අනාගතයේ ආශ්චර්යයන් පෙර දු‍ටු ආතර් සී. ක්ලාක් ගේ සැබෑ විය හැකි අනාවැකි 7ක්

 

ආතර් සී. ක්ලාක් කියන්නේ ශ්‍රී ලංකාවේ අපිට විතරක් නෙවෙයි, ලෝකෙටම අමතක කරන්න බැරි නමක්. විශේෂයෙන්ම ආතර් සී. ක්ලාක් නාමය එතුමා මියගියාට පසුවත් ලෝක පූජිත වෙලා තියෙන්නේ අනාගතවාදියෙක් විදියට විතරක් නෙවෙයි, විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙක් විදියටත් කරපු අමරණීය සේවය නිසායි. මේ වෙනකොට ආතර් සී. ක්ලාක් විසින් ප්‍රකාශ කරපු අනාගත අනාවැකි හැබෑ වෙලා තියෙනවා. එතකොට තවත් අනාවැකි හැබෑ වෙන්න පුලුවන් කියන පෙර මඟ ලකුණු අපිට පේනවා. එකම වෙනස ගොඩක් වෙලාවට එතුමා මේ මේ තාක්ෂණික ජයග්‍රහණ සාක්ෂාත් කරගන්න හැකි වෙයි කියලා කියපු කාලවකවානු පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන එක විතරයි. හරි. හැබෑ වුණු අනාවැකි ගැන කතා කරලා වැඩක් නැහැනේ. මේ කියන්න යන්නේ එතුමා විසින් කියපු අනාවැකි වලින් අනාගතයේදී හැබෑ වෙන්න පුලුවන් කියලා අපිට හිතෙන දේවල් කීපයක් ගැන තමයි.

 

1. කෘත්‍රිම බුද්ධිය
Arthur C Clarke Predictions
Source – github.com

ආතර් සී. ක්ලාක් මහත්තයාගේ අභ්‍යවකාශ වීර චාරිකා පොත් පෙළ තියෙනවනේ. මේක පටන් ගන්න 2001 පොතෙන් කෙලින්ම අපිට අඳුන්වා දෙනවා කෘත්‍රිම බුද්ධියක් තියෙන සුපිරි පරිගණකයක්. සෙනසුරු වෙත යන අභ්‍යවකාශ යානාවක් සම්පූර්ණයෙන්ම පාලනය කෙරෙන්නේ මේ කෘත්‍රිම බුද්ධියෙන්. මේකේ කියන විදියට හල් 9000 පරිගණකය සහ එහි නිවුන් සහෝදරයා වන සැල් 9000 පරිගණකය කියන දෙකම සිතන්නට පතන්නට හැකියාව තියෙන යන්ත්‍ර. 2001: අභ්‍යවකාශ වීර චාරිකාව ලියවෙන්නේ 1968 දී කියන එකත් මතක තියාගන්න ඕන.

ඇත්තටම ඒ වගේ දැවැන්ත අභ්‍යවකාශ මෙහෙයුමකට පිටත් වෙන අභ්‍යවකාශ යානාවක් සම්පූර්ණයෙන්ම මිනිස් පාලනය යටතේ ක්‍රියාත්මක වෙන එක වෙන්න බැරි දෙයක්. ඉතින් මේ වෙනකොටත් කෘත්‍රිම බුද්ධිය ගැන පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා කියන එක බොරුවක් නෙවෙයිනේ.

 

2. ගැඹුරු අභ්‍යවකාශය වෙත යන යානා
Arthur C Clarke Predictions
Source – twitter.com/gp01fbmax

ආතර් සී. ක්ලාක් විසින් 2001 පොත ලියන්නේ මිනිසා හඳටවත් ගිහිල්ලා නැති කාලෙක, ඒ 1968 දී. ඒත් සඳ තරණය විතරක් නෙවෙයි, ගැඹුරු අභ්‍යවකාශ තරණය ගැනත් ආතර් සී. ක්ලාක් මේ පොත් පෙළේ කතා කරනවා. සෙනසුරු දක්වා ගමන් කරන්න පුලුවන් යානාවන්, හැලීගේ ධූමකේතුව මතට ගොඩබස්වන්න පුලුවන් සෞරග්‍රහ මණ්ඩලයේ වේගවත්ම යානාව “යුනිවර්ස්” වගේ සංකල්ප ඉදිරි අවුරුදු 100 ඇතුළේ වෙන්න බැරි දේවල් නෙවෙයි!

අපි කතා කරලා තියෙනවනේ අභ්‍යවකාශය ජයගන්න මිනිසාට මේ වෙනකොට තියෙන විකල්ප ගැන. ආතර් සී. ක්ලාක් මහත්තයා කතා කරනවා විලයන රොකට්‍ටු – ඒ කිව්වේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවන්ගෙන් බලගැන්වෙන රොකට් එන්ජින්- ගැන වගේම ඉයෝන් එන්ජින් ගැනත්.

