේ පන්සලට ආධාර පිණිස පවත්වන වෙන්දේසිය. ඒකේ මල් වට්ටිය තමයි සුපිරිම අයිටම් එක. ඕක තමයි වැඩිම ගාණකට යන්නෙත්. හරි කොහොමින් කොහොම හරි අපි කියන්න ආවේ මේ එක වෙන්දේසියක් ගැනවත් නෙවෙයි. මිනිස්සුන්ට ගිහින් ලන්සු තියලා තමන්ට වුවමනා බඩු අරන් එන්න පුලුවන් වර්තමාන වෙන්දේසි ගැන. රජයේ ආයතන සහ කාර්යාල වල ගොඩක් වෙලාවට මේ වෙන්දේසි තියෙනවා පාවිච්චි කරපු බඩු විකුණන්න. හැබැයි රජයේ කාර්යාලයක බඩු හම යනකල් පට්ට ගහන්නෙ නැහැනේ. ඒ නිසා මේ විදියේ වෙන්දේසියකට යන එක මාර ප්‍රයෝජනවත්. මේ වෙන්දේසි ගැන පළවෙනවා රජයේ ගැසට් පත්‍රයේ. ඒ ඇරෙන්න ඔය ෂොක්මන් සහ සමරවික්‍රම වගේ වෙන්දේසි ආයතන වලින් කරනවා එක එක විදියේ වෙන්දේසි. සමහර වෙලාවට පරණ ගෙදරක තියෙන ඇන්ටික් බඩු වෙන්න පුලුවන්. එහෙම නැතිනම් ඉලෙක්ට්‍රොනික් උපකරණ වෙන්දේසියක් වෙන්න පුලුවන්. මේ වෙන්දේසි ගැනත් දැනගන්න පුලුවන් ඒ ඒ වෙන්දේසි ආයතන වල වෙබ්සයිට් වල තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක ලියාපදිංචි කිරීමෙන්.

දැන් අපි කියන්න ආවේ මේ වගේ වෙන්දේසියකින් බඩු ගන්නකොට තියෙන වාසි සහ ඒ වාසි අත්පත් කරගන්න නම් කරන්න ඕන මොනවද කියන එක ගැනයි.

 

1. ගාණ තීරණේ කරන්නේ අපිනේ!
Auctions 101
Source – unruly.co

වෙන්දේසියකදී මොකක් හරි භාණ්ඩයකට මිලක් නියම වෙනවා. හැබැයි මේ මිල සාමාන්‍ය වෙළෙඳපොළේ මිලට වඩා බොහොම අඩුයි. එතකොට අපි කියමු පාවිච්චි කරපු බඩුවක් කියලා. එතකොටත් සෑහෙන්න අඩු මිලක් තමයි නියම වෙන්නේ. දැන් එතනින් එහාට මිල නියම වෙන්නේ මේ භාණ්ඩය කී දෙනෙක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවද කියන එක මත. ඒ කියන්නේ ඒක ගන්න බලාගෙන පස් දෙනෙක් හිටියොත්, මේ පස් දෙනා අතරේ ලංසු වලින් තමයි තරඟේ යන්නේ. හැබැයි ඉතින් මේ භාණ්ඩයේ මිල වෙළෙඳපොළ මිලටත් වඩා සෑහෙන්න උස්සලා මිලදී ගන්න කවුරුවත් සූදානම් වෙන්නෙ නැති නිසා ඒත් පාඩුවක් නොවෙන්න ගන්න පුලුවන්. හැබැයි කවුරුහරි ඒක ගන්නම කියලා අධිෂ්ඨාන කරගෙන ලන්සු තියනවා නම් අපි පොඩ්ඩක් පැත්තකට වෙන එක තමයි හොඳ.

 

2. විකිණීමේ කිසිම ප්‍රශ්න එන්නෙ නෑ
Auctions 101
Source – thesocial.ca

සාමාන්‍යයෙන් ඔය සෙකන්ඩ් හෑන්ඩ් බඩු එහෙම ගන්නකොට එන ප්‍රශ්නයක් තමයි ගණන් හිලවු කතාකරගත්තටත් පස්සේ විකුණන්නෙ නෑ කියන එක. මේක වෙන්නේ ගාණ උඩට දාගන්න වෙන්න පුලුවන්. සමහර වෙලාවට අපි ගන්නත් පොරොන්දු වෙලා ඔක්කොම කරලා යනකොට වැඩි ගාණකට ආපු එකෙක්ට විකුණලා. එහෙමත් නැතිනම් ඔය ඉඩකඩම්, වාහන එහෙම විකුණන කොට ඒවල ප්‍රොසෙස් එක වාත වෙනකොට හිතෙනවා ගන්නවට වඩා නොගත්තනං හොඳයි කියලා. හැබැයි වෙන්දේසියකදී ඒ අවුල එන්නෙ නෑ. ගණන් හිලවු වල ඉඳන් හැමදේම බොහොම පාරදෘෂ්‍යයි. ඒ ඇරෙන්න වෙන්දේසියකදී මේ බඩුව අනිවා විකිණෙනවා තමයි. ගණන් එහා මෙහා වෙන්නෙ නෑ.

