මේ සතුන්ට දිලිසෙන්නට කරන්ට් ඕනේ නැහැ. එයාලව පණගන්වන්නේ සොබාදහමයි

 

Bioluminescence! මොකක් කිව්වා??

Fluorescent Organisms.
Source – extrememarine.org.uk

Bioluminescence ජීවීන් කියලා කිව්වම පොඩ්ඩක් ග්‍රීක් වගේ නේද? හරි අපි මෙහෙම මතක තියාගමු. හිතන්නකෝ කිසිදු පිටස්තර බලශක්තියක් නැතිව තමන්ගේ සිරුරේ සෛල තුල සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විදියට තමන්ගේ සිරුරෙන් එලිය විහිදුවන සතුන් ගැන. අන්න ඒ වගේ සතුන්ට තමයි Bioluminescence ජීවින් කියලා කියන්නේ. දැන් මෙහෙම කිව්වම ඔයාගේ  හිතට සතුන්ගේ නම් ලිස්ට් එකක්ම එනවා ඇති. අපි ඒ සිතුවිල්ල පොඩ්ඩක් ඔහොම්මම හිතේ තියාගමු.

ඒ වගේම අපි පොඩි දෙයක් මතක් කරන්නටත් කැමතියි. මතකද ඉස්සර විදුලිය නැතිවෙන වෙලාවල් වලට අපිට අපේ වැඩිහිටියෝ කණාමැදිරි දෙතුන් දෙනෙක් පොඩි කුප්පියකට දාලා වහලා දෙනවා. එතකොට ඒ අය තමන්ගේ ලකේ පුයිට් 😉 එක නිවී නිවී පත්තු කරගෙන අපිට ආලෝකය සපයනවා. ඒ වගේම වඩු කුරුල්ලෝ (Baya Weaver) තමන්ගේ කූඩු ඇතුල ආලෝකමත් කරගන්න මේ කණාමැදිරියන් අල්ලාගෙන ගොසින් මඩ වලින් සිර කරලා තබාගන්න බව කියවෙනවා.

 

ඇයි එහෙම ඒ අය දිලිසෙන්නේ?

Fluorescent Organisms.
Source – hswstatic.com

මේ අපූරු සතුන් දිලිසෙන්නට හේතුව තමයි, ඒ අයගේ සිරුරු වලින් ලුසිෆෙරින් (Luciferin) වර්ණකය සහ ලුසිෆරස් (Luciferase) කියන එන්සයිමය ඔක්සිජන් එක්ක එක්කාසු වෙලා ආලෝකය විහිදුවීම. සමහර සත්තුන්ට ෆොටෝෆොරෙස් (Photophores) නමින් හැඳින්වෙන විශේෂ ග්‍රන්ථි සහ අවයව තියෙනවා. ඒවායිනුත් ආලෝකය ඔවුන්ගේ සිරුරින් විමෝචනය කරනවා.

ගොඩක් වෙලාවට මේ සිරුරේ දිලිසීම මේ අය භාවිතා කරන්නේ එක්කෝ තමන් ඉලක්ක කරන ගොදුර තමන් වෙතට ආකර්ෂණය කරවා ගන්නට, එහෙමත් නැතිනම් ගොදුර බියකරවා ආරක්ෂාව ලබා ගැනීමට හෝ තමන්ගේ සහකාරයා තමන් වෙතට ආකර්ෂණය කරගන්නටයි. ඒ වගේම තවත් සතුන් තමන්ගේ වර්ගයේ එකිනෙකා එක්ක තොරතුරු සන්නිවේදනය කරගන්නටත් මේ ආලෝක විමෝචනය කිරීමේ හැකියාව භාවිතා කරනු ලබනවා.

 

මෙයාලා වැඩිපුර කොහෙද ඉන්නේ?

Fluorescent Organisms.
Source – enchanting-costarica.com

එහෙම කියලා අපිට අපිට ගණනය කිරීම් වලින් පෙන්වන්නට බැහැ. නමුත් ගොඩබිම සහ ජලයේ කියන පරිසර සාධක දෙක තුලම මේ Bioluminescence එහෙමත් නැතිනම් දිලිසෙන ජීවීන් සිටිනවා. නිදසුනක් විදියට සාගරයේ ආලෝකය විහිදුවන මුහුදු ලොඩියන් (Jellyfish), ඇල්ගී වර්ග, මාළු වර්ග සහ විවිධ බැක්ටීරියා වර්ග සිටිනවා. ඒ වගේම ගොඩබිම වාසය කරන සතුන් අතරේ කණාමැදිරියෝ, දිලිසෙන පනුවන් සහ මකුළුවන් වර්ගත් සිටිනවා.

