හෙළ සිනමාවේ “විකට රජු” ෆ්‍රෙඩී සිල්වාගේ අමරණීය ගීත 15ක්

 

ෆ්‍රෙඩී සිල්වා කියන්නේ අපි කාගේත් ආදරේ දිනාගත්තු රංගන සහ ගායන ශිල්පියෙක්. තමන්ගේ හඬින් සහ රඟපෑම් වලින් එකවරම ප්‍රේක්ෂකයාව ඇද බැඳ තබාගැනීමට හැකියාවක් තිබූ අයෙක්. රිදී තිරයේ ෆ්‍රෙඩී සිල්වා නමින් තම දස්කම් පෙන්වුවත් ඔහුගේ ඇත්ත නම වන්නේ “හල්පේ ලියනගේ අතුකෝරාල මොරිස් ජෝශප් රණබාහු” යි.

ජනේෂ් සිල්වා සහ චාන්දනී සිල්වා නමින් දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ෆ්‍රෙඩී චිත්‍රපට බොහෝ ගණනකට සිය රංගන දායකත්වය ලබාදෙමින් ජනතාව පිනවූවා. “සුහද සොහොයුරෝ” චිත්‍රපටය හරහා 1963දී සිය පළමු රඟපෑම කල ෆ්‍රෙඩී චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක රඟපෑ අතර 1994 දී “ඔක්කොම හොඳටයි” නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කරනු ලැබුවා. ෆ්‍රෙඩී රඟපෑමෙන් සහය වූ අවසාන චිත්‍රපටය වන්නේ “පිස්සු ඩබල්” චිත්‍රපටයයි. එය තිරගත වන්නේ 2002 වසරේදීයි. සිනමාවට අසහාය සේවාවක් කල ලංකාවේ සිනමාවේ විකට රජා ලෙස විරුදාවලිය ලත් ෆ්‍රෙඩී වසර 2001 ඔක්තෝම්බර් මස 29 වන දින මෙලොවින් සමුගන්නවා.

විවිධ දක්ෂ ගීත රචකයින් සහ සංගීත නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ගීත රාශියක් ෆ්‍රෙඩී සිල්වා ගායනා කර තිබෙනවා. නමුත් ෆ්‍රෙඩීට ගීත බොහොමයක් රචනා කරලා තිබෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාය කියල කිවුවොත් සමහර විට ඔබට පුදුමත් හිතේවි. ඔබේ රසවින්දනය සඳහා එයින් හොඳම ගීත 16ක් තෝරාගත්තා. අහලම බලන්න!

 

1. බාර් බාර් බාර් බාර් එකෙන් බීලා

 

 

බාර් බාර් බාර් බාර් එකෙන් බීලා – සූර් සූර් සූර් සූර් වෙන්න ගහලා
ටැප් ටැප් ටැප් ටැප් වෙන්න වැදිලා – මේ බලන්න මට හොඳටම සූර්
 
බාර් බාර් බාර් කියන්නේ ෆ්‍රෙඩී ගේ මුල්ම ගීතය, ඔහු 1950 වසරේදී මේ ගීතය ගයා රඟදක්වන්නේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඉදිරියේයි. එයින් පැහැදුණු එතුමා ෆ්‍රෙඩීට ගුවන් විදුලියේ ගීත ගායන පරීක්ෂණයකට ඉඩ ලබාදී තිබුණා.

