ඔන්ලයින් අඳුනගෙන ඩේට් එකක් ප්ලෑන් කරනවා නං, මේ කරුණු 6 අනිවා කියවලා ඉන්න

 

දැන් කාලේ කෙල්ලෝ කොල්ලෝ වැඩිපුරම මුණගැහෙන්නේ බස් එකේ, පංසලේ අරෙහෙ මෙහේ නෙවෙයිනේ. දැන් කෙලින්ම ඔන්ලයින් තමයි වැඩ වෙන්නේ. ඒ කියන්නේ එක්කෝ ෆේස්බුක් හරහා අඳුනගනියි. එහෙම නැත්තං ඔන්ලයින් ඩේටින් සයිට් එකක් හරහා අඳුනගනියි. ඊට පස්සේ ඉතින් ඔන්ලයින් පීල්ලේ දුවන ආදර කෝච්චිය ටෙලිෆෝන් කතාබහටත් මාරු වෙනවා. හැබැයි හැමදාම ඕක කරන්න බැහැනේ. කවදාහරි මුණගැහෙන්නත් ඕනනේ. මේ කියලා දෙන්න යන්නේ ඔන්ලයින් දැන අඳුනගෙන ඩේට් කරන්න තරමට ඇයි හොඳයිය මුහුකුරා ගියපු ඩබලක් ඇත්ත ජීවිතේ ඩේට් අවුට් එකක් ප්ලෑන් කරනකොට හිතන්න ඕන කරුණු කාරණා ගැන තමයි.

 

1. ඕන දේකට ඔට්‍ටු නං ගොඩ!
Dating Your Online Friend
Source – awesomwallpaper.com

මේක තමයි වැදගත්ම පොයින්ට් එක. දැන් ගොඩක් අය ඇහුවොත් කියන්නේ මට පෙනුම, රූපේ වැඩක් නැහැය, මම කැමති අදහස් වලට, ගතිගුණ වලටය කියලනේ. කොහොමත් ඔන්ලයින් සෙට් වෙලා මල් කඩ කඩ ඉන්නකොට ඔය කතන්දර අනිවා අහන්න ලැබෙනවා. හැබැයි ඇත්ත කතන්දරේ තමයි එහෙම පෙනුම කිසිසේත්ම වැඩක් නැති වෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්ටයි කියන එක. අනික් හැමෝම එක්තරා දුරකට හරි පෙනුම ගැන බලනවා. හරි ඇයි දැන් මේක වැදගත් වෙන්නේ මෙතනට? මෙහෙමයි. සාමාන්‍යයෙන් වැඩිහරියක් මිනිස්සු ඇත්තට ඉන්නකොට තියෙන පෙනුමට වඩා ෆොටෝස් වල වෙනස්. වීඩියෝ වලත් ටිකක් වෙනස්. ඉතින් දැන් ඇත්තට මුණගැහිලා නැති කෙනෙක් ගැන ෆොටෝස් වලින් දැකලා සලිත වෙලා ඉන්න එක පොඩ්ඩක් කේස්. මොකද ෆොටෝස් වල තියෙන සුන්දරත්වේ ඇත්තට දකින කොට නැතිවෙන්න පුලුවන්. අන්න ඒ නිසා දකින්න කලින් “මට ඔයාවමයි ඕන” කියලා ටෝක්ස් දීලා දැක්කට පස්සේ ගරා යකා දැක්කා වගේ බය වෙලා මේ සම්බන්ධෙන් මාරු වෙන්න හේතු හොයන එක කේස්. ඒ නිසා හොඳම දේ තමයි එක්කෝ ඔන්ලයින් මුණගැහුණු කෙනෙක් එක්ක ඇත්තටම මුණගැහෙන කල් ගොඩක් දුර නොයා ඉන්න එක. එතකොට පළවෙනි දවසේ මුණගැහෙන්න යනකොටත් බොරු එක්ස්පෙක්ටේෂන්ස් හිතේ නැතුව යන එක වැදගත්.

