අවදානමක් ගැනීම විනෝදාංශය කරගත්ත අය වෙනුවෙන්ම බිහිවුණ නියම එක්ස්ට්‍රීම් ඇඩ්වෙන්චර් වැඩ 8ක්

 

පුංචි කාලේ අපි හැමෝම කැමතියි මොනවා හරි චණ්ඩි වැඩක් කරන්න. මේ කාලෙත් එහෙම නැත්තෙමත් නැහැ. ඒත් ඇත්තටම වෙන්නේ අපි වයසින් මුහුකුරා යනකොට අපේ තියෙන දඟ වැඩ අඩු වෙලා, අපි පොඩ්ඩක් තැම්පත් වෙන එකනේ. හැබැයි ඔය දාංගලේ හිතේ කොනක හරි ඉතුරු වෙලා තියෙන අය තවමත් අපේ සමාජේ ඉන්නවා. අපි එහෙම එවුන්ට කියන්නේ “නහර කාරයෝ” කියලයි.

අන්න එහෙම නහර කාරයින්ට කරන්න පුළුවන් බොහොම භයානක වික්‍රමාන්විත ක්‍රීඩා කිහිපයක් ගැන විස්තර ටිකක් ඔබට කියන්නටයි අපි මේ හදන්නෙ.

ලිපිය කියවන්නට කලින් මෙන්න මේකත් මතක තියාගන්න!
මේ බිහිසුණු ක්‍රීඩා සියල්ලම වගේ කරන්නේ ඒ පිලිබඳ මනා දැනුමක් සහිත සහ මනා පරිචයකින් හෙබි වෘත්තියමය මට්ටමේ ක්‍රීඩකයින්. ඉතින් ඔබට මේ ක්‍රීඩා වල යෙදෙන්න කැමැත්තක් තිබෙනවා නම් කරුණාකරලා මේ දේවල් ගැන දැනීම සහිත වෘත්තිකයන්ගෙන් උපදෙස් පතන්න.

 

1. බේස් ජම්පින් (BASE Jumping)
Most Extreme Adventures
Source – basedreams.com

බේස් ජම්පින් කියන්නේ ඉහලින් රැහැන් ආධාරකයක් නොමැතිව පැරෂුටයක් පමණක් පැළඳගෙන පැනීමේ ක්‍රීඩාවක්. මෙහිදී බේස් එහෙමත් නැතිනම් B. A. S. E නමැති අකුරු හතරින් සංඛේතවත් වන්නේ එම පැරෂුට භාවිතා කරමින් පනින්නට හැකි අවස්ථාවන්. එහෙමත් නැතිනම් අදාළ ස්ථාන 4 පිලිබඳ තොරතුරුයි. ඒවා නම් ගොඩනැගිළි (Buildings), රේඩියෝ කුළුණු (Antennas), ඉහල ආරුක්කු සහිත පාලම් (Spans, Bridges) සහ කඳු ප්‍රපාත වැනි පොළෝ තලයේ භූගෝලීය වෙනස්කම් සහිත ස්ථානයි (Earth cliffs).

අනතුරු සිදුවිය හැකි අවස්ථා – බේස් ජම්පින් කරන්නට යන්නන් හට ඊට අවසරය දෙන්නේ පැරෂුට් වල තත්ත්වය, ක්‍රීඩකයාගේ සෞඛ්‍ය සහ ඔහු සතුව මේ ගැන ඇති දැනුම පිලිබඳ කිහිපවරක්ම සොයා බැලීමෙන් අනතුරුවයි. හදිසියේ හෝ පැනීමෙන් අනතුරුව පැරෂුටය දිග නොහැරුනොත් ක්‍රීඩකයාට ඊට වන්දි ගෙවන්නට වෙන්නේ ජීවිතයෙනුයි.
 

 

2. වයිට් වෝටර් රාෆ්ටින් (White Water Rafting)
Most Extreme Adventures
Source – activehighs.co.uk

වයිට් වෝටර් රාෆ්ටින් ගැන නම් අමුතුවෙන් ලංකාවේ අපේ යාලුවන්ට කියලා දෙන්න දෙයක් නැහැ. නමුත් රාෆ්ටින් සහ වයිට් වෝටර් රාෆ්ටින් කියන්නේ දෙකක් බව දැනගෙන ඉන්න එක වටිනවා. රාෆ්ටින් යනු වේගවත් පැතලි ජලතලයක් මත කරන වායු බෝට්ටු පැදගෙන යාමක් වන අතර වයිට් වෝටර් රාෆ්ටින් යනු ප්‍රචණ්ඩව ගලාගෙන යන බාධක සහිත ජලතලයක කණ්ඩායමක් විසින් වායුබෝට්ටුවක් පැද තරණය කිරීමක් වෙනවා. මේ නිසා රාෆ්ටින් එකකට වඩා වයිට් වෝටර් රාෆ්ටින් අවදානම් බවින් වැඩියි.

