තුන් සිංහලය පාලනය කල මේ ප්‍රාදේශීය නායකයින් ගැන ඔබ අසා තිබෙනවාද?

 

ලංකාවේ රාජාවලියේ අවසානය සිදුවන්නේ බ්‍රිතාන්‍යයින් විසින් මේ රට යටත් කරගැනීමෙන් පසුවයි. එතෙක් සිරිලක රාජ්‍යය සහ රජුන් ආරක්ෂා කිරීමට පත්ව සිටි ප්‍රාදේශීය නායකයින් රාශියක් සිටි බව කියවෙනවා. එයිනුත් ඉංග්‍රීසීන්ට පක්ෂපාතකම් දැක්වූ නායකයින් මෙන්ම, සිරිලක අවසාන රජුගේ කාලයේ බ්‍රිතාන්‍යයින්ගේ ගැහැට වලට හසුවී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ රාජ්‍ය තාන්ත්‍රිකයින්ද බොහෝ දෙනෙක් ඉන්නවා.ඉතින් අපට ආවරණය කිරීමට නොහැකි වූ ඉතිහාසයේ ඒ හිස්තැන පුරවන්නට, තුන් සිංහලය පාලනය කල ප්‍රාදේශීය සිංහල නායක චරිත 8ක් ගැන ඉතිහාස තොරතුරු කියන්නටයි අද අපේ අනිවා ලිපිය ඔබ වෙනුවෙන් ලියැවෙන්නේ.

 

1. ලෙව්කේ දිසාව
Famous Local Leaders
Source – avissawella.com

හතර කෝරලේ ඇතුළේ ලෙව්කේ පවුල කියන්නේ නුවර රාජ සමයේ සිංහල රජ පරම්පරාව එක්ක බොහොම තද සම්බන්ධයක් පවත්වපු පවුලක්. ඒ කාලේ කන්ද උඩරට පාලනේ කලේ රාජාධිරාජසිංහ රජතුමා විසින්. මේ කාලේදී තමයි ලෙව්කේ පවුලට පුත්‍ර රත්නයක් ලැබෙන්නේ. අලුත උපන් පුතුට ලෙව්කේ රාළ විසින් නම් තබන්නේ ලෙව්කේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ කියායි. මේ දරුවා ක්‍රම ක්‍රමයෙන් තරුණ වියට පා තබන්නේ එඩිතර ගති ඇති මහත් ශක්තිවන්තයෙක් හැටියටයි.

මේ තරුණයා වරක් දකුණු ඉන්දියාවේ මල්ලවපොර ශූරයෙක් සමඟ තබන්නට තිබූ තරඟයකට පෙර දින රාත්‍රියේදී තම ප්‍රතිවාදියා හට කොට්ට පොල් ගෙඩියක් අතින් මිරිකා කිරි ලබා දෙනවා. පසුව ආරංචි වන්නේ ඉන්දියානුවා ලෙව්කේ තරුණයාගේ ශක්තියට බියවී දකුණු ඉන්දියාවට පැන ගිය බවය. මේ බව දැනගත් රාජසිංහ රජතුමා ඔහුට රටේ මහත්මයා නොහොත් දිසාවේ තනතුර පිරි නමන්නේ ඉන් පසුවය.

එමෙන්ම ලෙව්කේ දිසාව අති දක්ෂ රණශූරයෙක්ද හැටියටද ප්‍රසිද්ධයි. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසින් හංවැල්ලේ කඳවුරු බැඳ සිටි සතුරු සේනාව පලවා හැරීමට අණකර යවන්නේ ලෙව්කේ දිසාවට සේනාධිපති තනතුරක් පිරි නැමීමෙන් පසුවයි.

නමුත් ලෙව්කේ දිසාව විසින් යුධ සැලසුමේ කරන ලද වෙනස්කමක් හේතුවෙන් ලැබූ පරාජය සහ ඉන් ලැබූ අවමානය නිසා රජතුමා විසින් ලෙව්කේ දිසාවේව හිස ගසා මරා දැමු බව පැවසෙයි. 1803 සැප්තැම්බර් 6 වැනිදා හිස ගසා දමන ලද ලෙව්කේ දිසාවගේ සිරුර පාට්ටගම නම් ස්ථානයේ ආදාහනය කල බවට සඳහන් වෙයි. පාට්ටගම නිලමේ නම් කවියා විසින් ලෙව්කේ දිසාවේගේ මරණය විස්තර කරන්නේ මේ අයුරිනි.