 

2. ඩෝන්ට් පරක්කු!
Dating Your Online Friend
Source – lifehacks.io

ගොඩක් දෙනෙක්ට ඔන්ලයින් දැන අඳුනගත්තට පස්සේ තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තට මුණගැහෙන්න ඕන කොයි කාලෙද කියන එක. අපි හිතන්නේ දෙන්නට දෙන්නා මුණගැහෙන්න නොඉවසිල්ලෙන් ඉන්නවා කියලනේ. ඇත්තටම ගත්තොත් එහෙම නෑ. දෙන්නට දෙන්නා මුණගැහෙන්න පරක්කු කරන එක තමයි ඔන්ලයින් ඩේටින්ග් වලදී දකින්න ලැබෙන්නේ. හැබැයි අපේ ඇඩ්වයිස් එක මේකයි. දැන ඇඳිනීම ඇතිකරගත්තු ගමන්, ඒ කියන්නේ මූ හෝ මේකි හොරෙක්, වංචාකාරයෙක් වෙන්න ඉඩ අඩුයි කියන ෂුවර් එක ආවට පස්සේ පටස් ගාලා ඩේට් අවුට් එකක් දාගන්න. තව පරක්කු කර කර ආලේ දෙල් මෝරන ගාණට මෝරනකල් ඉන්න එපා.

 

3. සේෆ්ටි ෆර්ස්ට්
Dating Your Online Friend
Source – jion.tokyo

දැන් කෙල්ලෙක් කොල්ලෙක් කොහෙන් හරි මුණගැහිලා යාලුවෙනවා කියන්නේ කොහොමත් රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කලින් දන්න ඩයල් එකක් නෙවෙයිනේ. හොඳද නරකද කියන්න කාලා බලලත් නැහැනේ. හැබැයි මේ රිස්ක් එක තව වැඩියි ඔන්ලයින් මුණගැහුණු, ජීවිතේට කවදාවත් දැකලා නැති කෙනෙක්ව ඩේට් කරනකොට. ආන්න ඒ නිසා අවදානමට පෙර සූදානම කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන තමන් මුණගැහෙන්න යන්නේ කොයි වගේ මනුස්සයෙක්ද කියන එක ගැන. ඒ කියන්නේ මුණගැහෙන්න කලින් තමන්ගේ ආදායම් වාර්තා වල ඉඳලා කිරිකිත්තගේ පෙළපත වෙනකල් ඕනෑ එපා හැම විස්තරයක්ම දෙන්න යන එක නුවණට හුරු නැහැ. අනික් එක මුණගැහෙන්නේ කොහෙද කියන එක ගැන බොහොම කල්පනාකාරී වෙන්න ඕන. පළවෙනි ඩේට් අවුට් එක කොහොමත් “අපි පොඩ්ඩක් තනි වෙමු” තැන්වලට යන්න ඕන නැහැනේ. නිදහසේ කෑම ටිකක් කන්න හරි කෝපි එකක් බොන්න හරි කතා කර කර ඉන්න හරි පුලුවන්, පබ්ලික් ප්ලේස් එකකට යන්න.

 

4. ලැජ්ජාවට ඉඩ දෙන්න
Dating Your Online Friend
Source – wallpaperdp.com

මේ කිව්වේ දෙන්නට දෙන්නා කතානොකර ගල් බමුණා ගහපු ඩබලක් වගේ මූණු දිහා බලං ඉන්න කියන එක නෙවෙයි. දැන් ගොඩක් දෙනෙක් ඔන්ලයින් මොන වැඩ කිඩ දාලා චැට් කළත්, ඇත්ත ජීවිතේදී මුණගැහුනහම ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්න තියෙන ඉඩ වැඩියි. ඔව්, කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් එහෙම තමයි. හැබැයි දැන් දෙන්නගෙන් කෙනෙක් එහෙම ලැජ්ජාවෙන් පොඩ්ඩක් මූණ රතු කරගෙන, කථා නැතුව ඉන්නවා නං “ඇයි කතා නැත්තේ”, “ඔයා චැට් එකේදී ඔහොම නෑනේ”, “කෝල් කරනකොට කතා කලානේ” වගේ අනං මනං කිය කියා බල කරන්න යන්න එපා. පොඩ්ඩක් සි‍ටුවේෂන් එකට හුරු වෙන්න ඉඩ දෙන්න.

