කාලෙන් කාලෙට අලුත් වුන ඒ කාලෙ අපේ ජනප්‍රියම වෙබ් සයිට් 10ක පැරණි පෙනුම මෙන්න

 

ලංකාවේ බහුතරයකට අන්තර්ජාලය සම්බන්ධයෙන් තියෙන්නේ එතරම් දිගු ඉතිහාසයක් නෙවෙයි. ඒ කාලේ Dial-Up කනෙක්ෂන් වලින් සද්ද දාගෙන ඉන්ටර්නෙට් ගියාට මොකද, දැන්නම් ඒවා ඉබි ගමන් කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ඉතින් මේ මතක අස්සේ අපි කල්පනා කළා අපි ඉන්ටර්නෙට් පාවිච්චි කල මුල් කාලේ අපි වැඩිපුරම ගොඩ වැදුණු සයිට් දහයක මීට වසර 10කට කලින් පෙනුම කොහොමද කියලා විස්තර කරන්නට.

මේ කිසිම සයිට් එකක් මොබයිල් එකට, ටැබ් වලට තමන්ගේ ප්‍රමාණ ඉබේ වෙනස් වෙන්නට තනා තිබුනේ නැහැ. ඒ කාලේ අපේ පරිගණක වල තිරයත් 1027 x 768 සයිස් එක නිසා මේ කාරණා එතරම් වැදගත් වුනෙත් නැහැ.

 

1. ක්‍රික්ඉන්ෆෝ (Cricinfo)
Website Nostalgia 2007
Source – archive.org

වසර 1993 දී දියත් කල ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය එදත් අදත් ක්‍රිකට් ලෝලීන්ගේ ක්ෂේම භූමිය ලෙසට හඳුන්වා දුන්නාට කිසිම වරදක් නැති බවයි අපේ හැඟීම. තිර වල විභේදනය විශාල වීම නිසා වර්තමාන වෙබ් අඩවියේ සියලු තොරතුරු මනා ලෙස පැහැදිලිව තිබුනත්, ඉස්සර වෙබ් අඩවියේ සියලු තොරතුරු සංගත (Compact) කර තිබූ බවයි අපේ අදහස. අද තරම් එදා වෙළඳ දැන්වීම් වලට එතරම් ඉඩක් ලබා නොදුන් මේ අඩවිය, ESPN නාලිකාව යටතේ පැවතුනේ නැහැ.

 

2. එළකිරි (Elakiri)
Website Nostalgia 2007
Source – archive.org

2006 ආරම්භ කරපු එළකිරි වෙබ් අඩවිය කියන්නේ, අද වගේ ෆේස්බුක් නොගිය තරුණ බාල හැම දෙනාම ගොඩ වැදුණු තැනක්. ඒ කාලේ සියලු තොරතුරු වගේම සින්දු, වීඩියෝ වුනත් අපි ලබාගත්තේ එළකිරි සයිට් එකෙන් තමයි.

ෆෝරම් වර්ගයේ වෙබ් අඩවියක් වුනු මෙය තවමත් පැවතුනත්. අතීතයේ වෙබ් අඩවියේ තිබුණු අලුත් මියුසික් වීඩියෝ රිලීස් වීම්, සින්දු රිලීස් කිරීම් නම් දැන් සිදුවෙන්නේ නැති තරම්.

 

3. ෆේස්බුක් (Facebook)
Website Nostalgia 2007
Source – thetechmania.com

2004 වසරේ ආරම්භ කල ෆේස්බුක් වෙබ් අඩවිය ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. හැම දෙනාම හොඳින්ම දන්නා මේ වෙබ් අඩවියට 2007 කාලයේ තිබුනේ බොහොම සරල පෙනුමක්. තමන්ගේ ප්‍රධානම තොරතුරු ටික පමණක් පෙන්වන ප්‍රොෆයිලයක් ඒ කාලයේ හැමෝටම හිමි වුනා.

 

4. ගොසිප් ලංකා නිව්ස් (Gossiplankanews)
Website Nostalgia 2007
Source – archive.org

ඒ කාලේ ගොසිප් ලංකා හි පෙනුම සාමාන්‍ය බ්ලොග් අඩවියක් හා සමාන වුනා. ඒ වගේම Side Bar එකේ පවතින ලින්ක්ස් ඔක්කොම ඉමේජ් ලින්ක්ස් වීමත් මෙහි විශේෂත්වයක්. ඒ වගේම ගොසිප් ලංකා කියවන්න නම් වෙනමම ෆොන්ට් එකක් අපේ පරිගණකයකට ඉන්ස්ටෝල් කරගන්නත් උවමනා වුනා. ඒ කාලේ සිංහල යුනිකෝඩ් ප්‍රචලිත නැහැ.