 

2. කුණ්ඩුමනී

 

 

මන්නාරම් පිටි වැල්ලේ – මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩං හඳට අඬං – සිංදු කියන්නී
කුණ්ඩුමනී
 
ප්‍රේමකීර්ති ද අල්විස් ගීත රචනය කල, වික්ටර් රත්නායක සංගීත නිර්මාණය කරන ලද මේ ගීතය යාපා පටුනේ ඇති ආවේණික ලක්ෂණ ගැන මැනැවින් කියවෙන ගීතයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

 

3. ජැක් සහ ජිල්

 

 
ජැක් සහ ජිල් දවසක් දා කන්දක් උඩට ගියා
ඉක්මන් ගමනින් ඉහළ නැග්ග ජැක්
වැටුණා “දඩස්” කියා
 
1974 අවුරුද්දේ “දුලීකා” චිත්‍රපටයට ගායනා කරපු මේ ගීතයත් රචනා කරලා තියෙන්නේ ප්‍රේමකීර්ති මහත්මයාම තමයි. ඒ වගේම මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රේමසිරි කේමදාස මහත්මා විසින්. සුප්‍රකට “ජැක් සහ ජිල්” කතාව සහ තවත් සුරංගනා කතා කිහිපයක් ඇසුරින් නිර්මාණය කරලා තියෙන මේ ගීතය ෆ්‍රෙඩීගේ ගායනාව නිසා තවත් රසවත් වෙලා තියෙන වග කියන්නට පුළුවන්.

 

4. ආරොං මාමා

 

 
ආරොන් මාමා වයසක මිනිහෙක් ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගාණේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි ලේ කඳුලක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ
 
සමාජයේ සිටින අනුන්ගේ කුණු සොයමින් ගම වටේ ඇවිදින මිනිසුන්ට අතුල් පහරක් ගසමින් රචනා කල මේ ගීතය එකල රේඩියෝවෙන් විකාශය වෙන විට එවැනි ගතිගුණ ඇති අය හෙමීට ඒ තැන් වලින් ඉවත් වී යන බව අපේ වැඩිහිටියන් පවසනවා. ගීතයේ තේරුම සමඟ බොහොම සුන්දරව අවවාදයක්ද එන නිසා අපේ රසිකයින් අතරේ ප්‍රේමකීර්ති මහතා රචනා කල මේ ආරොන් මාමා ගීතය ජනප්‍රිය වූ බව අපිට සිතන්නට පුළුවන්.

 

5. පාන් කිරිත්තා

 

 

පාන් කිරිත්තා තක්කිට තරිකිට – උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන – කර බාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳඟෙන – දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑදැත්තෙක් – කීචි බීචි කියතෙයි
 
වික්ටර් රත්නායක මහතා විසින් සංගීත නිර්මාණය කල තවත් එක සුන්දර ගීතයක් වෙන පාන් කිරිත්තා ගීතයත් ෆ්‍රෙඩී වෙනුවෙන් රචනා කරන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින්. කුරුළු චරිත කිහිපයක් උදාහරණයට ගනිමින් සමාජයේ සුලභ සිදුවීමක් පාදක කරගෙන තැනෙන මේ ගීතය රසවින්දනය පරයා ගිය සමාජ කියවීමක් කියාපාන බව අපට සිතෙනවා.

 

6. ඇට සැකිල්ල වාගේ

 

 
ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන – රාජ සභාවේ අසුන බලා
අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි ඔය එන්නේ – ඉඳපල්ලා නිශ්ශබ්ද වෙලා
 
කැකිල්ලේ රජ්ජුරුවෝ කියන්නේ අපේ ජනවහරේ එන උපහාසවත් චරිතයක්, හිමිකරුවෙක් නොමැතිව නිර්මාණය වෙන මේ චරිතය බොහෝ අවස්ථාවල සමාජයේ අඩුපාඩු වලට උපහාසයෙන් පහර ගසනු ලබනවා. ඉතින් ප්‍රේමකීර්ති මහත්මයා මේ අපුරු චරිතය යොදාගෙන ඔහුගේ ගීත රචනාව හරහා ෆ්‍රෙඩී ගේ මුවින් පවසා සිටින්නේ අපේම අඩුපාඩු කියලයි අනිවා හි අපි සිතන්නේ.