 

5. ඕනවට වඩා හදිස්සි වෙන්න එපා
Dating Your Online Friend
Source – kiss100.co.ke

මෙන්න මේක ඔය ඔන්ලයින් දැන අඳුනගෙන ඇත්තට මුණගැහෙන්න යන අය කරන හෙනම ගොන් වැඩක්. පළවෙනි ඩේට් අවුට් එකේ කෙලින්ම කො‍ටුවක් පනින්න ඇඩ්වාන්ස් වෙන එක. ඕක වෙන්නෙ මෙහෙමයි. දැන් ඔන්ලයින් ලව් එක දෝරේ ගලන ලෙවල් එකට ආවට පස්සේ හිතෙනවා කෙලින්ම කො‍ටුවක්ම පනින්න ඕන කියලා. ඇයි ඔන්ලයින් රෑ එළිවෙනකල් චැට් කර කර හිටපු විදියට දෙන්නට දෙන්නා “ආත්ම ගාණක් පෙරුම් පුරාගෙන, පතාගෙන, ඔතාගෙන ආපු” ලෙවල් එකටනෙ ෆීල් වෙන්නේ. හැබැයි ඔහොම පළවෙනි දවසේ ඉස්කෝලේ ගිහින් ඒ ලෙවල් ලියන්න යන එකෙන් සිද්ධ වෙන්නේ අනාගත ප්‍රශ්න ගණනාවක් වෙන්න පුලුවන්. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඕවා ගැන. ආන්න ඒ නිසා තමයි ඔන්ලයින් දැන අඳුනගත්තට පස්සේ ඉක්මනටම සම්බන්ධය පොළවට ගේන්න කියන්නේ. එතකොට කො‍ටුවක් පනින්න ගියත් තමන්ට ඕන මොනවද, දෙන්නා ඉන්නේ කොතනද කියලා හොඳ අදහසක් අරගෙන තමයි දෙන්නා ඇඩ්වාන්ස් වෙන්නේ.

 

6. එතනින් එහාට සාමාන්‍ය ඩේට් අවුට් එකක්ම තමයි
Dating Your Online Friend
Source – hdwallpapersrocks.com

මේ කිව්ව දේවල් ඇත්තටම වැදගත් වෙන්නේ ඔන්ලයින් අඳුනගත්තු, මීට කලින් මුණගැහිලා නැති කෙනෙක් ඇත්තට මුණගැහෙනකොට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න ගැටළු අවම කරගන්න තමයි. එතනින් එහාට සාමාන්‍ය ඩේට් අවුට් එකක් විදියටම තමයි දේවල් සිද්ධ වෙන්නේ. ආන්න ඒ නිසා මේකත් හොඳට ප්ලෑන් කරලා, ගැලපෙන තැනක, ලස්සනට ඇඳලා පැළඳලා ගිහිල්ලා ගොඩදාගන්න ඕන. කොහොම කළත් ඉස් ඉස්සෙල්ලාම මුණගැහෙන කෙනෙක්ට හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් දෙන්න ඕනනේ. ආන්න ඒ නිසා හොඳට ලස්සනට, පිරිසිදුවට යන එක, ආචාරශීලීව හැසිරෙන එක වගේ දේවල් ගැන හිතලා බැලුවට වරදක් නෑ.

 
Cover Image Source – howtobemoresocial.net