හෙළ සිනමා රිදී තිරය හැඩ කල පෙම් යුවලවල් පහක්… මේ අතරින් ප්‍රේමණීයම යුවල කවුද?

 

ලංකාවේ සිනමාවේ පෙම්වතා පෙම්වතිය දුෂ්ටයා කියන චරිත තුන නැති වාණිජ චිත්‍රපටයක් සොයා ගන්නට නැති තරම්. ඒ තරමට ඉන්දියානු ආභාෂය අපේ චිත්‍රපට වලට ලැබිලා තියෙනවා. කතාවට ගැලපෙනවා යැයි සිතන නළු නිළි ජෝඩුවක් සොයාගෙන ඔවුන් යොදා චිත්‍රපටයක් කරන අපේ අධ්‍යක්ෂකවරුන්, මේ ජෝඩුව නිසා චිත්‍රපටය සාර්ථක බව දැනුණ විට ඔවුන් දෙදෙනා යොදා තව තවත් චිත්‍රපට නිර්මාණය කරනවා. සිනමාවක රිදී තිර පෙම් යුවලක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදියට.

එහෙම නිර්මාණය වුණු පෙම් යුවල ඕනෑතරම් ලාංකික සිනමාවේ සොයා ගන්නට හැකියාව තිබුණත්, සාර්ථක පෙම් යුවළවල් සිටින්නේ බොහොම කිහිප දෙනයි. එයිනුත් ජනප්‍රියම තලයේ සිටි නළු නිළි යුවලවල් කිහිපයක් හා ඔවුන්ගේ චිත්‍රපට ගැන කියන්නයි අද අපේ අනිවා ඉඩ වෙන්වෙන්නේ.

 

1. විජය සහ මාලනී
Hottest Sinhala Movie Couples
Source – archive.is, suravi.fr, english.gossiplankanews.com, youtube.com/Ghanta Nadaya – Vijaya Kumaratunga & Malani Bulathsinghala

විජය කුමාරණතුංග සිනමාවට පැමිණෙන්නේ 1967 මනමාලයෝ චිත්‍රපටයෙන් වන අතර මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා සිනමාවට පය තබන්නේ 1968 තිරගත කල පුංචි බබා චිත්‍රපටයෙන්. විජය සහ මාලනී දෙදෙනාගේ පළමු චිත්‍රපටය විදියට හඳුන්වන්නට හැකිවන්නේ 1972 දී තිරගත කල තිමති වීරරත්න (සංගීතා වීරරත්නගේ පියා) ගේ මේ දෑස කුමටද චිත්‍රපටයයි. එකල මාලනී නවක නිළියක් වූ අතර විජයත් චිත්‍රපට කිහිපයක රඟපාමින් සිය නාමය ගොඩනගාගත් නවක නළුවෙක් වුණා.

විජය මාලනී ගේ රංගනයේ සන්ධිස්ථානයක් ලෙස සටහන් වන චිත්‍රපට අතුරින් “තුෂාරා” චිත්‍රපටය සුවිශේෂී වෙනවා. ඔවුන් දෙදෙනාට අතිශය ජනප්‍රියත්වයක් වගේම එක දිගටම යුවළක් ලෙස “හතර දෙනාම සූරයෝ, ආදරේ හිතෙනවා දැක්කම, අහස ගව්ව, සුසී, සැණකෙළිය, එයා දැන් ලොකු ළමයෙක්, දියමන්ති, කුණ්ඩලකේසි, බඹරු ඇවිත්, අනුපමා, රජදවසක්, බැද්දේගම, දෙව්දුව, වීර උදාර” වගේ චිත්‍රපට වලට පෙනී සිටින්නට අවස්ථාව ලැබෙනවා.
 

 

2. ගාමිණී සහ මාලනී
Hottest Sinhala Movie Couples
Source – tamilweek.com, dbsjeyaraj.com, sundaytimes.lk

ගාමිණී ෆොන්සේකා කියන්නේ ලංකාවේ සිනමාව වෙනමම අතකට හැරවූ රංගන ශිල්පියෙක්. සිනමා සක්විති යන අනවර්ථ නමින් හඳුන්වන ගාමිණී ෆොන්සේකා වර්තමාන සිනමාවේ රංගන ශිල්පියාට ලැබිය යුතු නිසි තැන ලබා දීමේ පුරෝගාමියා වෙනවා. 1959 තිරගත වන දෛවයෝගය චිත්‍රපටය යනු ගාමිණී ෆොන්සේකා මහතා  චරිත නිරුපණය කල පළමු චිත්‍රපටය වෙනවා. ඒ වගේම මාලනී ෆොන්සේකා සමගින් යුග චරිත නිරුපණය කල චිත්‍රපට අතුරින් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “නිධානය” චිත්‍රපටය අතිවිශේෂ වෙනවා.