මොනවද ඒ විදියට දිලිසෙන සත්තු වර්ග?

 

1. Dragonfish (මකර මත්ස්‍යයා)
Fluorescent Organisms.
Source – iyakan.com

ආලෝකයක් නොපෙනෙන ගැඹුරු මුහුදේ ජීවත්වන තියුණු දත් සහිත පළල් මුවක් ඇති මේ මාළුවා සිරුරින් ආලෝකය නිකුත් කරන්නෙක් වෙනවා. ඒ අපි පෙර කියූ අන්දමට ෆොටෝෆොරෙස් (Photophores) නමැති විශේෂිත ආලෝකය විහිදුවන අවයව හරහායි. මේ මකර මත්ස්‍යයා තමන්ගේ සිරුරින් නිල් සහ කොළ පැහැයට හුරු ආලෝකයකුත් රතු පැහැ ආලෝකයකුත් පිට කරනු ලබනවා.

 

2. Vampire Squid (වැම්පයර් දැල්ලා)
Fluorescent Organisms.
Source – sciencefriday.com

බුවල්ලෙක්වත් දැල්ලෙක්වත් නොවෙන මේ මුහුදු ජීවියා තුල වෙනත් දැල්ලන් සතුව තිබෙන ප්‍රතිවාදියාගෙන් බේරෙන්නට භාවිතා කරන තීන්ත පැස පිහිටලත් නැහැ. ඒ වෙනුවට තිබෙන්නේ දිලිසෙන ආලෝක වලාවක් ඇතිකිරීමේ හැකියාවක්. බියවූ විට ප්‍රතිවාදියාව රවටා පැනයාමට මේ ආලෝක වලාවක් ඇතිකිරීමේ උපක්‍රමය භාවිතා කරනවා.

 

3. දිලෙන මුහුද
Fluorescent Organisms.
Source – biochronicles.net

සැන් දියේගෝ සහ මාලදිවයින් මුහුදු වෙරළ වල වදින මුහුදු රැල්ල රාත්‍රියේදී නිල් වර්ණයෙන් ආලෝකමත් වෙන්නේ ඇයිද කියා විද්‍යාඥයින්ට එක කලෙකදී ගැටළුවක් ඇති වුණා. ඔවුන් සොයාගෙන ඇති අන්දමට සාගර දිදුලන්නට හේතුව වන්නේ ඩයිනෝෆ්ලජලේට් (Dinoflagellates) නමින් හඳුන්වන ශාක ප්ලවාංග විශේෂයකුයි.

ඇසට නොපෙනෙනා තරම් කුඩා ක්ෂුද්‍ර ප්ලවාංග අතිවිශාල සංඛ්‍යාවක් සාගර ජලය මතට පැමිණීම සහ ඒවා දියරැළි මතදී සක්‍රීය වෙමින් ආලෝකය විහිදුවීම මෙයට හේතුව ලෙසට සාගර ජීවී විශේෂඥ වුඩ්ලන්ඩ් හේස්ටින්ග්ස් විසින් සොයාගනු ලැබුවා.

 

4. කණාමැදිරියෝ
Fluorescent Organisms.
Source – fireflyexperience.org

මේ අපුරු ජීවින් කොට්ටාසය තමයි ලංකාවේ අපිට දිදුලන ජීවීන් විදියට පෙන්වා දෙන්නට හැකි සුලභම සත්ව කොට්ටාසය වෙන්නේ. තමන්ගේ යටි උදර ප්‍රදේශයේ පිහිටා ඇති නිවී නිවී දැල්වෙන අවයවය සමග අති සුන්දර රටා මවන මේ අහිංසක සතුන් වර්ගය කාරණා කිහිපයකටම මේ ආලෝකයන් භාවිතා කරනවා. තමන්ගේ සහකරුවා ආකර්ශනය කර ගන්නට, තමන්ගේ ගොදුර ආකර්ශනය කරගන්නට සහ ඔවුන් සතුව පවතින විෂ සහිත රසායනිකය නිසා ඔවුන්ව ආහාරයට නොගතයුතු බව හඟවා සිටින්නට මේ ආලෝකය යොදාගන්නවා.