 

7. ලෙච්චමී

 

 
තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කේ හුඟ කලකට පස්සේ ලෙච්චමී
මගේ ලෙංගතු කමට ඉතින් කාගේත් ඇස් වහල හොරෙන්
තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී
 
වතුකරයේ බොහෝ ජීවිත වල හැඩය ගැන බොහොම සරලව නමුත් අතිශය බැරෑරුම් සමාජ කියවීමක් එක්ක කියවෙන ගීයක් තමයි මේ ලෙච්චමී ගීතය. සිංහල වතු අධිකාරිවයෙකු තමාගේ සිත යන දමිල යුවතියක් හට ඔහුගේ ආලය ගැන අදහස කියන විට, දමිල තරුණියගේ පිළිතුර සහ ඒ ඇසුරින් ගොඩ නැගෙන සංවාදය තමයි මේ ගීතය තුලින් ඉස්මතු වෙන්නේ.

 

8. අලුත් කලාවක් හොයාගත්ත මං

 

 
අලුත් කලාවක් හොයාගත්ත මං දියුණුවෙන්න ඕනෑ නම් //
නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි දාපල්ලා බං පෙත්සම් //
 
1972 තිරගත වන “සුජීවා” චිත්‍රපටයට නිර්මාණය වන මේ ගීතය. ප්‍රේමකීර්ති මහතාගේ ප්‍රථම විකට ගීත රචනාව ලෙස සැලකෙනවා.

 

9. බොරු කකුල් කාරයා

 

 
අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ
පොළොවෙ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ
ආකාසෙ ඔළුව වදියි කියල බය හිතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
 
පෙරහැර නරඹන අවස්ථාවකදී බොරු කකුල් කාරයෙකු දකින පියපුතු දෙදෙනා අතර ඇතිවන සංවාදයක් ආකාරයෙන් මේ ගීතය නිර්මාණය වෙලා තිබෙනවා. සුපුරුදු පරිදී ගීතය රචනා කරන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා වෙන අතර ඔහුගේ සුවිශේෂිත භාවය වෙන සමාජයට තම ගීතය මගින් ඔවදනක් දීමත් මෙයින් නොඅඩුව කෙරෙනවා.

 

10. සුපුන් චන්ද්‍රා ගෙනත් මිදුලේ තියලා

 

 
සුපුන් චන්ද්‍රා ගෙනත් මිදුලෙ තියලා
රබන් ගහලා මඟුල් මඩුව බැඳලා
ඔයා ගෙන එන්නේ මං ගමේ රජ වෙන්නේ මං
තොරන් බැඳලා බොමී ජය පානේ
 
1977 රෝයි ද සිල්වා මහතා අධ්‍යක්ෂණය කල “ටොම් පචයා” චිත්‍රපටයේ තමයි මේ ගීතය තිබෙන්නේ. වික්ටර් දළුගම මහතාගේ සුන්දර සංගීතයට මේ ගීතය රචනා කරන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා විසින්.

 

11. රාජ මාලිගේ පරවියා වගේ

 

 
පරවියා වගේ රාජ මාළිඟේ
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ
ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ
ඇඬුවත් මට කිසිම දාක කඳුළු එන්නෙ නෑ //
 
සිරිල් ඒ සීලවිමල මහත්මා විසින් පද රචනය කල මේ ගීතය ෆ්‍රෙඩී විසින් ගායනා කරන්නේ 1968 දී වග පැවසෙනවා.ඒ වගේම මෙය දෙමල ගීතයක අනුකාරක ගීතයක්. නමුත් පසුගිය කාලයේ රෙඩ් නමැති ගායකයෙක් විසින් මේ ගීතය නැවතත් ගායනා කල අතර. එහිදී මේ ගීතයේ අයිතිය සම්බන්ධයෙන් විශාල කතාබහක් අන්තර්ජාලයේ ඇතිවුනා. නමුත් මුල්ගීතය ගයනා කරන්නේ ෆ්‍රෙඩී වග කාටවත් බැහැර කරන්නට බැහැ.