ඉඳගත්තාම පිළිමය තිබ්බා වාගෙයි

නැගිටපුවිට වේපත බැන්දා වාගෙයි

යන එන ගමන් විදුලිය කෙටුවා වාගෙයි

ලෙව්කේ මැතිදු ගල් අතරට කොත වාගෙයි

පුන්සඳ සේම පායාලා වෙල මැද්දේ

රන්කෙඳි සේම පීරාලා පිට මැද්දේ

මාර සෙනග වටකරගෙන යම යුද්දේ

ලෙව්කේ මැතිදු අද තනියම වෙල මැද්දේ

 

2. කැප්පෙටිපොළ දිසාව
Famous Local Leaders
Source – aagiyakatha.blogspot.com

කැප්පෙටිපොළ දිසාවේගේ සම්පුර්ණ නම ලෙස සඳහන් වෙන්නේ “රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොළ”යනුවෙනුයි. බොහොම එඩිතර ප්‍රාදේශීය නායකයෙකු වූ මෙතුමා භාරව සිටියේ ඌව පළාතය. මෙතුමාගේ සොහොයුරිය වන්නේ ඇහැලේපොළ කුමාරිහාමිය.

කැප්පෙටිපොළ ගැන විශ්වාසයෙන් සිටි බ්‍රිතාන්‍ය රජය කැරළි මැඬලීමට ඔහුගේ ප්‍රධානත්වයෙන් සේනාංකයක්‌ වෙල්ලස්‌සට යවනවා. එහිදී කැප්පෙටිපොල දිසාව හමුවන බූටෑවේ රටේරාළ ඔහුට ඉංග්‍රීසින්ගේ කූට ක්‍රියාවන් ගැන පැහැදිලි කර ඉංග්‍රීසීන් පරාජය කිරීමේ වටිනාකම කැප්පෙටිපොලට මනාව අවබෝධ කරවන්නට සමත් වෙනවා. ඒ අනුව ඔහු තමා සතු අවි ආයුධ තමා සමඟ පැමිණි බ්‍රිතාන්‍ය සේනාංකයට බාරදී, ඔවුන් නැවත හරවා යවා 1817 නොවැම්බර් 1වැනි දින වෙල්ලස්සේ කැරැල්ලේ සටන්කරුවන්ට එක්‌ වෙනවා.

පසුව බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කරගෙන යන සටන නිසා ඔහුව ජීවග්‍රහයෙන් අල්ල ගන්නා කෙනෙකුට “තාරකා පගෝදි දෙදහසක” ත්‍යාගයක් ලබාදෙන බව ප්‍රසිද්ධ කරන්නට බ්‍රිතාන්‍ය රජයට සිදුවෙනවා. 1818 ඔක්තෝබර් 28 දින නුවර කලාවිය පරවගහගමදී කැප්පෙටිපොළ දිසාවේ අත්අඩංගුවට ගැනෙනවා.

පසුව ඔහුට විරුද්ධව බ්‍රිතාන්‍ය උසාවියේ විභාග වන නඩුවෙන් 1818 නොවැම්බර් 13 වැනිදා බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව කැරළිගැසීම යන චෝදනාව යටතේ මරණ දඬුවම නියම කෙරෙනවා. ඒ අනුව 1818 නොවැම්බර් 26 වන දින මේ අභීත සෙන්පතියාගේ ජීවන වීර කාව්‍යය කඩු පහරවල් දෙකකින් අවසාන වෙනවා.

 

3. මඩුගල්ලේ නිලමේ
Famous Local Leaders
Source – dailynews.lk

1816දී ඉංග්‍රීසින්ව පරාජය කරණු පිණිස සිංහල නායකයන් පිරිසක් විසින් කුමන්ත්‍රණයක් සැලසුම් කරනු ලබනවා. මඩුගල්ලේ නිලමේ මේ කුමන්ත්‍රණය සැලසුම් කිරීමේදී ප්‍රධානත්වය ගත් පුද්ගලයෙක් වනවා. කෙසේ හෝ මේ සම්බන්ධව ඉංග්‍රීසීන්ට දැනගන්නට ලැබීමෙන් පසු අදාල සැකකරුවන් සඳහා නඩු විභාගයක් පවත්වනු ලබනවා. මඩුගල්ලේ නිලමේව ඒ නඩුවෙන් වැරදිකරු ලෙස තීරණය වූ බැවින් දඬුවමක් දීමේ තීරණය ආණ්ඩුකාරවරයා වෙත භාර කරනවා. එහිදී ආණ්ඩුකාරවරයා මඩුගල්ලේ නිලමේගේ සියලු තනතුරු අහෝසි කොට, දේපොළ රාජ සන්තක කොට, ඔහුව යාපා පටුනට පිටුවහල් කරනවා.