රාෆ්ටින් වලට වඩා වයිට් වෝටර් රාෆ්ටින් සඳහා එක බෝට්ටුවක කණ්ඩායම් ගතවෙන ප්‍රමාණය ටිකක් වැඩියි. ඒ ප්‍රමාණය 5 සිට 7 දක්වා වෙන්නට ඉඩ තිබෙනවා. ලංකාවේ මේ ක්‍රීඩාව කරන ප්‍රදේශ අතර කිතුල්ගල ප්‍රධාන ස්ථානයක් උසුලනවා.

අනතුරු සිදුවිය හැකි අවස්ථා – මෙවැනි බෝට්ටු සවාරි සිදුවන්නේ වේගවත් ජලපහරක් ගලා යන ස්ථාන වල වෙන අතර බොහෝවිට මේ ජලපහර ගල්කුළු වලින් සමන්විත පෙදෙසක ගලායන සැඩ පහර වැඩි එකක් වීමට පුළුවන්. මේ නිසා ආරක්‍ෂිත හිස්වැසුම් සහ අදාළ ආරක්‍ෂිත උපක්‍රම නියමිත පරිදි පැළඳ ක්‍රීඩාව සඳහා සහභාගී වීම වැදගත් වෙනවා.
 

 

3. ස්කයි ඩයිවින් (Skydiving)
Most Extreme Adventures
Source – freefalladdicts.com

ස්කයි ඩයිවින් එහෙම නැතිනම් පැරෂුටින් කියන්නේ මුලදී මිලිටරි සාමාජිකයින් විසින් පුරුදු පුහුණු කල ක්‍රියාවක්. පසුව කාලය ගතවෙනකොට මෙය වාණිජකරණය වූ ආදායම් මාර්ගයක් බවට පත්වෙනවා. අහසේ යම් සුළං වේගයක් යටතේදී ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ බර සමබර කරගෙන පාවීම තමයි මෙයින් කෙරෙන්නේ. ගුවන් යානයකින් මීටර 3000ත් 5000ත් අතර අහසේදී පිටතට පැන, පැයට කි.මී. 120ක් පමණ වෙන වේගයෙන් ගලන සුළං ඝර්ෂණයට මුහුණ දෙමින් අහසේ පාවීම සිදු කෙරෙනවා. එහි දී පැරෂුටය දිගහැරිය යුත්තේ අඩි 2500 මට්ටමේ සිට බව වෘත්තීය ක්‍රීඩකයින් පවසනවා. බොහොම පහසුවෙන් මේ වැඩේ කිව්වට අපි හරියට ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන්නේ නැතිවුනොත් ඉතාම භයානක අනතුරුවලට මුහුණ පාන්නට තියන ඉඩ වැඩියි.

අනතුරු සිදුවිය හැකි අවස්ථා – පැරෂුටය නිසිලෙස දිග නොහැරීම, ක්‍රීඩකයාට අහසේදී ක්ලාන්තය හැදීම එහෙමත් නැතිනම් නියමිත ඔක්සිජන් ප්‍රමාණය නොමැතිව සිහිමුර්ජා වීම වගේ කාරණා  නිසා අනතුරු ඇතිවන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා.
 