 

3. සරලයි, ඉක්මන්
Auctions 101
Source – jamesriverfilm.wordpress.com

වෙන්දේසියක තියෙන ආකර්ෂණීයම කාරණයක් තමයි යම් කිසි දෙයක් විකිණීම බොහොම සරල සහ ඉක්මන් දෙයක් වෙලා තියෙන එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් වෙන්දේසියට එන අයට බඩු පරීක්ෂා කරලා බලන්න පුලුවන් කලින්. ඉන් පස්සේ වෙන්දේසිය පැවැත්වෙන දවසට එන්නයි තියෙන්නේ. එතකොට තමන් දන්නවනේ තියෙන බඩු මොනවද, ඒවල කන්ඩිෂන් මොනවද කියලා. ඉතින් ඕන නම් මාකට් එකේ වටිනාකම එහෙම හොයලා බලලා එන්නත් පුලුවන්. දැන් වෙන්දේසිය දවස් ගණන් ඇදෙන්නෙ නෑනේ. ඒ නිසා බොහොම ඉක්මනට තමන්ට ඕන බඩුවට ලංසු තියලා වැඩේ ක්ලෝස් කරගන්න පුලුවන්. එතනින් එහාටත් මිලදී ගැනීම් කටයුතු ඉතාමත්ම ඉක්මන්. හැබැයි ගොඩක් වෙන්දේසි වල කලින් තැන්පතු මුදලක් තියන්න වෙනවා කියන එකත් දැනගෙන ඉන්න ඕන.

 

4. දැන් වෙන්දේසියකින් කාටද පාඩු වෙන්නේ?
Auctions 101
Source – propertyauctionsouthwest.co.uk

කාටවත් කොහොමටවත් පාඩුවක් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් විකුණුම්කරුවෙක් තමන්ගේ වෙන්දේසිකරුට කලින් කියනවා යම් යම් භාණ්ඩ හෝ ඉඩම් හෝ වාහන හෝ විකුණන දේවලට තමන්ට වුවමනා මුදල මෙච්චරයි කියලා. හැබැයි විකුණුම්කරුට හැරෙන හැරෙන පැත්තට ගණන් කියන්න බෑ. සාධාරණ ගාණක් වෙන්න ඕන. ගොඩක් වෙලාවට වෙළෙඳපොලේ අගයට වඩා අඩු අගයක් නියම කෙරෙන්නේ. ඒකෙන් ඒ විකුණන දේට තියෙන ගැනුම්කරුවන්ගේ ආකර්ෂණයත් වැඩිවෙනවනේ. ඉතින් ගොඩක් වෙලාවට වෙළෙඳපොළේ මිලට ආසන්න මිල පරාසයකට තමයි ගොඩක් බඩු තීන්දු වෙන්නේ. සමහර වෙලාවට වෙන්දේසිය නැගලා ගියොත් සමහරු වෙළෙඳපොළේ මිලට වැඩියෙනුත් ගාණකට ඉල්ලුම් කරන්න පුලුවන්. ඒත් අවුලක් නෑ. කොහොම වුනත් ඉක්මන සහ පහසුව ඇතුළු කරුණු කාරණා ඔක්කොම සලකලා බලනකොට වැඩේ හැම පැත්තටම වාසියි.

 

5. වෙන්දේසිය පැවැත්වෙන දවසට කලින් ගැණුම්කරුවෙක් හැටියට කරන්න ඕන දේවල්
Auctions 101
Source – albionavenue.com.au