නමුත් ඉන් වසරකින් පසුව බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමරාගේ ජන්ම දිනයට සමගාමීව නිදහස ලබන මඩුගල්ලේ නිලමේ 1817 දී යලිත් නුවරට පැමිණ බොහොම රහසිගතව ගොඩනැගෙමින් පවතින උඩරට කැරැල්ලට සිය පක්ෂපාතී බව දක්වනවා. නිදහස් කැරැල්ලේදී කැප්පෙටිපොළ දිසාව ජීවග්‍රහයෙන් ඔක්තෝබර් 28 වැනිදා අල්ලා ගත්තත්, ඔහු සමග සිටින මඩුගල්ලේ පලායනු ලබනවා. නමුත් ඇලහැර දී 1818 නොවැම්බර් 02 දා බ්‍රිතාන්‍යයින් විසින් මඩුගල්ලේ නිලමේවද අත්අඩංගුවට ගනු ලබනවා. 1818 නොවැම්බර් 26 වන දින කැප්පෙටිපොළ දිසාවට පසුව ඊරියගම කංකානම නමැති ගහලයා විසින් මඩුගල්ලේ නිලමේගේ හිස කඳින් වෙන් කරනු ලබනවා.

 

4. පිළිමතලව්වේ මහ අදිකාරම
Famous Local Leaders
Source – lankadeepa.lk

අතීත රජුන් තැනූ ඉතිහාසයේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා වූයේ පිළිමතලව්වේ මහා අදිකාරමයි. මෙතුමාගේ සම්පුර්ණ නම වන්නේ පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා සෙනවිරත්න අභයකෝන් පණ්ඩිත මුදියන්සේ රාළහාමි යි.

1798 දී රාජාධි රාජසිංහ රජුගේ මරණය සිදුවීම නිසා රාජ්‍යයේ සියලු පරිපාලන කටයුතු පැවරුනේ පිළිමතලව්වේ මහ අදිකාරම වෙතටයි. අනෙකුත් නිලමේවරුන්ගේ විරුද්ධත්වය නොතකා රාජ්‍යත්වයට උරුමකම් කියන්නට හැකි වූ මුත්තුසාමි වෙනුවට කන්නසාමි නමැති වෙනත් නායක්කර් කුමාරයෙකු ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කරවන්නට කටයුතු කරන්නේද පිළිමතලව්වේයි. නොමේරූ රාජසිංහ රජතුමාව පත්කර ගැනීම පිටුපස පිළිමතලව්වේගේ යටි අරමුණක් තිබුණු බවත් කියවෙනව. ඒ ඔහුව රූකඩ රජෙක් සේ තබාගෙන, පසු කාලීනව නායක්කර් වංශිකයන්ගෙන් රට බේරාගෙන සිංහල නායකයෙක් පත් කරගැනීමටයි.

කන්නසාමි කුමරු රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත්වන විට ඉතා ලාබාල වියේ පසුවූ අතර රජු වෙත අර්ථයෙන් ධර්මයෙන් දේශනා, අවවාද, උපදෙස් දෙන්නේ පිළිමතලව්වේ මහ අදිකාරමයි. ඊට අමතරව “මුහන්දිරම්, රටේ අතපත්තු, බස්නායක නිලමේ, ලේකම්, දිසාව, මහ දිසාව, දියවඩන නිලමේ, උඩගම්පහේ මහා අදිකාරම්, පල්ලේගම්පහේ මහා අදිකාරම්” වගේ තනතුරු විස්සක් පමණ දරන ඔහු බලය අතින් දෙවැනි වන්නේ රජුට පමණයි. කෙසේ නමුත් කල්යත්ම රාජසිංහ රජු පිළිමතලව්වේ මහ අදිකාරමගෙන් උපදෙස් නොගෙන තමන්ට රිසි සේ රාජ්‍ය කරගෙන කටයුතු කිරීම නිසා මහ අදිකාරමට තමන්ගේ අනාගතය ගැටළුකාරී බව දැනෙන්නට ගැනෙනවා. මේ නිසා රජු පරාජය කිරීමට ඉංග්‍රීසීන්ගේ පිහිට පතන්නටද පිළිමතලව්වේ යොමු වනවා.