මෙයින් පසුව ගාමිණි මාලනී යුගය ආරම්භ වූ අතර ඔවුන් රංගනයෙන් සහය දුන් චිත්‍රපට අතරේ “සහනය, එදත් සූරයා අදත් සූරයා, කස්තුරි සුවඳ, ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි ,සංගීතා, නයනා” වගේ චිත්‍රපට මුල් තැනක් ගන්නවා.
 

 

 

3. සනත් සහ සබීතා
Hottest Sinhala Movie Couples
Source – egossip-lk.blogspot.com, kadapatha.com.au, kanchana2015.blogspot.com, youtube.com/RAGINIYA OBA MA – WAIRAYEN WAIRAYA

සනත්ගේ සිනමාගමනය ගැන බොහොම සිත්ගන්නාසුළු කතාවක් සරසවිය පුවත් පතේ පලවී තිබෙනවා.

චිත්‍රපටය ‘සිටු කුමරියෝ’ ය. සම්මුඛ පරික්ෂණය පැවැත්වූයේ කොළඹ සුදර්ශි ශාලාවේදීය. සම්මුඛ පරීක්ෂණයේදී අධ්‍යක්ෂ විජය ධර්ම ශ්‍රී නළුවන් දෙදෙනකු කෙරෙහි අවධානය යොමු කර තිබිණි. එක් නළුවකු මේ කියන තරුණයාය. අනිත් නළුවාගේ එකම ගැටලුව වූයේ ඔහුගේ උස ප්‍රමාණයයි. ඔහු සෙසු නළුවා හා සැසඳීමේදී උස පුද්ගලයෙක් නොවීය.
‘සුදර්ශි’ ශාලාව ඉදිරිපිට මෝටර් රියක් නැවැත්විණි. ඉන් බැස ආවේ සිංහල සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකාය.ඇගේ නෙත මේ කඩවසම් තරුණයා වෙත ක්ෂණිකව ඇදී ගියේය. මඳ වේලාවකින් තරුණයාට නැවත කැඳවීමක් ලැබිණි. ඔහු මේ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා ගේ පෙම්වතාගේ චරිතයට තෝරා ගනු ලැබුවේය. ඔහු සනත් ගුණතිලකය.
සිනේතරු වරුණ – සුනිල් මිහිඳුකුල – සරසවිය පුවත්පත.

සිටු කුමරියෝ” හරහා සනත්ගේ ආගමනය මේ ආකාරයෙන් සිදුවනකොට, ප්‍රධාන චරිතයක් හරහා සබීතාගේ සිනමා ආගමනය සිදුවන්නේ ජේ. සෙල්වරත්නම් මහතා අධ්‍යක්ෂණය කරන ලද “සබීතා” නම් චිත්‍රපටය හරහායි.

නමුත් සනත් සබීතා සුසංයෝගයේ උච්චතම ස්ථාන වලින් එකක් වන්නේ එච්. ඩී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කල “දෙවෙනි ගමන” චිත්‍රපටයයි. ඒ වගේම ඉන් පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “විරාගය” චිත්‍රපටයේ අරවින්ද සහ සරෝජිනී ලෙස සනත් සබීතා කල රඟපෑම තාමත් රසිකයින්ගේ මතකයේ තිබෙනවා යැයි කියන්නට පුළුවන්. ඊට අමතරව “දෑසේ මල් පිපිලා, ලව් ඉන් බැංකොක්, චෙරියෝ ඩොක්ටර්, සිසිල ගිනි ගනී, රජ දරුවෝ, සිංහයන්ගෙත් සිංහයා, බඹසර බිසව්” වගේ වාණිජ චිත්‍රපට වලිනුත් සනත් සබීතා යුගය හැඩවුණු බව අපි අනිවා සිහිපත් කල යුතු වෙනවා.
 