 

12. කෝන් ගහේ

 

 
පන පලයන් ලබන සුමානේ – ඔහේ පලයන් මගේ පරාණේ
කපලා කපලා කකුල කැපිලා – මෙව්වා දැකලා අපිට වැදිලා
කොහේ යනවද මේ මරගාතේ //
 
මේ ගීතයේ තේරුම හරියට ග්‍රහණය කරගන්නට නම් අනිවා ඔබ වාසනා චිත්‍රපටය බලන්නට ඕනේමයි. පෙම්යුවලක් නිදහසේ කාලය ගෙවන්නට උයනකට එන අතර උයන්පල්ලා වන්නේ ෆ්‍රෙඩී. නිදහසේ සිටින ලෙසත් කවුරුන් හෝ ආවොත් අනතුරු ඇඟවීම පිණිස තමන් “කෝන් ගහේ” ලෙසින් කෑ ගසන බවටත් ඔහු ඒ යුවලට පවසනවා. ගීතය විකාශනය වන්නේ කොහොමද කියලා ඔබට සිතා ගන්නට හැකියි නේද? ජෝජ් ලෙස්ලි රණසිංහගේ පද රචනයට ප්‍රේමසිරි කේමදාස මහතා සංගීතය නිර්මාණය කරන මේ ගීතයේ වචන වල සැකසුම හරිම රමණීයයි. ඒ නිසා නොවරදවාම අහලා බලන්න.

 

13. ගිගිරි ජගිරි හඬවනා

 

 
ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා
තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී
කඩුද කොඩිද වන වනා පනම් පෝරු උසුලනා
නම්බුකාර තෝම්බුලගෙ මහාරාජා මං
 
1974 වසරේ “කස්තුරි සුවඳ” චිත්‍රපටයට මේ ගීතය ෆ්‍රෙඩී විසින් ගායනා කරන අතර ඊට සංගීතය සපයන්නේ සරත් දසනායක මහතා විසින්. ගී පද රචනා වෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින්.

 

14. මහත්තයෝ

 

 
මහත්තයෝ NCC – ලොකු මහත්තයෝ ICC
අපේ රටට දැන් TC – තැනක් ලැබී ඇත වාසී
සියයකින් වසර පසු වෙලා – මේ සැරේ අපට ජය වෙලා
මහත්තයෝ ICC – ඉතින් බොහොම ස්තුතියි
 
මේ ගීතය අපි මේ ලැයිස්තුවට එකතු කරන්නට හිතුවේ විශේෂිත හේතුවක් නිසා. ඒ තමයි, ෆ්‍රෙඩී විසින් ක්‍රිකට් ගැන ගායනා කරන එකම ගීතය මේ ගීතය වීම. එහි සහයට එකතුවෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයායි. ඔහු විසින් ලියා සංගීතවත් කරන මේ ගීතය, ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබුණු කාලයේ නිර්මාණය වුවක් බව පැවසෙනවා. හරි ලස්සන ගීතයක් අහලම බලන්න.

 

15. මමයි මොට්ටපාල

 

 
මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්
හෝ හෝ පාසලෙන් – හා හා පාසලෙන්
වෙට්ටපිත්තල වී සිටිමි කවට කම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ //
 
මොට්ටපාල ගීතය ලියුවේ සිරිල් ඒ සීලවිමල මහතා විසින්. බාර් බාර් බාර් ගීතයට පස්සේ ෆ්‍රෙඩී හට ගීත කලාවේ දොරගුළු හැර දෙන්නට මේ ගීතය උදව් වුනා කිව්වොත් නිවැරදියි. අන්න ඒ හේතුව නිසයි අපි මේ සුන්දර ගීතය අපේ ලයිස්තුවේ අවසාන ගීතය විදියට එකතු කරන්නේ.

 
Cover Image Source – fragmenteyes.blogspot.com