පිළිමතලව්වේ සහ රජු අතර විරසකය දිනෙන් දිනම උත්සන්න වන්නට පටන් ගනිද්දී, රජතුමාව සැතපෙන ගෙයි සිටියදී ඝාතනය කරවීමට අසන් ජා මුහන්දිරම් නමැති මුස්ලිම් මුහන්දිරම් කෙනෙකුට බාර දුන්නේ යයි චෝදනාව පිට පිළිමතලව්වේට මරණ දඬුවම ලබාදීමට රාජසිංහ රජතුමා කටයුතු කරනවා. ඒ අනුව 1811 අගෝස්තු 26 වන දින මහනුවර දී හිස ගසා දමමින් පිළිමතලව්වේ අධිකාරම්ව මරුමුවට පත්කරනවා. ඒ කාලේ නුවර වැසියන් “රජ්ජුරුවන්නේ අප්පච්චිත් මරුවාට පස්සේ අපිට මොන කලක් ද?” කියමින් හඬා වැළපුණු බව පාරම්පරික ජනකතා වලින් කියවෙන බව පැවසෙනවා.

 

5. මීගස්තැන්නේ අදිකාරම
Famous Local Leaders
Source – dinamina.lk

මීගස්තැන්නේ අදිකාරම කියන්නේ කලින් අපි විස්තර කියපු ඉහල පැලැන්තියේ පවුල් පරම්පරාවකින් පැවත එන්නෙක් නෙවෙයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා සමිඳුන් වැඩ සිටුවීම පිණිස මාලිගාවක් තනන බව දැනගත් මීගස්තැන්න ගමේ තරුණයෙක් එයට උදව්වීමට පැමිණෙනවා. එහිදී ලේවැල්ලේ තිබුණු ඔසවන්නට අපහසු බොහොම බර කළු ගලක් රජතුමාද විස්මයට පත් කරමින් ඔසවා ගෙනවිත් තබා රජුගේ ප්‍රසාදය දිනාගන්නවා.

පසුව රජු විසින් ඔහුව අප්පුහාමි මඩුවේ සේවයට බඳවා ගන්නවා. ඒ වගේම රජුගේ විශ්වාසදායකම පුද්ගලයා වූ මේ “මීගස්තැන්නේ අප්පුහාමි” වෙත දළදා මැදුරේ කටයුතු ඉටු කිරීම වගේ භාරදූර කටයුතුත් භාර කරනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඇවෑමෙන් පසුව රාජාධිරාජසිංහ රජු කාලයේ අතපත්තුවේ නිලමේ ලෙස තනතුරු පත්වීම් ලබනවා.

කාලයක් යනවිට රජුට අපක්ෂපාති ලෙස වැඩ කරන පිළිමතලව්වේගේ හිස්වූ තනතුර රජු විසින් භාර කරන්නේ මීගස්තැන්නේ අදිකාරම වෙතයි. එසේ වුවත් සිංහලයන්ට දිනෙන් දින සිදුවන අසාධාරණ කම් හමුවේ පාලන තන්ත්‍රය ගැන කලකිරෙන මීගස්තැන්නේ අදිකාරම රාජ්‍ය සේවයෙන් ඉවත්ව තම යක්ගහපිටිය වලව්වට වී ශෝකයෙන් කල්ගත කරන්න පටන් ගන්නවා. ආහාර සහ ඖෂධ යන සියල්ල ප්‍රතික්ෂේප කරන එතුමා ක්‍රම ක්‍රමයෙන් ඔත්පල වන්නට පටන් ගන්නා අතර, වැඩි කලක් නොගොසින්ම ශෝකජනක මරණයකට ගොදුරු වෙනවා.

 

6. ඇහැලේපොල දිසාව
Famous Local Leaders
Source – lakdivanews.com

දෛවයේ කුරිරුතම අත්දැකීමකට මුහුණදුන් පරම්පරාවක් වෙයි නම් ඒ ඇහැලේපොල දිසාවගේ පවුලයි. රජු විසින් වැසියන්ට අධික බදු පැණවීමට විරුද්ධත්වය පා ඇහැලේපොල දිසාවේ විසින් කැරළි ගැසීමට සුදානම් බව දැනගත් රජු මොල්ලිගොඩ අදිකාරමව හමුදා පිරිවර සමඟ ඇහැලේපොල අල්ලන්නට සබරගමුවට පිටත් කර හරිනවා.