හැබැයි මේවා ෆැන්ටසි නෙවෙයි, විද්‍යාඥයෝ සැබෑ කරගන්න වැඩකරන අනාගත ඉලක්ක.

 

3. ශිශිරතාරක නින්ද
Arthur C Clarke Predictions
Source – wikipedia.org

දැන් බ්‍රහස්පති හරි සෙනසුරු හරි වගේ ඈත ග්‍රහලෝක කරා යන එක සෙල්ලමක් නෙවෙයිනේ. 1987 දී ලියැවුණු 2061 පොතට එනකොට ග්‍රහලෝකාන්තර ගමනක් වුනත් මාස කීපෙකින් කරන්න පුලුවන් තරමේ වේගවත් යානාවන් හඳුන්වලා දුන්නත්, ඊට කලින් එන යානාවලට අවුරුදු ගණන් ගත වෙනවා. හැබැයි ආලෝක වර්ෂ ගණන් දුර වුනත් නිකම්ම අවුරුදු ගණන් වලින් කවර් කරන්න පුලුවන් කියන්නේ මාරම දෙයක්නේ. හැබැයි මෙතනදී මේ යානාවල යන මිනිස්සුන්ට කාලය ගතකරන්න වෙන්නේ ශිශිර තාරක නින්දේ. ඉතින් ආතර් සී. ක්ලාක් අනාවැකි කියනවා අභ්‍යවකාශ ගමන් වලට ශිශිරතරණය ප්‍රායෝගිකව යොදාගන්න තියෙන හැකියාව ගැන.

ඇත්තටම මේක මිනිස්සුන්ට ආගන්තුක අදහසක් නෙවෙයිනේ. එකම දේ තමයි මේ තරම් දුරකට ශිශිරතරණය තාම දියුණු කරලා නැහැ. හැබැයි මේ විදියේ අභ්‍යවකාශ යානා තැනෙන කාලය වෙනකොට මේකත් ගොඩදාගන්න පුලුවන් වුණු විද්‍යාවේ ජයග්‍රහණයක් වෙලා තියේවි ෂුවර් එකටම.

 

4. කෘත්‍රිමව නිෂ්පාදනය කරන මස්
Arthur C Clarke Predictions
Source – ourworld.unu.edu

ආතර් සී. ක්ලාක් මහත්තයා ලිව්වා The Deep Range නැතිනම් ගැඹුරු මුහුද කියලා පොතක්. 1957 දී. මේ පොතේ කියවෙන කාලය වෙනකොට මිනිස්සු මසට ඇතිකරන්නේ තල්මස්සු. මොකද ඒකෙන් ලෝකේ මාංශ අවශ්‍යතාවය තෘප්තිමත් කරන එක ආර්ථිකමය අතින් වඩාත් සාර්ථක නිසා. හැබැයි ලංකාවේ බෞද්ධ භික්ෂුවක් මේ තල්මස්සු මැරීමට එරෙහි වෙලා දැවැන්ත සටනක් ගෙනියනවා. එතනදි ගේන තර්කයක් තමයි මිනිස්සු මස් කන එක නවත්තන්න ඕන නැහැ, හැබැයි මස් කන්න සත්තු මරන්නම ඕන නැහැ කියන එක. ඒ කියන්නේ ඇල්ගී වලින් කෘත්‍රිමව මස් නිපදවීම! මෙතනදී කියනවා ඇල්ගී වලින් හදපු මස් පෙත්තක සහ සැබෑ මස් පෙත්තක වෙනස ‘වෝල්ඩ්‍රොෆ්’ මහ හෝටලේ ප්‍රධාන කෝකියාටවත් අඳුනගන්න බැරි වුනා කියලා!

අද වෙනකොටත් විද්‍යාඥයෝ මේ සම්බන්ධයෙන් වැඩ කරමින් ඉන්නේ. මස් වෙනුවට සෝයාමීට් හඳුන්වාදීම වගේ පියවර කියන්නෙත් මේ කතාවේ බොහොම ප්‍රාථමික අවස්ථාවන්.

 

5. අභ්‍යවකාශ සෝපානය
Arthur C Clarke Predictions
Source – geir.org

මෙන්න මේ සංකල්පය ගැන ආතර් සී. ක්ලාක් මහත්තයා තමන්ගේ පොත් කීපයකම කතාබහ කරනවා. ඒ කියන්නේ පෘතුවියේ ඉඳන් රොකට් ගුවන්ගත නොකර, යොදාගන්න පුලුවන් සාර්ථක ගමනාගමන ක්‍රමයක්. ඒ තමයි අභ්‍යවකාශ සෝපානය!