 

5. ඩයලොග් (Dialog Telecom)
Website Nostalgia 2007
Source – archive.org

2007 ඩයලොග් වෙබ් අඩවියේ අද මෙන් පිවිසෙන්නන්ට වඩාත් පහසු ලෙස වෙබ් අඩවිය ඇසුරු කිරීමේ පහසුව ලැබුනේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ලබාදී තිබුනේ අතිශය සරල අතුරු මුහුණතක් පමණයි.

 

6. ටොප් ජොබ්ස් (Topjobs)
Website Nostalgia 2007
Source – archive.org

ටොප් ජොබ්ස් හි අතුරුමුහුණතේ විශේෂයෙන්ම සයිට් ලෝගෝ එක විශාල වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ වගේම මතුපිට වර්ණ සහ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් වර්තමාන වෙබ් අඩවියේ දකින්නට ලැබෙනවා. නමුත් 2007 කාලයේ ටොප් ජොබ්ස් හි රැකියා අවස්ථා පළකල බහුතරය ලංකාවේ ප්‍රධාන සමාගම් බව නම් නොරහසක්.

 

7. ලංකාදීප (Lankadeepa)
Website Nostalgia 2007
Source – archive.org

අන්තර්ජාලයට එක්වූ පළමු සිංහල පුවත්පත හැටියට හඳුන්වනු ලබන ලංකාදීප වෙබ් අඩවියේ පැරණි පෙනුම තමයි මේ. දැන් තරම් සිත්ගන්නාසුලු බවක් නැතත් බොහෝම සරලව සහ පැහැදිලිව තමන්ගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න මේ අය සමත් වෙලා තිබුණා.

 

8. කපුටා (Kaputa)
Website Nostalgia 2007
Source – archive.org

ඉස්සර අපි නිරන්තරයෙන් ගොඩ වැදුණු කපුටා වෙබ් අඩවිය එදා සිට මේ දක්වා එතරම් වෙනසකට භාජනය වී නැහැ. නමුත් එතරම් ක්‍රියාකාරී ගතියක් නම් වෙබ් අඩවියේ නැති බවයි දැන්නම් පෙනී යන්නේ.

 

9. සිංහලයා (Sinhalaya)
Website Nostalgia 2007
Source – archive.org

සිංහලයා වෙබ් අඩවිය 2007 වෙනකොට බොහොම ජනාකීර්ණ වෙබ් මංසලක් කිව්වොත් හරි. චැට් කරන්න, කවි ලියන්න, ෆෝරම් කරන්න මේ වගේ වැඩ ගොඩකට මේ වෙබ් අඩවිය අපි ඒ කාලේ පාවිච්චි කළා. විශේෂයෙන් සිංහලයා පාවිච්චි කල අයට මතක ප්‍රධානම තැන් වලින් එකක් තමයි ෆැන්ටසි නිම්නය කියන්නේ. නමුත් අද වෙනකොට සිංහලයා කියන්නේ නිවුස් අඩවියක් බවට පත්වෙලා.

 

10. යූ ටියුබ් (Youtube)
Website Nostalgia 2007
Source – archive.org

අපි හැමදෙනාම අඩුම ගාණේ දවසකට වරක් වත් යන වෙබ් අඩවියක් වෙන යූ ටියුබ් වෙබ් අඩවියෙත් 2007 අතුරු මුහුණත බොහොම සරලයි. විවිධ කැටගරි ලෙසට බෙදුණු වීඩියෝ 4 බැගින් ඇති පේළි වලින් සැකසුනු යූටියුබ් පිටුව ඒ කාලයේ අපට භාවිතාවට පහසුම අඩවියක් සහ අපේ ප්‍රියතම වෙබ් අඩවි වලින් මුල්ම තැන තිබුන බව නම් සත්‍යයක්. ඒ වගේම මේ කාලේ වෙනකොට Google සමාගමෙන් YouTube වෙබ් අඩවිය මිලදී අරගෙන වසරක් පමණ වෙනවා.
Cover Image Source – pinterest.se, elakiri.com, ksat.com, gossiplankanews.com, asianmirror.lk, ralf-heiser.info, lankadeepa.lk, kaputa.com, sinhalaya.com, wikipedia.org