 

4. රන්ජන් සහ දිල්හානි
Hottest Sinhala Movie Couples
Source – 9lanka.com

සමහර අවස්ථාවල තිරයේ පෙම්වතුන් සැබෑ ජීවිතයේද පෙම්වතුන් වන අවස්ථා තිබෙනවා. එක ඈත අතීතෙක රන්ජන් රාමනායක – දිල්හානි අශෝකමාලා නම් තරුණ නළු නිළි යුවල තිරයේ පෙම්වතුන් වූවාට අමතරව සැබෑ ජීවිතයේද පෙම්වතුන් වී සිටි බව කියවෙනවා. නමුත් වර්තමානයේ මේ දෙදෙනාම මාර්ග දෙකක ගමන් කරන බව ඔබ අපි කවුරුත් දන්නවා.

දිල්හානි සිනමාවට පිවිසෙන්නේ 1988 වසරේ යසපාලිත නානායක්කාර මහතාගේ “දේදුන්නෙන් සමනලියක්” චිත්‍රපටය හරහායි. ඒ වගේම රන්ජන් රාමනායක සිනමාවට පිවිසියේ 1988 වසරේ “කෝ හතුරෝ” නම් චිත්‍රපටයෙන් බව කියවෙනවා. විටෙක පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන රන්ජන් තමන් සදාකල් තනිවී සිටීමට හේතුව දිල්හානි තමන්ට අහිමි වීම බව කියනවා. එකල රන්ජන් විසින් ගායනා කරන ලද “රන්සමනල ජෝඩුව වාගේ” ගීතය අතිශය ජනප්‍රිය වෙනවා. නමුත් මේ ගීතය රන්ජන් කියන්නේ දිල්හානිට බව කිසිවෙක් දන්නේ නැහැ. ගීතයේ එක තැනක මෙසේ සඳහන් වෙනවා.

ඇයි අශෝකමාලා මේ වාගේ කෝප වීලා
ඉක්මනටම වයසට යයි නේ – නැද්ද ඔයා ඒ බව දන්නේ!!

මෙහි අශෝකමාලා යනු දිල්හානි අශෝකමාලා බව බොහෝ අය දන්නේ නැහැ..!

මේ දෙදෙනාගේ ආදර සම්බන්ධයත්, දෙදෙනාම සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවලක් වීමත් නිසා අධ්‍යක්ෂකවරුන් මේ අපුරු ජෝඩුව තම නිර්මාණ වලට එක්කාසු කරගන්නවා. එසේ රඟපෑ නිර්මාණ අතරේ “ලව් ඉන් බැංකොක්, මැවිලා පෙනේවී රූපේ, සඳ රේඛා, සූර වීර චන්ඩියෝ, නිලම්බරේ”  වගේ චිත්‍රපට සිනමා රසිකයින්ගේ මනදොල පුරවන්නට සමත් වූ නිර්මාණ වුණා.
 

 

5. කමල් සහ සංගීතා
Hottest Sinhala Movie Couples
Source – sundaytimes.lk, lifejezer.weebly.com, youtube.com/Salelu Warama

මේ ලැයිස්තුවට එකතු කරන අවසාන සිනමා පෙම් යුවල වන්නේ කමල් අද්දරආරච්චි සහ සංගීතා වීරරත්නයි. සංගීතා සිනමාවට පිවිසෙන්නේ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කල ඉංග්‍රීසි චිත්‍රපටයක් වූ “It’s A Matter of Love” චිත්‍රපටය හරහායි. කමල්ගේ සිනමාගමනය සනිටුහන් වන්නේ “සාගරයක් මැද” චිත්‍රපටය හරහායි. සංගීතා සහ කමල් දෙදෙනා රඟන චිත්‍රපට අතුරින් පළමුවැන්න වන්නේ එච්. ඩී. ප්‍රේමරත්න මහතාගේ සප්ත කන්‍යා චිත්‍රපටයයි. ඉන්පසුව මේ සුන්දර යුවල පාදක කරගෙන “කිණිහිරියා මල්, සලෙලු වරම, ගරිල්ලා මාකටින්, සෙව්වන්දි” වගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වූවා.
 

 
Cover Image Source – aniwa.lk