මේක සරලවම ගත්තොත් පෘතුවියේ ඉඳන් අභ්‍යවකාශයට යන කේබලයක්. මේ කේබලය හරහා අපිට අභ්‍යවකාශ යානා කෙලින්ම අභ්‍යවකාශයට යවන්න පුලුවන් රොකට් එක්ක නටන්නේ නැතුව. ආතර් සී. ක්ලාක් මහත්තයා 1979 දී ප්‍රකාශයට පත්වුණු තමන්ගේ The Fountains of Paradise නැතිනම් පාරාදීසයේ උල්පත් පොතේ සඳහන් කරනවා මේ අභ්‍යවකාශ සෝපානය පිහි‍ටුවන්න හොඳම තැන වෙන්නේ සීගිරිය කියලා!

ඇත්තටම මේකත් වෙන්න පුලුවන් තාක්ෂණික ජයග්‍රහණයක්. 2012 දී ඔබයාෂි කෝපරේෂන් එකෙන් කියනවා තව අවුරුදු 38කින් කාබන් නැනෝටියුබ් තාක්ෂණය පාවිච්චි කරලා තමන්ට මේක කරන්න පුලුවන් කියලා!

 

6. මොළය සහ පරිගණකය එකක් බවට පත් කිරීම
Arthur C Clarke Predictions
Source – youtube.com/Brain-Computer Interface – Mysteries of the Brain

දැන් ෆ්‍රෑන්ක් පූල් 2001 පොතේ මැරෙනවනේ. හැබැයි 1997 දී ලියැවුණු 3001 පොතේදි ෆ්‍රෑන්ක්ගේ සිරුර හොයාගන්නවා. එයාව පෘතුවියට ගෙනැල්ලා පණ දෙනවා. ඔය සීන් අස්සේ ෆ්‍රෑන්ක්ව මවිත කරන එක නිපැයුමක් තමයි කෙලින්ම මොළයට සම්බන්ධ කරන්න පුලුවන් සුපිරි පරිගණකයක්. මේකට කියන්නේ මොළ – පරිගණක අතුරු මුහුණත කියලා. මේක දැම්මට පස්සේ තමන්ට ඕන වෙලාවක සුපිරි පුද්ගල පරිගණකයකට මොළෙන් ඇක්සස් තියෙනවා. ඒ කියන්නේ අපිට පුරුදු පුද්ගල පරිගණක කන්සෙප්ට් එක අභාවයට යනවා. දැන් අමතක කරන්න හොඳ නෑ, පුද්ගල පරිගණක කතන්දරේ ගැනත් ඊට සෑහෙන්න කාලෙකට කලින් ආතර් සී. ක්ලාක්ම අනාවැකි කියනවා.

මේක ආතර් සී. ක්ලාක් මහත්තයා කතා කරන පිස්සු කොර වෙන ප්‍රායෝගික ලෙවල් එකට ගේන්න කොයි තරම් කල් යයිද කියන්න බෑ. හැබැයි දැනටමත් මේකට ෆවුන්ඩේෂන් වැටිලා ඉවරයි.

 

7. මතක ධාරිතා උපාංගවල ධාරිතාවය පෙටාබයිට් වෙයිද?
Arthur C Clarke Predictions
Source – youtube.com/Unboxing a PETABYTE of Storage

කාලයක් තිබුණා අපි දන්න ලොකුම මතක ධාරිතා ඒකකය මෙගා බයිට් වුණු. ඉන් පස්සේ ඒ තැනට ගිගා බයිට් ආවා. හැබැයි දැන් පුද්ගල පරිගණකයක වුනත් මතකය පටන් ගන්නේ ගිගාබයිට් 1000න්. ඒ කියන්නේ ටෙරාබයිට් 1න්. නුදුරු අනාගතයේදීම අපිට ටෙරාබයිට් සීය දෙසීය කියන්නේ ඒ තරම් ගාණක් නැති කැපෑසිටි එකක් වෙයි. දැන් මේ ටෙරාබයිට් එකේ හාඩ් එහෙමත් මදිවෙච්ච එවුන් ඉන්නවා කියහන්කෝ!

ආතර් සී. ක්ලාක් මහත්තයා පුරෝකථනය කරනවා, 3001 වෙනකොට ධාරිතාවය මනින සාමාන්‍ය ඒකකය පෙටාබයිට් වෙයි කියලා. ඒ කියන්නේ ටෙරාබයිට් 1024ක්. පෙටාබයිට් එකක ධාරිතාවය ඇතුළේ මුළු මහත් මිනිස් මොළයක දැනුම ගබඩා කරන්න පුලුවන්ලු!

හැබැයි අපිට හිතෙන්නේ පෙටාබයිට් ලෙවල් එකට යන්න අවුරුදු දාහක් බලාගෙන ඉන්න සිද්ධ වෙන්නේ නැහැයි කියලා තමයි.

 
Cover Image Source – npr.org