 

4. කේව් ඩයිවින් (Cave Diving)
Most Extreme Adventures
Source -nationalgeographic.com

ගොඩක් වෙලාවට උමං ගල්ගුහා ඇතුලත නරඹන්නට අපි ගියත් යම් උමඟක මුවවිට ජලය පිරී ඇතිනම් අපි එයට බැස බලන්නට දෙවරක් සිතනවා. එහි වරදක් නැහැ. එහෙම තමයි වෙන්නත් ඕනේ. නමුත් කේව් ඩයිවින් කියන්නේ මෙවැනි ජලයේ පිහිටා තිබෙන උමං වල කිමිදී ගමන් කරමින් එහි සිරි නැරඹීමයි. මෙහි සැලකිලිමත් වියයුතු කාරණාව වන්නේ අපි ජලය යටට යනවිට රැගෙන යන ඔක්සිජන් සිලින්ඩරය අවසන් වෙන්නේ කොතැනද, අන්න ඒ තැනට කලින් ගමන නිමා කරන්නට සැලකිලිමත් විය යුතු වෙනවා. කේව් ඩයිවින් කියන්නේ ලේසියෙන් කරන්නට පුලුවන් දෙයක් නෙමෙයි. කේව් ඩයිවින් වල යෙදීමට පෙර ඒ සඳහා ඉතාම විධිමත් පුහුණුවක් නිම කරන්නට අවශ්‍ය වනවා.

අනතුරු සිදුවිය හැකි අවස්ථා – සාමාන්‍යයෙන් සිදුවන දෙය තමයි ඔක්සිජන් ටැංකියේ අර්ධයක් අවසාන වන තැනින් හැරී පැමිණීම (එහෙමත් නැතිනම් තුනෙන් එකක ප්‍රමාණයක් ගමන් කර නැවත පැමිණීම සිදු කරනවා). මේ වායුව මනා ලෙස කළමණාකරණය කරගැනීම අනතුරු වළක්වා ගැනීම සඳහා ඉතාම වැදගත්. ඒ වගේම නිසි පුහුණුවකින් සහ පළපුරුද්දකින් තොරව මේ ක්‍රියාවේ නියැලෙන අය හදිසි තැති ගැනීම් වලට ලක්වී අනතුරු සිදු කරගන්නටත් ඉඩ තියනවා. මීට අමතරව අවදානම්කාරී ලෙස ගැඹුරකට කිමිදීමේදී අහිතකර වායූන් ආශ්වාස වීමද සිදු වන්නට ඉඩ තිබෙන කරුණක්.
 

 

5. කයැකින් (Kayaking)
Most Extreme Adventures
Source – whitewaterchallengers.com

කයැකින් කියන්නේ රාෆ්ටින් වගේ වුනාට මෙහි වෙනසක් තියෙනවා. ඒ තමයි මෙය බොහෝවිට තනි පුද්ගලයෙකු විසින් පදවාගෙන යනු ලබන බෝට්ටුවක් භාවිතා කරමින් කේවලව කරන ක්‍රීඩාවක් වීම. මෙහිදී ක්‍රීඩකයාගේ මානසික ඒකාග්‍රතාව රැකගැනීම සහ සමබරතාව ආරක්ෂා කරගැනීම වටිනවා. ඒ වගේම අනෙකුත් ක්‍රීඩා වලදී වගේම හිස් ආවරණයක් සහ සියලුම ආරක්ෂක උපක්‍රම අනුගමනය කිරීම වැදගත් වෙනවා.

අනතුරු සිදුවිය හැකි අවස්ථා – බොහෝ අවස්ථා වල ජලයේ සැඩ පහරේ වැඩිවීම නිසා හිස්වැසුම ගැලවී යාමට ඉඩ තිබෙනවා. එමෙන්ම හබල අතින් අතහැරීමටද ඉඩ තිබෙනවා.
 

 

6. වෝටර්ෆෝල් රැපෙලින් (Waterfall Rappelling)
Most Extreme Adventures
Source – lbb.in

දිය ඇළි දෙස බලාසිටීම අපි කොහොමටත් විනෝද ගමනකදී කරන දෙයක් වුනත් දිය ඇල්ලක ඉහල සිට පහලට බැසීම වගේ දෙයක් කරන්න අපි කවදාවත් හිතලා නැහැ. නමුත් මේ ක්‍රමවේදය ක්‍රීඩාවක් ලෙසට වර්තමානයේ ලංකාවේ පවා ප්‍රගුණ වෙමින් පවතින බව නම් කියන්නම ඕනේ.

නියමිත සවිශක්තියෙන් යුතු කඹ යොදාගෙන වෘත්තීයමය උපදේශන සහිතව කල යුතු මේ ක්‍රීඩාව බොහොම බියකරු අත්දැකීමක් බව නම් අනිවා කියන්නම ඕනේ. ලිස්සන මතුපිටක බොහොම සීරුවෙන් මනස ඒකාග්‍ර කරගෙන දිය ඇල්ල දිගේ පහලට බැසීම හරිම අසීරු ක්‍රියාවක්. නමුත් කොහොම හරි කරන්නට පුළුවන් නම් එය ඔබේ ජීවිතයටම අමතක නොවෙන අත්දැකීමක් බවට පත්වෙනවා නිසැකයි.