පළවෙනිම දේ තමයි මේක සෙල්ලමට කරන වැඩක් නොවෙන බව අවබෝධ කරගැනීම. ඒ කියන්නේ තමන් වෙන්දේසියකට ගිහින් හිතෙන හිතෙන හැම දේටම ලන්සු තියලා හරියන්නෙ නෑ. ඒ නිසා තමන්ගේ පැත්තෙන් හොඳ රිසර්ච් එකක් කරන්න ඕන. දැන් වෙන්දේසියට කලින් බඩු මොනවද කියලා පරීක්ෂා කරන්න හරි, ඒ බැරි නම් ඒ බඩු ගැන කැටලොග් එක බලන්න හරි අවස්ථාව ලැබෙනවා. දැන් මේ බඩුවල කන්ඩිෂන් එකත් එක්ක මාකට් එකේ කොහොම වටිනාකමක් තියෙනවද, මේ බඩු වලට පොදුවේ මිනිස්සුන්ගේ තියෙන ඉන්ටරෙස්ට් එක කොහොමද වගේ කාරණාත් හිතලා බලන්න ඕන. මේ තොරතුරු එකතු කරන එක තේරුමක් තියෙනවද කියලා කෙනෙක්ට හිතුණත්, ඇත්තටම වෙන්දේසියට වාඩි වුනාට පස්සෙ තමයි අර ඉන්ෆොමේෂන් ඊස් ගෝල්ඩ් කියන කතාව ඇත්තය කියලා හිතෙන්නේ.

 

6. ලංසු තැබිල්ල
Auctions 101
Source – giphy.com

මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක් වරද්දගන්න තැන. දැකලා තියෙනවද සාමාන්‍යයෙන් වෙන්දේසියක් යන විදිය. වෙන්දේසිකාරයා මාරම හදිසියකින්, ගෙදර ගෑස් ලිපේ බිත්තරයක් තැම්බෙන්න දාලා ආපු ගාණට තමයි හැසිරෙන්නේ. කොටින්ම කිව්වොත් වෙන්දේසිය පටන් ගත්තු වෙලාවේ ඉඳන් මාරම උද්‍යෝගයක්, උද්වේගයක්, හදිසියක් මැවෙනවා මනුස්සයගේ හැසිරීමෙන්. ඇයි? ඒ රෂ් එකත් එක්ක තමයි ලංසු ඉහළ යන්නේ. ආන්න ඒ නිසා වෙන්දේසියකට ගිහින් වැඩේ ගොඩදාගන්න හිතන අය ඒ රෂ් එකට අහුවෙන්නේ නැතුව ඉන්න ඕන. ඒ කියන්නේ වෙලාව අරන් ලන්සු තියන්න කියන එක නෙවෙයි. එහෙම ලන්සු තියන්න ගියොත් ජීවිතේට දිනන්න ලැබෙන්නෙ නෑ. හැබැයි අර දිඩිබිඩි ගාලා ලන්සු යන රෂ් එකේ තමන්ට ඕන ගාණට අයිටම් එක ගොඩදාගන්න පුලුවන් කූල් මනසකින් ඉන්න ඕන. ඔතනදී පොඩි පොඩි ට්‍රික්ස් එහෙමත් කරන්න පුලුවන්. උදාහරණයක් විදියට තමන්ට ඕන අයිටම් එකට ලන්සු තියන අනික් අයව අධෛර්‍යමත් කරන්න අර ජම්පිං කියලා කියන විදියේ ලොකු ගාණකින් ලන්සු වැඩි කරන්න පුලුවන්. හැබැයි තමන්ට ඕන ගාණට පහළින් හිටින්න. එහෙම නැතුව ඔය රෂ් එකේ කා එක්ක හරි ලන්සු ගේමකට පැටලිලා ලන්සු තියාගෙන තියාගෙන සෑහෙන ගාණකට ගිහින්, ප්‍රතිවාදියා මගින් නතර කළොත් තමන්ට වෙන්නේ අනවශ්‍ය වැඩි ගාණක් ගෙවන්න. අන්න ඒ නිසා ඔය පැහැදිලි මනසකින් ඉන්න එක අනිවාර්යයි වෙන්දේසියකදී.

 

7. හරියට ගණන් බේරන්න
Auctions 101
Source – giphy.com

වෙන්දේසියකට යනකොට මුලින් හිතන්න ඕන තමන්ගේ අතේ අවශ්‍ය ප්‍රමාණයට මුදල් තියෙනවද කියලා. ඒ කියන්නේ තැන්පතු තියන්න විතරක් නෙවෙයි, වෙන්දේසියෙන් මොනවා හරි දිනුවොත් “මගේ ගාව සල්ලි නෑ අයියේ” කියල මාරුවෙන්න බෑ. ආයි වෙන්දේසියකට එතකොට වැද්දගන්න එකකුත් නෑ. අන්න ඒ නිසා තමන්ගේ මූල්‍යමය තත්ත්වය ගැන බොහොම පැහැදිලි අවබෝධයකින් තමයි වෙන්දේසියකට යන්න ඕන.

 
Cover Image Source – gallery70twoauction.com