ඇහැලේපොල පිලිබඳ තරහින් ඇහැලේපොලගේ පුතු මද්දුම බණ්ඩාර ඇතුළු ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයින් මරණයට පත් කරන අතර, එයින් නොනැවතී නුවර ඇති ඇහැල ගස් සියල්ලම පාහේ කපා දමන්නට අණ කල බවද සඳහන් වනවා. පවුලේ සාමාජිකයින් මරා දැමීමෙන් පසුව ඉංග්‍රීසින්ගේ සෙවනේ ජීවත් වන ඇහැළේපොළ රාජසිංහ රජුව බලයෙන් පහකරන්නට කටයුතු කල බව සඳහන් වෙනවා. නමුත් අවසානයේ අනෙක් සියලු උඩරට නායකයින් සේ මෙතුමාවද මුරුසි දුපතේ සිර අඩස්සියේ තැබීමට මෙරටින් පිටුවහල් කරනු ලබනවා. වසර එකොළහක් සිර අඩස්සියේ සිටි ඇහැලේපොල දිසාව සිය මරණ මංචකයේදී තමන් ඉංග්‍රීසින්ට කල උදව් දිය මත රේඛාවක් අඳින්න තනන්නාසේ නිශ්ඵල වූ බව පවසා තිබෙනවා.

 

7. මිල්ලව දිසාව
Famous Local Leaders
Source – yuthukama.com

මිල්ලව දිසාව යනු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හැටියට රජුන්ගේ මෙන්ම බ්‍රිතාන්‍යයින්ගේද විශ්වාස දිනා සිටි කුලවතෙක් බව කීමේ වරදක් නැහැ. මිල්ලව කරුණාධාර ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත මුදියන්සේ  යන සම්පුර්ණ නම හිමිව තිබු මිල්ලව මහත්තැන පෙනුමින්ද අනෙකුත් අය අතරින් කැපී පෙනෙන කෙනෙක් බව සඳහන්. නීතිය සහ චාරිත්‍ර පිළිබඳව බ්‍රිතාන්‍යයින් සියලු තොරතුරු ලබාගනු ලැබුයේ මිල්ලව දිසාව හරහා බව කියවෙනවා. නමුත් අවසානයේදී බොහොමයක් උඩරට නායකයින්ට මුහුණ දෙන්නට සිද්ධ වූ ඉරණම මිල්ලව දිසාව සම්බන්ධයෙන්ද වෙනස් වුයේ නැහැ.

බ්‍රවුන්රිග් ආණ්ඩුකාර තැන විසින්  මිල්ලව දිසාවගේ පුතුට යම් වරදකට චෝදනා එල්ල කරනවා. තම පුතු වෙනුවෙන් දඬුවම් විඳින්නට ඉදිරිපත් වෙන්නේ මිල්ලව දිසාව නිසා, පුතු කල වරදට දඬුවම් ලෙසට දිසාවේගේ (පියාගේ) සියලු දේපල රාජසන්තක කර රටින් පිටුවහල් කරන්නට නියම කරනු ලබනවා.

 

8. මොල්ලිගොඩ මහ අදිකාරම
Famous Local Leaders
Source – lakdivanews.com

මොල්ලිගොඩ යනු සතර කෝරලේ ඒදඬුවාවේ කෝරාලගේ පුත්‍රයායි. රාජසිංහ රජු හංවැල්ල සටනින් පසුබැස සතර කෝරලේ කුණම් මඩුවක ගිමන් හරිමින් සිටිනවිට මොල්ලිගොඩ තරුණයාව දැන හඳුනාගන්නට ලැබීමෙන් ඔහු කෙරේ පැහැදෙනව. පසුව ඒ අනුව රාජ්‍ය සේවයට බැඳී කන්ද උඩරට ප්‍රධානියෙකු බවට පත්වන්නට මොල්ලිගොඩට හැකියාව ලැබෙනවා. නමුත් අනෙකුත් නිලමක්කාරයින් වාගේ නොව මොල්ලිගොඩ යනු කෛරාටික පුද්ගලයෙකු බව කියවෙනවා. කෙටියෙන් කියනවා නම් ඇහැලේපොල දිසාවගේ මරණයට සෘජුව වග කිවයුතු අයගෙන් කෙනෙකු ලෙසට මොල්ලිගොඩ අදිකාරමව හඳුන්වනවා. මෙලෙස උඩරට ප්‍රධානීන්ව බේද භින්න කරන්නෙකු වූ මොල්ලිගොඩ ගේ ක්‍රියා වලින් නියම ප්‍රයෝජනය ගත්තේ බ්‍රිතාන්‍යයින් බව කියවෙනවා. තම දිවියේ අවසාන කාලයේ සම්මත සිංහල නායකයින්ගෙන් වෙන්වී ඉංග්‍රීසින්ගේ ඇසුරේ සිටි මොල්ලිගොඩ සිය දිවිය අවසාන කරගන්නේ සුරාවට ඇති අධික ගිජු බව නිසාමයි.

 
Cover Image Source – news24.lk