අනතුරු සිදුවිය හැකි අවස්ථා – දිය පහරක් දිගේ පහලට බසිනකොට ලිස්සන මතුපිටක ගලන ජල පීඩනයත් අපිටම දරන්න වෙන නිසා සමහර විට අපේ අතින් බසින කඹය ලිස්සායාමට හෝ අත හැරීමට ඉඩ තිබෙනවා. මේ නිසා නියමිත උපදේශනයක් සහ සුපරික්ෂාවක් නොමැතිව මේ ක්‍රීඩාවේ යෙදීම කිසිවිට අනුමත කරන්නේ නැහැ.
 

 

7. ෆ්ලයිබෝර්ඩින් (Flyboarding)
Most Extreme Adventures
Source – windowseat.ph

කවදාවත් හීන මවලා තියෙනවද මාවල් කොමික්ස් වල සුපිරි වීරයෙක් වගේ පියාඹන්න? එහෙමත් නැතිනම් ඇක්වා මෑන් වගේ දිය යටින් යන්න? එහෙනම් අපි මේ කියන්න යන ක්‍රීඩාව තමයි ඔබට ගැලපෙන්නෙම. අධි බලැති ජලධාරාවක් විසින් ඉහලට ඔසවන අපව අඩි 35-40ක් තරම් ඉහලට අහසේ ගෙනයෑම මේ ෆ්ලයිබෝර්ඩ් එක නිසා සුළු දෙයක් බවට පත් වෙනවා. ඕනෙම කෙනෙකුට විනාඩි 5ක් නැතිනම් 10ක් අතර කාලෙකදී පුහුණු වෙන්නට හැකි මේ ක්‍රීඩාවේ ඇති බියකරු බව ඒ පහසුව නිසාම බොහෝ අය විසින් අමතක කර දමනු ලබනවා

අනතුරු සිදුවිය හැකි අවස්ථා – බොහෝ අවස්ථා වල ජලයේ සැඩ පහරේ වැඩිවීම නිසා, හිස්වැසුම ගැලවී යාමට ඉඩ තිබෙනවා. එමෙන්ම නොගැඹුරු ජලය සහිත හෝ ගල්පර ආදිය සහිත ස්ථාන වල මේ ක්‍රීඩාව කිරීම අනතුරුදායක විය හැකියි.
 

 

8. ෆ්‍රී සොලෝ ක්ලයිම්බින් (Free Solo Climbing)
Most Extreme Adventures
Source – epictv.com

රොක් ක්ලයිම්බින් කියන්නේ කුමක්ද කියලා අපි හැමෝම දන්නවා. ඒ දේ කරන්නේ බොහොම ආරක්ෂා සහිතව කියලත් අපි දන්නවානේ. නමුත් ෆ්‍රී සොලෝ ක්ලයිම්බින් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් කියන්න තිබෙන්නේ අර ඉහතින් කියපු ක්‍රීඩාවේ ආරක්ෂාව කියන කොටස ඉවත් කරලා කිසිදු රැහැනක් හෝ ආරක්ෂාවක් නොමැතිව දෑතේ සහ දෙපයේ ශක්තියෙන් පමණක් යම් කන්දක්, ගොඩනැගිල්ලක්, කණුවක් නැගීම තමයි. මෙය කිසිවිටෙකත් වෘත්තිමය කඳු නගින්නන් අනුමත නොකලත් මෙය කරන අය බොහෝ දෙනෙක් සිටිනවා.

ඇලෙක්ස් හොනොල්ඩ් කියන්නේ මේ ක්ෂේත්‍රයේ සිටින ලාබාලතම වගේම වඩාත් අත්දැකීම් සහිත කඳු නගින්නා වෙනවා.

අනතුරු සිදුවිය හැකි අවස්ථා – මීටත් වඩා මොනවා කියන්නද ? ඔබේ ග්‍රහණය ගිලිහුනොත්, ඔබට ඔබේ ජීවිතේ උනත් අහිමි වෙන්න පුලුවන්. එච්චරයි!
 

 
Cover Image Source – protecdiving.com