 

5. දිදුලන හතු
Fluorescent Organisms.
Source – inhabitat.com

වනාන්තර සහ වෙනත් ශාකමය වටපිටාවන් සහිත කලාප වල ස්ව ආලෝක ජනනය කරගන්නා හතු වර්ග අපට හමුවෙනවා. ඒ වගේම බොහොමයක් හතු වර්ග වල මෙවැනි Bioluminescence තත්ත්වය පවතින්නේ බොහොම කෙටි වෙලාවක් පමණයි. නිදසුනක් විදියට මයිසිනා ක්ලෝරොපොස් (Mycena Chlorophos) නමින් හඳුන්වන හතු වර්ගය සෙල්සියස් අංශක 26.6ක පමණ උෂ්ණත්වයකදී පීදෙන්නට පටන් ගනිත්දී මෙම ආලෝකය හට ගන්නවා. එහිදී හත්ත පීදුණු සැණින් එම ස්ව ආලෝකයද වියැකී යනවා. එයට අමතරව තවත් එවැනි දිලෙන හතු වර්ග 11ක් මේ ලැයිස්තුවෙන් දැනගන්නට පුළුවන්.

 

6. ආජන්ටිනාවෙන් සොයාගත් දිදුලන ගෙම්බා
Fluorescent Organisms.
Source – sciencetimes.com

ආජන්ටිනාවේ සිටින “Hypsiboas Punctatus” යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පොල්කා තිත් සහිත ගස් ගෙම්බා, අඳුරු පරිසරයකදී නියෝන් කොළ පැහැයෙන් දිදුලන බව පැවසෙනවා. ඒ වාගේම ඔවුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රීයන් පවා මේ ආලෝක තත්ත්වය යටතේදී පෙනන බව ඔබට ඉහත වීඩියෝවෙන් දැක ගන්නට පුළුවන්. මේ ආකාරයට සොයා ගත් ප්‍රථම දිදුලන ගෙඹි වර්ගය මොවුන් බවයි සඳහන් වෙන්නේ.

 

7. දිදුලන බූවල්ලා
Fluorescent Organisms.
Source – sciencetimes.com

සාමාන්‍යයෙන් දිදුලන දැල්ලන් සිටියත් බූවල්ලන් සාමාන්‍යයෙන් තම ෆොටෝෆොරස් අවයව දිදුලවන්නේ නැහැ. නමුත් ගැඹුරු මුහුදේ සිටින මේ “Stauroteuthis Syrtensis” නමින් හඳුන්වන Bioluminescence බූවල්ලා තම අඬු වලින් ආලෝකය විමෝචනය කරනු ලබනවා. මේ ජීවියා විසින් නිල් සහ කොළ වර්ණ පිට කරන අතර තමන්ගේ සහකාරයා සොයා ගැනීමට හෝ තමන්ව ගොදුරු කරගන්නට එන විලෝපිතයින් බියගැන්වීමට මේ ආලෝක විමෝචන හැකියාව භාවිතා කරනු ලබනවා.

 

8. දිදුලන පණුවොත් ඉන්නවද?
Fluorescent Organisms.
Source – uglyhedgehog.com

මොකෝ නැත්තේ? Bioluminescence පණුවෝ වර්ගයක් නවසීලන්තයෙන් සොයාගෙන තිබෙනවා. ඔවුන්ව හඳුන්වන්නේ New Zealand Glow Worm එහෙමත් නැතිනම් Glowworm යන නමින් තමයි. ඔවුන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ “ඇරක්නෝකැම්පා ලුමිනොසා” ( Arachnocampa Luminosa ) යන නමයි. තෙත, අඳුරු හුණුගල් පාෂාණ ගුහා වල සිටින මේ සුන්දර පණු වර්ගය සිරුරින් ලා නිල් පැහැති ආලෝකයක් පිට කරන්නේ. වැඩුණු විට සෙන්ටිමීටර 4ක් පමණ වෙන මේ පණු ගැහැණු සතුන් වරකට බිත්තර 100 – 130 අතර ප්‍රමාණයක් දමනා බව කියවෙනවා.

 

බෝනස්

9. එතකොට මිනිසුන්ව දිලිසෙන්නේ නැද්ද?
Fluorescent Organisms.
Source – sciencealert.com

ඔව් මිනිසුන්වත් දිලිසෙනවා. හැබැයි ඇසට නොපෙනෙන තරම් බොහොම දුර්වල ආලෝකයක් තමයි පිටතට විමෝචනය වන්නේ. මේ හේතුව නිසා පියවි ඇසට ඒ ආලෝකය හසුකරගැනීමට හැකියාවක් නම් නැහැ. පාලිත පරිසරයක් තුලදී සූක්ෂම කැමරා භාවිතා කරමින් කරන ලද පර්යේෂණයකට අනුව මිනිසුන් දිලිසෙන බවත් සිරුරේ අනෙකුත් අවයව වලට වඩා මුහුණ ආශ්‍රිත ප්‍රදේශය දිලෙන බවත් සොයාගෙන තිබෙනවා.

 
Cover Image Source – hostmypics.com